වර්ෂ 2018 ක්වූ  ජූලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට බෙදාහැරීමට ක්‍රමවත් නියාමනයක් ඇති කරනවා

චිත්‍රපට බෙදාහැරීමට ක්‍රමවත් නියාමනයක් ඇති කරනවා

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ

ජාතික චිත්‍රපට සංස්ථාවේ, ඉදිරි සැලැසුම් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරිමේ මාධ්‍ය හමුවක් උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි. එහිදී මාධ්‍යවේදීන් ඇමැතූ අමාත්‍යවරයා පවසා සිටියේ, වර්තමානයේ චිත්‍රපට කර්මාන්තය විශාල අර්බුදයකට පත්ව තිබෙන බවයි. එයට හේතුව කාලයක් තිස්සේ එම ක්ෂේත්‍රයේ පැවති අක්‍රමවත් ක්‍රියාකාරකම් බවයි. අනෙක් අතින් විදෙස් චිත්‍රපට, විදෙස් ටෙලිනාට්‍ය ආක්‍රමණශීලි ලෙස සමාජයට රිංගා ගැනීමෙන් ද දේශීය සිනමා කර්මාන්තයට බරපතල ගැටලු ඇති වී ඇති බවත් මෙහිදී ඔහු පෙන්වා දුන්නේය. ඒ අතරම චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද චිත්‍රපට කර්මාන්තය නගා සිටුවීමට නම් චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රියාවලියට සාධාරණ නියාමනයක් අවශ්‍ය බවද ඇමතිවරයා මෙහිදී පෙන්වා දෙන ලදී. චිත්‍රපට සංස්ථා පනත මුළුමනින්ම උල්ලංඝනය වීම මෙයට හේතු වී ඇති බවත් 2000 වසරේදී චිත්‍රපට සංස්ථාව විසින් පෞද්ගලික සමාගමක් සමඟ ලිඛික ගිවිසුමක් ද තවත් සමාගමකට වාචිකව ද චිත්‍රපට බෙදාහැරීම පවරා දී තිබෙන බවද සෑම චිත්‍රපටයකම මුළු ආදායමෙන් සියයට දහයක සේවා ගාස්තු මෙම සමාගම් ලබා ගනිමින් මිලියන ගණනක් වාර්ෂිකව හම්බ කළ ද චිත්‍රපට ක්ෂේත්‍රය නගා සිටුවීමට කිසිම දායකත්වයක් මෙම සමාගම් සිදු කර නොමැති බවත් එම සමාගම්වලට ඇමතිවරයා චෝදනා කරන ලදී. මේ තත්ත්වය යටතේ මතුව ඇති අර්බුද හේතුවෙන් මේ වනවිට රට වටා චිත්‍රපටශාලා හැත්තෑ නවයක් පමණ වැසී ගොස් ඇති බව ද පෙන්වා දෙන ලදී.

1971 චිත්‍රපට පනත යටතේ චිත්‍රපට බෙදාහැරීම සඳහා අනන්‍යතා බලය චිත්‍රපට සංස්ථාවට ඇති බවත්, චිත්‍රපට ක්ෂේත්‍රය ගොඩනැගීම සඳහා චිත්‍රපට බෙදාහැරීමේ බලය සංස්ථාව ක්‍රියාත්මක කළ යුතු බවත් මෙහිදී පැවැසිණි. දැනට පවතින මණ්ඩල ක්‍රමය අහෝසි කොට ඒ සඳහා විධිමත් නියාමනයක් චිත්‍රපට බෙදාහැරීම සඳහා ඉදිරියේදී ඇති කිරිමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා මාධ්‍ය හමුවේ පවසා සිටියේය. මේ අවස්ථාවට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න, ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙනිය, ප්‍රවීණ නිළි සංගීතා වීරරත්න, ආචාර්ය සෝමරත්න දිසානායක, රොහාන් වැලිවිට ඇතුළු ප්‍රවීණයන් රැසක් සහභාගි වූහ.


බෙදාහැරීමේ යෝජනා ගැන ප්‍රදර්ශන සංගම් ප්‍රසාදය

සිතේන්ද්‍ර සේනාරත්න සහ බුද්ධි කීර්තිසේන මාධ්‍ය හමුවේදී

මෙරට චිත්‍රපට බෙදාහැරීම සහ සිනමා කර්මාන්තයේ ගැටලු විසඳීම සඳහා පත්කළ ජනාධිපති කමිටු වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රජය විසින් ලැබු තීරණ පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රදර්ශකයින් ගේ සංගමයේ විශේෂ සභාවාරයක් මේ මස 26 දින ජාතික චිත්‍රපට රැස්වීම් ශාලාවේ දී පැවැත්විණි. එම අවස්ථාවට දිවයින පුරා සිනමාහල් නියෝජිතයින් විශාල පිරිසක් සහභාගි වූ අතර ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා ද සහභාගි විය. එහිදී, නව යෝජනා පිළිබඳ සාමාජිකයින් බොහෝ දෙනෙකු ප්‍රසාදය පළ කළ අතර සියලු දෙනා එය ඒක මතකිව සම්මත කිරීම විශේෂත්වයක් විය. ඒ අනුව,

1.චිත්‍රපට බෙදා හැරීම ජාතික චිත්‍රපට සංස්ථාව වෙත පැවරීම.

