වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




විනෝද් මහත්තයා බොහොම භයානක මිනිහෙක්

විනෝද් මහත්තයා බොහොම භයානක මිනිහෙක්

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි. බිනරිගේ පැරැණි මිතුරෙකු වූ දර්ශන චිත්‍රපටයක් නිපදවීම ඩික්සන් පොලොඹවා ගැනීමට උත්සහා කරයි. එහි දුෂ්ටයා වනුයේ ඩික්සන්ය. නිෂ්පාදිකාව බිනරි. චිත්‍රපටය නිපදවා මුදල් හිඟවන බිනරිට උපකාර කරන්නේ විනෝද්ය.

අද එතැන් සිට...

‘ඔයා කැමැති නැද්ද මාත් එක්ක ජීවත් වෙන්ඩ’

එක්වරම විනෝද් ඇසුවේය.බිනරි තිගැස්සුණාය.අනික් පුටුවේ වාඩි වී සිටි ඩික්සන් කිසිත් නොකියා බලාසිටියේය.විනෝද්ට එච්චර හපන්කමක් කළ හැකිදැයි ඇය තමාගෙන් විමසා සිටියාය.විනෝද් වෙනදාට වනඩා ලස්සනට ඇඳ සිටින්නේය.ඉස්සර නම් විනෝද් පිළිවෙළට ඇන්දේ නැත.පිළිවෙළට අඳීන්න තරම් වත්කමක් තිබුණේ ද නැත.එහෙත් දැන් නම් විනෝද් පිළිවෙළට අදියි.දැන් සල්ලි වලින් අඩුපාඩුවක් නැති නිසා විය යුතුය.

‘අද ඔයා හරි හැඩයි’

එක්වරම බිනරි පැවසුවාය. ඇය පැවසුවේ විනෝද්ටය.අසල නිකමෙක් මෙන් බලා සිටින ඩික්සන්ගේ උදාසීන බැල්ම තවත් අවුස්සාලිය යුතුයැයි බිනරිට සිතුණාය.

‘මම අද ද ඔයාට හැඩට පෙනුණේ.’

විනොද් ඇසුවේය.ඔහු අලුත් මෝටර් රථයක් රැගෙන ඇත.එය නිවස ඉදිරිපිට ය.සතියකට මෝටර් රථයක් මාරු කරන්නට තරම් ධනයක් කොයින් ද? අලුත් මෝටර් රථයෙන් ඉදිරි අසුනේ ගමනක් යන්නට ඇත්නම්යැයි බිනරි ට සිතිණ.ඇය කිසිත් නොකියාම විනෝද් ගේ අතින් ඇල්ලුවාය.එකෙනෙහිම විනෝද් නොපෙනි ගියේය.ඇය විනෝද් යැයි කෑගසන්නට තැත් කළේය.එහෙත් හඬ පිටවූයේ නැත.බිනරි එකවරම පිබිදුණාය.ඇය දැක තිබුණේ සිහිනයකි.ඩික්සන් තදින් ගොරවන හඩ හැරෙන්නට කිසිත් හඩක් නැත.ඇය ඇදෙන් බැස කුස්සියට ගියේ වතුර වීදුරුවක් බොන්නටය.ඇය ශිතකරණය ඇර වතුර වීදුරුවක් දමා ගෙන එය එක් හුස්මට බි ගෙන ගියාය.තවම වේලාව තුන පහුවුනා විතරය.ඇය ආපසු කාමරයට වැදුණාය.ඩික්සන් උන් ඉරියව්වෙන් අනිත් ඇලයට හැරී ඇත.ඔහුගේ ගෙරවිල්ල නතරව ඇත.එහෙත් ඒ මොහොතකට පමණකි.තවත් වරක් ගෙරවිලි ඇරඹෙන බැව් බිනරි දැන් දන්නවාය.ඇය යළිත් ඇදෙහි වැතිරුණාය.ඇය කල්පනා කළේ දුටු සිහිනය ගැනය.

සැන්දෑවේ විනෝද් නිවසින් පිටත්ව ගිය පසු ඩික්සන් පැවසූ කාරණා ඇගේ සිතේ රැව් පිළිරුව් දෙන්නට පටන් ගෙන ඇත.

‘විනෝද් මහත්තයා බොහොම භයානක මිනිහෙක්“

ඩික්සන් පැවසුවේ අන්තිමටය.එහෙත් බිනරි ඒ වන තෙක් විනෝද් ගේ නරකක් දැක්කේ නැත.ඔහු වෙතින් නික්මෙන විලවුන් සුවඳ ඇය වසඟයට පත් කරන්නට සමත්ය.

‘මොකක්ද අනේ ඔයා දාන සෙන්ට් එක ?’

බිනරි ඇසුවාය.

‘මේක පැරිස් වලින් මට හම්බ වෙච්ච එකක්.මටත් නම කියා ගන්ඩ අමාරුයි.ඉක්මනින් දිරන ශරීරනේ.ඉතින් මං හිතුවා ඉන්න එකේ හොද සැන්ට් එකක් දාන්ඩ’

විනෝද් සිනහවෙමින් පැවසුවේය.බිනරි ඒ ගැන අසන්නට නොගියාය.

