වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

දීපිකාට ගිනි බිය

මේ වසර ආරම්භයේදී 'පද්මාවත්' චිත්‍රපටය තිරගත කිරීම සමඟින් එහි ප්‍රධාන නිළි දීපිකා පදුකෝන් වෙත දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වුණා. ඒ කෙසේ වෙතත් සියලු බාධක මැඩගනිමින් 'පද්මාවත්' චිත්‍රපටය සාර්ථක අයුරින් තිරගත කෙරුණා. පසුගියදා දීපිකා සම්බන්ධයෙන් ඇසුන පුවතක් නිසා රසික රසිකාවන් කලබලයට පත් වී තිබුණා. එනම් ඇයගේ නිවෙස ගිනි ගෙන ඇති බවයි. මුම්බායිහි ඇයට අයත් නිවෙස පිහිටා තිබෙන නිවාස සංකීර්ණය පිහිටි ගොඩනැඟිල්ලේ ජුනි 14 වැනිදා පස්වරු 2.10ට පමණ හදිසි ගින්නක් ඇති වී තිබුණා. කෙසේ නමුත් එම අවස්ථාව වන විට තමන් එම ගොඩනැඟිල්ලේ නොසිටි බව දක්වමින් දීපිකා ට්විටර් පණිවුඩයක් නිකුත්කර තිබුණා. එදින ඇය නිවෙසින් බැහැර ගොස් තිබුණේ රූගත කිරීමක් වෙනුවෙන්. ගින්න ගොඩනැඟිල්ලේ 33 වැනි මහලේ ඇති වී තිබු අතර දීපිකාගේ නිවෙස 24 වැනි මහලේ පිහිටා ඇති බවත් ආරක්ෂිත හේතුන් මත තවත් සති කිහිපයක් යන තෙක් ඇය මෙම නිවෙසට නොපැමිණෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා ගෙන එනවා.


ජාන්වීගේ සිනමාගමනය

දශක පහක පමණ කාලයක් පුරා බොලිවුඩයේ නමක් දිනා සිටි පළමු කාන්තා සුපිරි තරුව ලෙසින් පිදුම් ලද ශ්‍රීදේවිගේ වැඩිමහල් දියණිය ජාන්වි කපූර් සිනමාවට පිවිසීම ගැන කටකතා පැතිර ගියේ මීට වසර කිහිපයකට පෙර සිටයි. දියණිය සිනමාවට පිවිසීම සම්බන්ධයෙන් නොයෙක් අවස්ථාවල මාධ්‍ය කළ විමසීම්වලදී ශ්‍රී දේවි පවසා සිටියේ නිසි වයස එළැඹුණු පසු තම දරුවන් තමන් රිසි මාවත් තෝරා ගනු ඇති බවයි. මවගේ අඩි පාරේ යමින් ශ්‍රී දේවිගේ වැඩිමහල් දියණිය ජාන්වී කපූර්ද සිනමාවට පිවිස අවසන්. ඒ ශෂන්ක් ඛේතන් විසින් අධ්‍යක්ෂණය කළ Dhadak චිත්‍රපටයෙන්. ශ්‍රී දේවියගේ හදිසි අභාවය සිදු වූයේ ද Dhadak චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවෙමින් පැවති කාලයේදීයි. එනිසා ඇයට තම දියණියගේ පළමු රංගනය දැක ගැනීමේ අවස්ථාව ලැබුණේ නැහැ. Dhadak චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීම වෙනුවෙන් පසුගිය සතියේ මාධ්‍ය හමුවක් පැවත්වුණා. එය ජාන්වි සහභාගි වූ පළමු මාධ්‍ය හමුවද වෙනවා. එහිදී මුල්ම රංගනය ගැන ප්‍රශ්න කිරීම්වලට අමතරව ශ්‍රී දේවියගේ මරණය සම්බන්ධ ප්‍රශ්න කිරීම් හමුවේ ඇයට සහය වූයේ නිෂ්පාදක කරන් ජොහාර්. මාධ්‍යවේදීන් නැඟූ ඇතැම් ප්‍රශ්න වලදී ඔහු, ජාන්වි වෙනුවෙන් පිළිතුරු දී තිබුණා. ලබන ජූලි මස 20 වැනිදා Dhadak තිරගතවීමට නියමිතව ඇති අතර එහි ජාන්වි සමඟින් අනෙක් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සම්භාවනීය ඉරාන සිනමාකරු මජීඩ් මජිඩි විසින් අධ්‍යක්ෂණය කළ Beyond the Clouds චිත්‍රපටයේ රංගනයට දායක වූ විසි දෙහැවිරිදි ඉෂාන් ඛේතර්.


