වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ කාලේ රසික ජනතාව අපට කොච්චර නම් ආදරේ කළාද?

ඒ කාලේ රසික ජනතාව අපට කොච්චර නම් ආදරේ කළාද?

සරසවිය පළමුවෙනි ජනපි‍්‍රය නිළිය ජීවරාණි කුරුකුලසූරිය

1964 මැයි 09 මා නැඟුණේ තාරකාවන් පිරිවරා ගත් තාරකා යානයකටය. එදා ලේක්හවුස් ඉදිරිපිටින් ගමන් ඇරඹූ ඒ තාරකා යානය ගමන් කරන්නට වූයේ ග්‍රෑන්ඩ්පාස් හි අශෝක සිනමා ශාලාව වෙතය. එදා අප රැගත් තාරකා යානය සෙමෙන් පාර දිගේ ඇදී යද්දී අපව දැක බලා ගන්නට පොර කෑ රසික රසිකාවන්ගේ ඒ නොඉවසිලිවත් බව දැනුදු මට මැවී පෙනෙනවා සේය. ඔවුන් හසුරුවන්නට පොර බඳින පොලිස් නිලධාරින් ද අසුන් පිට නැඟි පොලිස් අශ්වාරෝහකයන් ද රසිකයන් අප වෙත ඇදී එනවා වලකාලන්නට වෙහෙසෙන හැටි දැනුදු මට මැවී පෙනේ.

උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ සෙමින් සෙමින් ඉදිරියට ඇදී යන තාරකා යානයට අත දිගු කරන රසිකයන් ජීව අක්කේ, ජීවා කියමින් මට ආමන්ත්‍රණය කළ හැටි, මගෙන් සමරු සටහන් ලබන්නට පෑන් පැන්සල් කොල කැබැලි පොත් පත දිගු කළ හැටි දැනුදු මට මැවී පෙනේ. මේ අසිරිමත් සොඳුරු මතකය තුළ මා තවමත් පසු වන්නේ එදා මුල්වරට සරසවිය සම්මාන උලෙළට එක් වූ අසිරිමත් මොහොත සිහි කරමිනි.

මෙවන් වූ සොඳුරු අතීතයක් සිහි ගන්වමින් මා හා කතාබහට එක් වූයේ එක්තරා යුගයකදී ශ්‍රී ලාංකික සිනමාව රංගනයෙන් බැබළ වූ ජීවරාණි කුරුකුලසූරියයි.

ඉතිං ජීව අක්කේ මේ දවස්වල අලුත් තොරතුරු කොහොමද?

ඕස්්ට්‍රේලියාවේත් ලංකවේත් තමයි මගේ කාලය ගෙවිලා යන්නේ. ටික කාලයක් ලංකාවේ තව කාලයක් ඕස්ට්‍රේලියාවේ. දැම්ම නම් ඕස්ට්‍රේලියාවට යන්න අදහසක් නැහැ. ලංකාවේම ටික කාලයක් රැඳිලා ඉන්නවා.

ආයෙත් රංගනයට ආවොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

මොකද නැත්තේ එහෙම හිතෙන වාර අනන්තයි. නොයෙක් හේතු කාරණා නැතුවත් නෙවෙයි.

එහෙම කිව්වට මට හිතෙනවා ජීවා අක්කා ආසයි බයයි වගේ කියලා?

මම රඟපෑමෙන් ඉවත් වුණෙත් විවාහයත් එක්ක. ඉතිං ආයෙත් රඟපෑමට එනවා කියන්නේ දෙවරක් සිතා බැලිය යුතු දෙයක්. ආශාව තිබුණට ඒ සඳහා අවශ්‍ය වට පිටාවත් තියෙන්න ඕනේ. අද වෙන කොට මම වුණත් තරුණ අවධිය පසු කරලා. අද මම එක පැත්තකින් මිත්තණියක්. කොටින්ම කියනවා නම් මම මේ කාලේ රඟපාන්න යනවට මගේ මහත්තයා තුළ කැමැත්තක් නැහැ. එයා කියන්නේ දැන් හැම දේකින්ම ඈත් වෙලා නිදහසේ ජීවත් වෙන්න ඕනෑ කියලා.

