වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ අභියෝගය භාර ගන්න මම සූදානම්

ඒ අභියෝගය භාර ගන්න මම සූදානම්

Chulakshi Ranathunga

තම පළමු රංගනයෙන්ම ප්‍රේක්ෂක හදවත් හි ඔවුනගේම කෙනෙක් ලෙස හැඟීමක් ජනිත කරවන්නට සමත් රංගන ශිල්පිනියක වේ නම් එය ඇය ලබන සැබෑම වාසනාවක්. අපේ කතා නායිකාවත් අද බොහෝ රසික රසිකාවියනට තමන්ගේම කෙනෙක් වගේ සමීපයි. චුලක්ෂි රණතුංග නව පරපුරේ ජනප්‍රිය නිළියක වුව ද ඇගේ ප්‍රථම සිනමා රංගනයෙන්ම ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන මතක සටහනක් එක් කරන්නට ඇය සමත් වූවා. ඒ 'දේදුණු ආකාසේ' චිත්‍රපටයේ 'විහංගි'ගේ චරිතය රඟපාමින්. චුලක්ෂි කලකට පසුව සරසවියට ගොඩ වැදුණේ ඇගේ නවතම කලා තොරතුරු සමඟිනුයි.

කලකට පසුවයි ඔබ හමුවන්නේ?

ඇත්තටම. මේ දවස්වල කලා කටයුතුවලට අමතරව නිරූපණ කලාවට තමයි මුල් තැන දී තිබෙන්නේ. සිනමා නිර්මාණයකට දායක නොවුණත් රංගනය පිළිබඳ වැඩිදුර අධ්‍යයන කටයුතුවල වැඩි වශයෙන් මේ කාල සීමාවේ මම නිරත වෙනවා.

'දේදුනු ආකාසේ' චිත්‍රපටයෙන් පසුව ඔබට චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණේ නැත්ද?

චිත්‍රපට කිහිපයකටම කතා කළා. ඒ වගේම ස්ක්‍රිප්ට් කිහිපයකුත් ලැබිලා තියෙනවා. තවම සකාච්ඡා මට්ටමේ තමයි ඒ දේවල් තිබෙන්නේ.

'දේදුනු ආකාසේ' චිත්‍රපටය ඔබේ සිනමා දිවියේ ඇරැඹුම?

ඔව්. දේදුණු ආකාසේ රංගනය තමයි මේ තරම් දුරකට කලා ලොව තුළ මා රැගෙන ආවේ.

ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

ප්‍රේක්ෂක ආදරේ හුඟක් දුරට ලැබෙනවා. සමහර වෙලාවට මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මාව මේ තරමටම දන්නවද කියලා හිතෙනවා. මට ඇත්තටම සතුටුයි. යන එන හැම තැනම ප්‍රතිචාරවලින් අඩුවක් නම් නැහැ.

'විහංගි' චරිතය ගැන මොකද හිතෙන්නේ?

විහංගි ගත්තම මට හිතෙන්නේ මගේ සැබෑ දිවියටත් ගොඩක් සමීප චරිතයක් බවයි. විහංගිගේ සමානකම් බොහොමයක් මා තුළත් තිබෙනවා. මං හිතන පතන විදිහට තමයි බොහෝ දුරට විහංගිත් හිතන්නේ පතන්නේ. මට ඒ චරිතය ඇත්තටම බාහිරින් පමණයි රඟ දක්වන්න තිබුණේ. අභ්‍යන්තරය මගේ ළඟමයි තිබුණේ. විහංගි චරිතය මගේ පළමුවෙනි සිනමා අත්දැකීම. අනෙක විහංගි ගමේ ඉඳන් කොළඹට ආපු යුවතියක්. මමත් ඒ වගේමයි. කොහොම වුණත් ඒ චරිතය රඟපාලා එය චිත්‍රපටයක් ලෙස නරඹත්දී මගේ රංගනයේ තවත් බොහෝ දේ හදාගන්න ඕන කියලා මට හිතුණා.

ඒ වෙනුවෙන් අද ඔබ කරන දේවල් මොනවාද?

මම ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පි ශිල්පිනියන්ගේ වගේම ප්‍රවිණ අධ්‍යක්ෂවරු යටතේ විවිධ වැඩමුළු සහ පාඨමාලාවලට සහභාගි වුණා සහ අදටත් සහභාගි වෙනවා. ඒ අතර කෞශල්‍යා ප්‍රනාන්දු, ජයන්ත චන්ද්‍රසිරි, මහේන්ද්‍ර පෙරේරා වැනි ප්‍රවීණයන් යටතේ මම රංගනය පුුහුණු වුණා. ඒ වගේම විදෙස් සිනමා කෘති ඇසුරු කරමින් ඒ පත පොත කියවමින් දැනුම සොයා යන්නට මම කටයුකු කරනවා. රංගනයට එන්නට පහසුයි. නමුත් එහි රැඳී සිටිමින් එහි නියැලීමට රංගනය පිළිබඳ සහ ඒ හා බද්ධ වුණු හැම අංශයක් පිළිබඳ දැනුම අතිශය වටිනවා.

ඔබ දායක වන නිර්මාණයකදී ඔබේ භූමිකාව මොන වගේද?

