|
2018 උසස් පෙළ සඳහා සැරසෙමු
“ළපලු පැහැති යටි තොලැති කොමල වෙලෙප් බඳු අතැති” සංස්කෘත නාට්‍ය කලාව
සංස්කෘත නාට්‍ය කලාවේ ප්‍රභවය සංස්කෘත නාට්‍ය කලාවේ ප්‍රභවය පිළිබඳ විවිධ මතවාද දක්නට ලැබේ. මේ මතවාදවලින් ප්‍රමුඛත්වය හිමි වන්නේ භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ ඇති දිව්‍යමය මතවාදයටයි. වෛදික යුගයේ බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යනුවෙන් කුල සතරක් ද ඝෘග්, යජුර්, සාම, අථර්ව යනුවෙන් වේදයන් සතරක් ද දක්නට ලැබුණි. එහෙත් මේ වේද වින්දනය කළ හැකි වූයේ බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය යන ඉහළ කුලවලට පමණි. ශුද්‍රයන්ට වේදය රස විඳීම තහනම් විය. වෛදික යුගයේ අවසාන කාලයේ සමාජය පරිහානියට පත්වනු දුටු ඉන්ද්‍ර ප්‍රමුඛ දෙවිවරු ලෝකයාගේ හිත සුව පිණිස සියල්ලන්ටම පොදුවේ භූක්ති විඳිය හැකි වේදයක් නිර්මාණය කරන ලෙස මහා බ්‍රහ්මයාගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව මහා බ්‍රහ්මයා ඝෘග් වේදයෙන් පාඨයන් (දෙබස්), යජුර් වේදයෙන් අභිනයත්, සාම වේදයෙන් ගීතයත් ගෙන පස්වැනි වේදය ලෙස නාට්‍ය වේදය නිර්මාණය කළහ. විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා නාට්‍ය ශාලාව ගොඩ නැං වූ අතර ශිව දෙවියන්ගේ තාණ්ඩව නැටුමෙන් සහ පාර්වතියගේ ලාස්‍ය නැටුමෙන් නාට්‍ය කලාව තවත් සංවර්ධනය විය. එය දෙවියන්ට උගන්වන ලෙස ශක්‍රයාට ලබාදුන් නමුත් දෙවියන් නාට්‍ය කලාව ඉගෙනීමේ අසමර්ථ වූ නිසා එය මිනිසුන්ට උගන්වන ලෙස භරතට සහ ඔහුගේ පුතුන් සියදෙනාට ලබා දුන් බව කියවේ. මෙයට අමතරව මතවාද කිහිපයක්ම දක්නට ලැබේ. ආචාර්ය රිජ්වේ ප්‍රකාශ කරන්නේ සංස්කෘත නාට්‍යවල ආරම්භය වීර පූජාවලින් සිදු වූ බවයි. ජර්මන් උගතෙකු වූ පිෂල් සංස්කෘත නාට්‍යයේ උපත රූකඩවලින් සිදු වූ බව ප්‍රකාශ කර ඇත. ආචාර්ය ස්ටෛන් කෝනෝ දැඩි ලෙස සනාථ කර දක්වන්නේ සංස්කෘත නාට්‍යයේ ආරම්භය ඡායා නාටකවලින් සිදු වූ බවයි.
