වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




මධුරි ඩික්සිත් රඟපෑ AAJA NACHLE සිහියට එන අරකවිල නර්තන පදනම

මධුරි ඩික්සිත් රඟපෑ AAJA NACHLE සිහියට එන අරකවිල නර්තන පදනම

මාස දෙකෙන් නර්තනය ඉගෙන ගන්න බැරිද?

ඩියා ලෙස මධුරි ඩික්සිත් රඟපෑවේ ආජා නාච්ලේ චිත්‍රපටයේය. දිගු කලක් විදෙස්ගතව සිට ඩියා සියගමට පැමිණ නාට්‍ය පාසලක් ආරම්භ කිරීම එයට පාදකව තිබිණි. චිත්‍රපටයක් වුව ද එවැනි කතා ඕනෑ තරම්ය. හොරණ ඉංගිරියට නුදුරු තවමත් ගැමි සුවඳ විහිදුවන අරකවිල ගම්මානයේ ඇති අරකවිල නර්තන පදනමේ කතාව ද එබන්දකි.

අක්කර තුනකින් යුතු පරිසරයක අරකවිල නර්තන පදනම පිහිටා ඇත. එහි සංකල්පය බිහි වූයේ ජානකී හිල්ගේ සිතෙහිය. ඇය තම දයාබර සැමියා වූ පීටර් හිල්ගේ ආධාර උපකාර ඇතුව අදින් වසර දහයකට පමණ පෙරාතුව අරකවිල පදනම ආරම්භ කළේය. මෙම මස 27 වැනිදා එහි සංවත්සර සැමරුම සිදු කරමින් විශේෂ කටයුත්තක් කිරීමට ද නියමිතය.

ජානකී 27 වැනිදා සිදුවන දේ පසුව දැන ගත්තොත් හොඳයි කියා මට හිතුණා. ප්‍රථමයෙන් අරකවිල පදනම ගැන නොදන්නා අයට දන්වා සිටිමු?

අරකවිල පදනම ආරම්භ වන්නේ හේතු කාරණා කිහිපයක් මත. අදින් වසර දහයකට ප්‍රථම මා දේශකයකු වශයෙන් රට වටා ගියා. බොහෝ ළමයින් පිරිසක් මුණ ගැහුණා. එයින් බහුතරයක් අපේ දේවල් දන්නේ නැහැ. අපේකම දන්නේ නැහැ. මං පොඩි ටෙස්ට් එකක් කළා අපේ බෙර පදයකවත් දන්නවද කියලා බලන්න. අභාග්‍යයකට එහෙම දෙයක්වත් දන්නේ නැහැ. නමුත් බටහිර සිංදුවක් ගැන කිව්වොත්, බටහිර දෙයක් ගැන කිව්වොත් ඒවා ගැන දන්නවා. මට එදා හිතුණා අපේ දේවල් ගැන හදරන්නට හැකි පදනමක් පටන් ගන්න.

අරකවිල නමින් එය ඇරැඹෙනවා?

ඔව්. මට ප්‍රධාන වශයෙන් වුවමනා වුණේ වියැකී යන අපේ සංස්කෘතිය, අපේ හැදියාව විශේෂයෙන් අපේ නර්ථන අංග ළමයින්ට උගන්වන්න. ඒක මට සාර්ථකව කරන්න පුළුවන්කම ලැබුණා. අපට පුළුවන් නම් අපේ අක්මුල් පිළිබඳ දැනුවත් ළමා පරපුරක් හදන්න ඒක අපේ රටට දැවැන්ත මානව ආයෝජනයක් වේවි.

මේ වන විට නර්ථන තරු බිහි වී තිබෙනවා. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?

මේවා ඔස්සේ අපේ නර්ථන කලාව වැරැදි මඟක යනවා කියලා මට හිතෙනවා. හැමෝටම ඕන තරුවක් වෙන්න. එවැනි වැඩ සටහන්වලට සහභාගී වන අය නර්ථන අංග නෙවෙයි ඉදිරිපත් කරන්නේ. එවලෙට අවශ්‍ය විදිහට නැටුමක් හදාගෙන ජනතාවට පේන්න ඒක වේදිකාවේ ඉදිරිපත් කරනවා. ඒවායින් දින්නට පස්සේ ලැබෙන ජනප්‍රසාදය ගැන පමණයි හිතන්නේ. වැඩි වශයෙන් ඒවට යොමු වෙන්නෙත් ඒකයි. මේවා නරඹන ඇතැමුන් හිතන්නේ මේක තමයි නර්ථනය කියන්නේ කියලා.

