වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




තිස්ස දුන් දේ සිතේන්ද්‍ර නැවත ගනියි

තිස්ස දුන් දේ සිතේන්ද්‍ර නැවත ගනියි

ප්‍රදර්ශන බලතල යළි සංස්ථාවට

දහඅට වසකට පසු යළිත් ජාතික චිත්‍රපට සංස්ථාව චිත්‍රපට ප්‍රදර්ශනය පිළිබඳ බලතල පවරා ගත්තේය. 1972 ජාතික චිත්‍රපට සංස්ථාව පිහිට වූ පසු දේශීය සහ විදේශීය චිත්‍රපට බෙදා හැරීමේ ඒකාධිකාරය සංස්ථාව සතු කර ගන්නා ලදී.

2000 වසරේදී තාවකාලික ගිවිසුමක් යටතේ පෞද්ගලික සමාගම් වෙත චිත්‍රපට බෙදා හැරීමේ බලතල පැවරුවේය. ඒ අනුව පෞද්ගලික ප්‍රදර්ශන සමාගම් 4 ක් ඉකුත් 18 වසර මුළුල්ලේ දේශීය හා විදේශීය චිත්‍රපට බෙදා හැරීම සහ ප්‍රදර්ශනය සිදු කෙරිණි.

මෙවර චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න විසින් අදාළ ආයතන බලතල යළි සංස්ථාව වෙත පවරාගෙන තිබේ. මේ අනුව චිත්‍රපට ප්‍රදර්ශනය පිළිබඳ බලතල යළිත් ජාතික චිත්‍රපට සංස්ථාවට පැවරෙනු ඇත.

මෙම කර්තව්‍ය ජනාධිපති උපදේශක කමිටුවේ නිර්දේශ පරිදි සිදු කෙරුණි. සිනමා ශාලා හිිමියන් සහ චිත්‍රපට නිෂ්පාදකවරුන් චිත්‍රපට සංස්ථාවට චිත්‍රපට බෙදා හැරීමේ බලතල පවරාගන්නා ලෙස පසුගිය කාලයේ දිගින් දිගට ඉල්ලිම් කොට තිබිණි.

එය පිළිබඳව ද මෙවර සැලකිලිමත් වී ඇත. 2000 වසරේ චිත්‍රපට බෙදා හැරීමේ බලතල පෞද්ගලික අංශයට පැවරුවේ එවකට චිත්‍රපට සංස්ථාවේ සභාපති තිස්ස අබේසේකර විසිනි.


මමෝ මුහුණු නවයක

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මමෝරත්න චරිත රංගනයෙන් දායක වූ සිනමාපට නවයක් තිරගතවීමට නියමිත බව සරසවියට වාර්තා විය. ඒ රං කොල්ලා, සූවිසි විවරණ, ඉක්කා, අයිස්ක්‍රීම්, ගෝල්, තක්කිට තරිකිට Children are bullet Proof, කතුරු මිතුරු සහ මං මිස් ජෙනිස් වේ. රං කොල්ලා සුමිත් රත්නායකගේ අධ්‍යක්ෂණයකි. සූවිසි විවරණ අධ්‍යක්ෂණය කරනු ලැබුවේ සරත් ධර්මසිරි විසිනි මෙහි පාරම්පරික නැටුම් ගුරුන්නාන්සේවරයකු ලෙස මනෝ රංගනයේ යෙදෙයි.

ඒ වෙනුවෙන් ඔහු නවදිල්ලියේ පැවති ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. චිත්‍රපටයක් නිපදවිම සඳහා සිහින මවන තරුණ පුතකුගේ පියාගේ චරිතය මනෝ නිරූපණය කළේ ඉක්කා චිත්‍රපටයේය. ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ අයිස්ක්‍රීම් සිනමාපටයේ මනෝ පුවත්පත් කලාවේදියකුගේ භූමිකාවට පණ පෙවිය.

