වර්ෂ 2018 ක්වූ  ජූලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සීත රෑ යාමේ අඳුරේ දුලීකා

සීත රෑ යාමේ අඳුරේ දුලීකා

1970 දශකය තුල ජුලියානෝ ජෙම්මා ,රොස්මරි ඩෙක්ස්ටර්, යන තාරුන්‍ය නලු නිලි දෙපල රගපෑ අතීශයින්ම ශෘංගාරාත්මක ආදර චිත්‍රපටයක් විශේෂයෙන්ම වැඩිහිටියන්ට පමණයි යන රතු ලේබල⁣ය යටතේ මරදාන නිව්ඔලිම්පියා හී පැල් බැදගෙන දිව්වේය. එය "බ්ලො හොට් බ්ලො කෝල්ඩ්"ය.

කේ.ඒ.ඩබ්ලියු පෙරේරා පොලවෙ හපාගෙන නැහැ නැහැ කීවද, තනිකරම එහී ආභාශය ගෙන චිත්‍රපටයක් තැනුවේය .

"ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නෙ,
කව්දෝ දන්නෙ
දුලිකා දුලිකා"

ඔන්න චිත්‍රපටය. බටහිර නැටුම් නිපුනත්වයක් ඇති, බටහිර පන්නයටම හැදුනු, ලාංකේය සිනමාවට වෙනස්ම නැවුම් සුරූපි මුහුණක් වූ බියුලා ඩයස් කරුණාරත්න ව තිරයට හදුන්වා දුන් කේ.ඒ.ඩබ්ලියු , "දුලිකා" නමින් නිපදවූයේ අර "බ්ලො හොට් බ්ලො කෝල්ඩ්" මය.

ස්කූටරයක නැගී රැයක් දවාලක් නැතිව, නවීන පන්නයේ ඇදුම් ඇදගෙන, මේකප් දමාගෙන , නයිට් ක්ලබ්වලයි, බාර් වලයි ලවක් දෙවක් නැතිව කරක් ගහන දුලීකාව ,සුමිත්ට හමුවන්නේද අහඹුවකිනි. හැබැයි දුලිකාට සුමිත්ව හමුවන විට, ඇයව මීට කලින් සිටිය පෙම්වතාගෙ "ස්පයි" වැඩකටත් ඉලක්ක වී තිබුනි. කොහොමත් කේ.ඒ.ඩබ්ලියු එයාගෙ චිත්‍රපටවලට "ත්‍රිල" ඈදගන්නෙ, ඔය කොහෙන් හරි නන්නත්තාර වුනු චරිතයක් එකතු කර ගෙනය.

"බ්ලෝ හොට් බ්ලෝ කෝල්ඩ්" කථා ශාරයේ බීජය කේ.ඒ.ඩබ්ලියු වපුරන්නට පටන් ගන්නෙ සුමිත්ට, දුලිකාව මුණ ගැසුනාට පසුවය.

යෞවනයේ අලුත විවාහ වූ සුන්දර තරුණ යුවලකුත්, මැදිවියේ වයසක මිනිසෙකු සමග විවාහ වූ තරුණ කතකුත් බෝට්ටුවකින් දූපතකට, යන්⁣නේ නිවාඩුවක් ගත කිරීමටය. තරුණ යුවල තම මධුසමය ගත කරන්නේද, මෙම දූපත තුලය. ඉතාමත් නිදහස්ව ශෘංගාරත්මකව හැසිරෙන මෙම යුවල දෙස අ⁣සහනාකාරිව බලා සිටින්නේ අර මහලු මිනිසා සමග විවාහ වූ ගැහැණියය. ඇය එලෙස අසහානාකාරි වුයේ, ඇයගේ මහලු සැමියාගෙන් කිසිදු ශෘංගාරාත්මක තෘප්තියක් නොලැබෙන නිසාය. මහලු සැමියා උත්සහා කළද ඇයට එය පිළිකුල් වනුයේ අර යෞවන දෙපලගේ සුන්දරාත්මක ශෘංගාරය දුටු පසුය. මේ හෙයින් අර මහලු සැමියා, අර තරුණ යුවල සමග වෛරයක් ඇති කර⁣ ගනී.

