වර්ෂ 2018 ක්වූ  ජූලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් නම් NEWS  විතරයි

දැන් නම් NEWS  විතරයි

SASIKALA KANDABODAARACHCHI

පළමුව ජාතික නාළිකාව හරහා ඇයව අපි දුටුවෙමු. අනතුරුව ස්වාධීන රූපවාහිනියට ඇගේ ප්‍රවිෂ්ටය සිදු විය. වත්මනෙහි ඇයව අපට දක්නට ලැබෙන්නේ හිරු නාලිකාවෙනි.

සසිකලා කඳුබොඩආරච්චි.

මේ මෙවර අප ඔබ හමුවට කැඳවාගෙන ආ නිවේදිකාවයි.

සසිකලා. ජාතික නාලිකාවට ඔබ එකතුවූ ආකාරය ගැන සඳහනක් කළොත්?

මං අපොස උසස් පෙළ කරලා කෙළින්ම මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වුණේ නැහැ. පෞද්ගලික ආයතනයක සේවය කළා. හැබැයි මං එතැන හිටියේ කැමත්තකින් නොවෙයි. මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමමයි අපේක්ෂා කළේ. ඔය අතරේ මට දැනගන්නට ලැබෙනවා ජාතික නාළිකාවට අලුතින් අය බඳවා ගන්නවා කියලා. ඒ ඔස්සේ මං අයැදුම් කළා. මේ වෙලාවේ මතක් කළ යුතුයි සුමේධ අතුලසිරි මහත්මයාව. ඔහු අද ජාතික නාලිකාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්. සුමේධ මහත්මයා තමයි එවකට මාව ඉන්ටර්විව් කළේ.

කොපමණකල් ඔබ එහි සේවය කළාද?

අවුරුදු තුනහමාරක් මං එහෙ හිටියා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. නිව්ස් විතරක් නෙවෙයි මං වෙනත් ප්‍රෝගෑම් පවා කළා. රිදම් චැට්, දේශපාලන වැඩසටහන් ඒ අතරින් විශේෂයි. ඊට පසුව මං ස්වාධීන රූපවාහිනියට ආවා.

එම නාලිකාවෙත් ඔබ ප්‍රවෘත්ති පමණක් නොවෙයි නේද ඉදිරිපත් කළේ?

ඔව්. වර්ල්ඩ් කැෆේ ආදිය වැඩසටහනුත් කළා.

නමුත් ඔබ හිරු නාලිකාවේ ඉදිරිපත් කරන්නේ ප්‍රවෘත්ති පමණයි.

ඒ නාලිකාවේ නීතියක් තියෙනවා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන අයට වෙනත් වැඩසටහන් කරන්න බැහැ කියලා. ඉතින් ආයතනික රූල්ස්වලට ගරු කරන්න එපායැ.

ඒත් ඔබේ හැකියාව අපතෙ යනවා කියලා හිතෙන්නෙ නැතිද?

එහෙම නීතියක් තියෙනවා කියලා දැනගෙන තමයි මං හිරු නාලිකාවට ආවෙ. එක අතකින් මං මෙහෙ පහසුවෙන් වැඩකරන්නෙ. ප්‍රවෘත්ති පමණක් ඉදිරිපත් කළා කියලා ගැටලුවක් නැහැ.

ඔබේ මතයට අනුව ප්‍රවෘත්ති ඉදිරිපත් කරන නිවේදක නිවේදිකාවන් වෙනත් වැඩසටහන් මෙහෙයවීම හොඳද නරකද?

හොඳයි වරදක් නැහැ. හැබැයි හැම වැඩසටහක්ම මෙහෙයවන්න හොඳ නැහැ. විශේෂයෙන්ම විනෝදාස්වාදය සපයන වැඩසටහන් ප්‍රවෘත්ති කියන අයට ගැලපෙන්නෙ නැහැ. කාලීන වැඩසටහන් වගේ මෙහෙයවූවාට කමක් නැහැ.

මේ වනවිට ඔබේ මාධ්‍ය ජීවිතයට වයස කීයද?

අවුරුදු දහයයි.

