වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




තවත් ‘රේඛාවක්’ මැකීයයි

තවත් ‘රේඛාවක්’ මැකීයයි

ඔබ හා විසුමට එන්නෙමි කුරුලු සුරපුරේ

ශ්‍රී ලාංකික සිනමා වංශ කථාවේ ප්‍රධාන හැරවුම් ලක්ෂය වූ රේඛාව ඇරඹෙන්නේ මෙහෙමයි. බොරු කකුල්කරුවකු විරිඳු ගයමින් අනුරාධපුර, පොලොන්නරුව, සීගිරි මනබන්දනීය, මර්සලින් ජයකොඩි පියතුමන් ලියූ පදවැල් ගැයුවේ අලුත්ම ගායකයෙකි. ඒ හඬ ගුරුදෙවි සුනිල්ශාන්තට සමානය.

ඒ ශ්‍රී ලාංකේය ගීතයට සුවිශාල මෙහෙවරක් කළ ප්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් ඉකුත් 18 වැනිදා අභාවප්‍රාප්ත විය. මිය යන විට 86 වන වියේ පසුවූ ඒ මහතා කලක් අසනීප තත්ත්වයෙන් පසුවිය.

සීදූව ශාන්ත මරියා දෙව්මැදුරේ ගායනා කණ්ඩායම මෙහෙයවු දොන් ෆ්‍රැන්සිස් ඇලෝසියස් හා විතාරණ මරියා රොද්‍රිගු දෙපලට දාව පැස්කුවල් දොන් ඔගස්ටින් අයිවෝ නමින් ජන්ම ලාභය ලැබූ අයිවෝ කලා ක්ෂේත්‍රයේ අයිවෝ ඩෙනිස් නමින් ප්‍රසිද්ධ විය.

හෙළ ගීයට මහත් ආලෝකයක් මෙන්ම නව පණක් ලබා දුන් අසහාය ගායක සුනිල් ශාන්තයන්ගේ නිමද ආදරයට පත්වෙමින් ඒ ගීත ශෛලියටම අනුව හඬේ රුව ගුණ නොනසා ගායනා කිරීමේ සහජ හැකියාවකින් පිරි පුද්ගලයකු වූයේ අයිවෝ ඩෙනිස්ය. උපතින්ම කිතුණුවෙකු වූ අයිවෝ පුංචි කාලයේ පටන් පල්ලියේ ඇසුර ලැබීම නිසාම ගීත ගැයීමේ නිසඟ හැකියාවක් තිබිණි. සීදූවේ දවිසමර, මීගමුවේ ලොයෙලා, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලවල අධ්‍යාපනය ලැබූ අයිවෝ පසු කලෙක සුනිල් ශාන්තයන් බිහි කළ සංගීත රටාවට යළි යළිත් පණ දෙමින් කන්කළු ගීත රැසක් බිහි කළේය.

සරල ගී ගායකයකු ලෙසත් ශාස්ත්‍රීය ගී ගායකයකු ලෙසත් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසත් දස්කම් දැක්වූ අයිවෝ සම්මාන රැසකින් පිදුම් ලැබීය.

1950 දශකයේ ගුවන්විදුලියේ පැවති ආධුනික පැය සංගීත වැඩසටහනට ගීතයක් ගැයූ අයිවෝගේ ජීවිතයේ සැබෑ පෙරළියක් සිදුවූයේ සුනිල් ශාන්තයන් මුණ ගැසීමත් සමගය. අයිවෝ ගායනා කරනු ලැබුවේ සුනිල් ශාන්තයන්ගේ වරෙන් හීන් සැරේ රිදීවලාවේ ගීතයයි. එම ගීතය ගුවන් විදුලියෙන් ඇසූ සුනිල් ශාන්තයන් තමන්ගේ හඬින් එම ගීය ගායනා කළ පුද්ගලයා මුණ ගැසීමේ ආශාවකින් පසුවන්නට විය. එතුමන්ගේ ඒ අදහස තම සංගීත පන්තියේ ප්‍රකාශ කිරීමත් සමඟ එහි ශිෂ්‍යයකු වූ පැට්‍රික් දෙනිපිටිය තමන් හඳුනන ඒ අයිවෝ ඩෙනිස්ව මුණ ගැස්වීමේ වගකීම භාරගනු ලැබීය. දිනක් අයිවෝ හා සුනිල් ශාන්තයන් මුණගැසුණේ පැට්‍රික්ගේ මගපෙන්වීමෙනි. මේ හමුවේදී සුනිල් ශාන්තයන් අයිවෝගේ ගායනය අගයමින් කතාකර ඔහුට යෝජනාවක් ගෙන ආවේ සංගීතය හදාරන්න කැමැත්තක් තිබේනම් තම පන්තියට එන ලෙසය. ඒ අනුව අයිවෝ ඩෙනිස් සුනිල් ශාන්තයන්ගේ ඇසුරට එක්විය.

