වර්ෂ 2018 ක්වූ  ජූලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝති සමරුවට ප්‍රදර්ශනයක්

ජෝති සමරුවට ප්‍රදර්ශනයක්

අසාහය ගායක එම්.ආර්. ජෝතිපාලයන් ගායනා කළ ඉතා දුර්ලභ එම්.එම්.පී. කොලොම්බියා, පිලිප්ස්, ග්‍රැමෆෝන් ගී සහ 80 දශකයේ වෙනත් ලේබල් මගින් නිකුත් වූ ගීත තැටි, චිත්‍රපට විස්තර ඔහුගේ සජීවි ගීත දර්ශන, පැරැණි ඡායාරූප, පැරැණි සිනමා සඟරා, පුවත්පත් වලින් උපුටා ගත් රසවත් සිදුවීම් වලින් සමන්විත ඉතා දුර්ලභ සංස්කෘතික ප්‍රදර්ශනයක්. ඔහුගේ 31 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් මෙම මස 07 සහ 08 යන දිනයන් හි කොළඹ 07 මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. එදිනම උදෑසන 9ට බොරැල්ල සුසාන භූමියේදී ජෝති ගී සෑයට පුෂ්පෝපහාරයක් ද සිදුකෙරේ. මේ සඳහා සහභාගීවන්ත යැයි ජෝති රසික රසිකාවන්ට ජෝති පදනම මගින් ආරධනා කෙරේ. ජෝති සමරු ප්‍රදර්ශනයහි සංවිධායක ලෙස තිලක් චන්ද්‍රසේන වැලිකල කටයුතු කරයි.


 “මා” කලා උලෙළ 12 සිට 15 දක්වා ගිරිඋල්ලේදී

ගිරිපුර මහා කලා ජම්බෝරිය ‘මා’ කලා උලෙළ මෙම 12 සිට 15 දක්වා ගිරිඋල්ල කමතේදී උදේ 10.00 සිට රාත්‍රී 10.00 ය තෙක් පැවැත්වේ.

චිත්‍රා ඡායරූප මුර්ති, ඩිජිටල් ආර්ට්, වැඩමුළු පොත් ප්‍රදර්ශන, අධ්‍යාපනික වැඩසටහන්, ටෙලි නාට්‍ය හා චිත්‍රපට සඳහා ළමා නළු නිළියන් තේරීම, හා දිනපතා රාත්‍රී 8.00සිට සම්මානණීය චිත්‍රපට ප්‍රදර්ශනය ද සිදුකෙරේ.

‘මා’ කලා උලෙළ ඉදිරිපත් කිරීම සහ සංවිධානය Feather Art Academy විසිනි. වැඩි විස්තර 070 2470877 සොඳුරු ලොකු පෝතාගම ඇමතීමෙන් ලබාගත හැකිය.


මිස්ටර් චන්ද්‍රමෞලි අද සිට

ජනපි‍්‍රය දමිළ නළු කාර්තික් ප්‍රධාන චරිත මවන මිස්ටර් චන්ද්‍රමෞලි දමිල සිනමා පටය අද සිට සී.ඊ.එල්. මණ්ඩලයේ සිනමාශාලාවන් හිදී තිරගත වීම ඇරැඹින. කාර්තික්, ගෞතමි කාර්තික්, රෙජිනා කා සන්දු වරලක්ෂමී සරත් කුමාර්, ජේ මහේන්ද්‍රන් සතිශ් ඇතුළු පිරිස මෙහි රංගනයේ යෙදෙති.


 මැද පෙරදිග දැවැන්ත සංගීත ප්‍රසංගය ජූලි 6 දා

මැදපෙරදිග ඩුබායි රාජ්‍යයේ සෑම වසරකම වසර මැද පැවැත්වෙන දැවැන්තම සංගීතමය ප්‍රසංගය සඳහා මෙවර පර්පල් රේන්ජ්් සහභාගිවීමට නියමිතය. ඩුබායි අල් නසාර් ලෙෂලෑන්ඩ්හි එළඹෙන ජූලි මස 06 වැනිදා මෙය පැවැත්වෙනු ඇත. චාමර වීරසිංහ, ජින්ජර්, කවීෂ කවිරාජ්, එම්. ජී. ධනුෂ්ක, මිතිල ලංකාගේ, හිරොම් රත්නායක, දහම් මානගේ, රොකී සේරම්, රයන් වැන්රෝයන්, ජිත්මිණි බිමන්දි සමඟින් සීදූව බ්‍රාවෝ මහී මහේෂ් ගීතවත්වනු ඇත. සුමිත් කරුණාරත්න නිවේදනයෙන් දායකවේ. මෙම ප්‍රසංගය සමන් කුමාරගේ සම්බන්ධීකරණයකි.


