වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන නැති දවස සම්මානනීය චිත්‍රපට

සම්මාන නැති දවස සම්මානනීය චිත්‍රපට

‘සරසවිය' සම්මාන උලෙළ එය ආරම්භ වූ 1964 වසරේ සිට අද දක්වා නොකඩවා වාර්ෂිකව පවත්වා ඇතැයි කිව නොහැකිය. එසේ නොපවත්වනට බලපෑ හේතු කවරාකර වූයේදැයි මම නොදනිමි.

මෙතෙක් සම්මාන උලෙළ නොපවත්වන ලද අවුරුදුවල හොඳම චිත්‍රපටය ලෙස සම්මාන විය යුතුව තිබුණු කෘති පිළිබඳ කාල්පනික මත දැක්වීමක් කරන්ට 'සරසවිය' කර්තෘතුමා මට යෝජනා කරයි. එයට අනුව මෙය පෞද්ගලික රස වින්දනය පරිදි කෙරෙන්නක් බව පළමුව කිව යුතුය. මන්ද යත් මා කැමැති චිත්‍රපටය තවත් රසිකයකුට ගෝචර නොවන්නක් විය හැකි හෙයිනි.

සම්මාන උත්සව නොපැවැත් වූ වර්ෂ කීපය විග්‍රහයේ පහසුව කතා කොටස් දෙකට බෙදිය හැකිය. පළමු කොටස 1970 සිට 1980 දක්වා වූ දස වසරයි. 1998 සිට වරින්වර අවුරුදු කීපයක සම්මාන උලෙළ පවත්වා නැත. ඒ දෙවැනි කොටසයි.

1970 චිත්‍රපට ප්‍රදර්ශනයේ අර්බුදයක් මතු වූ වසරක් ලෙස හඳුන්වා දිය හැකිය. එසේ වන්නේ 1969 වසර අග භාගයේ මංගල දර්ශනය පැවැත් වූ චිත්‍රපට 4 ක් අප ස්ථානගත කරන්නේ 1969 වසර ට ද නොඑසේ නම් 1970 වසරට ද යන්නයි. 'හන්තානේ කතාව', 'බක්මහ දීගේ', 'රෝමියෝ ජුලියට් කතාවක්' සහ 'මොකද වුණේ' එම චිත්‍රපට හතරයි.

1970 පැවති තුන්වැනි විචාරක සම්මාන උලෙළේදී 1969 ප්‍රදර්ශිත චිත්‍රපට යටතට ඉහත සඳහන් චිත්‍රපට හතර ඇතුළත් කර ඇති බව පෙනී යයි. එහිදී හොඳම නළුවා, නිළිය, සංගීත අධ්‍යක්ෂ සඳහා වන සම්මාන පිළිවෙළින් හන්තානේ කතාව (ටෝනි රණසිංහ) මොකද වුණේ (අනුලා කරුණාතිලක) මොකද වුණේ (ප්‍රේමසිරි කේමදාස) ලැබී තිබිණි. ඒ අනුව පූර්වෝක්ත සිනමාපට හතර 1969 වර්ෂයට ඇතුළත් කිරීම යුක්තිසහගත යැයි සිතමි.

එහෙත් 1970 දි පැවති සත්වැනි 'සරසවිය' සම්මාන උලෙළේදී ඉහත චිත්‍රපට හතර 1969 වසරේ තිරගත චිත්‍රපට ලෙස සලකා නොමැති අයුරක් දිස් වෙයි. ඒ අතරින් එකම චිත්‍රපටයකටවත් සම්මානයක් ලැබි නොමැති නිසාය.

1970 තිරගත චිත්‍රපට සඳහා සම්මාන දීමට 1971 'සරසවිය' සම්මාන උලෙළක් පවත්වා නැත.

වැලිකතර

නිධානය

1970 යනු සිනමාවට අලුත් පරපුරක් ප්‍රවිෂ්ට වූ වර්ෂයකි. මගමසේකර (තුංමං හන්දිය), වසන්ත ඔබේසේකර (වෙස් ගත්තෝ), රංජිත් ලාල් (නිම්වළල්ල) අමරනාත් ජයතිලක (ප්‍රියංගා) මෙන්ම නීල් රූපසිංහ (දැන් මතකද) ජෝ දේව් ආනන්ද් (ගීතා) මෙයට නිදසුන් සපයයි.

ඉහත චිත්‍රපට අතරින් 1970 හොඳම චිත්‍රපටය ලෙස මා සලකන්නේ 'තුංමං හන්දිය'යි. ඉතාම නිර්ව්‍යාජ අත්දැකීමක් සිනමානුරූපීව ඉදිරිපත් කිරීමක් ලෙස සැලකිය හැකිය. 'තුංමං හන්දිය' ජාතික කතෝලික සිනමා පර්ෂදය හැත්තෑව දශකයේ විශිෂ්ට චිත්‍රපටය ලෙස ද සම්මානයට පාත්‍ර කළ චිත්‍රපටයකි.