සංස්කෘත නාට්‍ය කලාවේ සුවිශේෂී ලක්ෂණ ලෝකයේ අනෙකුත් රටවල නාට්‍ය කලාවන් සමඟ සන්සන්දනය කිරීමේදී සංස්කෘත නාට්‍ය කලාව තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ පහත සඳහන් පරිදි සඳහන් කළ හැකිය. * භාෂා මිශ්‍රණයක් දක්නට ලැබීම සංස්කෘත නාට්‍යවලදී රජු, බමුණු, වෙළෙඳ, ඇමති ආදී ඉහළ පෙළේ චරිත භාවිතා කරන්නේ සංස්කෘත භාෂාවයි. සියලුම ස්ත්‍රීහු සහ අධම ගණයේ පිරිමි චරිත ප්‍රාකෘත භාෂා ප්‍රභේද භාවිත කරති. ප්‍රාකෘත භාෂා ප්‍රභේද යනු සාමාන්‍ය ජනතාව භාවිතයට ගන්නා භාෂා ප්‍රභේදයි. එම භාෂා සංස්කෘත නාට්‍යවලට යොදා ගැනීමෙන් සංස්කෘත නාට්‍ය කලාව සාමාන්‍ය ජනතාවට සමීප කලාවක් බව අපට තහවුරු වේ. * සංස්කෘත නාට්‍ය කලාව නාට්‍යධර්මී ශෛලියට අයත් වුවත් සංවාදයේදී භාවිත කළේ ගද්‍ය භාෂාවයි. පද්‍ය භාවිතයට ගත්තේ අවශ්‍ය වූ විට පමණයි. ගද්‍ය සංවාද යොදා ගැනීම තුළින්ම සංස්කෘත නාට්‍ය කලාව සාමාන්‍ය ජනතාවට සමීප කලාවක් බව අපට තහවුරු වේ. * ස්ත්‍රීන් රංගන දායකත්වය ලබාදීම. ලෝකයේ බොහෝ රටවල මුල් කාලයේ ස්ත්‍රී චරිත රඟපෑවේ පිරිමි නළුවන් විසිනි. එහෙත් ඈත අතීතයේ බිහි වූ සම්ප්‍රදායක් වුව ද, කාන්තාවන්ට අඩු සැලකීමක් තිබුණු සමාජයක වුව ද කාන්තාවන් සංස්කෘත නාට්‍ය සඳහා රංගනය ලබාදීම සුවිශේෂී වේ. * ඇතැම් දෑ පෙන්වීම තහනම් කර තිබීම සංස්කෘත වේදිකාවේ මරණ, විප්ලව, දරු ප්‍රසූති, දුරගමන්, කෑම බීම ගන්නා දර්ශන, විශාල පිරිස සහිත දර්ශන, සිප වැලඳ ගැනීම් පෙන්වීම තහනම් කර ඇත. * ඉෂ්ඨාර්ථ සිද්ධිය සිදුවීම අනිවාර්ය වේ. නායක නායිකාවන්ගේ අරමුණු ඉෂ්ඨ වීම සංස්කෘත නාට්‍යවල අනිවාර්ය වේ.
සංස්කෘත රංග ශෛලියේ විශේෂ ලක්ෂණ සංස්කෘත නාට්‍ය රංග ශෛලියේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ පහත සඳහන් පරිදි හඳුනාගත හැකිය. * පාත්‍රයන්ගේ ක්‍රියා ඉදිරිපත් කරන්නේ ආංගික හා සාත්වික අභිනයෙනි. නැතහොත් මුද්‍රා මාර්ගයෙනි. එය 'නාටයති' යන රංග විධානයෙන් දක්වා ඇත. උදා: 1. ඉති කුසුමාවචයං නාටයති - මල් නෙළීම අභිනයෙන් කර පෙන්වීම 2. ඉති ශරසංධානං නාටයති - දුනු හී සවි කිරීම අභිනයෙන් කර පෙන්වීම 3. ඉති බ්‍රමරබාධං නාටයති - මී මැස්සන්ගෙන් කරදර සිදුවීම අභිනයෙන් කර පෙන්වීම 4. ඉති උදක සේචනං නාටයති - වතුර වත් කිරීම අභිනයෙන් කර පෙන්වීම * සංස්කෘත නාට්‍යවල පසුතල භාවිතයක් දක්නට නොලැබේ. එම නිසා එක් තැනක සිට තවත් තැනකට ගිය බව අඟවන්නේ වටයක් ගමන් කිරීම මඟිනි. එය සංස්කෘත නාට්‍ය පිටපත්වල දක්වා ඇත්තේ 'පරිෂ්ක්‍රමණය' යන නමිනි. * එක් තැනක සිට තවත් තැනකට ගිය බව ඇඟවීමට වටයක් ගමන් කළ පසු එම ස්ථානය හඳුන් වන්නේ වාචික අභිනයෙනි. උදා: (සකුන්තලා) රජ: (වටයක් ගොස් බලා) මේ තියෙන්නේ අසපුවයි. මම ඇතුළු වෙන්නම්. * සංස්කෘත නාට්‍ය සංවාදවල දක්නට ලැබෙන්නේ ගද්‍ය භාෂාවයි. පද්‍යය විශේෂ අවස්ථාවල පමණක් භාවිත වේ. 1. පරිසර වර්ණනාවලදී උදා - (සකුන්තලා) එමට වැටී ඇත ඌරා සහල් ඇට ගිරවු ලැගපු බෙනවලින් මෙරුක් යට 2. සිතේ අතිවන හැඟීම් ප්‍රකාශ කිරීමට උදා: (සකුන්තලා) රජ: ළපලු පැහැති යටි තොලැති කොමල වෙලෙප් බඳු අතැති කුසුමක් මෙන් වඩන රුති යොවුන් සිරින් පිරි ගතැති 3. සංස්කෘත නාට්‍යවල රංගාලෝකය භාවිත නොකරන නිසා කාලයේ වෙනස ඇඟවිමට උදා: (සකුන්තාල) ශිෂ්‍යයා: එක් පසෙකින් සඳ අවර ගිරට යයි අනෙක් පසින් අරුණළු පාමින්
* කක්ෂ්‍යා භාවිතය සංස්කෘත වේදිකාවේ එක විට එක් තැනක එක් දෙයක් සිදු වන විට තවත් තැනක තවත් දෙයක් සිදු වීම කක්ෂ්‍යා භාවිතය ලෙස හැඳින්වේ. උදා: සකුන්තලා නාට්‍යයේ දුෂ්‍යන්ත රජු එක් කක්ෂ්‍යාවක සැඟව බලා සිටී. අනෙක් කක්ෂ්‍යාවේ සකුන්තලා යෙහෙළියන් සමඟ මල් පැළවලට වතුර වත් කරයි. (දුෂ්‍යන්ත රජතුමා සකුන්තලා සහ යෙහෙළියන් පෙනුණ ද සකුන්තලා සහ යෙහෙළියන්ට දුෂ්‍යන්ත රජතුමා නොපෙනේ. එය සම්මුතියකි) * භාෂණ විධි ක්‍රම සංස්කෘත නාට්‍යවල භාෂණ විධි ක්‍රම රැසක් දක්නට ලැබේ. 1. සාමාන්‍ය භාෂණය නළු නිළියන් සියලුම චරිතවලටත් සියලුම ප්‍රේක්ෂකයන්ටත් අසෙන සේ කතා කරයි. 2. ආත්ම භාෂණය (ර්ධදධතධඨභඥ) චරිතයක් තමාටම කතා කරයි. මෙය ඇසෙන්නේ ප්‍රේක්ෂකයාට පමණයි. 3. ඒකල භාෂණය (ඉඥතට ඊචතඬ) චරිතයක් සෘජුව ප්‍රේක්ෂකයන්ට කතා කරයි. 4. අපවාරිත භාෂණය චරිත කිහිපයක් වලක්වා එක් අයෙකුට පමණක් අසෙන සේ කතා කරයි 5. ජනාන්තික භාෂණය එක් චරිතයක් වලක්වා පිරිසකට කතා කිරීම 6. ආකාශ භාෂිත වේදිකාවෙන් පිටත නොපෙනෙන චරිතයක් (මනඞකල්පිත චරිතයක්) සමඟ කෙරෙන සංවාදය 7. රහස්‍ය කථනය වේදිකාවේ රහස් කීම තාත්විකව ඉදිරිපත් කෙරුණි. |