වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සාරි ගැටේට හසු වූ ජීවන්

සාරි ගැටේට හසු වූ ජීවන්

වේදිකාව මත සාරි ගැටයක් ගසන්නට සැරසෙන ජීවන් හඳුන්නෙත්ති සරසවියට ගොඩ වැදුණා.

මොකක්ද මේ කරන්න හදන්නේ?

සාරි ගැටේ ගේන්න හදන්නෙ.

සාරි ගැටේ?

ඔව්. ඒක තමයි මගේ අලුත්ම වේදිකා නාට්‍යය.

සාරි ගැටේ අන්තර්ගතය ගැන කතා කළොත්?

අද සමාජය හරිම විෂමයි. සියලු දේ තීරණය වන්නේ සල්ලි මත. ඇතැමුන්ට තමන්ගේ අම්මා තාත්තව පවා අමතක වෙන්නේ සල්ලි නිසා. මට ඒ ගැන කතාබහ කරන්න ඕන වුණා. විශේෂයෙන්ම සල්ලි නිසා එකිනෙකාගේ වෙනස් වීම ගැන සාරි ගැටේ දිග හැරෙන්නෙත් ඒ කතා පුවත ඔස්සේයි.

කවුද මෙහි නළු නිළියෝ?

පාලිත සිල්වා, සරත් පීරිස්, නයනා කුමාරි සහ මම තමයි මෙහි රඟපාන්නේ.

ආර්ටිස්ලා හතර දෙනයි ඉන්නේ?

සමහරු අහනවා පිටරට ටුවර් ඉලක්ක කරගෙනද මෙහෙම අඩුවෙන් නළු නිළියන්ව ගත්තේ කියලා. අනේ එහෙම එකක් නැහැ. කතාවට අනුව මෙවන් වූ නළු නිළියන් සංඛ්‍යාවක් හොඳටම ඇති.

කාගෙද මෙහි කතාව? ඔබේද?

ඔව්. වේදිකා රචනය කළේ මමයි අරුණ වල්පිට කියන මගේ මිත්‍රයයි.

කවදද මෙහි මංගල දර්ශනය තියෙන්නේ?

අද. බොරැල්ල පුංචි තියෙටර් තමයි තැන. හෙටත් එතැනම දර්ශන වාරයක් තියෙනවා.

ඇයි ඔබ නිතරම වේදිකාවේ රැඳෙන්නේ?

වේදිකාවට මං බෙහෙවින් ආදරෙයි. වේදිකා රංගනය මගේ ඇඟේම තියෙන දෙයක්. ඒකයි වේදිකාව අත්හැර යන්නේ නැත්තේ. වේදිකා නිර්මාණයක් කිරීමෙන් ලබන තෘප්තිය වෙන කිසිම නිර්මාණයක් කළාට ලැබෙන්නේ නැහැ.

වේදිකාව වෙනුවෙන් ඉන්න ප්‍රේක්ෂකාගාරයේ ප්‍රබෝධවත් භාවය ගැන මොකද කියන්න තියෙන්නේ?

ඒ ප්‍රබෝධවත් බව දැන් බොහෝ සෙයින් වැඩි වෙලා තියෙනවා. සමහරු ටෙලි නාට්‍ය දැන් වැඩිය නරඹන්නේ නැහැ. මේ හින්දම වේදිකාවට අලුත් ප්‍රේක්ෂකයෝ කණ්ඩායමක් ඇවිත් ඉන්නවා. ඒක ඇත්තටම හොඳයි. ඒ අය ඇවිත් ශාලාව පිරෙන්න ඉන්න කොට වේදිකා නිර්මාණකරුවන් විදිහට අපට සෑහෙන්න සතුටුයි.

වේදිකාවෙන් ඇවිත් වෙනත් මාධ්‍යයන්ට යොමු වූ අතැම් නළු නිළියන් යළි වේදිකාවට ගොඩ වන්නේ නැති ප්‍රවණතාවයක් තියෙනවා නේද?

මේ වන විට නෙවෙයි බොහෝ කලක සිට මතයක් ගොඩ නැඟී තියෙනවා වේදිකාවෙන් ආව නළු නිළියන් තමයි හොඳ කියලා. ඔවුන් ඇතැම් නිර්මාණවල රඟපාලා සම්මානත් අරනෙ තියෙනවා. ඒ අයවම වෙන වෙන නිර්මාණවලට වැඩියෙන් සම්බන්ධ කර ගන්නවා. ඉතින් ආයේ ඔවුන්ට වේදිකාවට එන්න බැරි වෙනවා. ඒක හිතාමතාම කරන වැඩක් නෙවෙයි. ඉබේම වෙන දෙයක්. ඒ ප්‍රවීණයන් ආසයි වේදිකාවට එන්න. ඒත් ටයිම් එක නැහැ. කාටවත් දොස් කියලා වැඩක් නැහැ.

ඔබ අධ්‍යක්ෂණය කරන ගමන් මේ නාට්‍යයේ රඟපානවා. ඒක අපහසුවක් වුණේ නැද්ද?

ලේසිනෙ. රඟපානවා අධ්‍යක්ෂණය කරනවා කියලා වෙනසක් නැහැ. මං ඒ කාර්යයන් යුවළම හොඳටම කරනවා. මට ප්‍රශ්නයක් නැහැ.

කවුද මේ නාට්‍යයට ගෑනු ගැටේ කියලා නම තිබ්බේ?

මම තමයි නම දැම්මේ. කාන්තාවක් තමයි කතාවේදී ප්‍රධාන වෙන්නේ. ඒක නිසා ඒ නම තිබ්බා.

නම ඇසුණු ගමන් හිතෙන්නේ මේක හාස්‍යෝත්පාදක නාට්‍යයක් කියලා?

ඔව්. නමුත් මේකේ ඇතැම් තැන් හරිම සීරියස්, ඒ කියන්නේ සමාජයට පණිවුඩයක් ද මෙමඟින් මා ලබා දෙනවා. ඒවා විහිළු වෙන්න බැහැනෙ.

මොන වගේ ප්‍රේක්ෂක කණ්ඩායමක් ද ඔබ සාරි ගැටේ නරඹන්න ආරාධනා කරන්නේ?

සෑම කෙනෙකුටම නාට්‍ය නරඹන්න පුළුවන්. වැඩිහිටියන්ට ගැඹුරින් අන්තර්ගතය තේරුම් ගන්න පුළුවන්. මතුපිටින් නරඹලත් නාට්‍ය විඳින්න හැකියි.

සාරි ගැටේ වේදිකාවට ගේන්න උදවු කළ පිරිසත් මතක් කළොත්?

දමින්ද මෙන්ඩිස්, පද්මසිරි නිශ්ශංක, ඉමේෂ් ඇන්ඩ්‍රා ඇතුළු සියලු දෙනාවම මතක් කළ යුතුයි.