වෙජිටේරියන් නිවේදක

ජේම්ස් කෝර්ඩ්න් බ්‍රිතාන්‍ය ජාතික රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ද පමණක් නොව හාස්‍ය රංගන ශිල්පියකු ලෙසින් ද ජනප්‍රිය තරුවක්. 70 වැනි ටෝනි සම්මාන උලෙළ සහ පසුගිය වසරේ සහ මෙවර ග්‍රැමී සම්මාන උලෙළ ද ඉදිරිපත් කළේ ඔහු විසින්. මස්‌-මාංශ අතහැර එළවළු, පලතුරු, ධාන්‍ය ආදිය පමණක්‌ ආහාරයට ගැනීම වර්තමාන ලෝකයේ සැලකිය යුතු මට්ටමේ අවධානයකට ලක්‌ වී කරුණක්. වෙජිටේරියන් හෙවත් ශාකභක්ෂක තත්ත්වයට පත්වීමට 39 හැවිරිදි ජේම්ස් කෝර්ඩ්න් තීරණය කරලා. ඔහුට මෙම අදහස පහළ වී තිබෙන්නේ වියළි ඌරු මස් සහිත සැන්ඩ්විච් රස බලමින් සත්ත්ව සුබ සාධනය පිළිබඳ පොතක් කියමින් සිටියදීයි. මෙම තත්ත්වයට ක්‍රමානුකූලව හුරු විය යුතු බවත් ඔහු පවසනවා. "මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා" කෝර්ඩ්න් පවසනවා. ඒ විතරක් නොවෙයි, මේ වනවිට බ්‍රිතාන්‍යයේ ජනගහණයෙන් 7%ක් පමණ සත්ත්ව නිෂ්පාදනවලින් සම්පූර්ණයෙන් ඉවත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය පුවත් ගෙන එනවා.


සල්මන්-ශාරුක් අපූරු රංගනයක

ශාරුක් ඛාන්ගේ නවතම රංගනය ගෙන එන Zero චිත්‍රපටය මේ වසරේ දෙසැම්බර් මාසයේදී තිරගත කරන්න කටයුතු සූදානම්කර අවසන්. එහි ශාරුක් නිරූපණය කරන්නේ අඟුටුමිට්ටෙකුගේ චරිතයක්. සාමාන්‍යයෙන් බොලිවුඩ්යේ ඛාන් ත්‍රිත්වයෙන් ශාරුක් සහ සල්මන් අතරේ පසුගිය කාලයේ එතරම් හොඳ හිතක් පවතින බවක් නම් පැවසුණේ නැහැ. ඒ කෙසේ වෙතත් පසුගියදා නිකුත් කෙරුණු Zero ටීසරයේ සල්මන් පෙනී සිටිනවා. ඒ අපූරු රංගනයක් සමඟින්. එයත් තනිවම නම් නොවෙයි. ශාරුක් ඛාන් සමඟින්. හැබැයි සල්මන් එහි සාමාන්‍ය ස්වරූපයෙන් පෙනී සිටියත් ශාරුක් නම් පෙනෙන්නේ සාමාන්‍ය මිනිසෙකුට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා අඟුටුමිට්ටෙකු ස්වරුපයෙන්. ඛාන් ද්විත්වය බොක්සිං වළල්ලක් තුල ඉදිරිපත් කෙරෙන මෙම රංගනය මේ වනවිට අන්තර්ජාලයේ ඉහළ ප්‍රසිද්ධියක් අත්කර ගන්න සමත් වෙලා. ආනන්ද් එල්. රායි අධ්‍යක්ෂණය කළ Zero චිත්‍රපටයේ ශාරුක් සමඟින් කත්‍රිනා කායිෆ් සහ අනුෂ්කා ෂර්මා රංගනයෙන් දායක වෙනවා. රිදී තිරයේ ශ්‍රී දේවිගේ අවසන් පෙනී සිටීමද මෙහි ඇතුළත්වන බවත් පැවසෙනවා.


පොප් රජුට දියණියගේ උපහාර

පොප් ගී ලොව කිරුළු පැලඳී මයිකල් ජැක්සන් මෙලොවින් සමුගෙන ලබන ජූනි 25 වැනිදාට වසර නවයක් සපිරෙනවා. අමෙරිකානු නිළියක හා මෝස්තර නිරූපිකාවක වන ඔහුගේ 20 හැවිරිදි දියණිය පැරිස් ජැක්සන් පසුගියදා හොලිවුඩ් තරු මාවතේ සිය පියාණන් වෙනුවෙන් වූ තරුව අසල දකින්න ලැබුණා. ඒ ඇය පිරිසිදුකාරක ද්‍රව්‍ය යොදමින් සුපිරි පොප් තරුව වෙනුවෙන් වූ තරුව පිරිසිදු කරමින් සිටින අයුරුයි. 1964 වසරේදී සිය සංගීත දිවිය ආරම්භ කළ මයිකල් ජැක්සන් වෙනුවෙන් හොලිවුඩ් තරු මාවතේ තරුවක් වෙන් වුණේ 1984 වසරේදීයි. මයිකල් ජැක්සන්ගේ හදිසි මරණයට හේතුව හෘදයාබාධයක් බව මුලදී පැවසුන ද පසුව මරණය පිළිබඳ විවිධ මත පළ වූ අතර අවසානයේ දී අමෙරිකානු පොලීසිය විසින් මිනීමැරීමේ චෝදනා මත ජැක්සන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා කොන්රඩ් මුරේ අත් අඩංගුවට ගැනිණි. වෛද්‍යවරයා ජැක්සන්ට ලබා දී ඇති විවිධ ඖෂධ නිසා මෙම හදිසි මරණය සිදු වී ඇත යන සැකය පැවතුණු අතර මෙම සුපිරි පොප් ගායකයාගේ මරණය සම්බන්ධයෙන් වෛද්‍ය මුරේ වරදකරු බව ලොස් ඇන්ජලීස් නුවර අධිකරණයක් තීන්දු කළේ, සති හයක් පුරා පවත්වන ලද නඩු විභාගයකින් පසුවය.