|
පළමු සරසවිය සම්මාන උලෙළ ත්‍රිත්වය ගැන මගේ මතකය
අවුරුදු කිහිපයක විරාමයකට පසුව සරසවිය සම්මාන උලෙළ නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත. මෙම නව ආරම්භය නිමිත්තෙන් මුල්ම සරසවිය චිත්‍රපට උලෙළ කිහිපය අලළා ලිපියක් සම්පාදනය කරන ලෙස සරසවිය ප්‍රධාන කර්තෘ පදවිය හොබවන අරුණ ගුණරත්න මට ආරාධනා කළේය. එවකට ප්‍රධාන කර්තෘ වූ විමලසිරි පෙරේරාගේ අධීක්ෂණය යටතේ මම සරසවිය ප්‍රධාන උප කර්තෘ ලෙස 1965 - 1973 දක්වා සේවය කළෙමි. මුල් සරසවිය සම්මාන උලෙළ කිහිපය පිළිබඳ මතකය අවදි කරමින් වර්තමාන සරසවිය පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා පැරැණි සිද්ධීන්, විස්තර වර්ණනා හා ඇගයීම් මෙසේ සටහන් කරමි. සරසවිය සම්මාන උලෙළ ආරම්භ වූයේ 1964 දීය. නමුත් මෙම මංගල සරසවිය උලෙළෙහි විශේෂත්වයක් විය. එනම් 1960, 1961, 1962, 1963 යන සතර වසර තුළම ප්‍රදර්ශනය වූ සියලුම සිංහල සිනමා සිත්තම් සම්මාන පිදිමේ තරඟයට ඇතුළත් කර ගැනීමයි. සරසවිය සම්මාන උලෙළ කොටස් දෙකකින් සමන්විත විය. පළමු අදියර තුළ පාඨක ඡන්දයෙන් තෝරා ගනු ලැබූ හොඳම චිත්‍රපට පහ සිනමාහලක නැවත ප්‍රදර්ශනය කරනු ලැබිණ. මෙහි විශේෂ සිද්ධිය වූයේ සවස 6 දර්ශනයට ඒ ඒ චිත්‍රපට නිෂ්පාදනය සඳහා දායකවූවන් සහභාගීවීමයි. චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට පෙර නිෂ්පාදක, අධ්‍යක්ෂ, නළු නිළියන්, කැමරා ශිල්පි ආදී සියලුම ශිල්පීන් ප්‍රේක්ෂක ප්‍රීති ඝෝෂා මැද වේදිකාව මත ගෞරවයට පාත්‍ර කරනු ලැබිණ. සිනමා ශාලාව ඉදිරිපස චිත්‍රපට රසිකයන් රැස් වූයේ චිත්‍රපට ප්‍රදර්ශනයට පැමිණෙන ශිල්පී ශිල්පිනියන් විශේෂයෙන් නළු නිළියන් දැක බලා ගැනීමටය. මෙම රසිකයනට අවශ්‍ය වූයේ තම ජනප්‍රිය නළු නිළියන්, ශිල්පීන් දැක ගැනීමටත්, වාසනාවක් තිබුණොත් ඔවුන් සමඟ වචනයක් දෙකක්, සිනහවක් බෙදා හදා ගැනීමයි. එම රැස්කකා සිටි සෙනඟ සුහදතාවයෙහි සංකේතයක් වූ බැවින් තරහ ගැනීමක්, තල්ලු කිරීමක්, කලබල ඇති කිරීමක් කිසිසේත් සිදු නොවීය. දෙවන අදියර වන සරසවිය සම්මාන ප්‍රදානය සවැනි දින රාත්‍රියෙහි උත්කර්ෂවත් අන්දමින් සිදු කරනු ලැබිණ. චිත්‍රපට උලෙළ දින කිහිපයක් තුළදී අවසන් කරනු ලැබුව ද එය සංවිධානය කිරීම තුන් මසකට පමණ පෙර සිට ඇරැඹිණ. බොහෝ චිත්‍රපට රසිකයෝ තිරය පසුපස මාස තුනක කාලයක් තිස්සේ කරනු ලැබූ මෙම ක්‍රියාදාමය ගැන දැන නොසිටියහ. බොහෝ විට ඔවුන් දැනුවත් වූයේ හොඳම චිත්‍රපටය සඳහා සරසවිය හා ජනතා (එකල ලේක්හවුසියෙන් මුද්‍රණය කරනු ලැබූ සවස සිංහල පුවත්පත) පත්තරවල පළ වූ කූපන පුරවා කැමැත්ත ප්‍රකාශ කිරීමේ කාර්යය ගැන පමණක් විය යුතුයි. විනිශ්චය මණ්ඩලයක් තෝරා පත් කිරීම, චිත්‍රපට විනිශ්චය කිරිමට පදනම් වන නීතිරීති සකස් කිරීම, ඒ ඒ සම්මානය