වර්ෂ 2018 ක්වූ  ජූලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




අද මඟ දිගට රස කතා රෝයි ද සිල්වා

අද මඟ දිගට රස කතා රෝයි ද සිල්වා

ලෝකේ ඉන්න සුන්දරම කලාකරුවෙක් කවුද කියලා ඇහැව්වොත් මට මුලින්ම තියෙන්නේ එකම එක උත්තරයයි. ඒ රෝයි ද සිල්වා.

රොනී ලීච් තම අතිශය සමීපතමයා ගැන එහෙම කිව්වේ හදවතින්මයි. මේ වනවිට කලා ලොවම කම්පනයෙන් යුතුවයි සිටින්නේ. ඒ රෝයිගේ වියෝව නිසා. ක්ෂේත්‍රයට කලාතුරකින් බිහිවන කලාකරුවකු ලෙස රෝයිව හැඳින්නුවාට වරදක් නැහැ. ඒ හින්දම අද මඟ දිගට රස කතා පිටුව ඔහු වෙනුවෙන් වෙන් කරන්නට හිතුවා. රෝයි ගැන කතා කරන්න ඇති දේ බොහොමයි. ඒ අතරින් අමතක නොවන සිදුවීම් ද බොහොමයි. දවල් මිගෙල් රෑ ඩැනියෙල් ධ්ධ් රූපගත කිරීමකදී රෝයි රොනී ලීච්ට කිව්වලු ස්විමිං පූල් එකක් ගාවින් බයිසිකලය පැදගෙන එන්න කියලා. රොනී වතුරට ටිකක් එහායින් ඉඳලා බයිසිකලය පැදගෙන එන්න හැදුවලු. රෝයිගේ මුහුණ හරි නැහැ.

ඔතන නෙවෙයි, පූල් එකේ අයිනෙන්ම එන්න. රෝයි එහෙම කියද්දී අධ්‍යක්ෂවරයාට අවනත වෙන්න ඕන නිසා රොනී පූල් එකේ අයිනෙන්ම බයෙන් බයේ බයිසිකලය පැදගෙන ආවලු. ඇයි ඉතින් වැටුණොත් වතුරෙනෙ. සීන් එක ඉවර වෙලා රොනී රෝයි ගාවට ගියාලු.

ඇයි මට පූල් එකේ අයිනෙන්ම එන්න කිව්වෙ. වැටුණ නම් එහෙම . . . මං නානවා.

රොනී මොකට බය වෙනවද මං දන්නවනෙ උඹට පීනන්න පුළුවන් කියලා. ඒකයි අයිනෙන්ම එන්න කිව්වේ.

හිනාවෙවී රෝයි එහෙම කිව්වලු. රෝයිගේ කොණ්ඩය ගැන බොහෝ දෙනෙකුට ගැටලුවක් තිබුණා. ඇතැම් දෙනා හිතාගෙන ඉඳලා තියෙනවලු බම්ප් එකක් සහිත ඒ කොණ්ඩය බොරු එකක් කියලා. දිනක් අප ක්ෂේත්‍රයේම නළුවෙක් ළඟින් යන ගමන් ඇද්දලු රෝයිගෙ කොණ්ඩයෙන්. රෝයිටයි අර නළුවටයි දෙන්නටම තරු පෙනුණලු. රෝයිට තරු පෙනුණේ කොණ්ඩෙ ඇදුන නිසා. අර නළුවට තරු පෙනුණේ රෝයිගේ කොණ්ඩෙ ඇත්ත එකක් නිසා. කොහොම වුණත් රෝයිගේ කොණ්ඩෙ ගැන ඊරිසියාවෙන් පසු වුණ කොණ්ඩෙන් ඇදපු නළුවට පසුකාලීනව සිය කොණ්ඩය අහිමි වුණාලු. ඒ කියන්නේ තට්ටෙ පෑදුණාලු. රෝයිගේ චිත්‍රපටවල ළමා නළු නිළියන් හිටියා. ඔවුන් පසුකාලීනව ජනප්‍රිය නළුවන් බවට පත් වුණා. ඒ අය පුංචි කාලේ රෝයිට කතා කළේ රෝයි අංකල් කියලා. එන්න එන්න ඔවුන් වැඩිහිටියන් බවට පත්වුණාමත් අර අංකල් කෑල්ල ඒ විදිහටම පාවිච්චි කළා. ඒත් රෝයි ඊට කැමැති වුණේ නැහැ.

