වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




තරු නොදිලෙන සිනමා අඹර

තරු නොදිලෙන සිනමා අඹර

චිත්‍රපටය අධ්‍යක්ෂවරයාගේ කලාවයි. භාව ප්‍රකාශනයයි. එහෙත් වෘත්තාන්ත සිනමාවේදී සිනමාකරුගේ ප්‍රකාශනය ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ රූපණවේදියායි. මේ කාර්යයේදී රූපණවේදීන් දෙකොටසක් දැකිය හැකියි. ගැඹුරු, සංකීර්ණ චරිත නිරූපණයේලා සමත් රූපණවේදයේ ශක්‍යතා ස්පර්ශ කරන පරිපූර්ණ රූපණවේදීන් එක් කාණ්ඩයකි. සිනමාවේ ප්‍රේක්ෂක ආකර්ෂණය වඩා දිනූ විනෝදාත්මක චිත්‍රපට ධාරාව නියෝජනය කරන බොහෝ විට කඩවසම්, සුරූපී නළු නිළියන් දෙවන කාණ්ඩයයි. මේ අතරට පසුකාලීනව තෙවන කාණ්ඩයක් ද එක් වේ. ඒ එම ධාරාවන් දෙක තුළම සාර්ථක වන නළු නිළියන්ය. සිනමාව විශාල ප්‍රාග් ධනයක් ආයෝජනය කරන කර්මාන්තයක් සේ සලකන විට එහි සාර්ථකත්වය රඳා පවතින්නේ දෙවන හා තෙවන කාණ්ඩ මතය. එබඳු චිත්‍රපටවලට පුළුල් ප්‍රේක්ෂාගාරයක් ලබාදෙන ප්‍රධාන අකර්ෂණය වන්නේ තිර ප්‍රභාවෙන් යුත් නළු නිළියන්ය. ඔවුන් හැදින්වෙන්නේ සිනමා තරු ලෙසය. චිත්‍රපටය නම් වෙළෙඳ භාණ්ඩය ප්‍රේක්ෂකයාට අලෙවි කිරීමට යොදා ගැනෙන තවත් අතුරු භාණ්ඩයක් ලෙස මේ තාරකාවෝ චිත්‍රපට කර්මාන්තයේ පදනම බවට පත් වෙති.

රූප ස්වභාවය හා රංගන දක්ෂතාව ද සහිතව තරු බිහි වුව ද ඔවුන්ගේ පැවැත්ම රඳා පවතින්නේ වෙළෙඳපළේ අලෙවි කිරීමේ හැකියාව මතය. ඔවුන් රඟපාන චිත්‍රපටවල ආදායම මෙන්ම ඔවුන්ගේ මිල ද මේ තරුවල සාර්ථකත්වය විදහා දක්වන නිර්ණායක වේ. සිනමාවේ සදාතනික ජනප්‍රිය තරුව වන චාලි චැප්ලින්ගේ සාර්ථකත්වය මේ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනයයි. ඔහුගේ චිත්‍රපට ප්‍රචාරය සඳහා භාවිත වූයේ එක් වැකියකි. 'චැප්ලින් අද මෙහි සිටී'. 1921 දී ඇමරිකානු බැංකුව ද කිඩ් චිත්‍රපටය නිෂ්පාදනයට ඔහුට ඩොලර් දෙලක්ෂ පනස් දහසක ණය මුදලක් දුන්නේය. ඔවුන්ගේ එකම ඇපය වූයේ චැප්ලින්ය. ප්‍රදර්ශනය අරඹා සති හයකින් පොලිය ද සමඟ මුල් මුදල ගෙවීමට නිෂ්පාදන සමාගමට හැකි විය. ඔහුගේ වෙළෙඳපළ වටිනාකම ඉහළ ගිය ආකාරය වසර කිහිපයක වැටුපෙන් නිර්ණය කළ හැකිය. 1916 දී ඔහුගේ සතියක වැටුප ඩොලර් 1250 කි. 1917 දී එය සතියකට ඩොලර් දසදහස දක්වා ඉහළ ගිය අතර ඩොලර් එක් ලක්ෂ පනස් දහසක පාරිතෝෂිකයක් ද ලැබිණි. 1917 දී චිත්‍රපට 8 ක් සඳහා ඩොලර් දස ලක්ෂයක වැටුපක් හිමි විය. නිව්යෝක් හි ක්‍රිස්ටල් සිනමා ශාලාවේ 1913 සිට 1923 දක්වා තිරගත වූයේ ඔහුගේ චිත්‍රපට පමණි. මෙපමණ වෙළෙඳපළ වටිනාකමක් තිබු තරුවක් අපට සිනමාවේ හමු නොවේ. රොබට් රෙඩ්ෆෝඩ්ට 1961 දී ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වන ද වෝ හන්ට් සඳහා ගෙවූ වැටුප ඩොලර් 500 කි. එහෙත් 1977 දී තරු රැසක් පෙනි සිටි ද බ්‍රිජ් ටු ෆා චිත්‍රපට කෙටි චරිතයක දින 20 ක රූපගත කිරීම් සඳහා දිනකට ඩොලර් ලක්ෂය බැගින් ගෙවනු ලැබිය. මාලන් බ්‍රැන්ඩෝට සුපර්මෑන් චිත්‍රපටයේ දින 13 ක රූපගත කිරිම් සඳහා ඩොලර් ලක්ෂ 25 ක් ගෙවනු ලැබීය. මේ තරුවල වෙළෙඳ වටිනාකමට සාපේක්ෂව ඔවුන්ගේ මිල ඉහළ යන ආකාරයයි.