උදෙසා විනිශ්චය හා ඇගයීම් කිරීමේදී භාවිතා කළ යුතු සංකල්ප, සාධක හා දර්ශක තීරණය කිරීම ආදි ක්‍රියාවන්ට පූර්ව ක්‍රියාකාරකම් අතර ප්‍රධාන තැන හිමි විය. විනිසුරු මඬුල්ල ඒ ඒ චිත්‍රපට නැරැඹීමේ කටයුතු සම්පාදනය කිරීමද, අවසාන විනිශ්චයන් හා නිගමන පිළිබඳ රහස්‍යභාවය සුරැකීම ද සංවිධායකයන් සතු තවත් වගකීමක් විය. සරසවිය සම්මානය නිර්මාණය කර නිපදවනු ලැබුවේ තිස්ස රණසිංහ නැමැති මූර්ති ශිල්පියා විසිනි. ඔබ හොඳම ශිල්පියෙකුට පිදෙන සරසවිය සම්මානයක් දෙස හොඳින් බලන්න. එය භක්තිය උපදවන කාව්‍යාත්මක නිපැයුමක් නොවන්නේද? එම සරසවිය සම්මාන පිළිරුව දකින විට මා මනසෙහි චිත්‍රණය වන්නේ එය අයෙකු පුද පූජා පවත්වන ඉරියව්වක් සංකේතවත් කරන බවයි. තිස්ස රණසිංහ ලෝක ප්‍රසිද්ධ මූර්ති ශිල්පියෙක් විය. සරසවිය සම්මානය සිනමා ශිල්පීන්ට උපහාරයක් වූවා මෙන්ම නිම වූ සරසවිය සම්මානය තිස්ස රණසිංහගේ නිර්මාණාත්මක කෞශල්‍යයට උපහාරයක් බව ද කිව යුතුය. සරසවිය සම්මාන උලෙළ හුදු සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක් පමණක් නොවීය. එය ජාතික කලා මංගල්‍යක්ම විය. සංවිධායකයන්ගේ අරමුණ වූයේ චිත්‍රපට සම්මාන ප්‍රදානය හෙළ කලාවෙහි සෑම වැදගත් අංගයකින්ම අලංකාර කිරීමයි. සම්මානනීය කිරීමයි. මේ සඳහා නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළත් කෙරිණ. පාරම්පරික කලා ශිල්පීහු ද මෙම කලා උලෙළ සරස්වතිය මිහිබට උලෙළක් බවට පත් කිරීමට දායක වූහ. සරසවිය සම්මාන උලෙළ ආරම්භ වූයේ සරස්වතී අභිනන්දන ගීතය ගැයෙද්දී සරස්වතී දේවිය පිදීමට සරස්වතී පූජා නැටුමකිනි. චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ භක්තිය දනවන පද මාලාව අමරදේවයන්ගේ කර්ණ රසායන ස්වරයෙන් ගැයෙද්දී පහන් සිළු අතැති නාට්‍යාංගනාවෝ සරස්වතී දේවිය නැමැද සිටියේ නරඹන්නන් මෝහනයට පත් කරමිනි. දෙවන සරසවිය සම්මාන උලෙළේ මා දුටු සරස්වතී පූජාව වසර පණහකට පමණ පසුව වුව ද මා මනසෙහි රැඟුම් දෙන බව පවසන්නේ මානවසිංහයන් හා අමරදේවයන්ගේ කලා කෞශල්‍යයට ප්‍රණාම දක්වමිනි. ප්‍රථම සරසවිය උලෙළ කොළඹ වේල්ස් කුමාර (පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මාවත) මාවතෙහි පිහිටි අශෝකා සිනමා ශාලවේදී 1964 මැයි මස 9 දා ශ්‍රී ලංකා සෙනෙට් සභාවේ සභාපති තෝමස් අමරසූරියගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණ. මෙම සම්මාන උලෙළට නළු නිළියන් ගෙන එනු ලැබුවේ විශේෂයෙන් නිර්මාණය කරන ලද තාරකා යාත්‍රාවෙනි. සරසවිය පත්‍රයෙහි පළ වූ පර්සි ජයමාන්නගේ ලිපියක් අනුව සවස 4 ට පමණ ලේක්හවුස් මන්දිරයෙන් පිටත් වූ තාරකා යාත්‍රාව මනහර ලෙස ගොප් රැහැණින් සහ සමන් පිච්ච මලින් සරසන ලද්දකි. නළු නිළියන් රැගත් තාරකා යානය දෙපැයක් පමණ ගමනින් පසු අශෝකා