"දුලීකා" චිත්‍රපටයට එම තේමාව ගත් කේ.ඒ.ඩබ්ලියු එහී සුළු වෙනස්කම් කීපයක් කලේය. අර තරුණ යුවල සුමිත් හා දුලිකා ලෙසටත්, මහලු සැමියා ජයවර්ධන හා ඔහුගෙ තරුණ බිරිද මනෝ ලෙස⁣ටත් පරිවර්තනය කලේය.

කේ .ඒ.ඩබ්ලියු "සැනසුම කොතැනද" චිත්‍රපටයෙන් පසු නිපදවූ චිත්‍රපට⁣ තුලින් කථාන්තර කීමෙ කලාවක් හදා ගත්තේ⁣ය. ඒ තුලට "ඩිටෙක්ටිව්ස්, මර්ඩර්ස්, ත්‍රිල්ස්, ෆයිට්ස්, රොමැන්ස්, මෙන්ම ලාවට සෙක්ස්ද , ඇතුලත් කලේය. කේ. ඒ. ඩබ්ලියුගෙ කථා හරියට, හැඩ්ලි චේස්, හැරල්ඩ් රොබින්ස් ගේ කථා මිශ්‍රනයක් මෙනි. එහෙත් ඒවා ලාංකේය සමාජයට ඔබින ලෙස, නිර්මාණය කර ඉදිරිපත් කරන්නට, කේ.ඒ.ඩබ්ලියු ලග තිබුනේ පුදුම දක්ෂකමකි.

"දුලිකා"ද එසේය. "බ්ලෝ හොට් බ්ලෝ කෝල්ඩ්" චරිත හතරට වඩා "දුලිකා" හී චරිත හතර කේ.ඒ.ඩබ්ලියු විසින් ප්‍රබල කළේය. කෝණ හතරකින් ඔහු එම චරිත හතර උලුප්පා පෙන්වීය. දුලිකා තම අතහැර දැමු පලමු පෙම්වතාගේ විටින් විට විදින්නට සිදුවන හිරිහැරත්, එලෙසම ඇයගෙ නව පෙම්වතා වූ සුමිත් හා විදින ප්‍රේමාලම්බනයත් ,අනිත් අතට, මහලු ජයවර්ධනගේ ඊරිසියාවට, ක්‍රෝධයට ලක්වීමත්, එම මිනිසාගේම තරුණ බිරිද මනෝගෙන් මිත්‍රත්වය හා එක්ව එන සෙනෙහසට මැදිවීමත් අතර ඇතිවූ සංකීර්ණ චරිත කීපයක්ම කැටිවූවක් විය. , බියුලා ඩයස් කරුණාරත්න ඒ සංකීර්ණ චරිතය වූ "දුලිකා" ලෙස රගපෑවද ඇගෙ රගපෑම ගැන නම් ඉතින්.... "ස්වාමිනි මොවුන් නොදැන කරන වරදට සමාවුව මැනව" කියා කියන්නට සිදුවීම නම් වැලැක්විය නොහැක. ඇගේ ආකාර්ශණය නම් මෙම චරිතයට ගැලපුනි. ඒ මේ චරිතය රොස්මරි ඩෙක්ස්ටර්ගෙන් සොරා ගත් නිසාය. රෝස්මරිට වඩා ගව් ගනනාවක් මෙහායින් ඇය සිටියද මේ ලංකේය සිනමාවනේ කියා සිත සාදාගැන්මට පුලුවන. එහෙයින් බියුලා ඩයස්ද මේ චරිතයට හොද යැයි කියා සිත හදා ගැන්මට පුලුවන.