සිනමාවේ පමණක් නොව වෙනත් ක්ෂේත්‍රවල ද තරු සිටිති. ක්‍රීඩාව හා සංගීතය ඒ අතර ප්‍රධානය. එහෙත් සිනමාවේ පමණට ලොව පුරා එක් ලෙසින් ආකර්ෂණය දිනාගත හැකි තරු වෙනත් ක්ෂේත්‍රවල සාපේක්ෂව සීමාසහිතය. තරුව යන නම මුලින්ම භාවිත වූයේ 1770 ගණන්වල බ්‍රිතාන්‍ය වේදිකා නළු ඩේවිඩ් ගැරික් හැඳින්වීම සඳහාය. 1910 පමණේදී හොලිවුඩ් චිත්‍රාගාර බිහි කළ තරු ක්‍රමය කෙමෙන් ස්ථාපිත වේ. ඇමරිකානු නිෂ්පාදන ක්‍රමවේද අනුගමනය කළ ආසියාතික රටවල ද ඉන්දියාව, ශ්‍රී ලංකාව බඳු විනෝදාත්මක සිනමාවේ මූලික ආකර්ෂණය තරු බවට පත්වේ. මේ තරු අලෙවි කිරීම මත චිත්‍රපටයක වෙළෙඳ අගය තිරණය විය. ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ බෙ‍්‍රාන්කේ බිලි යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට වූ ඇන්ඩර්සන් වසර 10 ක් යනතුරු හොලිවුඩයේ ක්‍රියාදාම තරුව විය. ඔහුගෙන් පසු ඒ කිරුළ හිමි කර ගන්නා ජෝන් වේන් තවමත් ඇමෙරිකානු සිහිනයේ සදාතානික තරුව වන්නේය.

 පසුකාලීනව සිල්වෙස්ටර් ස්ටැලෝන්, ක්ලින්ට් ඊස්ට්වුඩ් වැනි තරු පැමිණිය ද ජෝන් වේන්ගේ දීප්තිය මිලාන වූයේ නැත. ඔහු හැඳින් වූයේ ද 'ආදිපාද' යන සුරතල් නාමයෙනි. එය ද තරු ජනප්‍රිය කිරීම උදෙසා නිෂ්පාදන සමාගම් බිහි කළ වෙළෙඳ උපක්‍රමයකි. ඒ අනුව ප්‍රථම තාරකාව මේරි පික්ෆර්ඩ් සුරතල් කෙල්ල විය. ඩග්ලස් ෆෙයාර් බෑන්ක්ස් ක්‍රියාදාම තරුව විය. දිලිප් කුමාර් පරාජිත පෙම්වතා ලෙස ද අමිතාබ් බච්චන් කෝප වූ තරුණයා ලෙස ද මීනා කුමාරි තිරයේ කඳුළු බිංදුව ලෙස ද වෛජයන්තිමාලා තිරයේ ගිනි සිළුව ලෙස ද, ෂාරුක් ඛාන් ඛාන් රජු ලෙස ද හැඳින් වෙන්නේ ඒ අනුවයි. ගාමිණී ෆොන්සේකා සිනමා සක්විති වන විට රුක්මණී දේවි හා මාලිනී ෆොන්සේකා නිළි රැජනන් විය. විජය කුමාරණතුංග සිහින කුමාරයා වන විට ශ්‍රියානි අමරසේන තිරයේ අහිංසකාව විය.