සිනමා ශාලාවට සැපත් වී ඇත. මඟ දෙපස ප්‍රීති ඝෝෂා හා ඔල්වරසන් හඬ මැද සිනමා රසිකයන් විසින් තාරකා යාත්‍රාවේ ගමන් ගත් නළු නිළියන් පිළිගනු ලැබිණ. සරසවිය - ජනතා පාඨක ඡන්ද 35,374 ක් ලබා ගනිමින් ජනප්‍රියත්වය අතින් ප්‍රථම ස්ථානයට පත් වූ ගම්පෙරළිය චිත්‍රපටය විනිශ්චය මණ්ඩලයේ තීරණය අනුව ද හොඳම චිත්‍රපටය බවට පත් විය. ගම්පෙරළිය චිත්‍රපටය පසුව පැවැත්වුණු ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ දෙකකදී ජාත්‍යන්තර සම්මාන හිමිකර ගැනීම විශේෂත්වයක් විය. රේඛාව චිත්‍රපටයෙන් සුබ පෙරනිමිති සලකුණු කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් මංගල සරසවිය සම්මාන උලෙළෙන් සම්මාන ලබා ජාත්‍යන්තර තලයෙහි සම්මානනීය අධ්‍යක්ෂවරයෙකු බවට පත් වූයේ ශ්‍රී ලංකාවට හා හෙළ සිනමාවට කීර්තියක් ලබා දෙමිනි. සරස්වති අභිනන්දන ගීතය ලියා දුන් චන්ද්‍රරත්න මානවසිංහ සරසවිය මංගල උලෙළේදී ගීත නිබන්ධනය සඳහා සම්මානය දිනා ගැනීම සුවිශේෂය. හෙළ කලාවේ සුන්දරත්වය නිර්මාණාත්මක වදන් මාලා තුළින් රසික මනසට මුසු කිරීමට කාලාන්තරයක් තිස්සේ ඉටු කළ මහඟු සේවය සඳහා මානවසිංහයන්ට පිදුණු උපහාරයක් වැන්න මෙම සරසවිය සම්මානය. සරසවිය සම්මාන උලෙළේදී ආශා රස වින්දනයෙන් කුල්මත්වීමට සපැමිණි සහෘද සිත් සතන් සරස්වතී අභිනන්දන ගයමින් මොහොතකට භාවනාත්මක සංයමයකට පත් කළ අමරදේවයන්ට හොඳම සංගීත අධ්‍යක්ෂ සම්මානය ලැබීම ද විශේෂත්වයකි. මා ශ්‍රී ලංකාවෙන් තාවකාලිකව සමුගෙන ජාත්‍යන්තර සිවිල් සේවා නිලධරයකු වශයෙන් ඈත දුරු රට සේවය කරද්දී, අප මව් රට ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක්වෙද්දී හද වෙලාගත් ශෝකය හා අපේක්ෂා භංගත්වය යම් තරමින් හෝ තුනී කර ගත්තේ අමරදේවයන්ගේ දේශානුරාගී ගී වින්දනය කරමිනි. එම දේශානුරාගී ගී නිබන්ධයන් අමරදේවයන් ලාංකික ජන ගත සිත ඔදවත් කරනා හඬින් වා තලයට එක් කරද්දී ශෝකය හා අපේක්ෂා භංගත්වය පරයමින් අධිෂ්ඨානය හා රට තුළ පවතින හැකියාව පිළිබඳ විශ්වාසය විදේශයන්හි රැකියා කරන දේශ හිතෛෂී සිය ගණන් ලාංකික හදවත් තුළ පැලපැදියම් වූ බව මම පුද්ගලිකව දනිමි. අමරදේවයන් ගුවන් විදුලියට, චිත්‍රපටයට, රූපවාහිනියට සංගීත නිර්මාණය හා ගායනය මඟින් ඉටු කළ ජාතික සේවය අමිල අමරණීය වේ. පාඨක ඡන්ද 34,921 ක් ලබා දෙවැනි තැනට තේරුණු සිකුරු තරුව චිත්‍රපටය තමාගේ සහජ හැකියාව, ජීවිත සරසවිය තුළින් උකහා ගත් අත්දැකීම් මඟින් උද්දීපනය කරමින් හෙළ රිදී තිරයෙහි අති විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළ ඩී. ආර්. නානායක්කාර නැමැති ප්‍රවීණ රංගන ශිල්පියාට සරසවිය සම්මානයක් දිනා ගැනීමට අවස්ථාව උදාකර දුන්නේය. රංගන අත්දැකීම් බහුල ඩී. ආර්. සහ හෙළ සිනමාවට මඳ කලකට පෙර එක් වූ පුණ්‍යා හීන්දෙනිය හොඳම නළුවා හා හොඳම නිළියට හිමි සම්මාන ලබමින් මංගල සරසවිය සම්මාන උලෙළ ඒකාලෝක කළා යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. 