මේ කාලය අතරතුර ඔබට විඳින්නට ලැබුණු අමතකනොවන අත්දැකීම මොකක්ද?

එකමඑකයි තියෙන්නෙ. ඒ මං මුලින්ම ප්‍රවෘත්ති කියපු දවස. මට හාහාපුරා කියලා ලැබෙන්නෙ ප්‍රධාන ප්‍රවෘත්ති බුලටිං එකක්. සාමාන්‍යයෙන් එහෙම වගකීමක් අලුත්ම කෙනෙකුට ලැබෙන්නෙ නැහැ. එදා මං කිසිම වචනයක්වත් වරද්ද ගන්නෙ නැතුව මං ප්‍රවෘත්ති කිව්වා.

රාජ්‍ය ආයතන දෙකකින් පසුවයි ඔබ පෞද්ගලික ආයතනයකට සේවය කරන්න ඇවිත් තිබෙන්නෙ. මොනවගේ වෙනසක්ද ඔබට දැනෙන්නෙ?

ඇත්තම කතාව රාජ්‍ය ආයතනයක සේවය කරද්දි යම්තාක්දුරකට අපට සීමාවෙන්න සිදුවෙනවා. ඇතැම්විට එය දේශපාලනික හිරවීමක් වෙන්න පුළුවන්. නමුත් හිරු නාලිකාව මීට හාත්පසින්ම වෙනස්. අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව සීමාවක් රහිතයි. මාධ්‍යවේදිනියක් විදිහට මං ඒ නිදහසට ප්‍රියයි.

කටහඬ රැකගන්නට මොනවාගේ උපක්‍රමද භාවිත කරන්නෙ?

දවස ගානෙ මං වොයිස් ට්‍රේනිං කරනවා. කවදාවත් අතපසු කරන්නේ නැහැ. හඬ තමයිනෙ වැදගත්.

එතකොට රුව?

රුවත් වැදගත් තමයි. එනිසා ඒ ගැන කොහොමත් සැලකිලිමත් වෙනවා. ඔක්කෝටම වඩා හඬ ගැනයි වැඩි උනන්දුව.

ඔබට අභියෝගයක් වෙච්ච නිවේදිකාවො ඉන්නවද?

අභියෝගයක් වෙච්චි අයව අභියෝගයක් සේ නොසලකන කෙනෙක් මං. ඒ අභියෝග ලද තැන්වල නැවති නැවති හිටියානම් මට මගේ ගමන යන්න බැරිවෙනවනෙ.

ඔබට පසු පරපුරේ ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන්ගෙ ඔබ දකින දුර්වලතා මොනවද?

මං මේ කතා කරන්නෙ බහුතරයක් ගැන නෙවෙයි. අතලොස්සක් දෙනා ගැනයි. මං කියන්නෙ. ඒ අය බොහෝවිට උත්සහ කරන්නෙ කැමරාව ඉදිරියට ඇවිත් ජනප්‍රිය වෙන්න. ඒ හේතුවෙනුත් සමහරු ප්‍රවෘත්ති කියන්න එනවා. ඒ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම අතිශය සරලයි කියලා හිතන නිසා. එහෙම නොවී ඉන්නවානම් හොඳයි. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ලොකු වගකීමක්. එසේ මෙසේ එකක් නෙවෙයි.

නිවේදන ජීවිතයේ කට්ටකෑම අවස්ථා මොනවද තියෙන්නෙ?

අම්මෝ. එහෙම අවස්ථානම් ගොඩයි. ඒ සෑම මොහාතකම මං ජීවිතයට අත්දැකීම් එකතුකරගත්තා. වැටි වැටී නැගිටින ජීවිතය තමයි රසවත්. එහෙමනේද?

සසිකලාගෙ පදිංචිය කොහොද?

මං ගොතටුවෙ.

ඉගෙනගත් පාසලත් මතක් කරමු.

නුගේගොඩ අනුලා විදුහල

මොනවද ඔබේ ටාර්ගට්?

හොඳ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ජනතාව අතරේ රැඳීම තමයි එකම ඉලක්කය.