ඉන්දියානු සිනමාව ආරම්භයේ සිටම තරු මත රඳා පැවති කර්මාන්තයකට උරුම කියයි. මේ තරු කෙතරම් බලවත් ද යත් ඔවුන්ට සිනමා කර්මාන්තය හැසිරවීමේ බලය ද හිමි වේ. ඉන්දියා ටුඩේ සඟරාව අමිතාබ් බච්චන්ගේ ඡායාරූපයක් පිට කවරයට යොදවමින් (80. 05. 01) තනි පුද්ගල කර්මාන්තය යන ශීර්ෂ පාඨය ද භාවිත කළේය. (මෙරට ගාමිණී ෆොන්සේකා එබඳු බලයක් හිමි කර ගත්තේ 1960 දශකයේ මැද භාගයේ බව අමතක කළ යුතු නැත. 1980 දී මැලේසියානු සඟරාවක් ඔහු හැඳින් වූයේ ශ්‍රී ලංකාවේ සිනමා සක්විති ලෙසිනි). නළුවන් සිනමාව පාලනය කරන යුගය උදා වන්නේ 1940 දශකයෙන් පසුවය. ඇමෙරිකානු චිත්‍රගාර ආර්ථික අර්බුදයකට යාමත් සමඟ ස්වාධින වන තරු ඉන් පසු තම වටිනාකම් පිළිබඳ ස්වාධීන අයිතිය හිමි කර ගත්හ.

ඇමෙරිකාවේ සිදුවන මෙම පරිවර්තනය ඉන්දියාවට ද බලපෑවේය. හින්දි සිනමාව දිලිප් කුමාර්, රාජ් කපූර් හා දේව් ආනන්ද්ගේ ආධිපත්‍යයට නතු වන අතර දකුණ එම්. ජී. රාමචන්ද්‍රන් හා ශිවාජි ගනේෂන් සතු විය. 1970 දශකය ආරම්භයේදි උතුරේ රාජෙෂ් ඛන්නා වටා ගොඩ නැඟුණු උන්මාදය කෙතෙක් ද යත් ඔහු දෙවියන්ට සමාන ලෙස සැලකිණි. එහෙත් 70 දශකයේදිම මේ රොමෑන්ටික් තරුව යටපත්ව අමිතාබ් බච්චන්ගේ යුගය ඇරඹෙන්නේම කෝපගත් තරුණයා විරුදය සමඟිනි. වර්තමානයේ ෂාරුක් ඛාන් සමඟ අමිර් ඛාන් හා සල්මන් ඛාන් ද දීපිකා පදුකෝන්, කාජල්, අයිශ්වර්යා රායි සමඟ කරිනා කපූර් ද හින්දි සිනමාවේ ජීවය බවට පත්ව සිටිති. රාමචන්ද්‍රන්ගේ යෂ්ටිය ලබාගත් රජ්නිකාන්ත් දෙමළ සිනමාවේ නායක තරුවයි. විජය, සුර්යා හා වික්‍රම් ද නායනතාරා, අසීන් හා ජෝතිකා ද තරු ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණයේ පෙරමුණේ සිටිති. මම්මුටි හා මෝහල් ලාල් මලයාලම් විනෝදාත්මක සිනමාව පාලනය කරති. මොවුන්ගේ චිත්‍රපට සඳහා ආයෝජනය කෙරෙනුයේ බිලියන ගණනිනි. ආදායම් වාර්තාවන් ද බිලියන ගණනිනි. මේ තරුවල වෙළෙඳ වටිනාකම් මිනීමට ද මිලියන සංඛ්‍යා ප්‍රමාණවත් නැත.

අපේ සිනමාව ද තරුවලින් දීප්තිමත්ව බැබළුණු යුගයක් තිබිණ. රුක්මණී දේවි තාරකාවක් ලෙස වැජඹුණ ද තරු සංකල්පය මෙරට සිනමාවට එක්වන්නේ සුජාතා (1953) සමඟිනි. ප්‍රේම් ජයන්ත් හා ෆ්ලොරිඩා ජයලත් එක් රැයකින් ජනහද දිනනු පමණක් නොව දශකයක පමණ කාලයක් තරු ලෙස පෙරමුණේ වැජඹුණහ. මේ මුල් අදියරේ ඒක් ලක්ෂණයක් වූයේ තනිව වෙළෙඳපළ දිනා ගැනුමට එක් තරුවක් ප්‍රමාණවත් නොවීමය. රුක්මණී දේවිගෙන් පසු තරු හැඳින් වූයේ යුගල වශයෙනි. 1990 තෙක්ම මේ ලක්ෂණය මෙරට සිනමාවේ දැකිය හැකි විය. හර්බි (සෙනෙවිරත්න) කාන්ති (ගුණතුංග) ස්ටැන්ලි (පෙරේරා) ගර්ලි (ගුණවර්ධන) ආනන්ද (ජයරත්න) ක්ලැරිස් (ද සිල්වා) රවීන්ද්‍ර (රූපසේන) ලීනා (ද සිල්වා) ලෙස ගොඩ නැඟෙන මේ සාධකය පසුව ගාමිණී (ෆොන්සේකා) ජීවරාණි (කුරුකුලසූරිය) ගාමිණී - සන්ධ්‍යා (කුමාරි) ගාමිණී - මාලිනී (ෆොන්සේකා) විජය (කුමාරණතුංග) - මාලිනී - සනත් (ගුණතිලක) සබීතා (පෙරේරා) රෝයි (ද සිල්වා) සුමනා (අමරසිංහ) ජීවන් කුමාරණතුංග) අනෝජා (වීරසිංහ) ලෙස ව්‍යාප්ත විය. එහෙත් මේ යුග දෙක අතර පැහැදිලි වෙනසක් තිබිණි. මුල් යුගයේ තනි තරුවක අගය ඉස්මතු වූයේ කලාතුරකිනි. එහෙත් පසුව තනිව චිත්‍රපටයක් සාර්ථකත්වය කරා ගෙන යා හැකි තරුවල යුගය ඇරැඹෙයි.

තරුවල ආයු කාලය සීමාසහිතය. වයස්ගතවීම, එම තරුවලට වඩා සුරුපී නවක තරුවල ආගමනය මෙන්ම චිත්‍රපට නොලැබීම ද නිසා තරු අභාවයට යති. මීට හොඳම නිදසුනක් ලෙස ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න දැක්විය හැකිය. සූරයා චිත්‍රපටයෙන් ඔහු තරුවක් ලෙස කෙතරම් ජන ප්‍රසාදයක් දිනුවේ ද යත් කලක් යනතරුම ඔහු හැඳින් වූයේ සූරයා නම් විරුදයෙනි. එහෙත් ඉන් පසු මේ තරු ගුණයට සරිලන චිත්‍රපට නොලැබීම නිසා ඉක්මනින්ම තරුවක් ලෙස ඔහුගේ දීප්තිය මිලානව ගියේය. සමාජය වෙනස්වීම, නව තරුණ ප්‍රේක්ෂක පරම්පරාවක බිහිවීම හා ඔවුන්ගේ ආකල්ප, ඇගයුම්වල ස්වභාවය අනුව ද තරුවල ආයු කාලය තීරණය වේ.