1965 සරසවිය සම්මාන උලෙළ මා සම්බන්ධ වූ ප්‍රථම සම්මාන උලෙළයි. සම්මාන උලෙළ ජූලි මස අග සතිය තුළ පැවැත්වුණු අතර මා සරසවිය කතු මඬුල්ලට බැඳුණේ ජූනි මාසයේ බැවින් එම උලෙළේ ද සංවිධානයෙහිලා කෝඩුකාර චරිතයක් විය. සරසවිය ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරා මහත් ළෙන්ගතුකමකින් මා සංවිධානය කරණයෙහි සහභාගි කරගත්තේ හැකි සෑම අවස්ථාවකම මා දිරිගන්වමිනි. චිත්‍රපට උලෙළක් සංවිධානය කිරීමේ කාර්යභාරය ගැන මා බොහෝ කරුණු ඉගෙන ගත්තේ සංවිධායක කමිටුවෙන් ලද සහයෝගය නිසාය. උලෙළ සංවිධානය සඳහා විශාල කණ්ඩායමකගේ දායකත්වය අවශ්‍ය විය. සියලු ප්‍රතිපත්තිමය තීරණ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නව තරුණ සභාපති වූ රන්ජිත් විජේවර්ධනයන්ගේ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ ගනු ලැබිණ. සත්‍ය වශයෙන්ම සරසවිය චිත්‍රපට සම්මාන උලෙළ උදෙසා රන්ජිත් විජේවර්ධන මහතා ඉටු කළ මෙහෙය ලේඛනගත වී ඇත්තේම නැත. එසේ ලියවුණා නම් ඒ ඉතාම විරල වශයෙනි. රන්ජිත් විජේවර්ධන මහතා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති පදවියෙහි වගකීම භාරගත් මුල්ම වසරෙහි පමණ සිටම වාගේ සරසවිය සම්මාන උලෙළ වසරක් පාසා පැවැත්වීමට එකඟ වූ බව පෙනේ. ඔහු මෙම උලෙළ සාර්ථක කර ගැනීමටත් ගරු ගාම්භීර ලෙසත් අලංකාරවත් ලෙස සංවිධානය කිරිමටත් පූර්ණ සහයෝගය හා ප්‍රතිපත්තිමය තීරණ ලබාදීමෙන් ගම්‍ය වන්නේ ව්‍යාපාර ලාභාංශ මත පිහිටා පමණක් තීරණ නොගත් බවකි. රන්ජිත් විජේවර්ධන මහතා සිංහල චිත්‍රපට කලාව හා කර්මාන්තය නංවා සිටුවීමට ඉටු කළ නිහඬ සේවය, සරසවිය සම්මාන උලෙළට 50 වසර පිරෙන මෙම අවස්ථාවේ සිහිපත් කළ යුතු යැයි මම සිතමි. උලෙළේ සංවිධාන කටයුතු පිළිබඳ කි‍්‍රයාකාරී තීරණ ගැනීම සංවිධායක කමිටුවෙහි වගකීම විය. විමලසිරි පෙරේරාගේ නායකත්වය යටතේ පිහිටුවනු ලැබූ සංවිධායක කමිටුවට ලේක්හවුස් ආයතනයේ එවකට නිලතල දැරූ දැවැන්තයෝ ගණනාවක් සම්බන්ධ වූහ.
දැන්වීම් කළමනාකරු වූ රණපාල බෝධිනාගොඩ (පසුව සභාපති පදවියට ද පත් විය), බෙදාහැරීම් කළමනාකරු රෝලන්ඩ් අබේසිංහ, දැන්වීම් අංශයේ නියෝජ්‍ය කළමනාකාර ඩග්ලස් ගුණරත්න, බෙදාහැරිම් අංශයේ සේනාරත්න, ටෙනිසන් සහ සේනානායක යන අය ද දිනමිණ පත්‍රයේ ප්‍රධාන කර්තෘ ධර්මපාල වෙත්තසිංහ, සිළුමිණ පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ එස්. සුබසිංහ, දිනමිණ පත්‍ර කතු මඩුල්ලේ ධර්මදාස බොතේජු (පසුව සරසවිය පත්‍රයේ කර්තෘ පදවිය දරා ඇත) යන අය කටයුතු කළහ. මේ සියලු දෙනා ලේක්හවුස් ආයතනයේ උසස් තනතුරු දැරූ, දීර්ඝ කාලයක් ආයතනයට