ගෝල් රොහාන් පෙරේරාගේ තෙවැනි සිනමා නිර්මාණයයි. එහි ඔහු පාපන්දු උපදේශකවරයෙකි. ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ දෙවැනි සිනමාපටය වූ Children are bullet Proof හි මනෝ මධ්‍යම පාන්තික ලිපිකරුවෙකි. කැමරා අධ්‍යක්ෂ පාලිත පෙරේරා ස්වකීය කුලුඳුල් සිනමා අත්දැකීම වන තක්කිට තරිකිට නිර්මාණය කිරීමේදී පිටිසර පාසලක විදුහල්පති භූමිකාව මනෝට පිරිනමා තිබිණි. කතුරු මිතුරු ගිරිරාජ් කෞශල්‍යගේ නවතම චිත්‍රපටයයි. එහි මමෝ රෙදි මසන්නෙකි. ප්‍රශස්ත මට්ටමේ ටෙලි සිතුවම් කිහිපයක් අධ්‍යක්ෂණය කළ සුසිරන් ද සිල්වා තම මංගල චිත්‍රපටය මිස් ජෙනිස් හි කාන්තාවක ලෙසින් මනෝ වෙස් මාරු කොට ඇත.


නන්ද කුමාර් උපහාරයට ‘හෙළ මුතු රාත්‍රිය’

පි. ඒ. නන්ද කුමාර්ගේ 30 වසරක සිනමා මෙහෙවර අගයමින් තිලක් සමරසිංහ සමඟ හෙළ මුතු පදනම ඉදිරිපත් කරනු ලබන 'හෙළ මුතු රාත්‍රිය' එළඹෙන ජුනි 24 වන දින සවස කොළඹ ටවර් රඟහලේදී වේදිකා ගත වේ.

නන්ද කුමාර් සිනමාවේ අපට හමුවන ප්‍රවීණ නැටුම් අධ්‍යක්ෂවරයෙකි. පසුගිය තිස් වසරක සිනමා ගමනේදී ඔහු විසින් නැටුම් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර නොම්මර 17, 'මමයි රජා', 'ඩිස්කො ගර්ල්', 'ලස්සනයි බලන්න', 'රජ වංශෙන් එකෙක්' ඇතුළු චිත්‍රපට රාශියක ජනප්‍රියත්වයට පත් වූ සිනමා නිර්මාණයන්ය.

ඉන්දියාවේදී ශාස්ත්‍රීය නර්තනය ගැඹුරින් හැදෑරූ නන්ද කුමාර්, ප්‍රවීණ සිනමා නැටුම් අධ්‍යක්ෂවරයකු වන රොනල්ඩ් ප්‍රනාන්දුගේ සහය අධ්‍යක්ෂවරයා වශයෙන් ක්ෂේත්‍රයට එක් වී මේ වන විට චිත්‍රපට 81 ක පමණ නැටුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. නන්ද කුමාර්ගේ තිස් වසරක සිනමා නැටුම් අධ්‍යක්ෂණය ඇගයෙන අතරම නවක අධ්‍යක්ෂවරුන් හට මාවත විවර කරදීම මෙම උලෙළේ තවත් අරමුණකි.


චම්පා අනතුරක

ගායන ශිල්පිනී චම්පා කල්හාරි අනතුරකට ලක්ව එක්තැන්ව සිටින වගට සරසවියට වාර්තා විය. ඇය මෙලෙස අනතුරකට මුහුණ පෑවේ සිය නිවසේදීය. එහි පිය ගැට පෙලෙන් වැටීමට ලක්වීමෙන් චම්පාගේ පාදයක් බිඳී ගොස් තිබේ. මේ හේතුවෙන් ඇගේ සියලු ප්‍රසංග අවලංගු කිරීමට ද සිදුව ඇත. චම්පාට ඉක්මන් සුවය ලැබේවා යැයි සරසවිය ප්‍රාර්ථනා කරයි.


මායා ශක්තියෙන් වැඩමුළුවක්

මායාශක්ති රංග ශිල්ප ශාලිකාව මඟින් අභිනව රංග වැඩමුළුවක් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති වග එහි අධ්‍යක්ෂ ධර්මජිත් පුනර්ජීව සරසවියට දන්වා සිටිියි. සති අන්තයේ දිනවල පැවැත්වීමට නියමිත මේ සඳහා ආධුනික නළු නිළියන්ට මෙන්ම දැනට කෂේත්‍රයේ සක්‍රීයව සිටින පිරිසට ඔහු විසින් විවෘත ආරාධනාවක් කරයි. 0779884019 අංක ඔස්සේ මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකිය.