වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

FEEDBACK

සමරමු සරසවි සුරකුමරු අපි

කතු පදවිය හෙබ වු සරසවි පුවත් පතේ
සිතුවිලි සුවඳ හදමල පුබුදමින සිතේ
පැතුමන් පුබුදු කළ සුන්දර කලා කෙතේ
කොතැනද මිහිඳුකුල කඳුළැලි නැඟෙයි නෙතේ

ළෙලවා සුරත පන්හිඳ හෙළ සිනමාවේ
පළ කළ නැවුම් තතු රැස ලොවකිය පැවේ
අමිලය අභීතය මෙහෙවර නවතාවේ
නිමලය මිහිඳුකුල පෑ ගුණ මුදිතාවේ

ඇසුවෙමු සුමීගෙන් රසබර නොයෙක පැන
මසුරන් වටින පිළිතුරු ඔබ පුදන තැන
මුසු විය මුවට හසරැලි නෙත කඳුළු එන
සුසුමන් පමණි අද ඔබ රුව නෙමැතියෙන

දිව රෑ නොබලමින් මෙහෙයට වෙමින් කැප
කවදත් සොඳුරු හැඟුමින් සැනසුවා අප
පවතින තුරාවට මේ මහ බදුරු කප
සරසවි කුමරි සමරයි ඔබ වුවන සිප

සුනිදුනි සමු රැගෙන සදහට අපව දමා
සුරලොව වැඩිය ඔබ මෙහෙයට සිරස නමා
පුදනෙමි උපහාර තුති මල් සමඟ මෙමා
සැනසෙනු මැනවි ලැබ නිවණෙනි සුවය අමා
 

විිරාජ් හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය


සමරමු මිහිඳුකුල

හෙළ සිනමා කලාව වෙනුවෙන් සිය පෑන් තුඩින් අමිල මෙහෙයක් ඉටු කරමින් සිනමා විචාරකයකු, සිනමා ග්‍රන්ථ රචකයකු, පුවත්පත් කතුවරයකු ලෙස අප අතර සිටි සුනිල් මිහිඳුකුල සහෘදයාණන් අප අතරින් වෙන් වී වසරක් පිරිණි. ඔහු රචිත රසවත්, හරවත් ලිපි නිමා වීම පිරිමැසිය නොහැකි අඩුවක් සේ දැනෙයි. ළෙංගතු මිතුරකු වූ ඔහුගේ ගුණ සදා සමරමි.
 

මාතලේ

ධර්මා ඒකනායක


නිවී ගිය ආදර සු: මි: තරුව

සරසවි රසික කැල සමඟින් සුමිතුරුව
කටයුතු කළ අප සමඟින් නිරතුරුව
වසරක් ගෙවී ඇත අමතක කෙරුමට බැරුව
මතකයේ රැඳී ඇත නිවිලා ගිය සු: මි. තරුව
 

විමල් රණසිංහ

ග්‍රෑන්ඩ්පාස්


සු: මි: නැතිව පාඩුයි

විශේෂයෙන් සිනමාව පිළිබඳ කලා රසිකයන් නොදත් අතීත සිදුවීම් සරසවිය කලා පුවත්පත මඟින් එළිදැක් වූ සුනිල් මිහිඳුකුල මහතාගේ අභාවය පාඨකයනට පාඩුවකි.
 

සුනිල් චන්ද්‍රසේකර

කොටුගොඩ


ආනන්ද ජනක අබේනායක

හැම වසරකම හිමිවන ටෙලි සම්මාන
නිහඬව නිපදවන අගනා නිර්මාණ
ආනන්දයක් ගෙනදෙන ආනන්ද වන
අබේනායකට පැසසුම් ගලා එන

'යශෝරාවේ වැනි ටෙලි නැත දකින්නේ
'දඬුබස්මාන' 'වෙද හාමිනේ' සිහි වන්නේ
පිටරට ටෙලි සිතුම් හඬ කවන්නේ
අපේ රටට ගැළපෙන දේ පෙන් වන්නේ

'සංසාරේ පිය සටහන්' නැතුවාට
'බැද්දේ කුළවමිය' දිස් වූවා රුවට
වැඩිම සම්මාන ගණනක් ලැබුවාට
ප්‍රණාමය පුදමු එහි අධ්‍යක්ෂකට
 

ආර්. ඒ. සෝමා රණසිංහ


ජාතික නාළිකාවේ නව සභාපතිතුමියට

ජාතික නාළිකාවේ පැවැත්ම වෙනුවෙන් සිනමාව, කලාව හඳුනා ගත් නිර්මාණකරණයේ නියුතු සුදුස්සෙකු සභාපති ධූරයටපත් කිරීම ඉතාම කාලෝචිතය.