2.බෙදා හරින මණ්ඩලවලට මෙතෙක් ගෙවූ 10% කොමිස් මුදල 6% දක්වා අඩුකර සංස්ථාවට ගෙවීම, එම මුදල් සිනමා කර්මාන්තයේ සංවර්ධනයට යෙදවීම,

3.සිනමා ශාලා සහ නිෂ්පාදකට ගෙවන ප්‍රතිශතය 2% බැගින් වැඩි කිරීම

4.සිනමා කර්මාන්තයට නැති වූ බදු සහන නැවත ලබා දීම

5.විදුලිය ගාස්තු සහ විනෝද බදු අඩු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම

6.දේශීය හා විදේශ චිත්‍රපට ගෙන්වීම හා බෙදා හැරීම විධිමත් කිරීම

7.දේශීය සිනමා කර්මාන්තය සංවර්ධනයට අරමුදලක් පිහිටුවීම

8.නව නිර්මාණ සඳහා සංස්ථාව මගින් දායකත්වය ලබාදීම හා පේ‍්‍රක්ෂක රුචියට ගැළපෙන චිත්‍රපට නිෂ්පාදනයට අනුග්‍රහය දැක්වීම

9.සිනමාහල් නවීකරණයට සහ ඩිජිටල් තාක්ෂණය පුර්ණ කිරීම සඳහා අඩු පොලියට ණය ලබාදීම.

ඇතුළු කරුණු 15ක් පිළිබඳව ජනාධිපති කමිටු යෝජනා ක්‍රියාත්මක කිරීමට අතිගරු ජනාධිපතිතුමාත්, අමාත්‍ය විජයදාස රාපපක්ෂ මහතාත් ගත් තීරණය සාමාජිකත්වයේ පැසසුමට ලක්විය. එමෙන්ම නව තීරණය නිසා ජාතික චිත්‍රපට සංස්ථාව සමඟ ඇතිකර ගෙන තිබු ගිවිසුම අනුව බෙදාහරින සමාගම් වලට අසාධාරණයක් වී ඇත්තම් රජය මැදිහත් වී ගිවිසුමේ කොන්දේසි අනුව එම ආයතන වලට සහන ලබාදීම සාධාරණ බව ද පිළිගන්නා ලදී.

එම අවස්ථාවේදී අදහස් දැක් වූ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා, කවුරු කෙසේ කීවත් චිත්‍රපට බෙදා හැරීම සංස්ථාවට අභියෝගයක් නොවන බවත්, සංස්ථාව එම කාර්ය සාර්ථකව මීට පෙර කර ඇති බවත් දැනටමත් නව සැලසුම් සකස් කර තිබෙන බවත්.

සැමට සාධාරණ ලෙස, විනිවිද භාවයෙන් යුතුව සංස්ථාවේ කටයුතු සිදු කරන අතර අවශ්‍ය වුවහොත් විදේශ චිත්‍රපට ගෙන්වීමට ද ආරම්භ කරන බවත් ප්‍රකාශ කළේය. ජාතික චිත්‍රපට සංස්ථා පනත විධිමත් ලෙස ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේය.

චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමයේ සභාපති ආචාර්ය බුද්ධි කිර්තිසේන මහතා පවසා සිටියේ බෙදා හැරීම් මණ්ඩල පිළිබඳ තීරණය රජයේ ක්‍රියාවක් බවත් එම තීරණය හරි හැටි ක්‍රියාත්මක කිරීම සංස්ථාව වෙත පැවරුණු ඵෙතිහාසික වගකීමක් බැවින් සංස්ථාවේ සියලු දෙනා එම වගකීම කැපවීමෙන් ඉටුකරනු ඇතැයි සමස්ත සිනමා සමාජයම විශ්වාසයෙන් බලා සිටින බවය.


චාමර

සිළුමිණ රැස කළ සොහොයුරාණෙනි

ඉක්මනින් ඇවිත්

ඉක්මනින් යාවි යැයි

කෙසේ සිතන්නද?

ආවොත් යා යුතුය.

ඒක ඇත්ත.

ඒත් චාමර,

මෙච්චර ඉක්මනින්...?

හිතා ගන්නත් බෑ - හිත හදාගන්නත් බෑ

ගිහින් එනවා ද?

චාමර...

එතෙක්

ඒ තැන හිස්ය