වර්ෂ 2018 ක්වූ  ජූලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමාවේ මාස්ටර් බ්ලාස්ටර් රෝයි ද සිල්වා

සිංහල සිනමාවේ මාස්ටර් බ්ලාස්ටර් රෝයි ද සිල්වා

මාතලේ යටවත්තේ සිංහල පාසලේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු දහයක පමණ පුංචි ළමයෙක් ගෙදර තිබූ මහා වියන් ඇඳේ එඩී ජයමාන්න රඟපෑ මනප්පුවාගේ චරිතය රඟපෑවේය. මේ 1947 වසරය. අක්කලා දෙන්නා මල්ලිගේ උදව්වට සිටියහ. අම්මාගේ පරණ සාරි කිහිපයක් අල්මාරියෙන් ගෙන මේ අක්කලා වියන් ඇඳ වටේ තිර ඇද දුන්නාහ. දැන් එය නියම වේදිකාවකි. අඟුරුවලින් රැවුලක් තියාගෙන කුඩයක් අතින් ගෙන එඩී ජයමාන්න මෙන් මල්ලී කරන රඟපෑම ගෙදර සිටි වැඩිමහල් අක්කලා අයියා මෙන්ම අම්මාත් තාත්තාත් බලා සිටියහ. හැමෝගේම සිනහ දොහොර ගොසිනි.

පුංචි නළුවෙකු වූ රෝයි ද සිල්වාගේ ප්‍රථම රංගනය බිහි වූයේ මාතලේ මහ ගෙදර වියන් ඇඳෙනි.

චකුරාර්ථ දේවදිත්‍යය ගාර්දියවසම් ළිඳමුලගේ රෝයි ඇලෝෂියස් ෆීලික්ස් ද සිල්වා උපන්නේ 1937 අගෝස්තු 30 වෙනිදා අස්ගිරි පල්ලේසි පත්තුවේ මාතලේ යටවත්තේදීය. ඔහුගේ පියා වූයේ තෝමස් ෆ්‍රැන්සිස් ද සිල්වාය. ගම මොරටුවය. අම්මාගේ නම නන්දාවතී ෆොන්සේකාය. ගම මාතලේය. තාත්තා වතු පාලකයකු ලෙස දොඩම්ගස්ලන්දේ සේවය කළේය. හත් දෙනෙකුගෙන් යුත් දරුවන්ගෙන් හතරවෙනියා රෝයිය. වැඩිමල් අක්කා විනිෆිඩාය. ලීනා දෙවැනි අක්කාය. අයියා ක්ලැරන්ස්ය. රෝයිට බාලයෝ අනුලා, මාලනී නංගිලත්, සුනිල් මල්ලිත් වූහ.

‘පුංචි කාලේ මට තිබුණේ ලස්සන, සුන්දර ලෝකයක්. අපේ මුළු පවුලම කලාවට ළැදි අය. අපි පුංචි කාලේ හැදී වැඩුණේ මාතලේ අම්මගේ මහ ගෙදර. පවුලේ සේරම ගෙදර ඉන්න (බොහෝ විට ඉරිදා) දවස තරම් ලස්සන දවසක් අපිට තවත් තිබුණේ නැහැ. අපේ ගෙදර තිබුණ ග්‍රැමෆෝන් එකෙන් සින්දු අහලා ඒ ගීත අපි ඔක්කොම එක්ව ගැයුවා. තාත්තා තමයි ගිටාර් එක වාදනය කරමින් ඒකට මුලපුරන්නේ. ඉරිදට පල්ලියට ගිහිල්ලා ඇවිත් අපි ගීත ගයමින් සතුටු වුණා. අපේ අම්මා මගේ ‘රඟපෑමේ පිස්සුව‘ තේරුම් ගෙන ගමේ වඩු බාස්උන්නැහේ කෙනෙකුට කියලා වත්තේ නාට්‍ය මඩුවක් හදලා දුන්නා ‘අපේ මේ පුංචි මනප්පුට නටන්න, රඟපාන්න’ කියලා. මේ මඩුවේ අපි නාට්‍යයක් කළා ‘දුෂ්ට කුඩම්මා’ කියලා. රඟපෑවේ අයියා, අක්කා, මම පුංචි නංගිලා. අපිට විවේක කාලේදී ටොෆි, බිස්කට්, ඔරේන්ජ් බාර්ලිවලින් සංග්‍රහ ලැබෙනවා. මේ නාට්‍යය බලන්න අපි ගමේ ප්‍රභූවරයකුට ආරාධනා කළා. ඒ. එච්. සේනානායක මහත්තයට. ඒ මහත්තයා පසුව හිරියාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වුණා. කාගේත් ඉල්ලීම පරිදි මේ නාට්‍යයට මනප්පුගේ චරිතයක් ඇතුළත් වුණා. සේනානායක මහත්තයා මගේ හිස අතගාලා ‘මේ ළමයා අනාගතයේ හොඳ නාඩගම්කාරයෙක් වෙනවා ඒකාන්තයි ‘ කියලා මට රිදී කාසියක් දුන්නා.’ රෝයි කුඩා කාලය ගැන කිව්වේ මීට වසර 35 කට පමණ පෙර ‘සරසවිය’ පුවත්පතට ලියූ ‘ජීවිතයේ ලස්සනම දවස්’ නම් විශේෂාංගයක් සඳහාය.