සේවය කළ, සිනමා කර්මාන්තය ගැන දැනුමක් ඇති ආයතනයට හිතවත් පිරිසක්ම විය. මධ්‍යස්ථභාවය ද රහස්‍යභාවය ද සුරැකීම වගකීමක් කොට සැලකූ අය වූහ. උලෙළ සම්බන්ධ ප්‍රචාරණය දෙමින් සාරගර්භ මෙන්ම සිත් ඇදගන්නා මාදිලියේ ලිපි හා විස්තර වර්ණනා ලිවීම ආර්. ඩී. ගුණරත්නගේ වගකීම විය. ආර්. ඩී. සරසවිය කතු මඩුල්ලේ ජ්‍යෙෂ්ඨයකු විය. ආර්. ඩී. ගුණරත්න පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පදවියකට ද පත් විය. දැන් විශ්‍රාම සුවයෙන් පසු වෙයි. සරසවිය සම්මාන උලෙළේ ඡායාරූප ගැනීම හා සැලසුම් කිරීම ඡායාරූප කර්තෘ නිමල් පෙරේරාගේ අධීක්ෂණය යටතේ සේවය කළ ක්‍රිස්ටි පෙරේරා, රෙජී බුලත්සිංහල හා බන්දු කොඩිකාරගේ වගකීම විය. චිත්‍රපට කර්මාන්තයේ පතාකයන් හා නවකයන් සමඟ සම්බන්ධිකරණ කටයුතු කිරීම චිත්‍රපට ප්‍රවෘත්ති ලේඛක කුමාරදාස වාගිස්ට අතින් සිදු විය. පර්සි ජයමාන්න කතු මඬුල්ලේ සාමාජිකත්වය දරමින් ලිපි ලේඛන සපයමින් කඩිසරව තම කාර්ය ඉටු කළ හිතෛෂියෙකි. දක්ෂ පුවත්පත් කලාවේදියෙකි. එඩ්වින් ආරියදාස සරසවිය පාඨකයන් විදේශ චිත්‍රපට පිළිබඳ දැනුවත් කළ, විචාරාත්මක ලිපි ලියූ ජ්‍යෙෂ්ඨයෙකි. 1965 දෙවැනි සරසවිය සම්මාන උලෙළ එවකට අග්‍රාණ්ඩුකාර ධූරය දැරූ විලියම් ගොපල්ලව මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ප්‍රථම සරසවිය සම්මාන උලෙළේදී මෙන්ම දෙවන සරසවිය උලෙළේදී ද හොඳම නළුවාට හිමි සම්මානය ලබා ගත්තේ පළපුරුදු ප්‍රවීණ නළුවෙකි. හොඳම නිළිය සම්මානය දිනා ගත්තේ නවක නිළියකි. ඒ ගාමිණී ෆොන්සේකා හා සෝබනී අමරසිංහය.
ශ්‍රී ලාංකික සිනමාව නියෝජනය කළ නිල නොලත් තානාපතිවරයකු විය,ගාමිණී. හැත්තෑ වසරක ඉතිහාසයක් ඇති, හෙළ සිනමාව පිඬුකර සංකේතවත් කරන එක පුද්ගලයකු නම් කරන්නැයි අද වුවත් කිවහොත් එම පිළිතුර ‘ගාමිණී ෆොන්සේකා’ වන්නේය යනු අපගේ හැඟීමයි. 1964 මංගල සම්මාන උලෙළ හා සන්සන්දනය කරද්දී මෙම දෙවැනි උලෙළේදී තිරනාටක රචනය, සංස්කරණය හා කලා අධ්‍යක්ෂණය සඳහා සම්මාන ප්‍රදානය කරනු නොලැබිණ. ඒ අවශ්‍ය ගුණාත්මක කඩඉමට කිසිම චිත්‍රපටයක් මෙම අංශ තුනෙන් ප්‍රවේශ වී නොතිබුණු බැවිනි. සරසවිය සම්මාන උලෙළේ ප්‍රමිතිය සුරැකීම මෙම තීරණවලට එළඹීමේ අරමුණ විය. වර්තමානයේ නොයෙකුත් ක්ෂේත්‍රයන්හි සම්මාන, ත්‍යාග, බෙදාදීම් ප්‍රවණාතාවයට ප්‍රතිවිරුද්ධ එහෙත් බෙහෙවින්ම අගය කළ යුතු ප්‍රවණතාවයක් මුල් අවදියේ සරසවිය සම්මාන උලෙළවලදී දක්නට ලැබිණ. තෙවන සරසවිය සම්මාන උලෙළ පවත්වනු ලැබුවේ 1966 අගෝස්තු මාසයේදීය. එම සමය වන වට ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරාගේ අනුදැනුම හා විශ්වාසය මත සරසවිය කතු මඬුල්ල තුළ තීරණ ගැනීමේ කාර්යය සඳහා ක්‍රියාකාරීව සහභාගීවීමේ වරම් මම ලැබුවෙමි. සංවිධායක මණ්ඩලය තෙවන