ඉපදුණේ ඇයි, සන්ධ්‍යා, ගාමිණි සමඟ

 

රඟපෑම විතරක් නෙවෙයිනේ ඔබට තියෙන හැකියාව ගායනය, නර්තනය පැත්තෙනුත් ඔබ දක්ෂ ශිල්පිනියක්?

ඔව්. මම ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක්, නර්තනවේදිනියක්, උඩරට නැටුම් ශිල්පිනියක්. ඒ හැකියාවන් අදටත් මට තියෙනවා. රඟපෑම කියන දේට මම නොගියත් ප්‍රිය සම්භාෂණවලදී නෑදෑ හිත මිතුරන්ගෙන් ලැබෙන ආරාධනයකට මම ගීත ගායනා කරනවා.

73' දී පමණ ඔබ ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමත් සමඟ එරට පවා ඔබ කලා කටයුතුවල නියැළුණා?

ඕස්ට්‍රේලියාවේ තියෙනවා අවුරුද්දක් පාසා පවත්වන 'කානිවල්', අන්තර් ජාතික සංස්කෘතික සන්දර්ශන මාලාවක්. පිටරටවලින් එරටට පැමිණ සිටින විවිධ ජාතීන්ගේ එකතුවෙන් තමයි මෙය පවත්වන්නේ. එහි වාසය කරන ශ්‍රි ලාංකිකයෝත් මේ සඳහා සහභාගි වෙනවා. එදාට අපේ ලංකාව වෙනුවෙන් පැවැත්වෙන දිනයට මම ගීත ගායනා කරනවා. උඩරට නැටුම් ඉදිරිපත් කරනවා. ඕස්ට්‍රේලියාවේ පවත්වපු ලංකවේ 50 වැනි නිදහස් උත්සවයේ සංස්කෘතික සංදර්ශනයේදී මම අවසන් වරට උඩරට නැටුම් ඉදිරිපත් කළා.

ජීවරාණි පවුල සමඟ

 

කුඩා කල ඔබේ සිහිනය වුණේ නිළියක් වීමද?

නැහැ. නැටුම් ගුරුවරියක්, ගායිකාවක් වෙන්න තමයි මගේ ආශාව තිබුණේ. මම අවුරුදු පහේ හයේ ඉඳල සින්දු කියන්නත් නටන්නත් හරි ආසයි. මගේ සංගීත ගුරුවරයා වුණේ තිලකසිරි ප්‍රනාන්දු. මම ඔහුත් සමඟ ගායනා කළ ගම්මානය කල එළි වූවා . . . ගීතය ගොඩක් ජනප්‍රිය වුණා.

ජීවා අක්කා සිනමාවට එන්න කලින් වේදිකාවේ රඟපෑවා නොවේද?

අගමැතිව සිටි ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ මහ හේනේ රීරි යකා නවකතාව ආශ්‍රයෙන් පානදුරේ ඩික් ඩයස් නිර්මාණය කළ නාට්‍යයේ මම ලීලා හැටියට රඟපෑවා. ඒ තමයි මගේ පළමු වේදිකා රංගනය. ඊට පස්සේ ඔහුගේම රතු මකරා නාට්‍යයේත් රඟපෑවා.

ඔබව ගායිකාවක් කළ තිලකසිරි ප්‍රනාන්දු නැවතත් ඔබව චිත්‍රපට නිළියක් බවට පත් කරනවා?

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාට මාව හඳුන්වලා දුන්නේ තිලකසිරි. ඒ වෙන කෙට සංදේශය චිත්‍රපටය කරමින් හිටියේ. මා වෙනුවෙන්ම ලෙස්ටර් චරිතයක් චිත්‍රපටයට ඇතුළත් කරලා මාව චිත්‍රපටයට ගත්තා.

සන්දේශය චිත්‍රපටයේ අඬපු ඇඬුම මම හිතන්නේ නිළියක ලෙස ඔබව දුර ගමනක් රැගෙන ගියා?