රෝයි ‘නොනගෙ ආලේ ගෙයි මැද සාලේ - අපි දෙන්නගේ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ ‘ කියමින් රඟපානු මුල්වරට දුටු තාත්තා සේනානායක මහතාට මෙසේ කියා තිබූ බව ඔහුට මතක තිබුණි.

‘මේ කොල්ලා යකෙක්. ලොකු වෙලා එඩී ජයමාන්නවත් නටවයි. ඇඩීලාගේ මීගමුවේ නාඩගම් ගෲප් එකට බන්දවන්න ඕනෑ.’

තාත්තා එදා කිව්ව අනාවැකිය එයට වසර ගණනකට පසු සැබෑ විය. රෝයි එදා බැලූ ‘කඩවුණු පොරොන්දුව‘ යළිත් නව නිෂ්පාදනයක් ලෙස අධ්‍යක්ෂණය කොට එඩී ජයමාන්නට ඇත්තටම මනප්පුවා ලෙසත් මේබල් බ්ලයිත් ජොසී බබාටත් ඇන්දුවේය. ඒ 1982 වසෙර්ය.

රෝයි මාතලේ සිට මොරටුවේ තාත්තාගේ මහ ගෙදරට එන්නේ ‘මනප්පුවා’ගේ මතකයත් තුරුලු කරගෙනය. රෝයි මොරටුවේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ඉගෙනීම කළ අතර ගායකයකු හා ගිටාර් වාදකයකු ලෙස ද ප්‍රකටව සිටියේය. ‘චිත්‍රපට පිස්සෙක්’ ලෙස පාසලේ කැපී පෙනුණ රෝයිට සාන්ත සෙබස්තියන් විද්‍යාලයේම සිටි සමකාලීන මිතුරන් වූයේ ෆ්‍රෙඩී සිල්වා සහ ක්‍රිස්ටෝපර් පෝල්ය. හින්දි චිත්‍රපට බලන්න සීරියල් චිත්‍රපට බලන්න සල්ලි සොයා ගන්න මේ මිතුරෝ මගඩි වැඩ කළහ. රෝයි හා ෆ්‍රෙඩී ‘කුකුළු පැටව්’ කියා කොරවක් පැටව් විකුණා මුදල් සෙවූහ. තවත් වරෙක රෝයි, ෆ්‍රෙඩී හා ක්‍රිස්්ටෝපර් අනාරාධිතව මොරටුවේ නගර ශාලාවේ පවත්වන මඟුල් ගෙවල්වලට ගොස් කා බී අහිංසක සතුටක් ලැබූහ. ගිටාර් වාදකයකු වූ රෝයි නළුවකු විමට ද, ෆ්‍රෙඩී හා ක්‍රිස්ටෝපර් ගායකයන් වීමට ද සිහින මැවුහ.

රෝයි මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයට ඉගෙනීමට යන කාලයේ ‘පික්චර් පිස්සුව‘ හොඳටම වැඩි වූයේ විද්‍යාලයට යාබද තිබූ ගාමිණී සිනමාහල නිසාය. ස්කූල්කට් කොට ඔහු නැරඹූ මුල්ම හින්දි චිත්‍රපටය මධු බාලා සහ නසීර් ඛාන් රඟපෑ ‘යස්මින්’ චිත්‍රපටයයි. විද්‍යාලයේ රෝයිගේ හොඳම පන්ති මිතුරා විජය ගුණතිලකය.

