වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

Bollywood

කාජල් - ශාරුක් - රාණි Kuch Kuch Hota Hai ආලියා - රන්බීර් - ජාන්වි

මේ වන විට බොලිවුඩයේ ජනප්‍රිය සිනමාකරුවෙකු ලෙසින් නමක් දිනා සිටින කරන් ජොහාර්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වූයේ 1998 වසරේ තිරගත කෙරුණු Kuch Kuch Hota Hai චිත්‍රපටය යි. ඔහු විසින්ම තිරරචනය කළ එහි ශාරුක් ඛාන්, කාජල් සමඟින් රාණි මුඛර්ජි ප්‍රධාන චරිත නිරූපණය කළා. බොලිවුඩ් සිනමාවේ රසික ආදරය දිනූ ප්‍රේමණිය චිත්‍රපට අතර Kuch Kuch Hota Hai චිත්‍රපටයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයක්.

1999 වසරේ ඉන්දීය ජාතික සම්මාන උලෙළේ සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ සම්මාන රැසකට හිමිකම් කියූ Kuch Kuch Hota Hai චිත්‍රපටය පසුගියදා සිය 20 වැනි සංවත්සරය ඉහළින් සමරනු ලැබුවා. කරන් සමඟින් ශාරුක්, කාජල්, රාණි සමඟින් බොලිවුඩ් තරු රැසක් එයට සහභාගි වී සිටියා. එහිදී සුබ පැතුම් අතරේ Kuch Kuch Hota Hai චිත්‍රපටය යළි ප්‍රතිනිර්මාණ කිරීමට කරන් වෙත යෝජනාවක් ඉදිරිපත් වී තිබුණා.

මීට පෙරදීත් ගුවන්විදුලි වැඩසටහනක් අතර රසිකයෙකු කරන් ගෙන් මෙහි දෙවැන්නක් නිර්මාණය කිරීම පිළිබඳ විමසා සිටියා. එහිදී ඔහු පැවසූයේ Kuch Kuch Hota Hai යළි ප්‍රතිනිර්මාණය කරන්නේ නම් හෝ එහි දෙවැන්නක් නිර්මාණය කරන්නේ නම් ආලියා භාත්, රන්බීර් කපූර් සහ ජාන්වි කපූර් අනිවාර්යයෙන් එහි සිටිනා බවයි.


තමිල්නාඩු දේශපාලනයේ අනාගත තරුව

ලොව කිසිම රටක නොවන පරිද්දෙන් වසර පනහකට ආසන්න කාලයක් පුරා තමිල්නාඩුව පාලනය කෙරුණේ දකුණු ඉන්දීය සිනමාවෙන් ජනතා හදවත් දිනූ තරු විසින් විම සුවිශේෂත්වයකි. 1969 වසරේදී මදුරාසි ප්‍රාන්තය තමිල්නාඩුව ලෙසින් නම් ලද පසුව තමිල්නාඩුවට පත් වූ මහ ඇමතිවරුන් අතරින් වර්තමාන මහ ඇමති කේ. පලනි ස්වාමි ඇතුළුව තිදෙනෙකු හැර එදා මෙදාතුර බිහි වූ සෑම මහ ඇමතිවරයෙකුම දේශපාලනයට පිවිසියේ සිනමාව හරහාය. මෑත කාලීනව දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුව රජ්නිකාන්ත් සහ කමල් හසන් ද දේශපානයට පිවිසිම පිළිබඳ නිවේදන නිකුත් කළා.

දකුණු ඉන්දීය සිනමාවේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා සිටින විජේ හෙවත් ජෝෂප් විජේ චන්ද්‍රසේකර් ද ඉදිරියේදී දේශපාලනයට පිවිසෙන බවට ඉඟියක් පළ කළා. ඒ චෙන්නායිහි පැවති ඔහුගේ නවතම සිනමා නිර්මාණය Sarkar චිත්‍රපටයේ ගීත එළිදැක්වීමකදීයි. තමා මහඇමතිවරයකු වුවහොත් අවංකව සේවය කරන බවටත් මේ වන විට තමිල්නාඩු දේශපාලනයේ ඇති වී තිබෙන දූෂිත බව තුරන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත් ඔහු සිය කතාවේදී පවසා තිබුණා. 44 හැවිරිදි විජේ කොලිවුඩයේ ඉහළම මුදලක් අය කරන නළු ලැයිස්තුවේ ඉහල ස්ථානයකට හිමිකම් කියනවා. විජේ සමඟින් කීර්ති සුරේෂ්, වරලක්ෂ්මි සරත්කුමාර්, යෝගි බාබු, රාධා රවි රඟන ඒ. ආර් මුරුගදාස් අධ්‍යක්ෂණය කළ Sarkar චිත්‍රපටය ලබන නොවැම්බර් මාසයේදී තිරගත කිරීමට නියමිතයි.


 

බ්ලැක් විඩෝටත් ඉහළ ගෙවීමක්

නතාෂා රුමනොෆ් හෙවත් බ්ලැක් විඩෝ මාර්වල් සිනමා විශ්වයේ වීරවරියක්. 2010 වසරේ දී තිරගත කෙරුණු Iron Man 2 චිත්‍රපටයේ පටන් ඇයගේ හැකියාවන් සිනමා ලොවේදී දැකගන්න හැකි වුණා. The Avengers (2012),Captain America: The Winter Soldier (2014),Avengers: Age of Ultron (2015), Captain America: Civil War (2016),Avengers: Infinity War (2018) චිත්‍රපටවල මෙන්ම ඉදිරියේදී නිකුත් කරන්න නියමිත නවතම ඇවෙන්ජර්ස් චිත්‍රපටයේදීත් බ්ලැක් විඩෝගේ දස්කම් දැක ගන්න පුළුවන්. බ්ලැක් විඩෝගේ චරිතයට පණ පොවන්නේ අමෙරිකානු නිළි ස්කාර්ලට් ජොහැන්සන් විසින්.

මුල් කාලයට වඩා වර්තමානය වනවිට බ්ලැක් විඩෝ වෙත කරන ගෙවීම් ඉහළ බව හොලිවුඩයෙන් වාර්තා වෙනවා. ඒ ගෙවීම කැප්ටන් අමෙරිකා වෙනුවෙන් ක්‍රිස් එවන්ස් සහ තෝර් චරිතය වෙනුවෙන් ක්‍රිස් හෙම්ස්වර්ත් වෙනුවෙන් කරන ගෙවීම්වලට සමාන බවත් පැවසෙනවා. එය අමෙරිකානු ඩොලර් මිලියන 15ක් බවයි කියවෙන්නේ. මේ විදියට බ්ලැක් විඩෝගේ ගෙවීම් ඉහළ දමන්නට හේතුව ඇය වෙනුවෙන්ම වෙනම චිත්‍රපටයක් නිර්මාණය වීමයි. 2012 වසරේදී ඇය වෙනුවෙන් කළ අංක 7ක ගෙවීම පිළිබඳ එමා ස්ටෝන්, නටාලි පෝර්ට්මන්, ජෙනිෆර් ලෝරන්ස් වැනි 'ඒ' ශ්‍රේණියේ නළු නිළියන් අතර ලොකු කතා බහකුත් ඇති වෙලා. ඒ කතාබහත් මෙම ඉහළ ගෙවීමට බලපෑම් කරන්න ඇති බවටත් හොලිවුඩයෙන් ආරංචි ගෙන එනවා.