සරසවිය උලෙළට නව අංග හතරක් ඇතුළත් කළහ. පාඨකයන් වැඩි වැඩියෙන් සරසවිය සම්මාන උලෙළ කෙරෙහි ඇද බැඳ තබාගැනීම සඳහා චිත්‍රපට රසිකයන්ට උලෙළට වඩාත් ක්‍රියාකාරීව සම්බන්ධ කර ගැනීම සඳහා නව පාඨක ඡන්ද තරඟ අංගයක් ඉදිරිපත් කෙරිණ. මෙම තරඟය ප්‍රියතම නළු - නිළි, ගායක - ගායිකාවන් හා අන් චිත්‍රපට ශිල්පීන් තෝරා ගැනීමේ අවස්ථාව සරසවිය පාඨකයනට පිරිනැමීම සඳහා දියත් කරනු ලැබිණ. මේ අනුව විනිශ්චය මණ්ඩලය වර්ෂයේ චිත්‍රපට අතරින් කලාත්මක හා තාක්ෂණික අනර්ඝත්වයට සම්මානයට පාත්‍ර කළ අතර සරසවිය පාඨකයන්ට වසරේ චිත්‍රපටවලට දායක වූ ප්‍රියතම ශිල්පීන් තේරීමේ වරම ලැබිණ. සරසවිය චිත්‍රපට උලෙළ සඳහා හින්දි චිත්‍රපට නරඹන රසික රසිකාවන් ඇද ගැනීම සඳහා භාරතයේ චිත්‍රපට උලෙළක් වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළට සම්බන්ධ කිරීමට ගත් තීරණය දෙවැනි නවතම අංගයයි. ෆිල්ම්ෆෙයාර් සඟරාව මාර්ගයෙන් ජනප්‍රිය නළු - නිළි යුවළක් වූ නූටාන් හා සුනිල් දත් මෙන්ම ජනප්‍රිය නළඟනක් වූ ජබීන් ජලීල් සමඟ ස්වාමි පුරුෂයා ද සරසවිය සම්මාන උලෙළට ආරාධනය කරන ලදී. එම සඟරාවේ කර්තෘ කරන්ජියා සමග පුවත්පත් කලාවේදිනියක් වූ කරන්ජියා මහත්මිය ද නළු නිළියන් සමඟ සරසවිය උලෙළට සහභාගී වූහ. රසික සහභාගිත්වය අතින් තුන්වන සරසවිය සම්මාන උලෙළ ඉතාමත් සාර්ථක විය. 1966 අගෝස්තු මස තුරඟ තරඟ පිටියේ ඉදිකරනු ලැබූ එළිමහන් රංග පීඨයක මෙම සම්මාන උලෙළ පැවැත්විණ. ප්‍රධාන අමුත්තා වූයේ සෞඛ්‍ය ඇමති එම්. ඩී. එච්. ජයවර්ධන මහතාය. විශේෂ අමුත්තන් වූයේ නූටාන් සහ සුනිල් දත් නැමැති ජනප්‍රිය හින්දි නළු නිළි යුවලයි. සිරිත් පරිදි සරස්වතී අභිනන්දන ගීතය ගයමින් සරස්වතී පූජා පැවැත්වීමෙන් උලෙළ ඇරැඹිණ. පණීභාරත නැටුම් ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සරස්වතී පූජා පැවැත්වූහ. ඉන් පසු පණීභාරත කණ්ඩායම විසින් පවත්වන ලද පාරම්පරික භේරි වාදනය එළිමහන් රංග පීඨය ඉක්මවමින් තුරඟ තරඟ පිටිය සිසාරා රසික හදවත් ඇද බැඳ තබන්නට සමත් විය. තංගල්ලේ සව්රිස් සිල්වා කණ්ඩායම ගිනි සිසිල පන්දම් පාලි පැවැත්වූයේ නරඹන්නන් ත්‍රාසයට හා විමතියට පත් කරමිනි. භාරතයෙන් පැමිණි අමුත්තෝ ද පාරම්පරික ශ්‍රී ලංකා කලා අංග කිහිපය රසාස්වාදනය කළ බව පසුව පැවසූහ. මෙම උලෙළේදී සරසවිය සම්මාන 12 න් සම්මාන නවයක්ම සාරවිට චිත්‍රපටයට හිමි විය. මහගම සේකර නමැති ප්‍රවීණ කලාකරුවා ප්‍රථම සරසවිය සම්මානය දිනා ගත්තේ මෙම උලෙළේදීය. ඒ ‘මේ සිංහල අපගෙ රටයි‘ ගීතය සඳහායි. මෙම තෙවන සරසවිය උලෙළෙහි කැපී පෙනෙන විශේෂත්වය වූයේ හොඳම නිළිය සඳහා වූ සම්මානය ප්‍රදානය නොකිරීමට විනිශ්චය මණ්ඩලය තීරණය කිරීමයි. ජෝ අබේවික්‍රම එදා ‘තනිකඩයකු’ ලෙස ඡායාරූපවලට පෙනී සිටියේ, සම්මුතියක් ලෙස හොඳම නළුවා හා නිළිය එකට මුහුණ දෙන ඡායාරූප එම වසරේ සරසවියෙහි පළ කළ නොකළ හැකි වූ බැවිනි. 