අපේ ෆීල්ඩ් එකේ කොහෙද බං අංකල්ලා ඉන්නෙ. කතා කරපිය අයියා කියලා.

ඔන්න ඔහොමලු රෝයි අංකල් රෝයි අයියා වුණේ. එදා ඉඳලා අංකල් කියපු බොහෝ දෙනෙක් රෝයිට අයියා කියන්න ගත්තලු.

රෝයි ද සිල්වා හා හා පුරා කියලා රස්සාවකට ගිය එක පිටුපසත් හරිම රසවත් කතාවක් තියෙනවා. රෝයිගේ හිත නැවතුණේ සිනමාවේ වුණත් ඔහුගේ පියාට දැඩි වුවමනාවක් තිබුණලු රෝයිට රස්සාවක් හොයලා දෙන්න. ඒ නිසා තමන් දන්න ලොකු කම්පැණියක් තියෙන මහත්තයෙක් ගාවට රෝයිව යැව්වලු ජොබ් එකක ඉන්ටර්වීව් එකක් සඳහා. ඒකට යන්න කලින් රෝයිගේ හැටි දන්න නිසා පියා රෝයිට මෙන්න මෙහෙම කිව්වලු.

පුතේ එතැනට ගිහින් බොහොම වැදගත් විදිහට හැසිරියන්. අපේ නම්බුව තියාගෙන ආපහු වරෙන්.

රෝයි ඒ අවවාදය හිස මුදුනින් පිළිඅරගෙන. ඒ මහත්තයාව මුණ ගැහෙන්න ගිය දවසේ රෝයි හරිම විනීතව හැසිරුණාලු. බොහොම ගෞරවනීයව කතා කළාලු. ඒ ඉන්ටර්විව් එක ඉවර වෙලා පස්සෙන් පස්සටලු දොර ගාවට ආවේ. බොහොම සන්තෝසෙන් රෝයි එදා ගෙදර ආවලු. හවස පියා ඇවිත් රෝයිගෙන් විස්තර ඇහැව්වලු.

කොහොමද පුතේ ඉන්ටර්වීව් එක, උඹ හොඳට උත්තර දුන්නද.

ඔව් තාත්තේ. මං තාත්තා කියපු විදිහට විනීතව හැසිරුණා.

බොහොම හොඳයි, බොහොම හොඳයි. බලන්නකො ඒකෙත් හැටි. කොච්චර සල්ලි තියෙන මහත්තයෙක් වුණාට ඒ උන්දැට ඇස් පේන්නෙ නැහැ නොවැ.

තාත්තා එහෙම කියද්දී රෝයිට හිතා ගන්නවත් බැරි වුණාලු අච්චර වැදගත් විදිහට හැසිරුණේ අන්ධ කෙනෙකු ගාවනේද කියලා හිතලා පොඩි ලැජ්ජාවකුත් හිතට ආවලු.

රෝයි මුලින්ම රඟපෑවේ සුජාගේ රහස චිත්‍රපටයේ වුණත් ඔහු මුලින්ම රඟපාන්න ගිහින් තියෙන්නේ කුරුලු බැද්ද රඟන්න. එතැන හිටපු නළු නිළියෝ කීපදෙනෙක් පල් එකට හිනා වුණ හින්ද රෝයි දමල ගහල ගෙදර ආවලු.