60 දශකය ඇරඹෙන විට මෙරට සිනමාවට නව වීරයකු - නව තරුවක් අවශ්‍යව තිබිණි. ගාමිණී ෆොන්සේකා පුරවන්නේ මේ රික්තයයි. ඔහු ප්‍රතිනිර්මාණ කළ තාරුණ්‍යයේ ජවය හා පෞරුෂය මූර්තිමත් කළ විරයා එළඹෙන දශකය තුළ ඔහුගේ කීර්තිය හිනිපෙත්තටම ගෙන ගියේය. 60 දශකය අවසානය වන විට ගාමිණී සල්ලි මවන මැෂිමක් බවට පත්ව සිටියේය. එම ශක්තිය මත සිනමාවේ දිශානතිය නිර්ණය කිරීමේ, ඒ පාලනය කිරීමේ බලය ද ඔහුට හිමි විය. තරු අස්ථානගතවීමට බලපාන සාධක ඔහුට බල නොපෑවේ තරු ගුණයට අමතරව ඔහු ප්‍රශස්ත රූපණවේදියකු ද වීම නිසයි. ජීවිතය අවසානය තෙක් වෙළඳපළ වටිනාකම රඳවා ගත් වෙනත් නළුවකු ආසියාවෙන්ම සොයා ගැනීම අසීරුය. ඔහුගේ කීර්තිය කෙතෙක් ද යත් ඔහු මිලට ගැනීමට එන නිෂ්පාදකවරුන්ට සිදු වූවේ ඔහුගේ ගිවිසුමකට අවනතවීමටය. මේ ශක්තිය ඒ වන විට ආසියාකරයේ වෙනත් නළුවකුට හිමිව තිබුණේ නැත.

ගාමිණීගේ පළමු දශකය අවසන් වන විට රිදීතිරයේ ඉස්මතු වන තරුව බවට පත් වන්නේ විජය කුමාරණතුංගය. ගාමිණීගේ දීප්තිය රඳා පැවතියේ පෞරුෂය මත නම් විජයගේ දීප්තිය රඳා පැවතියේ ඔහුගේ ශෝභමාන රූපකාය මතය. එයට සරිලන පෞරුෂයක් ඔහු සතු විය. එක් රැයකින් බොහෝ තරු අබිබවා පෙරමුණට එන විජය තම ජීවිතය අවසන් වන තුරුම ඒ කීර්තිය භුක්ති වින්දේය. අද ද ඔහුගේ සිනමා කීර්තියට හානියක් වී නැත. මේ දෙදෙනා හා සමතලයක සිටින අනෙක් තරුව මාලිනී ෆොන්සේකා බිහි වන්නේ ද 60 දශකයේදීය.

70 දශකය වන විට විනොදාත්මක සිනමාවේ පෙරට එන මාලිනී තරු ගුණයෙන් ද රංගන ශක්තියෙන් ද දිදුලන තාරකාව බවට පත් විය. බොහෝ තරු තිබුණ ද මෙම අසමසම තරුවල ප්‍රධාන ශක්තිය වූයේ ඔවුන්ට තනිවම චිත්‍රපටයක් සාර්ථකත්වය කරා ගෙන යාමට හැකිවීමයි. කිසිදු ප්‍රසිද්ධියක් නොමැති සමහර විට ආධුනික සහායකයන් සමඟ වුව ද චිත්‍රපටයක් වෙළෙඳපළේදී සාර්ථක කිරීමට මේ තිදෙනා සමත් වූහ. ගාමිණී රඟපෑ චිත්‍රපට සිය ගණනින් වෙළඳපළේ අසාර්ථක වූයේ හතරක් හෝ පහක් පමණි.

