|
සංක්‍රාන්ති සමයක්
අභිමානවත් සරසවිය සම්මාන උලෙළ අදය. ඒ නිහැඬියාවකින් පසුවය. නිහැඬියාව සංක්‍රාන්ති සමයකි. අවසාන වරට එනම් 2007 වර්ෂයේ චිත්‍රපට සඳහා සරසවිය සම්මාන පිරිනැමෙද්දී විනිශ්චය මණ්ඩලයට තෝරා දිය යුතුය තිබුණේ හොඳ ප්‍රක්ෂේපණ සිසාළ ශබ්ද ක්‍රමය (Surround) සහිත සිනමා ශාලා පමණි. එයට පෙර වකවානුවන්ගේ තිබුණේ හොඳ ප්‍රක්ෂේපණ සහිත සිනමා ශාලා පමණි. ශබ්දය ඒකීය (Mono) ශබ්ද රටාවන් විය. එහෙත් වර්තමානය එයට වඩා ඉඳුරාම වෙනස්ය. මේ සංක්‍රාන්ති සමයක් යැයි මා පවසනුයේ එහෙයිනි. තවදුරටත් චිත්‍රපට කලාව නෙගටිව් පටයට සීමා නොවේ. එමෙන්ම චිත්‍රපට තිරගතවීමට සිනමා ශාලා අත්‍යාවශ්‍යම නැත. එයට පෙර සිනමාව සොයා රසිකයන් පැමිණි යුගය වෙනස්ව, රසිකයන් සොයා සිනමාව යා යුතුය. පසුගිය අට වසර මුළුල්ලේ ලෝකයේ සිනමාව පමණක් නොව බහුජන ජීවන රටාවම කරකවා අත ඇරියේය. කෙනෙකුට එය මඤ්ඤමකි.තව එකෙකුට එය ආදරයෙන් වැලඳගත හැකිය. කෙසේ වෙතත් අකැමැති නම් එයින් ඉවත්ව යා යුතුය. සිනමාවේ අනන්‍යතාවය තවදුරටත් ඉතිරිව ඇත්තේ පාරිභාෂිත වචන මාලාවකය. සරසවිය සම්මානය යළි ගමන් අරඹන්නේ ඒ පසුබිමකය. එහෙත් සරසවිය ජීවමානය. සර්වකාලීනය. සරසවිය සම්මාන යළි ඇරඹෙන බව කනින් කොනින් ඇසෙද්දීම එයට ප්‍රාණය දෙන්නට බොහෝ දෙනා සැරසුණහ. එය අරඹන්නට, නඟා සිටුවන්නට එයට පෙර බොහෝ දෙනා උත්සුක වෙමින් සිටියහ. සරසවියට ඇති ආදරය හා ගෞරවය එහි මනාව පිළිබිඹු විය. අවලාද, ගැරහුම් නොවීදැයි ඔබ ඇසුවහොත් එයට පිළිතුරක් ද ඇත. එසේ තිබෙන්නට ඇත. සාමාන්‍යයෙන් ප්‍රතිචාරය පරිදි මා ඒවා තඹ දොයිතුවකට මායිම් කළේ නැත. ඒ නිසා ඒ ගැන නොදනිමි. සරසවිය සම්මාන උලෙළ යළි ආරම්භ වන අද දවස මට හැඟෙන්නේ 1964 වසරේ මැයි 9 වැනිදා සම්මානය උපන් දවස වාගේමය. වර්තමාන සරසවිය කර්තෘ මණ්ඩලයේ පරිගණක අක්ෂර ශිල්පී ගාමිණී පෙරේරා හැර මා ඇතුළු කිසිවකු ඒ වන විට ඉපදෙන්නට පෙරුම් පුරා නැත. එහෙත් ඉතිහාසය සලකා බලද්දී එක්තරා කරුණක් සම්බන්ධව එකඟතාවයක් ඇත්තේය. 1964 යනු තරුණයන්ගේ සිනමාව විළිලන යුගයයි. 2016 අවුරුද්ද ද එබඳුමය. අපේ සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැකි එකල ජනප්‍රිය සිනමාව මෙන් විද්වත් සිනමාව පිළිබඳ අවබෝධයක් ඇති වෙමින් තිබිණ. සිනමා සංගම් හරහා රට පුරා යහපත් සිනමාවක් ගොඩනැඟෙමින් තිබූ අතර තරුණයන් රාශියක් සිනමාව සිය කලා මාධ්‍යයක් ලෙස තෝරා ගන්නට වෙර දැරූහ. වර්තමානයේ ලෝකය පුරා තරුණ තරුණියන් සිනමා උපකරණ පෑන් පැන්සල් ගානට ගෙන විවිධ නිර්මාණකරණයෙහි යෙදෙති. මෙයින් වසර තිහකට එපිට පාසල් සිසුවකු ලෙස කෙටි චිත්‍රපටයක් තනන්නට දළ සේයාපට ද කැමරා උපකරණ ද සොයමින් මගේ මිතුරන් හා රට වටා ඇවිද ගිය යුගය සිහිපත් වන විට අද යුගය මට දැනෙනුයේ සොම්නසින් යුතුවය. තම නිර්මාණය එළි දැක්වීම ශාලාවට බාර කළ යුතු නැත. ලොව පුරා නිර්ලෝභීව