වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවියේ මහෝත්පත්තිය

සරසවියේ මහෝත්පත්තිය

ජගන් මෝහිනී - මධුර භාෂිණී
චාරු දේහිනී - කමල වාසිනී
සරස්වතී දේවී - වන්දේ - සරස්වතී දේවී.......

කම්පිත කංචන මාලා කූජිත - කිංකිණි නූපුර ජාලා
පාද සරෝජේ කටී තටාකේ - චංචල නර්තන ලීලා

මීන මකර පංකජ රූපාකුල - අංකිත කුංකුම රේඛා
පූර්ණ කුම්භ මිව පීන පයෝධර - පූරිතාමෘත ධාරා

භාග්‍ය සාදන පුණ්‍ය මූර්තිධර - සුරකුලවර අභිරූපා
දේහි දේහි වරදායක හස්තේ - සුබ මංගල මුද්‍රා

ගේයපද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

සංගීතය හා ගායනය - ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව

‘ජගන් මෝහිනී - මධුර භාෂිණී...’ ගීතයේ ආරම්භක සංගීතයේ ස්වරය ඇසෙන විට ම අපගේ සිතට පිවිසෙන්නේ එක ම නර්තනයකි. ඒ කුමන හෝ උලෙළක් ආරම්භ කිරීමට මත්තෙන් වේදිකාවේ රඟදෙන සරස්වතී නර්තනයයි. ඒ තරමට ම සරස්වතී නර්තනයත්, “ජගන් මෝහිනී - මධුර භාෂිණී...... ” මධුර ගීතයත් අතර ඇත්තේ ඥාති සබඳතාවකි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සුරතෙන් පද බැඳුණු මේ ගීතය අපගේ දෙසවන පිනවන්නේ අද වනවිට අප අතැර ගොස් සිටින ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ මියුරු ස්වරයෙනි. ඒ ස්වරයත්, ගීතයත් හා බැඳුණු අපූරු කතාවක් “ජගන් මෝහිනී - මධුර භාෂිණී...... ” ගීතය පසුපස ඇති බව දන්නේ ටික දෙනෙකි. ‘සරසවිය’ මහා කලා මංගල්‍යයේ ආරම්භය හා දිවෙන ඒ අපූරු කතාව සිනමාවේ අනාගත අභිවෘද්ධිය උදෙසා සරසවිය පුවත්පත හා බැඳෙයි.

එනම්, 1964 වසරේ වෙසක් මහෙන් ආරම්භ වූ පළමු සරසවිය සම්මාන උලෙළට අභිනන්දන ගීතයක අවශ්‍යතාව මත මෙලොව එළිය දුටු ඒ ගීතය, සරසවිය සම්මාන උලෙළ ඔස්සේ අපේ රටේ කලාවට දායද වූ බොහෝ දේ අතර ප්‍රථම ස්ථානයේ ලා ගිණිය හැකිය. ඒ බව අපට පසක් වන්නේ සරස්වතී අභිනන්දන ගීතය දෙවැනි වන්නේ අපේ රටේ ජාතික ගීතයට බැවිනි. මේ තරමට ම ජනතාවගේ තුඩඟ තුඩඟ රැව්දුන් ඒ සොඳුරු ගීතය මෙවර 33 වැනි වරටත් සරසවිය සම්මාන උලෙළේ දී ගැයේ. එහෙත් එහිදී කනගාටුවෙන් වුවද මතකයට නැඟිය යුතු කාරණයක් තිබේ. ඒ සුපුරුදු ලෙස සජීවව අප දෙසවන පතිත වන ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ මියුරු ස්වරය මෙවර ඇසෙන්නේ හඬපටයකට මුසු වෙමිනි. වසර අටකට පසුව පැවැත්වෙන මෙවර සරසවිය සම්මාන උලෙළේ ගයන්නට ම පෙර අපගේ කෝකිලයාගේ මියුරු කූජනය නිහඬව ම තාවතිංසය වෙත පිවසීම ඊට හේතුවයි.

සරසවිය සම්මාන උලෙළ පිළිබඳ සිහිපත් කරන විට මගේ මතකයට පිවිසෙන අනෙක් වැදගත් කාරණය නම් සරසවියේ අනන්‍යතාව රැගත් සම්මානයයි. ලාංකේය සිනමාවේ පෙළහැර පෑ කලාකරුවන් වෙනුවෙන් පිදෙන සරසවිය සම්මානයේ නිමැවුම්කරු වන්නේ තිස්ස රණසිංහ ය. කලා කෘතියක සියුම් බව මනාව වටහාගත් එවැනි කලාකරුවකුගේ සුරතෙන් නිමවුණු සම්මානයකින් බුහුමන් ලැබීමත් සැබවින් ම වාසනාවකි. ඒ කාර්යය එවකට ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වූ රංජිත් විජයවර්ධන මැතිඳුන් තිස්ස රණසිංහයන්ට පවරන ලද්දකි.

සරසවිය පුවත්පතේ නාමය, අරමුණ හා සම්මානයක තිබිය යුතු ගරු ගාම්භීරත්වය එකී සම්මානය අතට ගත් මොහොතේ පවා දැනෙන්නට පටන් ගනියි. ඒ අනුව සරසවිය සම්මානයට නියමිත බර ප්‍රමාණයක් ඇත. එනම් එය 4 ඬඨ 900ඨකි. එහි උස අඟල් 15කි. සරසවිය සම්මානය සේම වැදගත්කමකින් යුතු සම්මාන ත්‍රිත්වයකි. ඉන් පළමු වැන්න වන රණතිසර සම්මානයේ බර 6 ඬඨ 200ඨකි. එහි උස අඟල් 14කි. කුසලතා සම්මානයේ බර 1ඬඨකි. එහි උස අඟල් 10 කි. ජනප්‍රිය සම්මානයේ බර 1ඬඨ 800ඨකි. එහි උස අඟල් 11ක් ද වෙයි.