වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ඉලන්දාරියෝ රඟපාන්න ගිහින් ගහකටත් නඟින්න වුණා

ඉලන්දාරියෝ රඟපාන්න ගිහින් ගහකටත් නඟින්න වුණා

NILUSHI PAWANYA

නිලූෂි පවන්‍යා නමැති මේ සුරූපිණියගේ වෘත්තීය නම් නිවේදනය. ඒත් අද අප ඇයව ඔබට හඳුන්වා දෙන ගමන් ඇගේ රංගන ජීවිතය ගැනයි කතාබහ කිරීමට සූදානම් වන්නේ. මේ නිලුෂිගෙ පළමු පුවත්පත් ලිපියයි.

නිලුෂි කොහොමද මේ දිනවල ඔබේ රංගන කටයුතු?

රංගනය අහම්බයක්. ඒත් ඒ අංශය හරිම සුන්දරයි. රඟපාන්නට තුන් හිතකවත් අදහසක් තිබුණේ නැහැ. ඔන්න එක දවසක් මට හමු වෙනවා සනෝජා බිබිලේ රංගන ශිල්පිනියව. ඇය තමයි මට යෝජනා කරන්නේ රඟපාමු කියලා. සනෝජා අක්කි මාව එරංග සේනාරත්න නමැති අධ්‍යක්ෂවරයාට හඳුන්වා දෙනවා.

ඔහුගේ නිර්මාණයකින් ඔබ ඔබේ රංගන ගමන අරඹනවා?

ඔව්.

ඒ ගැන වැඩිදුරටත් කතා කළොත්?

ඒක ටෙලි නාට්‍යයක්. නම ඉලන්දාරියෝ. මං එහි ප්‍රධාන චරිතයක් මැව්වා. චරිතයේ නම අරලියා.

අරලියා කියන්නේ මොන වගේ චරිතයක්ද?

විදෙස්ගත වී ලංකාවට ආව කෙනෙක්. වෙස්ටන් ටයිප් තරුණියක්.

ඔබ වගේ?

ටිකක්.

දර්ශන තලයේදී ප්‍රවීණයන්ගෙන් කෙබඳු සහායක් ද ලැබුණේ?

ප්‍රවීණ අය පුදුම විදිහට මට සපෝර්ට් කළා. ඔවුනගේ සහාය නැත්නම් රංගනය හරියට කරගන්න බැරි වෙනවා.

නිවේදනය ද රංගනය ද ලෙහෙසි?

මොන විෂය වුණත් ලෙහෙසියි කියලා කියන්න බැහැ. නමුත් රංගනයට වඩා නිවේදනයේදී යම් පහසුවක් තියෙනවා.

ඔබ වගේ රංගනයට ආධුනික කෙනෙකුට මුලින්ම කැමරාව ඉදිරියට එද්දී පොඩි චකිතයක් ඇතිවීම සාමාන්‍යයි?

රංගනයට කැමරාවට ආගන්තුක වුණාට මං නිවේදන කාර්යය හේතුවෙන් නිතර කැමරාව ඉදිරියට ආව කෙනෙක්. නමුත් රංගන විෂය අලුත් නිසා ඔබ කිව්වා වගේ පොඩි චකිතයක් ආවා. කොහොමත් මේ විදිහට රඟපාන්නට පෙර වර්ක්ෂොප් කිහිපයක් තිබ්බා. ඒ දැනුමෙනුත් සන්නද්ධ වෙලයි රඟපාන්න ආවේ.

ඉලන්දාරියෝ රඟපාන්න ගිහින් ගහකට නගින්න වුණා කියලා ආරංචියි?

ඔව් අනේ. ලොකු ගහක් ඒක නාට්‍යයේ සින්දුව වෙනුවෙන් තමයි එහෙම ගහකට නැංගේ. මට උඩටමත් යන්න වුණා.

ටිකක් බය හිතුණා. නමුත් රඟපෑවා.

ඔබගේ නිවේදන වෘත්තීය ගැන කතා නොකළොත් ඒක අඩුපාඩුවක් වේවි?

මම දැනට සියත සහ චැනල් සී යන නාලිකාවන්වල නිවේදන කටයුතු කරනවා. චැනල් සී එකේ සී කැෆේ සහ චාර්ට් ෂෝ වැඩසටහන කරන්නේ මම.

දිගින් දිගටම රඟපාන්නද කල්පනාව?

එහෙමත් හිතෙනවා. මට දැනට චිත්‍රපට දෙකකටත් ආරාධනා ලැබුණා. ඒවා ගැන හිතමින් සිටිනවා. හොඳ නිර්මාණයකට කතා කළොත් නොයා ඉන්නේ නැහැ.

ඔබ ඉගෙන ගත් පාසල මතක් කළොත්?

මාදම්පේ සේනානායක විදුහල.

පදිංචිය?

මගේ ගම හලාවත. වර්තමානයේ පදිංචි වෙලා ඉන්නේ මහරගම.

ඔබට උපාධියක් තියෙනවා කියලා බොහෝ දෙනෙකු දන්නේ නැහැ?

මම කියන්න යන්නෙත් නැහැ. ඉකුත් වසරේ තමයි කැම්පස් එකෙන් අවුට් වුණේ. සෞන්දර්ය කැම්පස් එකේ නර්තනය වෙනුවෙන් තමයි මට උපාධිය තියෙන්නේ.

නිලුෂි පවන්‍යා කියන්නේ මොන වගේ චරිතයක්ද?

හරිම සරල කෙනෙක්.