මේ තිදෙනාට සමාන්තරව තරු ගුණයෙන් ඉහළම තලයකට ආ නළු නිළියෝ බොහෝ වෙත්. බොනිෆස් ප්‍රනාන්දු, රෝයි ද සිල්වා මෙන්ම තිස්ස විජේසුරේන්ද්‍ර තරු ගුණයෙන් ඉහළ තලයක සිටියහ. මඳක් ප්‍රමාද වී පැමිණෙන රවින්ද්‍ර රන්දෙණිය කඩවසම් දේහයෙන් ද සෙල්ලක්කාර සැහැල්ලු ගති විලාසයෙන් ද සුවිශේෂ පෞරුෂයෙන් ද යුක්ත වූයේ වෙළෙඳපළ අවධානය ක්ෂණිකව තමා වෙත ඇද ගැනිමට සමත් විය. වෙළෙඳපළ වටිනාකමින් අඩු මට්ටමක සිටිය ද මේ අතර කඩවසම්ම තරුණයා වූයේ ටෝනි රණසිංහයි. සනත් ගුණතිලක, ජීවන් කුමාරණතුංග, රන්ජන් රාමනායක 1990 දශකය අවසන් අදියර වන විට තරු ලෙස දීප්තිමත් තලයකට පැමිණ සිටියහ. ජීවරාණි, සන්ධ්‍යා හා විජිත මල්ලිකාගෙන් පසු තරු කිරුළ පැහැර ගන්නී මාලිනීය. ඈ සමඟ ශ්‍රියාණි අමරසේන, සුමනා අමරසිංහ, සුවිනීතා විරසිංහ, නීටා ප්‍රනාන්දු මුල් අදියරේ ද, ගීතා කුමාරසිංහ, අනෝජා වීරසිංහ, වසන්ති චතුරාණි, වීණා ජයකොඩි, සබීතා පෙරේරා දෙවන අදියරේ ද වෙළෙඳපළ වටිනාකම් දිනා ගැනීමට සමත් වූ තාරකාවන්ය. මේ අතරින් කිහිප දෙනකු ඉක්මනින් චරිතාංග නිරූපණයට එළඹියද ඔවුන්ගේ තරු ගුණය යටපත් වූයේ නැත. ස්වර්ණා මල්ලවාරච්චි එබඳු නිළියකි. තරු ගුණය තිබුණ ද පුණ්‍යා හීන්දෙනිය හා අනුලා කරුණාතිලක වඩා ප්‍රකට වූයේ චරිතාංග නිළියන් ලෙසය. මේ තරු දෙකට පසුව එක්වන සංගීතා වීරරත්න හා දිල්හානි අශෝකමාලා නියෝජනය කරන්නේ දීප්තිමත් යුගයක අවසන් අදියරයි.

මේ තාරකා යුගයෙන් පසු අවරෝහණ අවදිය ඇරඹෙන්නේ චිත්‍රපට කර්මාන්තේ අර්බුද මාලාව ද සමඟිනි. මේ අර්බුද සමයේ චිත්‍රපටවල හැඩරුව වෙනස් වන විට වෙනත් දක්ෂතා සහිත නළුවන් ඉස්මතු වන බව පෙනේ. විජය නන්දසිරි, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ සතු තරු ගුණය කෙසේ වෙතත් ඔවුහු සිනමාව වෙත ප්‍රේක්ෂකයන් කැඳවාගෙන ඒමට සමත් වු බව අමතක කළ යුතු නැත. රොෂාන් රණවන, චන්න පෙරේරා, අර්ජුන් කමලනාත් තරු ප්‍රභාවයෙන් යුක්ත වුව ද විමෝදාත්මක චිත්‍රපටයේ පසුබෑම තුළ ඔවුන්ට දීප්තිමත් අනාගතයක් හිමි වූයේ නැත. වර්තමානයේ හේමාල් රණසිංහ, අනුජ් රණසිංහ, ශේෂාද්‍රි ප්‍රියසාද්, දිනක්ෂි ප්‍රියසාද්, දුලානි අනුරාධා වැනි තාරකා ප්‍රභාව සහිත නළු නිළියන් බිහි වුව ද ඔවුන්ගේ තරු ගුණයේ අනාගතය අවිනිශ්චිතය. වසරකට චිත්‍රපටයක දෙකක රඟපෑමෙන් ඔවුන්ගේ වෙළෙඳපළ වටිනාකම පිළිබඳ තක්සේරුවක් ඇති වන්නේ නැත. මේ ඔවුන්ගේ අඩුවක් නොව මෙරට විමෝදාත්මක සිනමාවේ අවරෝහණයේ ප්‍රතිපලයයි. මේ අර්බුද අතර ද වාසනාවන්ත තාරකාව ලෙස ඉස්මතු වන්නේ පූජා උමාශංකර්ය.

