වර්ෂ 2018 ක්වූ  ජූලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




අවසන් ඉනිමේ හොඳම ලකුණ

අවසන් ඉනිමේ හොඳම ලකුණ

ටානියා

මේ ඉන්නේ අවසන් ඉනිමේ තැනැත්තියක්. ඒ අවසන් ඉනිම තරගයක නම් නෙවෙයි. මේ දිනවල ජාතික නාලිකාවේ විකාශයවන ටෙලි සිතුවමක නමක් තමයි ඒ. අවසන් ඉනිමේ ඇය ටානියා. ටෙලිනාට්‍යයට වගේම ටානියාටත් හොඳ හොඳ ප්‍රතිචාර ලැබෙනවාලු. කවුද මේ ටානියා. සඳමිණි එදිරිවීර. ඇය තමයි ඒ චරිතය රඟපාන්නේ.

මුලින්ම මං ඔබෙන් අහන්නෙ මේ දවස්වල ජීවිතේ කොහොමද කියලා?

අවසන් ඉනිමෙම තමයි ගෙවෙන්නෙ. කාලෙකට පස්සෙ මං රඟපෑ හොඳ ටෙලිනාට්‍යයක්. මගෙ චරිතයට වගෙම අනෙකුත් චරිත සඳහාද ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

ටානියා කියන්නෙ මොනවගේ චරිතයක්ද?

අනිත් අයට අංචි අදින තැනැත්තියක්. ඒ වගේම කැපිලා පේන්න උත්සහ කරන කෙනෙක්.

ටානියාගේ ගතිගුණ අතරින් ඔබට සමීප කිසිවක් නැතිද?

එකක්වත් නැහැ. ටානියා මට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්.

දසුන් නිශාන්ගෙ අවසන් ටෙලිනාට්‍ය නේද මේ?

ඔව්. අනේ දසුන් අයියවත් මතක් කරන්නම ඕන. ඔහු නිසා වෙන්න ඇති මේ ටෙලිනාට්‍යයට අවසන් ඉනිම කියලා නම තියන්නත් ඇත්තේ. දසුන්ගේ චරිතය ඉවත්කරන්න සිදුවුණත් ඔහු වගේ කෙනෙකු අහිමිවීම පාඩුවක්.

රංගනයේ නියැලුණත් ඔබ ඉගෙනගන්නේ වෙනත් ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්න නේද?

ම ං නීති විදුහලේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක්. කවදා හරි ලෝයර් කෙනෙක් වෙනවා. ඒ බලාපොරොත්තුවෙන් ඉගෙන ගන්නවා. ඒ අතරෙයි මේ රඟපාන්නෙ.

එතකොට රංගනය ඔබේ විනෝදාංශයද?

නැහැ. මං විනෝදෙට රඟපාන කෙනෙක් නොවෙයි. රඟපාලා මට ජනප්‍රියත්වයක් ලැබෙනවා. මං ඒ ජනප්‍රියත්වය සමාජයේ සුභසාධන කටයුවලට යොදවනවා.

ඔබ කියපුදේ පැහැදිලි නෑ.

WE නමින් අපට කණ්ඩායමක් ඉන්නවා. අපි කරන්නෙ දුෂ්කර පළාත්වල ඉන්න දුප්පත් ළමුන්ට උදවු කරන එක. ඒ වගේ වෙලවල වලට මං යද්දි ඔවුන් මාව දැකලා බොහොමත්ම සතුටවෙනවා. ඒ හැඟීම ඇතිවන්නෙ මං ඔවුනට දැකලා පුරුදු කෙනෙක් නිසානෙ. නිළියක් විදිහට මට ලැබෙන ජනප්‍රියත්වය සමාජයේ සුභසාධනයට මං යොදවන්නෙ ඒ විදිහටයි.

ඔබව වැඩිපුරම ජනප්‍රිය කළ ටෙලි නාට්‍ය මොකක්ද?

සසර සේයා නාට්‍යයේ මං කළ චරිතය ජනප්‍රිය වුණා. මේඝා තමයි මගෙ පළමු නාට්‍ය. කොන්කළ දෝණි නාට්‍යත් මං රගපෑවා.

රඟපාලා ලැබෙන ආදායම ප්‍රමාණවත්ද?

මට ඒ ගැන දැනෙන්නෙ නැහැ. ඒ මං සල්ලි පස්සෙම යනකෙනෙක් නෙවෙයි. ඒ වගේම තෝරා බේරාගෙනයි චරිත රංගනයේ යෙදෙන්නෙ. කොච්චර මුදල් දෙන්නම් කිව්වත් මට හරිනොයන චරිත මං අතහරිනවා.

එහෙම රංගනය ප්‍රතික්ෂේප කරපු අවස්ථා මොනවද?

විශේෂයෙන් මියුසික් වීඩියෝ මං රිජෙක්ට් කළා. මට ඒ චරිත හරියන්නෙ නැහැ.

නව පරපුරේ රංගන ශිල්පියෙකු විදිහට අද හැදෙන මියුසික් වීඩියෝ ගැන මොනවද කියන්න තියෙන්නෙ?

මං ඒවා ගැන කිසිසේත්ම සතුටු වන්නෙ නැහැ.

අවසන්කොට මොනවද කියන්න තියෙන්නෙ?

මං අම්මවයි, තාත්තවයි නංගිලා තුන්දෙනාවයි මතක් කරනවා. ඔවුන් නිසයි අද මං මෙතැන ඉන්නෙ.