මෙතුවක් කලක් නිිදි වරමින් ගෙවී ගිය ජාතික නාළිකාවේ ආයු කාලය තව කෙටි කලකට හෝ රැක ගැනීමට ඔබතුමියට හැකියාව ලැබේවා. කිසිදු හරයක් නොමැති ටෙලි නාට්‍ය හා සංගීත විචිත්‍රාංග හිතවතුන්ගේ උවමනාවට පමණක් ක්‍රියාත්මක විය. හරවත් ටෙලි නාට්‍යයක රසය ලබාදීමට ඔවුන් අපොහොසත් විය. ගුණාත්මක සිතුවිලි තුළින් ඔබතුමියගේ රූපවාහිනී ගමනට ආලෝකයක් ලැබේවායි පතමි.
 

සමන් ගාල්ලගේ

කැටපල


අපූරුයි

කලකට පසු වාලුකා ටෙලි නාට්‍යයෙන් හාස්‍යය හා මෝඩකම අපූරුවට නිරූපණය කරමින් රංගනයෙහි යෙදෙන ජනක් ප්‍රේමලාල් හට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමමු.
 

කපුගොඩ මාළිඳ

සරත් රණසිංහ


එඩ්වඩ් සහෘදයාට

අකුරු මැකී නැහැ ගීතයෙන් ගායන දිවියට අවතීර්ණ වූ එඩ්වඩ් රසික ආකර්ශනයට බඳුන් වූ ගීත ආරක් තිළිණ කළ සුවිශේෂී ගායන ශිල්පියෙකි. මාරිම්බරී නම් ඒක පුද්ගල ගී ප්‍රසංගයෙන් ශ්‍රාවක රසික සමූහයට වින්දනාත්මක ආශ්වාදයක් ලබා දුන් ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියෙකි. එඩ්වඩ් ජයකොඩි සහෘදයාණෙනි, ඔබගේ ගායන දිවියට රසික අප සුබ පතමි. ඔබට ජය.
 

එච්. ඉන්ද්‍රපාල

මුංහේන


දැවෙන විහඟුන් නැද්ද තවමත්

අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාරගේ 'දැවෙන විහඟුන්' චිත්‍රපටය තාමත් අප රටේ ප්‍රදර්ශනය නොවූයේ මන්ද? එම චිත්‍රපටය ජිනීවා නුවර පැවැති 15 වැනි අන්තර් ජාතික සම්මාන උලෙළට ඉදිරිපත් විය. එහිදී එම චිත්‍රපටය මානව හිමිකම් සිනමා උළෙලේ තරඟකාරීඅංශයට තේරී පත් විය. එය ශ්‍රී ලංකාවාසීන් වන අපට ලොකු ආඩම්බරයකි. මෙම චිත්‍රපටය කඩිනමින් ප්‍රදර්ශනනය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

කෙනත් පෙරේරා

වැලිගම්පිටිය


බුදු දහමට ආලෝකයක්

යශෝධරා හෙවත් බිම්බා දේවි දුක ශෝකය හා ශ්‍රද්ධා භක්තිය වෙලාගත් කෘතියකි. බුද්ධ චරිතයට කිසිම හානියක් වී නොමැත. මෙම නිර්මාණය ඉතාම සංයමයෙන්, සීරුවෙන් ඉවසීමෙන් කර ඇති හෙයින් මෙම චිත්‍රපටය බුදු දහමට මහත්ම ආලෝකයකි. අභිනිෂ්ක්‍රමණයේදී යශෝධරාගේ මුවින් නැඟෙන නන්දා මාලිනියගේ හඬින් ගැයෙන කවි ගායනා අතිශය ශෝකාකූලයි. ඉතා ප්‍රශංසණීයයි. කාව්‍ය රචනා, දෙබස්, තිර නාටකය පමණක් නොව චිත්‍රපට අධ්‍යක්ෂණය ද කරවන මහාචාර්ය සුනිලුත් අපට හොඳ නිර්මාණයක් ලබා දෙයි. කාව්‍යකාරයා (තුමිදු දොඩම්තැන්න) හා ප්‍රධාන චරිත ද්වයේ රඟපෑම් ප්‍රශංසනීයයි. කැමරාකරණය හා රෝහණ විරසිංහයන්ගේ සංගීතය විශිෂ්ඨයි.
 