‘මට හිටි ගමන් හම්බ වෙනව.මම ගෙනත් දෙන්නම්’

විනෝද් පැවසුවේය.විනෝද් ගේ ස්වරූපයේ ඩික්සන් පවසන භයානක මිනිසෙක් සිටිදෑයි බිනරි යළිත් කල්පනා කළාය.ඒ කල්පනාව නිසාම ඇය අසලට නින්ද ආවේ ප්‍රමාදවි මෙන් පසුවය.හිත සැහැල්ලුවෙන් මෙන් ඩික්සන්ට නම් තදින්ම නින්ද ගියේය.ඔහු ඇදට වැටී මිනිත්තුවක් ගත වන්නටත් මත්තෙන් තදින් ගොරවන්නට පටන් ගත්තේය.බිනරි එම කරදරයෙන් මිදෙන්නමෛන් තදින් කොට්ටය ගෙන කන් වසා ගත්තාය.බැරි තැන ඇය ඩික්සන් ගේ කොට්ටය හරවන්නට තැත් කළාය.එයින් නින්දට බාධා වූ ඩික්සන් ඇය දෙස ඔරවා බැලුවේය.

‘ඔහොම ගොරවන්ඩ එපා’

බිනරි පැවසුවාය.

‘නින්දෙන් ගොරවන්නේ නැතිව දිය බුන් ගහන්ඩයැ’

ඩික්සන් අනිත් ඇලයට හැරිණ.ඇය යළිත් විනෝද් ගැන සිතන්නට පටන් ගත්තාය.ඇය නොදැනුවත්වම නින්දට ගියේ කියටදැයි ඇය නොදත්තාය.එක නින්දට වැටුණු ඇය පිබිදුණේ විනෝද් පිළිබද සිහිනයත් සමඟය.එවර ඇය සමීපයට නින්ද ආවේ නැත.විනෝද්ට කරදරයක් දැයි බිනරිට සිතිණ.තව දුරටත් විනෝද් ගැන කල්පනා කරන්නට ඔහු තමාගේ කවුදැයි ඇයට යළිත් සිතිණ.ඔහු ඩික්සන් ගේ ඇඟ මතින් අතදමා ඔහු පැත්තට තුරුලු වන්නට සිතුවාය.කොහොමටත් තව පැයකින් පමණ පිබිදිය යුතුය.උදෑසනින් විනෝද්ට දුරකතන ඇමතුමක් දිය යුතුයැයි සිතා සදා ගන්නට ඇය කල්පනා කළාය.

ඩික්සන් නිවසින් පිටව යන තුරු බිනරි සිටියේ නොඉවසිල්ලෙනි.ඇය විනෝද්ට ඇමතුමක් ගත්තාය.එවෙලේ ඇයට ලැබුණේ දුරකතනය වෙනත් ඇමතුමක යෙදී සිටි වගය.ඇය යළිත් උත්සාහ කළාය.එවර ආවරණ කලාපයෙන් බැහැරව ඇති වග දුරකතනයේ පැවසිණ.බිනරි නොසන්සුන් වූවාය.ඇය සිය දුරකතනය යළි යළිත් අමතන්නට ගත්තාය.

අනතුරුව ඇය සිය වෑයම අත ඇරියාය.එහෙත් රාත්‍රියේ දුටු සිහිනය ඇය නොසන්සුන් කර ඇත්තේය.

දිගු කලක් හමු නොවුණ විනෝද් යළිත් ඇයගේ ජීවිතයට එබිකම් කර ඇති වග ඇය වටහා ගත්තාය.එක්වරම දුරකතනය නාද විය.ඒ නාදුනන ඇමතුමකි.

ඇය එය අතට ගත්තාය.

‘හලෝ’

ඔහු ගේ හඬ ඇයට ඇසිණ.

මං විනෝද්‘

ඔහු එකවරම පැවසුවේය.

‘ඇයි මට කෝල් කළේ’

‘මේ නොම්මරේ. ?

‘මේකත් මගේ තමයි’

‘අනේ විනෝද් මට බයයි.’

ඇයට කියැවිණ.

‘ඇයි බිනරි’

ඔහු විමසුවේය.ඇය කියන්නට ගිය දේ නොකියා සිටියාය.

‘ඇයි ඩික්සන් මොනව හරි ?’

‘නැහැ දෙය්යනේ.ඊයේ මම නරක හීනයක් දැක්කා.ඒ වෙලේ ඉඳීන් මගේ හිතට හරි නෑ විනෝද්’

ඔහු මහ හඩින් සිනාසුණේය.

‘මට අද හරි සන්තොශයි බිනරි.සතුටින් මැරෙන්ඩ හරි පුළුවන්.මා ගැන හිතන එක මනුස්ස ප්‍රාණයක් හරි මේ රටේ ඉන්නවා කියලා පෙනුණම“

විනෝද් පැවසුවේය.

‘බය වෙන්ඩ එපා. මම පුළුවන් වුණොත් හම්බ වෙන්නම්.’

බිනරි යමක් කියන්නට තැත් කළත් විනෝද් ඉක්මනින් දුරකතනය විසන්ධි කළේය.ඇය ඔහු අමතන්නට තැත් කළ ද දුරකතනය වසා දමා තිබිණ.ගත වූ අලුයම දුටු හීනය බිනරි ගේ සිතින් මැකී යන්නට පටන් ගෙන තිබිණ.දහවල් බතට ඇය සැරසුණාය.එක්වරම ගේ ඇතුළට පැමිනි කිසිවකුගේ අඩි ශබ්දය නිසා ඇය විමසිලිමත් වූවාය.කලබලයෙන් නිවසට පැමිනි ඩික්සන් කුස්සියේ පුටුව ඇද එහි වාඩිවිය.ඔහුගේ විලාසයෙන් බිනරි තැති ගත්තාය.ඇයගේ මුවට වදන් නොආවේය.ඔහු ඩික්සන් ළග වාඩිවිණ.

‘අනේ සුදු නොනෝ.විනෝද් මහත්තයාව මරලා’

ඩික්සන් කෑ ගසන හඩ ඇයට සිහිනයෙන් මෙන් ඇසිණ.