1966 සරසවිය සම්මාන උලෙළ තවත් නව අංග දෙකකින් පෝෂිත විය. එනම් සරසවිය සම්මාන උලෙළට පසු දින නළු නිළි සුහද ක්‍රිකට් තරඟයක් සහ සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමයි. එවකට ශ්‍රී ලංකා නාවික හමුදාව තම තූර්ය වාදක කණ්ඩායම සමඟ ජනප්‍රිය සංස්කෘතික වැඩ සටහනක් රට වටා ගෙනයමින් තිබුණි. ‘රට වටේ’ නැමැති එම සංස්කෘතික සන්දර්ශනය නළු නිළි ක්‍රිකට් තරඟයට පසුව පැවැත්වීමට නාවික හමුදාව එකඟ විය. මෙම වැඩසටහන් දෙකම සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සංවිධායකයෝ තීරණය කළේ උපරිම රසික රසිකාවන් සංඛ්‍යාවකට නැරැඹීමට ඉඩ සලසමිනි. මෙම වැඩ සටහන් සඳහා කිසිම ගාස්තුවක් අය නොකෙරිණි. නළු නිළි ක්‍රිකට් තරඟයට භාරතීය නළු නිළියෝ ද සහභාගි වූහ. නූටාන් එක් කණ්ඩායමක නායිකාව විය. මුල් යුගයේ චිත්‍රපට රැසක රඟපා ජනප්‍රියත්වයට පත් වූ ආනන්ද ජයරත්න අනිත් කණ්ඩායමේ නායකයා විය. සන්දේශය චිත්‍රපටයේ පෘතුගීසි හමුදාවනට විරුද්ධ වූ සිංහල නායකයෙකු ලෙද ප්‍රධාන චරිතයක් රඟපෑ ආනන්ද ජයරත්න එවකට ජනප්‍රියත්වයට පත්ව සිටි කැපී පෙනෙන රූප සම්පත්තියක් ඇති නළුවෙකු විය. සරසවිය සම්මාන සඳහා ඉහළම ගණයේ විනිශ්චය මණ්ඩලයක් පත් කරනු ලැබූව ද ක්‍රිකට් තරඟය ඉතා සැහැල්ලු සුහද තරඟයක් වූ බැවින් එම ක්‍රිකට් තරඟයේ විනිශ්චයකරුවන් වූයේ ශ්‍රී ලංකාවේ විමලසිරි පෙරේරා සහ ඉන්දියාවේ කරන්ජියාය. ක්‍රිකට් ක්‍රීඩා නීති පිළිබඳ ඔවුන් දෙදෙනා තුළම පැවතියේ මධ්‍යස්ථ දැනුමකි. නළු නිළි ක්‍රිකට් තරඟය සඳහා විස්තර වර්ණනාව සැපයූයේ සිනමා කර්මාන්තයේ ඉතා ජනප්‍රිය නිතරම සිත් ඇද ගන්නා මුහුණ සිනහවකින් සරසාගත් ප්‍රසිද්ධ ගීත නිබන්ධක කරුණාරත්න අබේසේකරයන් විසිනි. කරු අයියා නැමැති සුහද නමින් චිත්‍රපට ක්ෂේත්‍රය තුළම හඳුන්වනු ලැබූ ඔහු එදින දෙහි ඇඹුල් දමමින් ඉතා රසබර විස්තර වාර්තාවක් ඉදිරිපත් කළේ නරඹන්නන් ක්‍රිකට් පිටියේ දැක් වූ දස්කම්වලට වඩා විස්තර වර්ණනාවෙන් කුල්මත් කරමිනි. නළු නිළි ක්‍රිකට් තරඟයෙන් පසුව ‘රට වටේ’ සංස්කෘතික සන්දර්ශනය සඳහා රසික රසිකාවන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූහ. ‘රට වටේ’ සංස්කෘතික සන්දර්ශනය රචනා කළ් නාවික හමුදාවේ සේවය කළ, සරසවිය පත්තරයට විවේකය ලැබෙන අයුරින් රසවත් විශේෂාංග සකස් කළ විමල් තිලකරත්නය. ‘රට වටේ’ සන්දර්ශනය සඳහා සංගීත අධ්‍යක්ෂණය කළේ නාවික නිලධාරී හා ප්‍රවීණ සංගීතඥ ප්‍රේමලාල් දන්වත්ත වේ. කාලාන්තරයකින් පසු වුව ද සරසවිය සම්මාන උලෙළ උත්කර්ෂවත් කිරීමට උරදුන් නාවික හමුදාවට සහ සහභාගී වූ නිලධාරිනට හා සෙබළුනට නැවතත් තුති මල් කලඹක් පිළිගැන්විම යුක්ති යුක්තය. අපගෙන් වෙන් වී