‘සාන්ත ජෝසප් විද්‍යාලය මට කලා විශ්වවිද්‍යාලයක් වුණා. මර්සලීන් ජයකොඩි පියතුමා, දොන් පීටර් පියතුමා අපේ සාහිත්‍ය කලාව වර්ධනය කළා. මට ඉහළ පන්තිවල සිටි සිඩ්නි ආටිගල, උපාලි අත්තනායක හා තිස්ස ලියනසූරිය පසුව ගායන ලෝකයේත්, සිනමාවේත් ප්‍රබල චරිත වුණා. නත්තල් කැරෝල් යන කාලය තමයි මගේ ජීවිතයේ ලස්සනම කාලේ. මොරටුවේ අපේ මිත්‍රයන් වූ රොනී අබේසිංහ (පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරියාව සිටි) හා ගුවන් විදුලි සංගීත අධ්‍යක්ෂවරයකු වූ ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු හා මම මේ ක්‍රිස්මස් කැරොල් කණ්ඩායමේ නායකයෝ. නත්තල් ගීත කියලා ගත් මුදල්වලින් අපි ජෝන් වයිට් සපත්තුත්, බ්‍රෝඩ්වේ කමිසත් මිලට ගත්තා’ රෝයි අතීත කතාවක් එදා මට කීවේය.

චිත්‍රපට නළුවෙකු වීමට සිහින මැවූ රෝයි ප්‍රේම් ජයන්ත් හා ස්ටැන්ලි පෙරේරා අනුගමනය කරමින් ඔවුන් මෙන් හිස කෙස් සකස් කර රැවුලේ ‘ගිනිකූරු කට්’ සටහන් කර ගත්තේය. රෝයිගේ මහ ගෙදර තිබූ ප්‍රනාන්දු මාවතේ ඔහු ඇවිදගෙන යන විට ‘ආව් ආව් අන්න බලපල්ලා මොරටුවේ ස්ටැන්ලි පෙරේරා එනවා’ යි කොල්ලෝ විහිළු කර ඇත.

‘සොහොයුරෝ’ චිත්‍රපටයට (1956) ළමා නළුවෙකු ගන්න බව කියන ආරංචිය ලැබුණු රෝයි කාටත් හොරෙන් ඔස්ටින් නම් මිතුරා සමඟ කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයට ගියේය. එදා රෝයි චිත්‍රාගාරයට යන විට මුල්වරට ක්ලැරිස් ද සිල්වා දැක ගත්තේය. පරීක්ෂණයට ළබාල තරුණයන් 25 ක් පමණ සිටි අතර රෝයිගේ වාරය පැමිණියේය. පොත් මිටියත් අතැතිව රෝයි නිෂ්පාදක එස්. එම්. නායගම් ඉදිරියට ගියේය.

‘කොයි පාසලට ද යන්නේ’
‘සෙන්ට් ජෝසප්’
‘කවුද රෙක්ටර්’
‘ෆාදර් පිටර් පිල්ලේ’

‘දැන්ම මෙතනින් යනවා. නැත්නම් මම රෙක්ටර්ට ටෙලිෆෝන් කරලා කියනවා’

බියට පත් රෝයි හා ඔස්ටින් බියෙන් ආපසු පාසල බලා පිටත් වූහ. එකල ෆ්‍රෙඩි, ක්‍රිස්ටෝපර්, ස්ටැන්ලි ප්‍රනාන්දු හා වික්ටර් දළුගම සමඟ රෝයි යන යෞවනයන් ගායකයන් ලෙස මොරටුවම දැන සිටියේය. වරක් රෝයි තම දුෂ්කර ජීවිතයෙන් බිඳක් මෙසේ විස්තර කර තිබුණි.

