වර්ෂ 2018 ක්වූ  ජූලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ස්ටැලෝන් නැවත පෙරළියක

ස්ටැලෝන් නැවත පෙරළියක

Escape Plan 2

රේ බ්‍රෙස්ලින් ප්‍රවීණත්වයක් උසුලන්නේ, දැඩි රැකවල් මධ්‍යයේ වුවද ඕනෑම බන්ධනාගාරයකින් නිදහස්වීමට ඇති හැකියාවෙන්. ඒ ඔස්සේ බන්ධනාගාරවල ඇති දුර්වලතා පෙන්වා දෙමින් ඔහු විසින් කෘතියක් ද රචනා කෙරෙන අතර අධි ආරක්ෂිත බන්ධනාගාරයකින් නිදහස් වීමේ අභියෝගයක් ද හිමි වේ. එහිදි ඔහුට එරෙහිව ක්‍රියාත්මක වන යම්කිසි බලවේගයක් හේතුවෙන් එම බන්ධනාගාරයෙන් රහසිගතව පැන යාමට නොහැකි වේ. මෙම බන්ධනාගාරයේදී හමුවන එමිල් රොට්මෙයර් නම් පුද්ගලයා ද ඇතුළුව තවත් පිරිසක් හවුල්කර ගනිමින් රේහට එම අභියෝගය ජය ගන්නට හැකි වේ. සිල්වෙස්ටර් ස්ටැලෝන් සහ ආර්නෝල්ඩ් ස්වාසනේගර් රංගනයෙන් දායක වූ Escape Plan චිත්‍රපටය නැරඹූ අයෙකුට නම් මෙම කතාව අමුතු වෙන් සිහිපත් කළ යුතු වන්නේ නැහැ.

ස්වීඩන් ජාතික අධ්‍යක්ෂවරයකු වූ මිකායිල් හෆ්ස්ට්‍රෝන් විසින් අධ්‍යක්ෂණය කළ අමෙරිකානු ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වූ Escape Plan චිත්‍රපටය තිරගත කෙරුණේ 2013 වසරේදීයි. බන්ධනාගාරවලින් පැන යාමට නම් දැරූ රේ මේ වසරේදී තවත් ඉදිරි පියවරක් තබා අවසන්. ඒ බන්ධනාගාරවලින් පැන යාමට හපන්කම් දක්වන විශේෂ හැකියාවක් දක්වන කණ්ඩාමයක ෂ්‍යු නම් සාමාජිකයා බේරා ගැනීම වෙනුවෙන්. යම් පිරිසක් විසින් පැහැර ගන්නා ෂ්‍යු, හේඩ්ස් නම් මෙතෙක් නිර්මාණය වී ඇති සංකීර්ණතම බන්ධනාගාරයේ සිර කරනු ලබනවා. තම සගයා බේරා ගැනීමට රේ ඇතුළු කණ්ඩායම ගන්නා වෑයම Escape Plan 2: Hades  ලෙසින් රිදී තිරයේ දිග හැරී තිබෙනවා.

Escape Plan  පළමු චිත්‍රපටයට හිමි වූයේ මිශ්‍ර ප්‍රතිචාරයක්. කෙසේ නමුත් හොලිවුඩ් සිනමාවේ ප්‍රබල නළුවන් දෙදෙනෙකු ලෙසින් සිල්වෙස්ටර් ස්ටැලෝන් සහ ආර්නෝල්ඩ් ස්වාසනේගර් දෙදෙනාම එකම ක්‍රියාදාම චිත්‍රපටයක දකින්නට ලැබීම සතුටක් බව විචාරකයන් පවා සඳහන් කළා. කෙසේ නමුත් මෙවර හේඩ්ස් මෙහෙයුමට එමිල් රොට්මෙයර් ලෙසින් ආර්නෝල්ඩ් ස්වාසනේගර්ගේ රංගන දායකත්වය නම් ලැබී නැහැ. සිල්වෙස්ටර් ස්ටැලෝන් සමඟින් Escape Plan 2: Hades හි රංගනයෙන් දායක වී සිටින්නේ, ඩේව් බවුටිස්ටා, හුවන්ග් ෂැඔමින්ග්, ජෙමි කිංග්, ෆිෆ්ටි සෙන්ට්, ජෙසී මෙට්කැල්ෆි ඇතුලු පිරිසක්. ෂ්‍යු රෙන්ගේ චරිතයට පණ පොවන්නේ චීන ජාතික නළුවකු සහ ගායකයකු වන හුවන්ග් ෂැඔමින්ග් විසින්. Escape Plan 2 චිත්‍රපටය සමඟින් Escape Plan චිත්‍රපට මාලාවේ තෙවැන්න  Devil's Station  නමින් තිරගත කෙරෙන බවත් නිෂ්පාදන කණ්ඩායම නිවේදනය කළා.

පසුගිය ජූනි 29 වැනිදා සිට Escape Plan 2: Hades  ලොව පුරා තිරගත කිරීම ආරම්භ කළා. මුල් චිත්‍රපටය අමෙරිකානු නිෂ්පාදනයක් ලෙසින් නිර්මාණය කෙරුණද දෙවැන්න චීනය සමඟ සම නිෂ්පාදනයක් ලෙසින් නිර්මාණය වී තිබීමත් විශේෂයි. එය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, අමෙරිකානු ජාතික අධ්‍යක්ෂවරයකු වන ස්ටීවන් සී. මිලර් විසින්. පළමු වැනි චිත්‍රපටය සමඟින් විශාල සබඳකමක් නැතත් යම් තරමක සබඳතාවයක් පෙන්නුම් කරන Escape Plan 2: Hades  චිත්‍රපටයට 'රැම්බෝ', 'රොකී' යන චරිත නාමයන්ගෙන් ලෝ ප්‍රකට 71 හැවිරිදි ස්ටැලෝන්ගේ රංගනය ප්‍රබල වී ඇති බව විචාරක අදහසයි. හේඩ්ස් බන්ධනාගාරය යම් නිර්මාණාත්මක ස්වභාවයක් උසුලන්නා සේම නරඹන්නාට ද තමන් බන්ධනාගාර ගත වී සිටින සේ දැනෙනු ඇති බවත් විචාරක අදහස් අතර වේ.