යටගිය දවස බටහිර ගී හෙට

ඩවුන් මෙමරි ලෝන් බටහිර සාමුහික ගයනා රැගත් සංගීතමය ප්‍රසංගයක් මෙම මස 08 වැනිදා මොරටුව රන්දිය හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ. නලීනි සහ ශාමිලා ප්‍රමුඛ සටාර් කමිබිනේෂන් සංගීත කණ්ඩායම මගින් මෙහි සංගීතය මෙහෙයවනු ලබයි.


මෛත්‍රී පනාගොඩගේ නවතම ගීත එකතුව 11 වැනිදා

හැත්තෑව දශකයේ ගුවන් විදුලිය ඇසුරෙන් බිහි වූ ගී පදරචකයකු කවියකු මෙන්ම ලේඛකයකු ද වු මෛත්‍රි පනාගොඩගේ නවතම කාව්‍ය සංග්‍රහයක් සහ ගීත සංයුක්ත තැටි යුගලයක් ජනගත කිරීමේ උළෙලක් මෙම මස 11 වැනිදා සවස 4ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනු ඇත. එදා ගුවන් විදුලිය තුළින් ඉමහත් ජනපි‍්‍රයත්වයට පත් සුදුවැලි මතුපිට (නිරංජලා සරෝජනි) පාවී පාවී මේ එන්නේ (ටී.එම්) හෙට උපදින පුංචි පුතේ (නීලා) මම යනවා. ජාතික රණ බිම වෙත (ජෝති) වැනි ගීත රාශියක් රචනාකොට ඇති මෛත්‍රී මීට ප්‍රථම ඔහුගේ ගීත ඇතුළත් සංයුක්ත තැටියක් සුදු වැලි නමින් නිකුත් කරන ලදී. ළා හිරු රැස්, සහ හිරු මඩල හිනැහෙනවා යනුවෙන් ඔහුගේ ළමා ගීත සංකල්පනා රැසක් සංයුක්ත තැටි දෙකක් ද වෙයි.

ෙමෛත්‍රීගේ නවතම ගීත රැගත් මහමෙර සේ සංයුක්ත තැටි යුගල සහ හද මුමුණා හඬ කාව්‍ය සංග්‍රහය දොරට වඩින මෙම උළෙලේ දී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිටබණ්ඩාර, ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා ඇගයුම් දෙසුම් පවත්වන අතර සරත් කෝන්ගහගේ කෙටි අදහස් දැක්වීමක් ද සිදුකෙරේ.

මහාචාර්ය සනත් නන්දසිරි, වෛජයන්ත සිරිවර්ධන, චාමික සිරිමාන්න සචින්ත පනාගොඩ සහ ජගත් වික්‍රමසිංහ සමඟ විශාරද අනුරාධා නන්දසිරිත් සිසු දරුවන්ගේ මෙහිදී ගැයුම් ඉදිරිපත් කරනු ඇත. විශාරද ජගත් වික්‍රමසිංහ සංගීතය මෙහෙයවනු ලබයි. සමන් ආතවුදහෙට්ටි උත්සව සභාව නිවේදනයෙන් මෙහෙයවනු ඇත. මහ මෙර සේ තැටි යුගල මෛත්‍රී පනාගොඩ ගේ නිෂ්පාදනයක් වන අතර හඳ මුමුණන හඬ කාව්‍ය සංග්‍රහය සරසවි ප්‍රකාශනයකි.


ලූෂන් වෙස්මූණු ගලවයි

සම්මානනීය කලාකරු ලුෂාන් බුලත්සිංහලගේ නවතම නාට්‍ය නිර්මාණය වෙස්මූණු ගලවන්න මෙම මස 12 සහ 13 යන දිනයන්හි ලයනල් වෙන්ඩ්ට් ශාලාවේදී වේදිකාගත වේ.