‘තාත්තාට ඕනෑකර තිබුණේ මාව වතු සුපිරින්ටැන්ඩන්ට් කෙනෙක් කරන්න. මේ නිසා තාත්තා මාව රඹුක්කන හත්ගහ ගෲප් වතුයායේ ‘කීපර්’ කෙනෙක් හැටියට වැඩ පුහුණුවට යැව්වා. මගේ සමනළ ජීවිතය එයින් කෙළවර වුණා. පස්සේ හැටන් හී උප තැපැල් කන්තෝරුවක වැඩට ගියා. සීතලේ ගැහි ගැහී මේල් බෑග් උස්සගෙන ගත කළ දුෂ්කර ජීවිතයකුත් මට තිබුණා. මට ලැබුණු වැටුප රුපියල් 30 යි. ඒත් මට වැරදුණේ නැහැ. මම ඉක්මනින් උප තැපැල් ස්ථානාධිපතිවරයකු වුණා අධ්‍යාපන සුදුසුකම් තිබූ නිසා. ඒ කාලේ මම ගායකයෙක් වගේම ගිටාර් වාදකයෙක් හැටියට හැටන්වල ප්‍රසිද්ධව හිටියා. මගේ සින්දු අහලා ශාන්ත ජෝසප් විද්‍යාලයේම මා සමඟ ඉගෙන ගත් ඇන්ටන් අබේරත්න තම පියා වූ චිත්‍රපට අධ්‍යක්ෂ සිරිල් පී. අබේරත්න මහතාට ටෙලිපෝනයෙන් මාව හඳුන්වල දුන්නා. 1963 වසරේ මම හැටන් සිට ලිබර්ටි සිනමා ශාලාවේ තිබුණු ‘සුජාගේ රහස’ චිත්‍රපටයේ සම්මුඛ පරීක්ෂණයට ආවා. මාව දැක්ක අබේරත්නට යකා නැග්ගා.

‘අයිසෙ බලනව තමුසෙගෙ හැටි. දාදිය දාගෙන. කෝ කෝට් එක? කෝ ටයි එක. චිත්‍රපට නළුවෙක් වෙන්න හැටි මෙහෙමද? බලනව අනිත් අය ඇවිත් ඉන්න හැටි’

මම කලකිරී ආපසු හැටන් යන්න හිතාගෙන හැරුණා විතරයි, චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න ඇවිත් හිටිය නීලකන්ටන් මට කතා කළා.

‘මේ තරුණයා හරියට ජෙය ශංකර් වගේ’ නීලකන්ටන් සිරිල් පී. අබේරත්නට හා ජබීර් ඒ. කාදර්ට දෙමල භාෂාවෙන් කිව්වා. මට දෙමළ භාෂාව හොඳට කතා කරන්න පුළුවන් නිසා මම අහන ප්‍රශ්නවලට දෙමළ භාෂාවෙන් පිළිතුරු දුන්නා.

‘තමුසෙව අපි තෝරා ගත්තා. මේ චිත්‍රපටයේ ජීවරාණිගේ පුතාට රඟපානවා. රවීන්ද්‍ර රූපසේන තමුසෙගේ තාත්තා හැටියට රඟපාන්නේ, තේරුණාද? තමුසෙ ලව් කරන්නේ සන්ධ්‍යා කුමාරිට. තේරුණාද? තමුසේ රඟපාන්නේ ලෝයර් (නීතිඥයෙක්) හැටියට තේරුණාද? සිරිල් මෙයාට දෙබස් ටිකක් දෙන්න’

නීලකන්ටන් එහෙම කියලා චිත්‍රපටයේ පොත මට දුන්නා. මම කිව්ව මුල්ම දෙබස තවම මට මතකයි.

‘යුෂ්මතාගේ සොහොයුරිය දරුගැබ්ව සිටි බව ඇගේ ස්වාමි පුරුෂයාට ප්‍රථම තමා දැන සිටි බව ඇත්තද?’ මම නීතිඥයකුගේ වේශය ඇඟට මවාගෙන කිව්වා.

‘හරි තමුසෙ පාස්. තමුසේ කීයක් බලාපොරොත්තු වෙනවද’ නීලකන්ටන් මගෙන් ඇසුවා.

සිරිල් මට ඇඟිලි තුනක් පෙන්නුවා.

‘තුන් දාහක්’ මම කිව්වා.

බීර් ඒ. කාදර් ඔළුවට අත තියාගත්තා. තමා ‘සුරතලී’ චිත්‍රපටයේ ආනන්ද ජයරත්නට දුන් මුදල මට කිව්වා.

‘අපි තමන්ට රුපියල් 500 ක් දෙන්නම්’

නිකං රඟපාන්න ආව මට රු: 500 ත් ලොකු ගණනක්. ඔහොමයි මම සුජාගේ රහසෙන් නළුවෙක් වුණේ’ රෝයි නළුවෙකු වූ හැටි මට විස්තර කළේ එහෙමයි.

