වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රවෘත්ති නිවේදනයට වැඩි යමක් දැන් මගෙන් ඉටු වෙනවා

ප්‍රවෘත්ති නිවේදනයට වැඩි යමක් දැන් මගෙන් ඉටු වෙනවා

ඉෂාර දේවේන්ද්‍ර මාධ්‍ය ලෝකයට පිවිසෙන්නේ 2008 වසරේදී. ඇගේ පළමු රූපවාහිනි නාළිකාව වුණේ ජාතික රූපවාහිනියයි. ළමා නිවේදිකාවක ලෙසින් එයට එක් වූ ඉෂාරා දෙවනුව ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වෙනවා. ඒ 2010 දී. එතැනින් වසර පහක් ඉෂාරාගේ නවතැන වුණේ එතැන. වර්තමානය වන විට ඇය හිරු නාළිකාවට ඇවිත්. පසුගිය වසරේ අග භාගයේ සිටයි ඉෂාරා එතැන සේවය කරන්නට පටන් ගත්තේ. අලුත් රාජකාරි ස්ථානය සමඟින් ජීවිතය ද අලුතින් පටන් ගත් ඉෂාරා ඒ සොම්නස හිතේ රඳවා ගනිමින් මෙලෙස සිය හඬ අවදි කළා.

කොහොමද අලුත් තැන?

බොහොම හොඳයි. හරිම සතුටින් සේවය කරනවා. මට මෙතෙනදි තවත් රාජකාරියක් එකතු වුණා. ඒ ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක් ලෙසට. ඉස්සර මං ප්‍රවෘත්ති නිවේදිකාවක් පමණයිනේ. දැන් නිෂ්පාදකවරියකුත් වෙනවා.

ඒ රාජකාරිය මොන වගේද ඔබට දැනෙන්නේ?

ඉස්සර මං මට ලබා දෙන ප්‍රවෘත්තිය රීඩ් කළා පමණයි. දැන් ප්‍රවෘත්තියේ මුලාශ්‍රයේ සිට ප්‍රේක්ෂකයා වෙතට ගෙන එන තැන දක්වා එහි සියලු වගකීම මා සතුයිි. බරපතළකමක් දැනෙනවා අඩුයි. නමුත් ඉතාම වගකීමෙන් වැඩ කරනවා.

පාසල් යන කාලයේ ඔබ හරිම තැන්පත් ළමයකු කියලා ආරංචියි?

ඔව්. තැන්පත්කමේ උපරිමයි. ඒත් මට හොඳ හඬක් තියෙනවා කියලා මං දැනගෙන හිටියා. මගේ පාසල මාතර

සුජාතා බාලිකාව. එහි නිවේදන කටයුතුවලදි නම් හැංගිලා හිටියේ නැහැ. ඒවාට ඉදිරිපත් වුණා.

කවුද ඔබේ කටහඬ ලස්සනයි කියලා නිතරම වර්ණනා කළේ?

මගේ අම්මා තමයි.

ඇය ද ඔබව නාළිකාවකට යොමු කරන්නට උනන්දු වුණේ?

ඇත්තටම ඔව්. මම නිවේදිකාවක විදිහට ප්‍රසිද්ධ කරළියට එවන්න අම්මා දැඩිව වෙහෙසුණා. ඒත් තාත්තා නම් චුට්ටක්වත් කැමැති වුණේ නැහැ මේ ෆීල්ඩ් එකට මං එනවට.

නිවේදන ලෝකයේ ඔබගේ වීරවරියන් කවුද?

අංක එක ඉඳුනිල් දිසානායක. රසාදරී පිීරිස්, ලංකා අක්කලා ඊළඟට ඉන්නවා.

අද වන විට පියාගේ ප්‍රතිචාරය කෙබඳුද?

තාත්තා හුඟක් සතුටු වෙනවා මං ඉන්න තැන දැකලා.

ඔබ කෙටි කලකින් ඉහළ ජනප්‍රියත්වයක් ලැබුවා නේද හිරු නාළිකාවට ආවට පස්සේ?

ඒක නම් එහෙම තමයි. දිගු කලක් මා සේවය කළ නාළිකාවන් තුළින් මට නොලැබුණ ජනප්‍රියත්වයක් මට හිරු පවුලට එකතු වුණායින් පසුව මට ලැබුණා. වෙනදාට වැඩිය මිනිස්සු කතා කරනවා. නිවුස් බුලටිං එකකට පසුව කෝල්ස් ගොඩක් එනවා. එතකොට මට දැනෙනවා මං වෙනදට වඩා මිනිසුන් අතරට ගිහින් කියලා.

ප්‍රවෘත්ති නිවේදකයකු වෙනත් වැඩ සටහන් ඉදිරිපත් කිිරීම ගැන ඔබේ මතය කුමක්ද?

මං කියන්නේ ප්‍රවෘත්ති නිවේදකයකු වෙනත් වැඩ සටහන් ඉදිරිපත් කළාට කමක් නැහැ. හැබැයි ඒ වැඩසටහන ඔහුට හෝ ඇයට ගැළපෙන ඒවා විය යුතුයි. මොකද ප්‍රවෘත්ති නිවේදකයකු හෝ නිවේදිකාවක කියන දේවල් මිනිස්සු විශ්වාස කරනවා. ඒ විශ්වාසය බිඳෙන්නේ නැති අන්දමේ වැඩසටහන් තමයි අප කළ යුතු වන්නේ.

ඔබේ පරපුරේ ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් ගැන මොකද කියන්න තියෙන්නේ?

බොහෝ දෙනෙකු එනවා. නමුත් රැඳීම අඩුයි. බොහෝ විට එක එක නාළිකාවල අයිකන් වගේ ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවෝ ඉන්නවා. සිරස චේතනා, රූපවාහිනියේ චමින්ද වගේ. එහෙම අයිකන් එකක් වෙන්න අලුත් අය උත්සාහ කරනවා අඩුයි. එහෙට මෙහෙට යන අය ඉන්නේ.

ඔබට මඩ ප්‍රහාර ඇවිත් තියෙනවාද?

බොරු කියන්නේ මොකටද. ඔව්. මගේ නමට හානි කරන්න කොතරම් දෙනා උත්සාහ කරලා තියෙනවාද. ඒ වගේ වෙලාවල්වලට මං නිහඬව ඉන්නවා. උත්තර බඳින්න යන්නේ නැහැ. කාලය විසින් බොහොම අපූරුවට ඒ මඩ මගේ ජීවිතයෙන් පිහදලා ඉවත් කරලා තියෙනවා.