වර්ෂ 2018 ක්වූ  ජූලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය

ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය

අභ්‍යවකාශ අභිරහස්, විද්‍යාඥයින්ගේ පමණක් නොව සාමාන්‍ය ජනතාවගේද අවධානය යොමු වී ඇති මාතෘකාවක්. මෙරට ජීවත් වූ සුප්‍රකට තාරකා විද්‍යාඥයෙකු හා විද්‍යා ප්‍රබන්ධ රචකයෙකු වූ ආතර් සී. ක්ලාක් විසින් රචිත කෘති, ලොකු කුඩා කාගේත් අභාවකාශ චාරිකා පිළිබඳ මනදොළ සපුරාලන්නට සමත් වුණා. එම කෘතිවල එතුමා සඳහන් කළ ඇතැම් දේ පසු කාලීනව සත්‍ය බවට පත් වූ අතර වර්තමානය වන විට නවීන තාක්ෂණය භාවිත කරමින් විද්‍යාඥයින් අභ්‍යවකාශ ගවේෂණයේ යෙදෙමින් විශ්වයේ සිදු කරන විවිධාකාර පරික්ෂණවල තොරතුරු ද නිරන්තරයෙන් අපට දැන ගන්නට පුළුවන්.

සැබෑ ලොව පමණක් නොව සිනමා ලොවේදී ද අප මවිත කළ හොලිවුඩ් අභ්‍යවකාශ සිනමා නිර්මාණ අතර 2001: A Space Odyssey (1968), Alien(1979),Star Wars චිත්‍රපට මාලාව, Apollo 13(1995), Interstellar (2014) වැනි චිත්‍රපට කිහිපයක් ලෙස සඳහන් කළ හැකියි. මෙතෙක් කල් හොලිවුඩය පමණක් අභ්‍යවකාශ ගත වන විටදී දැන් ඉන්දීය සිනමාවත් එම පියවර තබා අවසන්. ඒ දකුණු ඉන්දීය සිනමා නිර්මාණයක් වන හිතේෂ් ජාබක්ගේ නිෂ්පාදනයෙන් සහ ශක්ති සෞන්දර් රාජන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කෙරුණු Tik Tik Tik චිත්‍රපටය සමඟින්. මේ අනුව Tik Tik Tik දෙමළ සිනමාපටය ඉන්දීය සිනමාවේ නිර්මාණය වූ පළමු අභ්‍යවකාශ චිත්‍රපටය ලෙසින් වාර්තා අතරට එක් වෙනවා.

Tik Tik Tik කතාව ඇරඹෙන්නේ චෙන්නායි වෙත එල්ල වන ග්‍රහක ප්‍රහාරයක් සමඟිනි. මේ පිළිබඳව පර්යේෂණ පවත්වන අභ්‍යවකාශගාමීන් හට දැන ගන්නට ලැබෙන්නේ දින හතක් වැනි කාලයක් ඇතුළත තවත් විශාල ග්‍රහකයක් පෘථිවිය කරා ඇදි එන බවයි. ඔවුන්ගේ ගණනය කිරීම්වලට අනුව එය ඉන්දියාව පිහිටි භූමියේ පතිත වී මුළු රටම විනාශවනු ඇති බවට තහවුරු කෙරේ. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ සූදානම වන්නේ විද්‍යාඥයන් පිරිසක් අභ්‍යවකාශයට යවා එම ග්‍රහකය පෘථිවියට පැමිණිමට පෙර විනාශකර දැමීමයි. මෙම කණ්ඩායමට වාසු නම් පුහුණු මැජික් සූරයෙකු ද සම්බන්ධ වේ. මෙම මැජික් සූරයා ඇතුළු විද්‍යාඥයන් පිරිස කරන්නා වූ මෙහෙයුම Tik Tik Tik ඔස්සේ රිදී තිරයේ දිග හැරේ.

ත්‍රාසජනක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන Tik Tik Tik හි මැජික් සූරයා වන වාසුගේ චරිතයට පණ පොවන්නේ දකුණු ඉන්දීය සිනමාවේ සම්මානනීය නළුවකු වන ජෙයම් රවී විසිනි. ඔහු සමඟින් නිවේතා පෙතූරාජ්, රමේෂ් තිලක් සමඟින් සිංගප්පූරු ජාතික නළු ආරෝන් අසීස් ද එක් වී සිටියි. මෙහි දුෂ්ට චරිතයට පණ පොවන්නේ ඔහු විසිනි. 26 හැවිරිදි නිවේතා පෙතූරාජ් මෙහි රංගනය තෝරා ගැනීමට ඇය සතු ආත්මාරක්ෂක සටන් කලාව පිළිබඳ පුහුණුව විශේෂ සුදුසුකමක් වී ඇත. මෙහි වාසුගේ පුතු වන රවීගේ චරිතයට පණ පොවන්නේ ජෙයම් රවීගේ පුතු වන හත් හැවිරිදි ආරව් විසිනි. එම රංගනය ආරව්ගේ පළමු සිනමා රංගනය යි.

මිනිත්තු 130කින් යුතු Tik Tik Tik චිත්‍රපටයේ මිනිත්තු 85ක් පමණ කාලයක් පුරා දිවෙන දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය වෙනුවෙන් මාස හයක පමණ කාලයක් වැයකර ඇති අතර අනෙකුත් රූගත කිරීම් චෙන්නායිහිදී සිදුකර තිබේ. බොහොමයක් ඉන්දීය චිත්‍රපටවල පරිගණක සජීවකරණ කටයුතු වෙනුවෙන් විදෙස් චිත්‍රාගාරවල සහය ලබාගත්ත ද මෙහි සියලුම සජීවකරණ කටයුතු ඉන්දියාවේදි 200ක් පමණ වූ ස්වජාතික තාක්ෂණික ශිල්පීන් විසින් නිර්මාණය කිරීම පිළිබඳ තම සතුටට පත් වන බව අධ්‍යක්ෂ සෞන්දර් රාජන් පවසන්නේය. 2016 වසරේදී ඉන්දීය සිනමාවේ දෙමළ බසින් නිර්මිත පළමු සොම්බි චිත්‍රපටය ලෙසින් Miruthan අධ්‍යක්ෂණය කළේ ද ඔහු විසින්. Tik Tik Tik තිරරචනය ද සෞන්දර් රාජන්ගේය. තිරරචනයට පෙර ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විශ්‍රාමික විද්‍යාඥයෙකුගෙන් ලබාගත් දැනුම එයට බෙහෙවින් උපකාර වූ බව ඔහු පවසයි.

Tik Tik Tik මේ වසර ආරම්භයේදී තිරගත කිරීමට නියමිතව තිබුණද ප්‍රේක්ෂක බලාපොරොත්තු සුන් කරමින් තිරගත කිරීම කල් දැමුණේ දකුණු ඉන්දීය සිනමාවේ දින 48ක් පුරා පැවති මහා වැඩ වර්ජනයට මැදී වීම හේතුවෙන්. සියල්ල යහපත් අතට හැරුණු පසු Tik Tik Tik තිරගත කෙරෙන දිනය ලෙස වෙන් කෙරුණු ජුනි 22 වැනිදා සිට එය ලොව පුරා තිරගත කිරීම ඇරඹුණි.