සුමිත් ගේ චරිතය නම් තනිකරම ප්‍රේමාවන්තිකය. එකල ලාංකේය සිනමාවේ සිටි පෙම් කුරුල්ලා විජය කුමාරණතුංග මේ චරිතයට අවතීර්න වූයේ විලියම් ශේක්ස්පියර්ගේ "රෝමියෝ" වත් අභිබවමිනි. යම්හෙයකින් ශේක්ස්පියර්, රෝමියෝ ජුලියට් කථාව ලියන්නට ප්‍රථම "දූලිකා" චිත්‍රපටය දැක්කානම් අනිවාරයෙන්ම කථාව නම් කෙරෙනුයේ "විජය ජුලියට්" කියාය. එතරම් රොමැන්තිකවය විජය එම ප්‍රේම ජවනිකා ඉදිරිපත් කලේ. එය මතක් වෙන විට අපට දැනුත් පෙම් කරන්නට සිතෙන්නේය.

" සීත රෑ යාමේ අඳුරේ
වාසනා නිල් දෑස පායා
ආදරෙ උණුසුම් සුසුම් වැල්
මා හදේ රහසේ රැදුනා"
දුලීකා...දුලීකා.. දුලීකා...දුලීකා"

ඒ ගීතයට විජය ගේ ආලම්බන හැගීම් දුටුවිට, දුලීකා පමණක් නොව, මුලු ප්‍රේක්ෂකාගාරයම ඔහු වෙතට ඇදී ගියෝය.

"දුලිකා" චිත්‍රපටය තුලින් බොහෝ විට පෙන්වූයේ දූලිකා හා සුමිත්ගේ ආදරයේ මිහිරත්වයයි. "බ්ලෝ හොට් බ්ලෝ කෝල්ඩ්" හී පෙන්වූයේ ජුලියානෝ හා රෝස්මරිගේ ශෘංගාරයයි. නමුත් සිංහල චිත්‍රපටවල ශෘංගාරය හිතූ හිතූ අන්දමට පෙන්නන්නට බැරිය. එකල තිබූ රීතිය වුයේ නළුවා, නිළියව සිපගන්නට ලංවන විටම, කුරුල්ලෝ දෙන්නෙක්, හෝ මල් දෙකක්, නැත්නම්

මුහුදු වෙරලක් පෙන්විය යුතුය. ඒවා හරියට හෝඩි පොතේ පින්තූරු වගේ විය යුතුය. ඉතිං කොහෙද "දුලිකා" චිත්‍රපටයට ශෘංගාර දර්ශන එකතු කරන්නෙ. එහෙයින් කේ.ඒ.ඩබ්ලියු, "දුලිකා" චිත්‍රපටය ආදරයෙන් පිරවිය.

විජය -මාලනී චිත්‍රපට පැටව් ගසන කාලයේ, විජය -බියුලා තරමක් අලුත් ආකාර්ශණයක් විය. එමෙන්ම ඔවුන්ගේ ආදරයද, නැවුම් විය.

"තඹර විලක පිපුනු නෙළුම මගේ දයාවි
ඔබගෙ කුසුම බඹර තොලක
රසය සොයාවි"

මේ දුලීකා සහ සුමිත් ප්‍රේමයෙන් වෙලී සිටින විට ගැයූ ගීතයන්ය.

ජයවර්ධන මැදිවියත් ඉක්මවූවෙකි. ඔහු දුලිකාගේ පියාගේ ළගම හිතමිතුරෙකි. ඔහු විවාහ වී සිටියේ ඔහුටත් වඩා වයසින් අඩකටත් වඩා බාල තරුණියක් වූ මනෝ සමගය. ජයවර්ධන මනෝව තම ධන බලය පෙන්වා ඇයව දූෂණය කර පසුව බිරිද කරගෙන ඇත. හැබැයි ඒවා නම් "බ්ලෝ හොට් බ්ලෝ කෝල්ඩ්" වල තිබුනේ නැත. ඒවා කේ.ඒ.ඩබ්ලියුගේ කථා කෑලිය.