ඒ සීන් එක රූපගත කළේ බෙලිහුල්ඔය ප්‍රදේශයේ. සිරකරුවෙකුගේ දුවෙකුට තමයි මට රඟපාන්න තිබුණේ. සිරකරුවාව ගෙල සිඳ මරා දමන්නට දං ගෙඩියට රැගෙන එනකොට එය නරඹමින් ඉන්න ජනතාව අතරින් දුවවිත් සිරකරුවා ළඟ ඇද වැටී හඬා වැලපෙන්න තමයි මට තිබුණේ. ඒක තමයි මගේ මුල්ම චිත්‍රපට ජවනිකාව. ඊට පස්සේ වීර විජය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවා. සන්දේශය රඟපාන කොට මම හිතන්නේ මට වයස අවුරුදු දාසයක් විතර ඇති.

ශ්‍රී ලංකාවේ ප්‍රථම මී.මී 35 වර්ණ චිත්‍රපටය වූ රන්මුතුදූව හරහා ඔබ සිනමාවේ මුදුන් පෙත්තටම නැඟුණා?

රන්මුතු දුව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ කුමාරිගේ චරිතය රඟපෑමත් සමඟ මට චිත්‍රපට රැල්ලක් ගලාගෙන එන්න පටන් ගත්තා. අදට වැඩිය හෙට හොඳයි, සසරක හැටි, සුජාගේ රහස, හතර මහ නිධානය, සැනසුම කෙතැනද, සොරුන්ගෙත් සොරු මේ වගේ චිත්‍රපට හතළිහක විතර මට රඟපාන්න හම්බ වුණා.

එවක ඔබ වෙත ප්‍රධාන චරිත ගලාගෙන ආවා?

ඒ වකවානුවේ නළු නිළියන් අතරේ තරඟකාරිත්වයක් නොතිබූණා නොවෙයි. හැබැයි අපි අතරේ ඊර්ෂ්‍යාවක් ක්‍රෝධයක්, කුලල් කා ගැනීමක් තිබුණේ නැහැ. අපි ඇසුරු කළේ එකම පවුලක් වගේ. සන්ධ්‍යා කුමාරි, සෝබනී අමරසිංහ, විජිත මල්ලිකා, පුණ්‍යා හීන්දෙණිය, ක්ලැරිස් ද සිල්වා, අනුලා කරුණාතිලක අපි කවුරුත් එක ගමනක් ගිය අය. මේ අය අතරින් මට බොහෝ විට ලැබුණේ ප්‍රධාන චරිත. එහෙම වුණා කියලා අපි අතර අමනාපයක් ඇති වුණේ නැහැ. අපි සහයෝගයෙන් සහෝදරත්වයෙන් කටයුතු කළා.

සරසවිය සම්මාන උලෙළේ ප්‍රථම ජනප්‍රිය නිළිය ලෙසින් අභිෂේක ලබන්නෙත් ඔබ?

ජනප්‍රිය නිළිය ලෙසින් මම තෙවරක් සරසවිය සම්මානයෙන් පුද ලබනවා. 1965, 66, 67 වසරවලදී ඔබ දුටුදා, සසරක හැටි චිත්‍රපටවල රඟපෑම වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයෙනුත් මම පුද ලැබුවා. ඒ වගේම 2003 වසරේ රණ තිසර සම්මානයෙන් මා විශේෂ ඇගැයුමට ලක් වුණා.

එවක ඔබ රසික ප්‍රතිචාර අතින් ඉහළින් සිටි නිළියක්?

එක දවසකට මට ලියුම් තුන්සීයක් විතර එනවා. උදේට ගෙදරට ලියුම්කාරයා ලියුම් ගෙනාවේ පෝර බෑග් එකේ. ලේසියෙන් ගෙදරින් එළියට යන්නේ නැහැ. රසිකයෝ වට කර ගන්නවා. කොච්චර ඒ කාලයේ රසිකයෝ අපට ආදරය කළාද කියනවා නම් ප්‍රිමියර් ෂෝ එකට අපි එනකොට හොඳ ශක්තිවන්ත පුද්ගලයෝ පාරේ ඉඳන් හෝල් එක ඇතුළට අත් දම්වැලක් දාගