වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රංශය හැඩ වු සිංහල ගී කිරිල්ලී

ප්‍රංශය හැඩ වු සිංහල ගී කිරිල්ලී

'සිරිමා'- ඛේදවාචකයක කතාවක්

1986 වසරේ මාර්තු මාසයේ දිනක ප්‍රංශ සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වුනු පිලිප් දෙලෙට්‍රෙස් (Phillipe Delettrez) වාහන තදබදයෙන් බේරී ගමනාන්තය ට යනු පිණිස පැරිස් උමං දුම්රියට බැස ගත්තේය. නගරයේ ප්‍රධානතම දුම්රිය පලක් වන Chatelet - Les Halles  ඇවිද යන ඔහුට තරුණියකගේ මනරම් කටහඩක් ඇසුණි. ඉන්දියානු සම්භවයකට උරුමකම් කි ඇගේ කට හඩට මිනිසා වශී විය. විනාඩි තිහකට ආසන්න කාලයක් තරුණියගේ ගායනා අසා ගෙන සිට ඇයට ලං වූ ඔහු ප්‍රන්සයේ ප්‍රකට ගායකයෙකු සමග යුග ගීතයක ගැයිම සදහා කටහඩ පරිකෂණයකට සභාගි වන්නට කැමති දැයි විමසිය. ඇය කැමැත්ත දුන්නාය.

මේ ගායකයා ෂෝන් ජැක් ගෝල්(ද්)මාන් (Jean Jacques Goldman) ය. ප්‍රන්සයේ වාසය කරන ලාංකිකයෝ මේ ගායකයාව නොදැන සිටින්නට හේතුවක් නොමැත. මව්බිමේ ඇත්තෝ ඔහුව දැන් සිටින්නට හේතුවක් නැත. ෂෝන් ජැක් ගොල්(ද්)මන් , බොහෝ දෙනා හදුන්වන පරිදි බ්බ්ට් අන්තර්ජාතික සංගීත ක්ෂෙත්‍රයේ ජය කෙහෙළි නැංවූ ගායකයෙක් නොවේ. එහෙත් ප්‍රන්සයේ නම් සිව් දශකයක් ගෙවී ගී තැන වුවද ඔහු ජනප්‍රිය පුද්ගලයන් අතරේ මුල් තැන වැජඹෙයි. දැනට 66 වන වියේ පසුවන ඔහු ගීත රචකයෙකි.සංගීතඥයෙකි, ප්‍රංස සංගීත ඉතිහාසයේ බිහිවුවුණු ජනප්‍රියතම ගායකයෙකි. මේ දැවන්තයා අලෙවි කල ගී තැටි ගණන මිලියන් 30 ක පමණ වන අතර බොහෝ විට ජනමාධ්‍ය වලින් ඈත්ව සිටින්නට ඔහු උත්සාහ දරයි

පිලිප් දෙලෙට්‍ර්ස් බ්බ්ට් සමග බෙහෙවින් සමීපව කටයුතු කළ අයෙකි. ඔහු තරුණියගේ නම් විමසූ විට ඇය "සිරීමා" නමින් තමාව හඳුන්වා දුන්නාය.

මෙසේ ආරම්භ වුයේ දුක හිතෙන කතාවක් ආරම්භයයි. ඛේදවාචකයක ආරම්භයයි.

සිරිමා වීරතුංග ගේ පියා ශ්‍රී ලාංකිකයෙකි. ප්‍රංස ජාතික මවකගේ කුසින් 1964 වසරේ පෙබරවාරි 14 වැනිදා එංගලන්තයේ Isleworth  හි ඇය උපත ලැබුවාය. ඇගේ දෙමාපියන්ගේ විවාහය දෙදරා ගිය එකකි. ඉතාම කුඩා වයසකදී තම පියාගේ ඇසුර (ඔවුන් ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටියේ යැයි කියනු ලැබේ) ලබනා ඇය සංගීතයේ මුල් අකුරු පියාගේ අභාසයෙන් ලැබුවාය. පියාගේ ගිටාරයත්, මාමා කෙනෙකුගේ බටනළාවත් වයන්නට ඉගෙන ගන්නා සිරිමා පන්සලේ හේවිසි වාදනයෙන් කුල්මත් වුවාය.

වයස අවුරුදු අටක් වෙද්දී මවගේ ඉල්ලීම පරිදි ඇය එංගලන්තයේ වාසයට යන්නේ කැමැත්තෙන් නොවේ. වයස අවුරුදු 18 ක් වන තුරු මවගේ ඇසුරේ අකමැති දිවියක් ගත කල සිරිමා වැඩිහිටි පදවිය ලැබූ සැණින් කළේ පැරිස් නගරයට පැමිණීමයි.

එය 1982 වසරයි. පැරිසියට පැමිණෙන සිරිමා තම ගී ගැයීමේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නී, Chatelet - Les Halles  උමං දුම්රිය පලේ ගිටාරය වයමින් ඉංග්‍රීසි ගී ගයන්නට පටන් ගත්තාය. සති කීපයකට පසු ඇයට Kahatra Sasorith (ඔහු වියට්නාම හෝ චීන ජාතිකයෙක් විය යුතුය) නම් තරුණයා එහිදී මුණ ගැසුණි. සංගීත ලොවේ දිගු ගමනක යන්නට සිහින් මවමින් සිටි මේ තරුණයා සමඟ ප්‍රේමයෙන් බැදෙනා සිරිමා ඔහු සමග වාසයට ගිය අතර පසු කලෙක ඇය ම්කර් නමින් පුතෙකු ලැබුවාය.