ඩඩ්ලි ගෝමස්


ජගත් චමිල නිහඬ ඇයි

ශ්‍රී ලංකා නාමය ලෝක සිනමාව කරා ගෙන ගොස් සම්මානනීය වූ රංගන ශිල්පී ජගත් චමිල මෑතකදී එතරම් නිර්මාණ සඳහා දායක වූයේ නැත. ඔහු නිහඬ ඇයි.
 

එස්. ඒ. සමන් කුමාර

කඩවලගෙදර


මාලිනී ෆොන්සේකාට

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවකට දායකවීමට ඔබ පිං කර ඇත. නිධානය, අක්කර පහ, වීර පුරන්අප්පු. බැද්දේගම, වෑකන්ද වලව්ව, අම්මාවරුණේ වේ. ඔබ රංගනය හදාරා නැතත් මෙවැනි අධ්‍යක්ෂවරයකු යටතේ සිනමාපට හයක රඟපෑම විශ්ව විද්‍යාලයක උපාධියක් වැනිය. මාලිනී ඔබට චිරං ජයතු!
 

ආනන්ද සේනාරත්න

නිට්ටඹුව


ඇගැයීමකට ලක් නොවූ ඇන්තනි සී. පෙරේරා

සිංහල සිනමාවේ 1960 දශකය නියෝජනය කරමින් සිංහල සිනමාව පිවිසි ඇන්තනි සී. පෙරේරා මිය ගියද එදා මෙන්ම අදත් ඇගැයීමකට ලක් නොවූ තවත් ශ්‍රේෂ්ඨ ප්‍රවීණ කලාකරුවෙකි. හතර දෙනාම සූරයෝ, අල්ලපු ගෙදර, ධීවරයෝ, යකඩයා, සූරයන්ගෙත් සූරයා, කවුද රජා වැනි වාණිජ වශයෙන් ජනප්‍රිය චිත්‍රපටවල සදා නොමැකෙන රංගනයක යෙදුණු ඔහු චිත්‍රපට 125 කට වඩා විවිධ චරිත නිරූපණය කර ඇත.

සිංගප්පූරු චාලි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය රඟපාමින් ඔහු අධ්‍යක්ෂවරයකු බවට ද පත් විය.
 

විහඟි සදුනිකා

කෝවින්න


විශ්‍රාම වැටුපට ප්‍රණාමය

2018 වර්ෂය දක්වාම විශ්‍රාම ගොස් සිටි කලාකරුවන්ට ලැබුණේ රු: 2000 ක මුදලකි. 2018 මැයි 15 සිට එම මුදල රු: 3000 වැඩි කරමින් රු: 5000 කලාකරුවන් හට විශ්‍රාම වැටුප ලෙස ගෙවීමට දැන් රජය කටයුතු කර ඇත. එයට දයක වූ ජනාධිපති, අගමැති දෙපළට හා චිත්‍රපට සංස්ථාවට ප්‍රණාමය ගෞරවය ප්‍රශංසාව පළ කරමි.
 

දිනේෂ් ගුණසේකර

මාතර


ගුරු පූජාව

රේඛාව
රිදී රේඛාවක් යයි සිතා
මූසිලයින් නොවී
හෙළ සිනමාව රකිව්
ලෙස්ටර් නමින්
ඉදිරි වැඩ තකා . . .
 