තවදුරටත් තරු චිත්‍රපට කර්මාන්තයේ බලවේග වන බවක් අපට පෙනෙන්නේ නැත. වර්තමානයේ ද ඉතා දක්ෂ රූපණවේදීන්ගේ හිඟයක් නැත. එහෙත් ඔවුන්ට වෙළෙඳපළේදී චිත්‍රපටයක් තනිව වාණිජ සාර්ථකත්වය කරා ගෙනයාමේ හැකියාවක් නැත. වර්තමාන ලෝකයේ ද සිනමාව පාලනය කිරීමේ ශක්තිය සතුව තිබෙන්නේ ඉන්දීය තරුවලට පමණි. 1940 දශකයේදී ඇමරිකාවේ චිත්‍රාගාර යටපත් කරමින් තරු ඉස්මතු වුව ද 70 දශකයේදි එම ලක්ෂණය ද පරිවර්තනයකට හසුවන්නේ නව සිනමාකරුවන් කණ්ඩායමක ආගමනය සමඟිනි. සිනමා දඟයෝ යන විරුදයෙන් හැඳින්වෙන මාර්ටින් ස්කොසෙස්, ජෝර්ජ් ලූකස්, ස්ටීවන් ස්පිල්බර්ග්, ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොලා බඳු සිනමාකරුවන් පෙරමුණට එන විට තරුවල වෙළෙඳපළ බලය අභියෝගයට ලක් විය. ඉන් පසු වෙළෙඳපළ ආකර්ෂණය හිමිවන්නේ මෙම සිනමාකරුවන්ගේ නම්වලටය. ජුලියා රොබට්ස්, හිලරි ස්වෑන්ක්, ටොම් කෲස්, ටොම් හැන්ක්ස්, කේට් වින්ස්ලට් බඳු තරු අද ද ඉදිරියෙන් සිටියත් සිනමාකරු ප්‍රමුඛ සිනමාවක් හොලිවුඩ්හි බිහි වී අවසන්ය. වර්තමානයේ මෙරට සිනමාවේ ද දැකිය හැකි ලක්ෂණය එයයි. වෙළෙඳපළ අගය මත දිදුලන තරු අද හිඟය. සිනමාකරුවෝ තරු බවට පත්වෙමින් සිටති. ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අතීතයේදී වෙනම ප්‍රේක්ෂාගාරයක් හිමිව තිබිණි. වර්තමානයේ කලාත්මක සිනමා ධාරාවේද ජනප්‍රිය සිනමා ධාරාවේ ද ශක්තිය බවට පත්ව සිටින්නේ නිර්මාණකරුවන්ය. ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම නම්වලට ප්‍රේක්ෂාගාරය තිබේ. සෝමරත්න දිසානායත, උදයකාන්ත වර්ණසූරිය, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි, සුනිල් ආරියරත්න බඳු සිනමාකරුවන් ජනප්‍රිය සිනමාවේ තරු බවට පත්ව සිටිති. අද වෙළෙඳපොළ ආකර්ෂණයට හිමිකම් කියන්නේ මෙම නම්ය. එය එක් අතකින් අගය කළ යුතු කරුණක් වන්නේ රංගනයේ ශූර රූපණවේදීන් සඳහා එමඟින් මහඟු අවස්ථාවක් උදා වී ඇති හෙයිනි.

එහෙත් අප තවදුරටත් චිත්‍රපට කර්මාන්තයේ පැවැත්ම ගැන අවධානය යොමු කරන්නේ නම් විශාල ආදායම් උපයන ලාභදායී ව්‍යාපාරයක් අපේක්ෂා කරන්නේ නම් ජන ආකර්ෂණය දිනාගත් තරුවල අවශ්‍යතාව බැහැර කළ නොහැකියි. සාමාන්‍ය ප්‍රේක්ෂකයන් තවමත් සිනමාවට එන්නේ තරු සාධකය නිසාය. නොඑසේ නම් ෂාරුක් ඛාන්, රජ්නිකාන්ත්, විජෙයිගේ චිත්‍රපටවලට මෙතරම් ඉල්ලුමක් මෙරට පැවතීිමට හේතුවක් නැත. සශ්‍රීක චිත්‍රපට කර්මාන්තයක් සඳහා තරු අවශ්‍යයි. එසේම තරු බිහිවීම සඳහා සශ්‍රීක චිත්‍රපට කර්මාන්තයක් ද අවශ්‍යයි.