1971 තිරගත චිත්‍රපට සඳහා සම්මාන පිරිනැමීමේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මාන පුදන ඕනෑම විනිශ්චය මණ්ඩලයක් කිසියම් අභියෝගයකට ලක්වනු නිසැකය. ඒ චිත්‍රපට දෙකක් ගුණාත්මකභාවය අතින් එක හා සමාන මට්ටමක රඳා සිටින බැවිනි. ඒ චිත්‍රපට දෙක නම් 'වැලිකතර' හා 'හාරලක්සේ'ය. ඒ චිත්‍රපට දෙකම අතිශය සිනමානුරූපීය. එබැවින් මම ද උභතෝකෝටියකට පත්ව සිටින්නෙමි. කෙසේ වෙතත් පිළිතුරක් අවශ්‍ය නිසාම අවසාන විග්‍රහයේදී මම 'වැලිකතර' හෙඳම චිත්‍රපටය ලෙස තෝරමි.

1972 තිරගත චිත්‍රපට අතරින් හොඳම චිත්‍රපටය තේරීම ඇස් වසාගෙන වුව කළ හැක්කකි. ඒ මන්ද යත් එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස ඒකමතිකව අප සලකන 'නිධානය' එම වසරේදී තිරයට පැමිණීමයි.

1973 යනු කිසිම විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය නොකෙරුණු අවුරුද්දකි. ඒ නිසා ඒ වසරේ හොඳම චිත්‍රපටයක් නැතැයි තීන්දු කරන්ට මට සිදු වෙයි.

සිංහල සිනමාවේ පළමු කැරැල්ල 'රේඛාව' නම් එහි දෙවැනි කැරැල්ල 'අහස් ගව්ව'ය. 'අහස් ගව්ව' එළිදුටුවේ 1974 දීය. එය නිසැකවම ඒ වසරේ හොඳම චිත්‍රපටයයි. තරුණ අසහනය, විරැකියාව, සමාජ විෂමතාව 'අහස් ගව්වේ' කතා කළේය.

1975 වසරේ තිරගත චිත්‍රපට අතරින් 'කළු දිය දහර' වඩාත් දේශපාලනික වුවත් සමාන්තර සිනමා ලක්ෂණ විදහා පෑ 'සිකුරුලියා' හොඳම චිත්‍රපටය ලෙස තෝරා ගත හැකිය. එය එච්. ඩී. ප්‍රේමරත්නගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වූයේය. ප්‍රේක්ෂකයාගේ සරල රුචිකත්වය ගැන ද සිතමින් එයට නිගා නොකර අර්ථවත් අත්දැකීමක් ගෙනහැර පාන්ට ප්‍රේමරත්න මෙහිදී උත්සුක වූ ආකාරය දැක්ක හැකිය.

1976 හොඳම චිත්‍රපට දෙකක් තිරයට ආවේය. ඒ 'වල්මත් වූවෝ' හා 'දුහුලු මලක්' ය. 'වල්මත් වුූවෝ' හී අන්තර්ගතය 'දුහුලු මලක්'ට වඩා සමාජ දේශපාලනකි වුවත් සිනමාරුපී බව අතිින් 'දුහුලු මලක්' එය අබිබවා යයි. හොඳම චිත්‍රපටය ලෙස මගේ තේරීම 'දුහුලු මලක්'ය. එහි අත්දැකීම 'වල්මත්වූවෝ' සමඟ සැසඳුවත් නැතත් නෙමේරු, ළාමක එකක් බව සැබෑය. ඒත් ඒ අත්දැකීම සියුම් හා ප්‍රබල මානුෂික දෘෂ්ටියක් ඉදිරිපත්කර තිබීම අගය කළ යුත්තකි.

1977 යනු හොඳ චිත්‍රපට කීපයක්ම තිරගත වර්ෂයකි. 'සිරිපාල සහ රන් මැණිකා', 'එයා දැන් ලොකු ළමයෙක්', 'මරුවා සමඟ වාසේ', 'පෙම්බර මධු' 'දෙවියනි ඔබ කොහිද' එම චිත්‍රපට අතර වෙයි. මෙයින් 'සිරිපාල සහ රන් මැණිකා' හා 'මරුවා සමඟ වාසේ' මූලික වශයෙන් ගත් විට එකම කතා පුවතකි. එක පසෙකින් මැර චරිත සිනමාවෙන් නිරූපිත වූ වසරේම සෙබස්තින් ස්වාමි (දෙවියනි ඔබ කොහිද) වැනි සාධු චරිත ද නිරූපණය වූ බව පෙනේ. ඉහත චිත්‍රපට අතරින් මට අනුව හොඳම චිත්‍රපටය 'සිරිපාල සහ රන් මැණිකා'ය. නාට්‍යමය අවස්ථා තීව්‍ර වන ලෙසත් සිනමානුරූපී භාවය ප්‍රකට වන ලෙසත් මෙය ඉදිරිපත් කර තිබිණි.