මම ඕනෑම නිර්මාණයක් කරන්න භාර ගත්තම එය සාර්ථක කර ගන්න තමයි වෙහෙසෙන්නේ. එයින් ෆේල් වෙන්න නම් කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ නිර්මාණයේ මනා සාර්ථකත්වයක් දකින්න තමයි මට අවශ්‍ය. ඒ වෙනුවෙන් මම බාහිරින් හෝ අභ්‍යන්තරව නැතිනම් මේ දෙකෙන්ම හදා ගත යුතු වර්ධනය කරගත යුතු කුසලතා ඇති නම් ඒ දේවල් මම සකසා ගන්නවා.

ඔබට ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබුණේ නැතිද?

ටෙලි නාට්‍යවලටත් කතා කළා. නමුත් පුළුල් සිනමාවේ රැඳෙන්නයි මම කැමැති. ඒත් මගේ ප්‍රේක්ෂකයා වෙනුවෙන් ඔවුන්ට යම් සාධාරණයක් ඉටු කරන්න පුළුවන්, ඔවුන්ගේ රස වින්දනය තීව්‍ර කරන ඒ වගේම මගේ රංගන කැපෑසිටි එක මට පෙන්වන්නට හැකි චරිතයක් ඇති ටෙලි නාට්‍ය නිර්මාණයකට හෝ වේදිකා නාට්‍ය නිර්මාණයකට මම දෙපාරක් නොසිතාම දායක වෙනවා. මේ මාධ්‍ය ත්‍රිත්වයේම ඒ අභියෝගය භාරගන්න මම සූදානම්. නමුත් මගේ ප්‍රධාන අභිලාෂය වන්නේ සිනමා තාරකාවක් ලෙස ප්‍රේක්ෂකයන් අතරට යෑමයි.

ඔබ අද වන විට සිනමා සම්මාන උලෙළවල ජනප්‍රිය තාරකා අතරට ඇවිත් තිබෙනවා?

ඔව්. මේ දිනවල හිරු ගෝල්්ඩන් ෆිල්ම් එවෝඩ්ස් උලෙළේ ජනප්‍රියම රංගන ශිල්පිනියන් දහ දෙනා අතරට මගේ නමත් යෝජනා වී තිබෙනවා. මම රඟපෑ පළමු චිත්‍රපටයෙන්ම මේ තරම් ඉදිරියට එන්නට ලැබීම වාසනාවක් ලෙස මට දැනෙනවා.

රංගන ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්‍රයට එක්වීමට හැකිවීම ගැන මොකද හිතෙන්නේ?

ඒ අත්දැකීම හරිම සුන්දරයි. නමුත් ක්ෂේත්‍රයේ මතු පිටින් පෙනෙන සුන්දරත්වය තරම් රඟපාන එක ලෙහෙසි පහසු නැහැ. රසිකයනට මතක හිටින දෙයක් අර්ථවත් යමක් කරන්න තියෙනවා නම් එය මට ලොකු සතුටක්. එයට යම් කාල සීමාවක් ගන්න වෙයි. උත්සාහය තිබුණොත් තවත් හොඳ දේවල්වල නිරත වෙන්නට පුළුවන්කම ලැබේවි. කලාව තරමක් අසීරු වෙන අවස්ථාත් නැතිවා නොවෙයි.

කලාවට එක්වීම ගැන සතුටුද?

ඇත්තටම සතුටක් වගේම එයට පිනකුත් තියෙන්න ඕනෑ. මට මගේම අනන්‍යතාවයක් ගොඩ නඟා ගන්න අවශ්‍යයි.

ආදරය ගැන මොකද හිතෙන්නේ?

තවමත් මම ආදරය ගැන සොයමින් ඉන්නේ. ඒ ගැන තවම තීරණයක් අරගෙන නැහැ.

මොන වගේ පෙම්වතෙක් ද පතන්නේ ඔබ?

මට අවශ්‍ය මිල මුදල් නෙමේ. අවංක කෙනෙක් වීමයි වටින්නේ. ආගම මට වැදගත් නැහැ. පින් පව් ගැන හොඳ වැටහීමක් ඇති ඒ ගැන විශ්වාස කරන ජීවත් වෙන්න පුළුවන් ගතිගුණ ඇති අවංක කෙනෙක්.

ක්ෂේත්‍රයේ පැතිරෙන කට කතා ගැන මොකද හිතෙන්නේ?

කට කතාවලට මම සැලෙන්නේ නැහැ. පල ඇති රුකකට තමයි ගල් ගහන්නේ. මම මගේ පාඩුවේ මගේ ගමන යනවා.

ඔබ ආඩම්බරයි කියා හුඟ දෙනෙක් හිතනවා?

මටත් ඒ බව දැනෙනවා. සමහරු හිතනවා මගේ බාහිර ස්වරූපය දෙස බලලා මම ආඩම්බරයි කියලා. එහෙම කෙනෙක් නෙමෙයි මම. බොහොම සරල පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් මම. නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයේ වැඩිපුරම කටයුතු කරන නිසා විවිධ විලාසිතාවන්ගෙන් අපිට හැඩ වෙන්න සිද්ධ වෙනවා. එනිසා ඒ මිම්මෙන් අපිව මනින්න එපා කියලා මම ඉල්ලනවා. චුලක්ෂි කියන්නේ හරිම සාමාන්‍ය ආච්චි අම්මා, අම්මා එක්ක හැදුණු ගැහැනු ළමයෙක්.