ගිය විමල් තිලකරත්න නාවිකයා, ලේඛකයා පුණ්‍යානුමෝදනා සහිතව සිහිපත් කරමි. පුවත්පතක ප්‍රගතිය ප්‍රධාන කර්තෘ හා දෙවෙනියා මත පමණක් රඳා නොපවතී. මා සේවය කළ එම මුල් අට වසර තුළ සරසවිය කලා පුවත්පත ගුණාත්මක අගයෙනුත් අලෙවි අංශයෙනුත් ලැබූ ජයග්‍රහණ සඳහා බොහෝ අය දායක වූහ. සරසවිය පත්තරය ලැබූ ජයග්‍රහණ තුනක් ගැන සඳහන් කිරීම වටී. මා සරසවියට බැඳී වසර පහක් පමණ වන විට සරසවිය සතියකට පිටපත් ලක්ෂයක් අලෙවි වන තත්ත්වයට පත් විය. එම අලෙවිය ලබා ගනීමේදී පත්තරයේ තත්ත්වය ගුණාත්මක අතින් බාල කිරීමට කිසිම උත්සාහයක නොයෙදුනෙමු. චිත්‍රපට තොරතුරු සමඟ කලාව, සාහිත්‍යය පිළිබඳ ගැඹුරු ලිපි ද පළ කළෙමු. නළු නිළි ප්‍රචාරය පිළිබඳ අපක්ෂපාතිත්වය අකුරටම පිළිපැදීමට හැකි සෑම ප්‍රයත්නයකම යෙදුණෙමු. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කතු මඬුල්ලේ වැඩ කළ අපි සියලු දෙනාම ඕනෑකමින් දායක වුයෙමු. අප කතු මඬුලු කණ්ඩායමේ සමහර ලේඛකයන් ගැන අවස්ථාවෝචිත ලෙස මෙම ලිපියෙහි තැනින් තැන දැනටමත් සඳහන් කර ඇත්තෙමු. අප ප්‍රයත්නයට දායක වූ සියල්ලම ගැන නමින් හෝ සඳහන් කිරීම කෙලෙහි ගුණ සැලකීමක් බව මම විශ්වාස කරමි. එහෙත් වියපත් වන මතකයෙන් නමක් දෙකක් ගිලිහී ඇත්නම් ඔවුහු මට සමාධිය භජනය කරත්වා. නිමල් පෙරේරා, අභයවර්ධන, කුමාරදාස වාගිස්ට, සෝමවීර සේනානායක, ඒ. ඩී. රන්ජිත් කුමාර, රොහාන් පෙරේරා, චන්ද්‍රසිරි පල්ලියගුරු, පියසේන වික්‍රමගේ, චන්ද්‍රසිරි සෙනෙවිරත්න, අර්නස්ට් වඩුගේ, සිරි කහවල, සිබිල් වෙත්තසිංහ, තලංගම ජයසිංහ, නිර්මලා ගුණසේකර, සෝමාදේවී පරණයාපා, කරුණා රාමනායක, දයාරත්න ලියනගේ, ප්‍රභාත් කුමාර, රන්ජන් වීරසිංහ, ඇල්. ටී. පී. මංජුශ්‍රී, ගෞතමදාස, හේමපාල, දයා රාජපක්ෂ, බන්දුල හරිස්චන්ද්‍ර, කැමිලස් පෙරේරා, රාජා ටී. බස්නායක, රාජා පෙරේරා, නන්දසේන සූරියආරච්චි, එච්. එම්. කුඩලිගම, ඡායාරූප ශිල්පී ලියනගේ, රෙජී බුලත්සිංහල, බන්දු කොඩිකාර, ක්‍රිස්ටි පෙරේරා, ඩී. බී. බන්දුවර්ධන, චන්ද්‍රගුප්ත වීරවර්ධන, එල්. ඊ. සමරරත්න, රියන්සි විජේරත්න, රවින්ද්‍ර විජේවර්ධන, කර්තේලිස් ප්‍රධාන බාස්උන්නැහේ, රෝගුස්, ලඩ්ලෝ සිල්වා වෙති. සිංහල චිත්‍රපට ක්ෂේත්‍රය අභියෝගයන් ගණනාවකට මුහුණ දෙන යුගයක එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සරසවිය සම්මාන උලෙළ යළි ආරම්භ කිරීමට තීරණය කිරීම කාලෝචිතය. පිළිගත් ප්‍රමිතීන් පදනම් කර ගනිමින් යළි ඇරැඹෙන සරසවිය සම්මාන උලෙළ දියුණුවෙන් දියුණුවට පත්වේවා. චිත්‍රපට කර්මාන්තයේ හා කාලවෙහි පුනරුදය උදෙසා යම් දල්වන ආලෝකයක් වේවා. මෙම ලිපිය විශිෂ්ට පුවත්පත් කලාවේදියකු, කතුවරයෙකු, කවියෙකු හා ඒ සියල්ලටම වඩා යහපත් මිනිසෙකු වූ විමලසිරි පෙරේරා නාමයට උපහාරයක් වේවා. |