රෝයි ද සිල්වා එතැන් සිට ජනප්‍රිය නළුවෙකු වූ සැටි ඔබ දන්නේය. සුදු දුව, සැනසිලි සුවය, රුහුණු කුමාරි, හතර පෙරළිය, පික් පොකට්, උතුම් ස්ත්‍රිය, සුමුදු භාර්යා, සමනල කුමරියෝ, සිංගප්පූරු චාලි ඇතුළු චිත්‍රපට රැසක රඟපෑවේය. ගීතා, සූකිරි කෙල්ල, සුජීවා චිත්‍රපටවලින් රෝයි ජනප්‍රියත්වයේ ඉහළටම නැග්ගේය. සුමනා අමරසිංහ හා රෝයි රඟපෑ චිත්‍රපට නිසා ‘රෝයි - සුමනා’ යුගයක් ඇරඹිණි. තමාට ජනප්‍රිය වෙන්න මාවත සකසා දුන්නේ ජෝ දේව් ආනන්ද් අධ්‍යක්ෂවරයා බව රෝයි නිතර කිවේය. හතර පෙරළිය රඟපෑමේදී සුමනා හා පෙමින් බැඳුණු රෝයි 1975 ඇය විවාහ කර ගත්තේය. හාපුරා කියා රෝයි චිත්‍රපට සම අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ ස්්ටැන්ලි පෙරේරා සමඟ ‘ටොම් පචයා’ චිත්‍රපටයෙනි. ඔහු තනිවම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය ‘තණ ගිරවි’ ය. රෝයි 1963 වසරේ ‘තණකොළ පෙත්තා’ නමින් මේ කතාවම වේදිකා නාට්‍යයක් ලෙස අධ්‍යක්ෂණය කර ඇත. නාට්‍යයේ රචනය එකල චිත්‍රපට ගීත රචකයකුව සිටි ඇලන්සන් මෙන්ඩිස්ය. එදා මේ නාට්‍යයේ නෙල්සන් කරුණාගම, චන්ද්‍රා දේවදිත්‍ය හා මධුලතාත් රඟපෑහ. රෝයිගේ හොඳම චිත්‍රපටය ‘තණ ගිරවි’ යයි මම සිතමි. රෝයි රඟපෑ හොඳම චරිත නිරූපණය මිහිදුම් සිහින චිත්‍රපටයේ සින්නාගේ චරිතයයි ද මම සිතමි.

සුමිතුරෝ - තාත්ති මං ආදරෙයි, ගෙදර බුදුන් අම්මා, හිත හොඳ පුතෙක් - ධ්බඵ ච ර්චබබඥප ධට බඪථඥ, කඩවුණු පොරොන්දුව (නව පිටපත) චෙරියෝ ඩොක්ටර්, ඔක්කොම කණපිට, සූරයන් අතර වීරයා, ජීවන් මල්ලී, සුදු පිරුවට, ලව් 94, විජේ සහ අජේ, චෙරියෝ කැප්ටන්, චෙරියෝ ඩාලින්, රඹා සමඟ මධු, දවල් මිගෙල් රෑ දනියෙල් 1, 2, 3, පෙම් කැකුළ, ජොන්සන් ඇන්ඩ් ගොන්සන්, ලව් 2002, දුකට සැපට සනී, ක්ලීන් අවුට්, සැළමුතුපින්න ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර කැපී පෙනෙයි.

‘බොක්ස් ඔෆීස්’ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ රෝයි චිත්‍රපට කතා රචකයකු, දෙබස් රචකයකු මෙන්ම තිර නාටක රචකයකු, නිෂ්පාදකවරයකු ද වෙයි. චිත්‍රපට කර්මාන්තයට අසීමිත ලෙස ආදරය කළ ඔහු හා සුමනා චිත්‍රපට ඒකාධිකාරයට විරුද්ධව පෙරමුණ ගත්හ. රාජ්‍ය චිත්‍රපට සංස්ථාව බිහි වූයේ ඩොමී ජයවර්ධන, එල්. එම්. පෙරේරා, ස්ටැන්ලි පෙරේරා, එම්. කේ. ඩයස්, ඇන්තනි සී. පෙරේරා ප්‍රමුඛ පිරිසේ රෝයි හා සුමනා ප්‍රබල භූමිකා රඟපෑහ. හෙළ නළු නිළි සංගමයේ ප්‍රධාන නිලතල දැරූ රෝයි සිංහල සිනමාවේ අභිවෘද්ධිය ගැන අසනීපව සිටියදී ද කතා කළේය. ඔහුගේ අභාවය සිංහල සිනමා කර්මාන්තයට වැදුණු මරු පහරකි.