ලංකාවේ සිනමාවේ දූෂණ මාරයිය. මනෝ පසුපස ජයවර්ධන එලවගෙන එයි. මනෝද පන කඩාගෙන දුවන්නේ අනේ එපා අනේ එපා කියමිනි. ඉන්පසු ජයවර්ධන මනෝව බිම පෙරලා ගනී. කැමරාව ජයවර්ධනගේ මුහුනේ සමීප රූපයක් කීපවතාවක්ම පෙන්වයි. කැමරාවද ටිකක් හොල්ලයි. රූපරාමුවද හොල්ලයි. ඊට පස්සේ දූෂණය ඉවරය. ⁣

මනෝ, තම සැමියා වූ ජයවර්ධන ගෙන් තෘප්තියක් නොලැබූ හෙයින් නිතරම සිටියේ අසහනයෙන්ය. මේ හේතුවෙන් ඇය දුලිකා හා සුමිත්ගේ ආදරයට ආශාකළා පමනක් නොව ඔවුනට උපකාරද කළාය.

දුලිකාගේ පියාද මුලින් දුලිකාගෙ ආදරයට "කේස්" දැම්මේ නැත. ඒ ඔහු නිතරම සිටියේ විනෝදයෙන්,ප්‍රිය සාද දමමින්, ගීත ගයමින් සිටි නිසා වන්නට ඇත. ඒවාට ජයවර්ධන හා මනෝද නිතරම සහභාගි විය.

"රජ වැඩකාරයෝ, ඒ කාලයේ
ලෝකේ බොලේ අල්ලෙ හෙල්ලු හරි වීරයෝ"

මේ දුලිකාගේ පියා තම සාද වලදී ගැයූ ගීතයන්ය. පියා ගී ගයන අතර, දුව දුලිකා, තමන්ගේ නැටුම් ශිල්පය පෙන්වයි. මාර ෆන්ය. ඒවා වල ජයවර්ධනනත්, මමෝත් නටයි. දැන් ඩබල් ෆන්ය.

මේ අතර ජයවර්ධන ගෙ ඊර්ෂ්‍යා ඇස සුමිත් සහ දුලිකා වෙත එල්ලවේ. එය දෙගුණ තෙගුණ වූයේ, මනෝව ශෘංගාරාත්මකව සෑහීමකට පත් කිරීමට තමන්⁣ගේ නොහැකියාවත්, මනෝ, දුලිකා හා සුමිත්ට ලංවීමත් නිසාය. එහෙයින් ඔහු සුමිත්ටත් දුලිකාටත් අඩම්තෙට්ටම් කරන්නට උත්සහා ගත්තේය.

මෙම කථාවට තව අවශේෂ චරිතත් එක්විය. ඇතැම් අය සුමිත් දුලිකාට, හිතවත්වද, තවත් චරිත, ඔවුනට විරුද්ධවද, සිටියෝය.

ප්‍රධාන චරිත හතරට අමතරව විවිධ වූ චරිත ගනනාවක් කථාවට එකතුවී එය "පිකල්" එකක් ⁣කලේය. ඒ, කේ.ඒ.ඩබ්ලියු ගේ චිත්‍රපටවල හැටිය. ඔහුගේ සුපුරුදු නළුනිළිරොත්ත වූ ඔස්වල්ඩ් ජයසිංහ, ලැටිෂියා පීරිස්, හර්බට් අමරවික්‍රම, ප්‍රෙඩි සිල්වා, රෙක්ස් කොඩිප්පිලි,ට මොන මොනවා හෝ දිය යුතුය. "බ්ලෝ හොට් බ්ලෝ කෝල්ඩ්" අමතක කරවන්නට අර අවශේෂ චරිත වැඩි කලේය. ඒවා කේ.ඒ.ඩබ්ලියුගේ මාර ජිමික්ස්ය.