1932 මැයි 28 වැනිදා සීදූවේ උපත ලද අයිවෝ 1956 දී සිය ප්‍රථම ගුවන්විදුලි ගීතය ගැයුවේය. තිලක සුධර්මන් ද සිල්වා රචනා කළ සුනිල් ශාන්තයන් සංගීතවත් කළ කුරුලු පරාදීසයේ කුරුලු සිහින සාගරේ ඔබ හා විමසුමට එන්නෙමි කුරුලු සුරපුරේ.... මෙම ගීතය එදා පටන් අද දක්වාම අතිශයින් ජනප්‍රිය ගීතයක් විය.

මර්සලින් ජයකොඩි පියතුමන් විසින් රචිත අනුරාධපුර පොලොන්නරුව සීගිරි මහ නන්දනීය.... ගීතය රේඛාව චිත්‍රපටයට ගයමින් අයිවෝ මුල්වරට චිත්‍රපට ගී ලොවට දායක විය.

1959 දී අයිවෝ රජයේ සංගීත ගුරුවරයකු ලෙස රත්නපුරයෙන් සිය ගුරු වෘත්තියට එක්වන අතර රත්නපුර හැටන්ගම විද්‍යාලය, මීගමුව තිබිරිගස්කටුව මහා විද්‍යාලය, හරිස්චන්ද්‍ර විද්‍යාලය ආදියෙහි සංගීත ගුරුවරයකු ලෙස කටයුතු කරනු ලැබීය. 1947 රජයේ සංගීත විද්‍යාලයට එක්වූ අයිවෝ එහි ජන සංගීතය පිළිබඳ උපදේශකවරයකු ලෙසින් 1985 දක්වාම කටයුතු කරනු ලැබීය. ඉන්පසු අධ්‍යාපන දෙපාර්තමේන්තුවට එක්වන අයිවෝ 1989 දක්වාම එහි කටයුතු කරනු ලැබීය.

අයිවෝගේ ගායන දිවිය පුරා සුනිල් ශාන්තයන් මෙන්ම ප්‍රේමසිරි කේමදාසයන්ද රැඳී සිටියහ. දෙඅන්තයක සංගීතවේදීන් දෙපලකගේ ඇසුර මතින් නිර්මාණ කරනයේ නියැලි අයිවෝ කේමදාසයන් නිර්මාණය කළ පීඩිතයන්ගෙ ගීතය, මගේ කාලයේ මවුනි, මගේ ස්වරයයි ඔබේ රිද්මයයි, පිරිනිවන මංගල්‍ය මානසවිල ඇතුළු නිර්මාණ රැසකට දායක විය.

1985 දී අයිවෝ ඩෙනිස් වසරේ හොඳම ගායකයා ලෙසින් ජනාධිපති සම්මානයටද පාත්‍ර විය. ඒ ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ ඔගස්ටස් විනයාගරත්නම් රචනා කළ හිමකතර චිත්‍රපටයට ගැයූ කන්ද එහා වැස්ස වසින්නා ගීතය වෙනුවෙනි.

සිය ජීවිත කාලය පුරාවට ‘අභිමාන ගී’ නමින් කැසට් පටයක් පමණක් ශ්‍රාවකයන්ට තිළිණ කළ අයිවෝ තමන් විසින් ගැයු එම නිර්මාණ ගීත සේම තම ගුරුවරයා වූ සුනිල් ශාන්තයන් ගේ ගීත මතුපරපුර වෙනුවෙන් රැකගැනීමේ වගකීමේ ඔහු කටයුතු කරනු ලැබීය.