ඔබ පදනමෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රියැලිටි තරුවලට යවන්නේ නැති හැඩයි?

ඔව්. මම ඒවට යවන්නේ නැහැ.

වර්තමාන වටපිටාව මත ළමයින්ගේ මවුපියන් බලපෑම් කරන්නේ නැද්ද ළමයින්ව ඒවාට යොමු කරන්න කියලා?

ඔය ප්‍රශ්නෙත් එක්ක මට විඳින්න සිදුවන අත්දැකීමක් මතක් වුණා. දිනෙක එක අම්මා කෙනෙක් දරුවකුව රැගෙන මං ගාවට ඇවිත් අහනවා ළමයට නර්ථනය ඉගෙන ගන්න කොච්චර කල් යනවද කියලා. මං කොහොමද නිශ්චිතව ළමයකුව නර්ථනය උගන්වන්න යන කාලය කියන්නේ. අපි වසර ගණනාවක් එක ළමයකුට නර්ථනය උගන්වනවා. ඒත් නිශ්චිත කාලයක් නැහැ. මං ඒ මවට කිව්වා වසර කිහිපයක් යයි කියලා. එයා ගත් කටටම කිව්වානෙ මට එච්චර කල් ඉන්න බැහැ. මාස දෙකෙන් නර්ථනය උගන්වන්න බැරිද කියලා.

ඔබ පදනම මඟින් දිළිඳු දුවා දරුවන්ට උදවු කරනවා කියලා දැනගන්නට ලැබුණා?

ඔව්. තෝරා ගත් ළමුන් තිස් දෙනෙකුට අපි උදවු කරනවා.

අරකවිල පදනමේ සංවත්සරය වෙනුවෙන් කරන විශේෂ කටයුත්ත ගැන මතක් කළොත්?

මෙම මස 27 වැනිදා එනම් එන සෙනසුරාදා සවස තමයි එය සිදු වන්නේ. ඉංගිරිය නව රංග ශාලාවේදී අප උත්සවයක් පවත්වනවා. අප මේ මාසය පුරාම විවිධ තරඟ ඉසව් පැවැත්වූවා. එහි ජයග්‍රාහකයින්ට සම්මාන දෙනවා. දානමය පිංකමකුත් පැවැත් වෙනවා. මගේ දියණිය අනුපමාගේ ග්‍රන්ථයකුත් එදින එළි දක්වනවා.

ඔබ කිසිම කෙනෙකුගෙන් උදව්වක් පදව්වක් නැතිව නෙවෙයි නේද මේ පදනම පවත්වාගෙන යන්නේ?

මේ වන විට රජයෙන්වත් කිසිම පෞද්ගලික ආයතනයකින්වත් අප උදව්ගෙන නැහැ. මගේ මහත්තයාගේ මුදල් සහ අපට එන ආදායම්වලින් තමයි මේ සඳහා අප වැය කරන්නේ. ඉදිරියටත් එහෙම වේවි.

ඔබගෙන් පසුව?

මට තියෙන එකම බය ඒක තමයි. අපි නැති කාලෙක මේක පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක. ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් සකස් කරමින් සිටිනවා. අපේකම පිළිබඳ හැදෑරිය හැකි කෞතුකාගාරයක් අප හදන්නට උත්සාහ කරනවා. එමඟින් ලැබෙන ආදායමෙන් තව බොහෝ කාලයක් මෙතැන පවත්වාගෙන යන්නට හැකි වේවි කියලා අපේක්ෂා කරනවා.

අරකවිල පදනම මේ වන විට ලබාගෙන ඇති ජයග්‍රහණ මොනවාද?

ඉකුත් වසරකදී අප වේදිකා ගත කළා පටාචාරා නමින් නෘත්‍ය නාට්‍යයක්. එය අපොස උසස් පෙළ විෂය නිර්දේශයට නිර්දේශ වුණා. එය විශ්වවිද්‍යාලයීය විෂය නිර්දේශයටත් ඉදිරියේදී ඇතුළත් කරන බව අපට දන්වලා තියෙනවා ඒක.

අරකවල පදනමට එකතු වන්නට හැකි අන්දමත් මතක් කරමු?

www.adtf.lk වෙබ් පිටුවෙන් අප හා එකතු වන්නට පුළුවන්. 0112759721 තමයි අපේ දුරකතන අංකය.