ප්‍රභාත් චින්තක, දිලුෂා ලක්ෂානි, ඉෂාරා සෞභාග්‍ය, ඉෂාන් කුලතිලක, භානු ප්‍රභාෂ, දිලිප් රෝහණ ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රංගන දායකත්වය සපයති. වෙස් මූණු ගලවන්න වෛද්‍ය රංජීත් පතිරණගේ නිෂ්පාදනයකි. සංගීතය හර්ෂ බුලත්සිංහල විසින් සපයා ඇත. එම්. සෆීර් මෙහි නළු නිළියන් වෙනුවෙන් වැඩමුළු මෙහෙයවා තිබේ.


 අතුල සෝමසිරි අභාවප්‍රාප්ත වෙයි

පැරැණි ගායනා ශිල්පියකු වන අතුල සෝමසිරි අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 79කි. ගුවන් විදුලියේ ළමා මණ්ඩපය ඔස්්සේ ගායන ලොවට පිවිසි අතුල 1968 වසරේ සිට සරල ගී ගායකයකු ලෙස කටයුතු කරන ලදී. තිදරු පියකු වූ ඔහු වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියකි. අතුල ගේ අවසන් කටයුතු පසුගිය දා බොරැල්ල සුසාන භුමියේ දී සිදු කෙරිණි. අතුල 70දශකයේ ගැයූ ගී අතිශය ජනාදරයට පත්විය. ඔහු වේදිකාවේ නාට්‍ය සංගීතඥයෙකු ලෙස ද කීර්තියට පත් වූවෙකි. ගායිකා ලලිනි සෝමසිරි අතුලගේ භාර්යාව විය. නිහාරී සෝමසිරි අතුලගේ දියණිය වේ. ධනංජය සෝමසිරි ඔහුගේ පුත්‍රයාය.


පාස්පෝට් වැඩ අරඹයි

ක්‍රිස් ඇන්ටනි තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන පාස්පෝර්ට් සිනමා පටයේ මුහුරත් උළෙල පසුගිය දින පුස්තකාල හා ප්‍රලේඛනාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. පාස්පොර්ට් සිනමාපටයේ නිෂ්පාදකවරයා වන්නේ ඩබ්ලිව්. සෝමසිරි රාජසුරිය, විධායක නිෂ්පාදනය සමීර ද සිල්වා, සංගීතය, ඩෙන්සිල් සේනාධීර, ඇඳුම් නිර්මාණය සවන් පවිත්‍ර, සහය අධ්‍යක්ෂණය. ප්‍රනිත් ගුණරත්න, කලා අධ්‍යක්ෂණය අරුණ ඩයස් සංස්කරණය - ශාන් අල්විස්, නිෂ්පාදන කලමනාකරණය ආර්. සරවන් ලලිත් රාජපක්ෂ, සුමිත් ජයරත්න වේ.

ජගත් චමිල, ධර්මපි‍්‍රය ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, දර්ශන් ධර්මරාජ් නයනතාරා වික්‍රමරච්චි, මල්කාන්ති ජයසිංහ, රෝෂාන් පිලපිටිය, පි‍්‍රයන්ත සෙනෙවිරත්න අතුල ජයසිංහ රංගනයෙන් දායක වෙති. ක්‍රිස් ඇන්තනි නිර්මාණය කරන බාඳුරා චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි.


එස්. කරුණාරත්න මියයයි

නාට්‍යවේදී එස්.කරුණරත්න අභාවප්‍රාප්ත විය. හැටේ දශකයේ බුහුමන් සොයා නාට්‍ය වෙනුවෙන් ශෛලිගත හොඳම නාට්‍යකරුවා වූ ඔහු ගුත්තිල මුසිල, අකල් වැස්ස, හිරු අවරට, එරබදුමල්, පොට්ටු පිපිලා ආදී නිර්මාණයෙන් වේදිකාවට ගෙන එන ලදී. රංගන ශිල්පියකු වශයෙන් ද එස් කරුණාරත්න වේදිකා නාට්‍ය කිහිපයකම රඟ පැවේය. ටයිටස් තොටවත්තයන්ගේ සිහසුන, මංගලා, සාගරිකා ආදි සිනමාපටයන්හි සහාය අධ්‍යක්ෂකවරයා වූ එස්.කරුණාරත්න සම්මානනීය නාට්‍ය රැසක පරිවර්ථකයා වශයෙන් ද කටයුතු කෙරුවේය. වසර තිස් හතකට ආසන්න කාලයක් මහබැංකුවේ සේවය කරන ලද ඔහු මිය යන විට වයස අවුරුදු 78 විය.