1978 දී අගනා චිත්‍රපට තුනක් ප්‍රදර්ශනය වූයේය. 'අහසින් පොළොවට', 'බඹරු ඇවිත්' හා 'ගැහැනු ළමයි'ය. මෙයින් මුල් චිත්‍රපට දෙක අන්තර්තය හා ආකෘතිමය වශයෙන් හාත්පසින්ම වෙනස්ය. එහෙයින් එය සන්සන්දනය කිරීම ද යුක්ති යුක්ත නොමැත. කෙසේ වෙතත් 'බඹරු ඇවිත්' වඩාත් ගැඹුරුය. එහි තේමාව අතිශය දේශාපාලනිකය. ප්‍රාග්ධන ගැටුම ගමක් විනිවිද යෑම මෙහි අන්තර්ගතය. එය ප්‍රබලවත් සිනමානුරූපී බවින් අනූනවත් ඉදිරිපත් කර තිබිණි. 1998, 99 සහ 2000 යන වර්ෂ සඳහා සරසවිය සම්මාන උලෙළක් පවත්වා නැත. ඒ වර්ෂවල හොඳම චිත්‍රපට ලෙස අනු පිළිවෙළින් 'දොරකඩ මාරාව', 'පවුරු වළලු' හා 'සරෝජා' නම් කළ හැකිය. එම චිත්‍රපට සමඟ තරඟකාරී මට්ටමේ වෙනත් චිත්‍රපට ඒ වසර තුනේ තිරගත වුයේ නැත. 'ගිනි අවි සහ ගිනි කෙළි', 'ජුලියට්ගේ භූමිකාව' (1997) 'රාජ්‍ය සේවය පිණිසයි' (2000) යනු ඊට වඩා ද්විතීය මට්ටමේ චිත්‍රපට තුනකි.

2009 සිට 2014 දක්වා දීර්ඝ කාලයක් 'සරසවිය' සම්මාන උත්සවය පවත්වා නැත. 2009 හොඳම චිත්‍රපටය කිසිදු විවාදයකින් තොරව 'ආකාස කුසුම්'ය.

2010 චිත්‍රපට දෙකක් හොඳම චිත්‍රපටය සඳහා තරග කරනු නිසැකය. ඒ 'බඹර වළල්ල' හා 'විදු'ය. මෙයින් මගෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් හිමිවන්නේ 'බඹර වළල්ලට'ය.

2011 දී හොඳම චිත්‍රපටයක් නොමැතිවිම කනගාටුවට කරුණකි. ඒ වසරේ තිරයට ආ 'ගාමනි' වැනි චිත්‍රපටයක් උසස් චිත්‍රපටයක් ලෙස මම කිසිසේත්ම නොසලකමි. දෘෂ්ටිවාදී වශයෙන් වුවත් එය ප්‍රශ්නකාරීය. මෙය මගේ පෞද්ගලින මතයයි.

2012 හොඳම චිත්‍රපටය 'කර්ම'ය. මෙම සිනමාපටය සම්බන්ධයෙන් මා තුළ යම් යම් ගැටලු තිබුණ ද හොඳම චිත්‍රපටය ලෙස තෝරන්ට එය බාධාවක් නොවන්නේය.

නිකිණි වැස්ස' 2013 තිරගත චිත්‍රපට අතරින් හොඳම චිත්‍රපටය වෙයි. එය අලුත් අධ්‍යක්ෂවරයකු වන අරුණ ජයවර්ධනගේ නිර්මාණයකි. ඉතාම අසාමාන්‍ය වූ චරිත හා සිදුවීම් කීපයක් මෙම සිනමාපටයට පාදක වී තිබිණි. 2014 වසරේ ප්‍රදර්ශිත චිත්‍රපට අතරින් දෙකක් කැපී පෙනේ. ඒ 'තණ්හා රතී රඟා' හා 'සැමිගේ කතාව'ය. මෙයින් 'සැමීගේ කතාව' හොඳ චිත්‍රපටයක් වුව ද 'තණ්හා රතී රඟා' සෑම අතින්ම ඊට වඩා උසස් කෘතියකි.

සම්මාන උත්සව නොපැවැත්වීම මත මෙම ලිපියෙහි සඳහන් කිසිදු චිත්‍රපටයකට සම්මාන නොලැබීම කනගාටුවට කරුණකි. මෙ වසරේ සිටවත් 'සරසවිය' සම්මාන උලෙළ වාර්ෂිකව නොකඩවා පැවැත්වීම කලාවට කරන්නා වූ සාධාරණය ඉටුවීමකි. මේ කෙරෙහි සංවිධායකවරුන්ගේ අවධානය නිසි පරිදි යොමු වේවා.