අයිවෝ තමන් ගැන හඳුන්වාදීමකදි සැමවිටම ගුරුගෞරවයෙන් යුතුව සුනිල් ශාන්තයන් සිහිපත් කරලීමට පුරුද්දක් කොට ගෙන තිබුණි. ඒ බව ඔහු නිබදව පවසා සිටියේ සුනිල් ශාන්තයන් මගේ ගුරුවරයායි. මම ඔහුගේ ප්‍රධානතම ගෝලයා. ඔහුගේ සමීප ඇසුර හා ඔහු යටතේ සංගීතය හැදෑරූ නිසා ඔහුගේ ක්‍රියාකාරකම් පිළිවෙත් රැසක්ම අයාසයෙන් තොරව මගේ ජීවිතයට කාවැදුණා. එදා මෙදා තුර මාධ්‍යවලින් මෙන්ම රසික ප්‍රජාවගෙන්ද මාවෙත ඉල්ලීම් ගලා ආවේ. මගේ ගීත නොව සුනිල් ශාන්තයන්ගේ ගීත ගායනා කිරීමටයි.

ඒත් මම කිසි දිනක ඔහුව අනුකරණය නොකෙරුවෙමි. ඔහුගේ කටහඬට සමාන වූ හඬක් මටත් දෛවයෙන් උරුම වුණා. ඒක මහා පුදුමාකාර දෙයක්. සංගීතය හැදෑරීමට මා පෙළඹවූ ප්‍රධානම හේතුව වූයේත් ඔහුගේ හඬයි. මගේ ගුරුවරයා ගිය මග මම සැමවිටම ආරක්ෂා කරන්න කැපවෙනවා යන්නය.

බඹරු ඇවිත්, හිමකතර, පාර දිගේ, දෙවැනි ගමන වැනි චිත්‍රපට කීපයකටම පසුබිම් ගායනයෙන් දායක වූ අයිවෝ කලාව වෙනුවෙන් කළ සේවාව වෙනුවෙන් කිහිපවරකදීම විවිධ ඇගැයීම් වලට ලක්විය. 1995 උණ්ඩා ගුවන් විදුලි සම්මානයද, වසර පනහක කාලයක් තුළ සිංහල ගීත ක්ෂේත්‍රයට කළ සේවාව වෙනුවෙන් උන්ඩා සම්මානයද, බීබීසී ගුවන් විදුලියේ සිංහල අංශයේ ලංකා උදානය වැඩසටහනට දසවසරක් පිරීම නිමිත්තෙන් විශේෂ සම්මානයද අන්තර්ජාතික කතෝලික සිනමා පර්ෂදය විසින් කිතුණු සංගීතයට සිදුකළ දායකත්වය වෙනුවන් උපහාර තිළිණයද, දේශාභිමානී ගීත සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් 2004 දී ලක්හඬ ගුවන් විදුලියේ විශේෂ සම්මානයෙන්ද අයිවෝ ඇගැයුමට ලක්විය.

ගායකයකු පමණක්ම නොවූ අයිවෝ වේදිකා නාට්‍ය නළුවකුද විය. බිත්ති හතර, සින්නක්කාරය, දෙපානෝ, තහංචි ඔහුගේ රංග ප්‍රතිභාව එක්තැන් වූ නිර්මාණ අතර සුවිශේෂී විය.

කුරුලුපාරාදීසේ, ගංගා ගංගා, දකුණු නැගෙනහිර, අභිමානනීය වූ නවෝදයේ, තෛ‍්‍රලෝක නේත්‍ර, සැලෙන ළෙලෙන උකුලු තලේ ළිඳට යනෙන වතුර කලේ ඇතුළු ගීත රැසක් අයිවෝ අතින් රසික ප්‍රජාවට තිළිණ කෙරිණි.

දේශයේ සංගීතයට සුවිශාල මෙහෙවරක් සිදුකළ අයිවෝ ඩෙනිස් කලාශිල්පියාගේ වියෝව මුළු මහත් සංගීත ක්ෂේත්‍රයට ඇති කරනු ලැබූ රික්තකය කිසිදා පියවිය නොහැක.

අයිවෝ ඩෙනිස් කලා ශිල්පියාණන්ට මොක්සුව අත්වේවා!

චන්දන දයාසිරිවර්ධන

ඡායාරූප - මාලන් කරුණාරත්න