අසහනය මොනතරම් දුරට ව්‍යාප්ත වූවාසේම, ඊරිසියාව විශාල විනාශයකට හේතු කරමින් ජයවර්ධනගෙ වෙඩිපහරින් දුලිකා මිය ගියාය. ජයවර්ධනට ඕනා වුනේ සුමිත්ට වෙඩිතැබීමටය, එහෙත් එය වැරදීමකින් පත්තුවුයේ දුලිකාටය. "බ්ලෝ හොට්....එකේ මහලු සැමියා ගලකින් ගසා මැරුවේ තරුණයාවය.කේ. ඒ. ඩබ්ලියු එය වෙනස් කරමින් මැරෙන්නට ඇරියේ තරුණිය වූ දූලිකාවය. අවසානයේ ජයවර්ධන ව පොලිසියට අසුවේ. මනෝ හා සුමිත් තනිවේ.

එඩි ජයමාන්න ජයවර්ධන ලෙසත් සුමනා අමරසිංහ මනෝ ලෙසත් රගපෑහ . හොද මතක හිටින රගපෑමක් ඉදිරිපත් කිරීමට එඩී ජයමාන්නට හොද අවස්ථාවක් ලැබුනි. සුමනා අමරසිංහ තමාට ලැබුනු රංග පරාසය තේරුම් ගෙන තිබුනි. විජය කුමාරණතුංග ආකර්ශනීය විය. සම්පත් ශ්‍රී නන්දලෝචන තුල අර සුපුරුදු අධිරංගන සම්ප්‍රදාය තිබුනි.

ප්‍රේමසිරි කේමදාසගෙ සංගීතය හා මධුර තනුවලට, සනත් නන්දසිරි, එච්.ආර්.ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, ෆ්‍රෙඩි සිල්වා, ක්‍රිස්ටින් පෙරේරා, ලතා වල්පොල එකතුව ගීත 7ක් ගැයුවෝය. "ආදර මල් පවනේ" ගීතය ලතා සහ ජෝතිපාල වෙන වෙනමද, "සීත රෑ යාමේ" ගීතය සනත් නන්දසිරිද, "තඹර විලෙක පිපුණු පියුම" ජෝතිපාල සහ ඇන්ජලින්ද,"රජ වැඩකාරයෝ "ගීතය ජෝතිපාලද, "ජැක් ඇන්ඩ් ජිල්ලා" ප්‍රෙඩි සිල්වාද, "ගිගිරි ගිගිරි ගිගිරි හඩින්" ගීතය ලතා සහ ඇන්ජලීන්ද, "අහ් අහ් ආදරේ" ක්‍රිස්ටින් ප්‍රනාන්දුද ගැයුවෝය.

"බ්ලො හොට් බ්ලො කෝල්ඩ්" අවසන් දර්ශනය වූයේ, මිය ගිය තරුණයාගේ තරුණ බිරිය වූ රෝස්මරි ඩෙක්ස්ටර් ත්, පොලිස් අත්අඩංගුවට පත්වු මහලු සැමියාගේ බිරිද බිබී ඇන්ඩර්සන්, බෝට්ටුවක නැගී දුපතේ සිට ඉතාමත් දුකෙන් නැවත නගරයට පැමිණීමය. "දුලිකා" චිත්‍රපටය අවසන්වන්නේ තනිවුනු සුමිත්ව අස්වසන දුලිකාගේ පියාගේ රූප රාමුවකිනි. මනෝ තම මහලු සැමියා පොලිසියට හසුවූ පසු දුකින් සිටින බව අප සිතා ගතයුතුය.

කොහොමත් කේ.ඒ ඩබ්ලියු පෙරේරාගේ චිත්‍රපට කම්මැලිකමක් නැතිව බලා සිටිය හැක. දුලිකාත් මුල සිට අග වනතෙක් "ත්‍රිල්" එකේ බලා සිටිය හැක. එහෙත් අවසානයේ මතකයේ රැදුනේ නම් සනත් නන්දසිරිගේ "සීත රෑයාමේ " හා ජෝතිපාලගේ "ආදර මල් පවනේ" ගීත දෙකත්, ඒ සියල්ලටම වඩා විජය කුමාරණතුංග ගේ ආකර්ශනයත් පමණී.