දයානන්ද පොන්නම්පෙරුම

හෝමාගම


ටාසන් බාප්පාට කෘතගුණ

ජනතාව විහිළුවෙන් සිනා ගැස්සවීම පහසු කටයුත්තක් නොවේ. එවැනි මිනිසා සිනා ගන්වන පුද්ගලයෙකු ලෙස ටාසන් බාප්පා හැඳින් විය හැක. ටාසන් බාප්පා හෙවත් චතුර ලක්මාල් විජේරත්න දැනට මාධ්‍ය හරහා වැඩ සටහන් ඉදිරිපත් කරමින් සමාජයේ අඩුපාඩු හාස්‍යයෙන් පෙන්වා දෙයි. ඒ පිළිබඳව ටාසන් බාප්පාට කෘතඥ වෙමි.
 

මනහර මහින්ද වදාකඩ

බලිගල


රස සාගරයක් ගෙනා යසපාලිත

සිංහල සිනමාවේ රස සාගරයක් යන වචන දෙක ඇසූ සැනින් සිහිපත් වන්නේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ වූ යසපාලිත නානායක්කාරය. ඔහු අධ්‍යක්ෂණය කළ සෑම චිත්‍රපටයක්ම ඇත්තෙන්ම රස සාගරයක්ය.. එයින් 'තුෂාරා, සප්ත වර්ණ අංජානා, නැවත හමු වෙමු, ජය සිකුරුයි' ආදායම් වාර්තා බිඳ හෙළීය. ඒ සෑම චිත්‍රපටයකම ප්‍රේමය, විකට රසය, සටන් ඇතුළු සෑම රසයක්ම අන්තර්ගත කර තිබිණි. 'විජය - මාලිනී', 'විජය - ගීතා', 'අජිත් ජිනදාස - ශිරාණි නුගේරා', 'අජිත් ජිනදාස - දිල්හානි' යන යුගලයන් එක් කර යුග දෙකක් යා කර ජනප්‍රියම චිත්‍රපට තැනීය. සිංහල සිනමාව වාණිජමය අතින් ඉහළ තලයකට පැමිණියේ නම් ඒ සෑම තැනකදී යසපාලිතගේ යෝධ සෙවණැල්ල ද තිබුණේය. අපට රස සාගර ගෙනා මේ සොඳුරු මිනිසා ද මාරක පිළිකා රෝගයට පරාද විය.
 

ජගත් චන්ද්‍රසිරි

පූජා ජගත්සිරි

පස්යාල


මුතුකුඩ බැබළේ

දෙරණ නාළිකාවේ විකාශනය වන මුතුකුඩ ටෙලි නාට්‍යය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනු ටෙලි නාට්‍යයකි. තිර රචනයෙහි ඇති විශිෂ්ටතාවය මැනවින් කැපී පෙනේ. සෑම නළු නිළියකුගේම රංගන කුසලතාව අගය කළ යුතුය. ඓතිහාසික පසුබිමක් තුළ නිර්මාණය වන මෙම නාට්‍යයෙහි අධ්‍යක්ෂණය සහ රංගනය වෙහෙස කර කටයුත්තක් වුවද මේ සියල්ලෝම තම වගකීම මැනවින් ඉටු කරති. වේෂ නිරූපණය ද අති විශිෂ්ටය. මෙම නාට්‍යයට සම්බන්ධ සියලුම දෙනා හට ප්‍රේක්ෂක ප්‍රශංසාව නොමඳව හිමි වේ.
 

අනුර කුලවර්ධන

රදාවාන


සූරිය කුසුම නිමාව අපූරුයි

අයි. ටි. එන්. නාලිකාවේ විකාශනය වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ සූරිය කුසුම ටෙලි සිතුවම ලස්සන කතා පුවතකි. එය නිමා වුණේ ඉතාමත් සුන්දර විදියටයි.

යමෙක් වරදක් කළොත් කවදා හෝ නිසි දඬුවම් ලැබෙන බවත් තමන්ගේ අධිෂ්ඨානය සහ ඉලක්කය තුළින් තමන්ගේ ප්‍රාර්ථනා ජය ගත හැකි බවත් සමාජයට පෙන්වා දුනි.

සූරිය කුසුමේ ශිල්පීන් සැමට අපගේ සුභපැතුම්.
 

ඉඹුල්ගොඩ

එච්.ඒ.අබේසිංහ