නිර්මාණ ගෙනියන්නට සමජ වෙබ් අඩවි එමටය. සරසවිය සම්මාන උලෙළ මෙවර විනිශ්චය මණ්ඩල දෙකකින් සමන්විතය. එයින් ප්‍රධාන විනිශ්චය මණ්ඩලය 2015 වසරේ තිරගත කරන ලද චිත්‍රපට අතරින් අදාළ සම්මාන පිරිනමති. අදාළ වසරේ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබ තිරගත කිරිමේ වරම් නොලද අධ්‍යක්ෂවරයකුගේ මුල්ම කෘතිය වෙනුවෙන් මේ වසරේ සිට හඳුන්වා දෙනු ලබන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සඳහා විශේෂ විනිශ්චය මණ්ඩලයක් සහභාගි වෙති. මුල් විනිශ්චය මණ්ඩලය සිනමා විචාරකයන් හා කලා මාධ්‍යය පිළිබඳ ප්‍රමාණාත්මක දැනුමකින් යුත් සාමාජිකයන්ගෙන් සමන්විතය. දෙවැන්න තරුණ පරපුරේ ආදරය දිනූ සිනමාකරුවන්ගෙන් සමන්විතය. සරසවිය සිනමා සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලයේ නිර්දේශයන් කවරෙක්දැයි සරසවිය කතුවරයා වන මා පවා දැනගන්නේ අද සවස සම්මාන උලෙළේදී ඔබ එය දැනගන්නා මොහොතේය. සරසවිය එකී සම්ප්‍රදාය දීර්ඝ කාලයක් රැක ගත්තේය. සරසවිය චිත්‍රපට දැක්ම ද එපරිදිම සම්ප්‍රදායකි. වසර ගණනාවකට පසු පැවැති සිනමා දැක්ම සඳහා කොළඹ රීගල් සිනමාහල අසල රසිකයන් රොදබැඳ ගත්තේ වේලාසනිනි. ඒ අතීතයේ මෙන් තරු ආකර්ෂණයටම නොව සැබෑ චිත්‍රපට දැකගන්නටය. සැබැවින්ම එකී බහුතරය අලුත් ප්‍රේක්ෂකයන්ය. මේ පැමිණි පිරිස චිත්‍රපටය නිමවන තුරුම ශාලාවේ රැඳී සිටියේ කිසිදු ජංගම දුරකථන හඬකට හෝ ඉඩ නොතබිමිනි. චිත්‍රපටය නිම වුූ පසු එයට විශාල අත්පොලසන් නාදයක් ලැබිණ, එක් චිත්‍රපටයක් නැරඹීම සඳහා පැමිණි තරුණ සිනමාකරුවකු අවසානයේ පැවසුවේ කොළඹ අන්තර් ජාතික සිනමා උලෙළ තමාට සිහිපත් වූ වගය. සැබැවින්ම සරසවිය සිනමා අන්තර් ජාතික උලෙළක් වනු දැක්ම මගේ එකම ප්‍රාර්ථනයයි. වර්තමාන සිනමාව රාජ්‍යයන් මඟින් නීර්ණය කරන ලද දේශ සීමා ඉක්මවා යන්නකි. සරසවිය සම්මාන උලෙළ යනු සරසවිය කතුවරයාගේ කටයුත්තක් නොවේ. එය සඳහා සරසවිය කතු මඬුල්ල දිවා රෑ වෙහෙසෙති. එපමණක් නොව ලේක්හවුස් ආයතනයේ සභාපතිතුමා, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු දෙනා ද ආයතනයේ සියලු දෙනා ද ඒ සඳහා කැපවෙති. කලාකරුවෝ ද කැපවෙති. කිසිවකු හෝ සරසවියට බෑ කියන්නේ නැත. අදින් දශක තුනකට පමණ පෙර සරසවිය චිත්‍රපට සතියක් නරඹන්නට පැමිණ මා අධික ප්‍රේක්ෂක සංඛ්‍යාව නිසාම හැරී ගිය අයුරු මට මතකය. එයින් පසු වසර විසි ගණනක්ම මගේ කාලය ගෙවුණේ සරසවිය සමඟය. මෙකී කාලය සරසවිය පොබ කළ කතුවරුන් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සියල්ලම ගුරු මුෂ්ටි නොසඟවා මට ඉගැන්වූහ. එපමණක් නොව ඔවුහු ජීවිතය හා ලෝකය දෙස සුබවාදීව දකින්නට ද උපකාර කළහ. මම ඔවුන්ට හැම විටම කෘතවේදී වෙමි. සරසවිය සම්මානය ඇරැඹුණේ යහපත් සිනමාවක් අපේක්ෂාවෙනි. එම අපේක්ෂාව මුදුන්පත් කරදීමට එද මෙදා වෙහෙස වූ ඔබ සැමට පින් සිදු වේවා. |