සිව් වසරක් පුරාම ඇගේ ආදායම් මාර්ගය වුයේ උමං දුම්රිය පොළේ ගී ගයමින් උපයා ගත් මුදලයි. පිලිප් දෙලෙට්‍ර්ස් 1986 වසරදී මුණ ගැසීම ඇගේ දිවිය වෙනස කරන්නට සමත් විය. ඒ කාලයේ බ්බ්ට් ප්‍රංස සංගීත ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹුණු ගායකයා ය. ඔහු සිරිමා ගේ කට හඩට ප්‍රිය කළේය. තමන්ගේ අලුත්ම ගී තැටියේ එන LA - BAS (There )නමැති යුග ගීතය ගැයීමේ වරම ඇයට ලැබුණි. ජීවිතය ජය ගන්නට ඈත නගරයට යන සැමියෙක් සහ එහි නොයන ලෙස ඉල්ලා සිටින බිරිදක් අතර ඇතිවන කාව්‍යමය සංවාදයකි මේ ගීතය .

LA - BAS  ගීතයේ ජනප්‍රියතාවය අති මහත් විය. මේ ගීතය පමණක් ඇතුළත් වූ තනි ගී තැටිය මාස දෙකක් ඇතුලත් ලක්ෂ 04 ක අලෙවි වූ බව වාර්තා වෙයි. හදිසියේම මතුවී පැමිණි මේ ආධුනික තරුණියගේ ගායන හැකියාවන් ගැන ප්‍රන්ස සංගීත රසිකයෝ කතා කරන්නට පටන් ගත්හ. ඇය රුපවාහිනි , ගුවන් විදුලි වැඩසටහන් වලට සහභාගී වුවාය; අගේ රුවෙන් සගරා කවර පිරුණු අතර , පුවත්පත් වල සාකච්ඡා පල විය; ඇය JJG  සමග සන්දර්ශන වෙනුවෙන් ප්‍රන්සය, යුරෝපය වටා ගියාය.

සිරිමා ගේ ජනප්‍රියතාවය වැඩි වෙද්දී තවත් නිෂ්පාදකවරුන් වෙතින් ඇයට ආරාධනා ලැබුනත් ඇගේ සිහිනය වුයේ තමන්ගේම ගී තැටියක් එලි දැක්වීමයි.ගීත 09 ක ඒආ සදහා සුදානම් කල ඇය ඒ Part of Me නමින් එය නම් කළාය. එහෙත් 1989 වසරේ දෙසැම්බර් 07 වැනිදා මේ තාරකාවගේ පැහැබර දිවිය වෙනස් විය. ගී තැටිය නිකුත් වී ගතව තිබුණේ සති තුනකි. එහි ප්‍රචාරක කටයුතු වලින් වෙහෙසට පත්ව සිරිමා නිවසට පැමිණියාය. ගායකයෙකු වන්නට මහත් වෑයමක දී සිටින

ඇගේ පෙම්වතා සිරිමා ගේ ජනප්‍රියතාව ඉවසා දරා ගත් අයෙකු නොවේ. තමන්ට අයිති ගැහැනිය තමන්ට අහිමි වේය, ය වෙනත් මිනිසෙකුට හිමිවේය යන ඊර්ෂ්‍යව නිරන්තරයෙන්ම සිතේ දරා ගෙන් සිටි මිනිසා මේ දිනයේ ඇය සමග කලහයක් ඇති කර ගත්තේය. මේ කලහය දරුණු අතට හැරුණු මොහොතක ඔහු තම පෙම්වතියට, තම දරුවාගේ මවට පහර දුන්නේය. පිහියක් අතට ගන්නා මිනිසා එය කීප වතාවක්ම ඇගේ සිරුරට ඇතුළු කළේය. ඇගේ දිවිය ඒ අයුරින් අවසන් විය.

වසර 30 ක ගතවී ගිය තැන පවා LA BAS  ගීතය ප්‍රන්සයේ ජනප්‍රිය ගීතයක් බව කිව යුතුය. සිරිමා ගේ ඛේදවාචකය ප්‍රංස ජාතිකයෝ දනිති. මිට වසර කීපයකට වී දහසක් දෙනා රැස් වුනු තමන්ගේ සංගීත ප්‍රසංගයකදී බ්බ්ට් මේ ගීතය සිරිමා ගේ නමින් ගැයුවේය. එහිදී ගීතයේ සිරිමා ගේ කොටස සම්පුර්ණයෙන්ම ගායනා කරනා ලද්දේ රසිකයන් විසිනි.

අද Rn Chatelet - Les Halles දුම්රිය පල බොහෝ වෙනස් කම්වලට භාජනය වී තිබේ. එහෙත් සෑම වසරකම දෙසැම්බර් 07 වැනිදා දුම්රිය බිමේ තැනක සිරිමා වෙනුවෙන් කා අතින හෝ මල් කලඹක් තැන්පත් වෙයි.

JJB  සමග සිරිමා ගැයූ ඒ අති ජනප්‍රිය ගීතය මෙහි තිබේ. එහි රුප රචනයේ පෙනී සිටින්නේද ඇයයි .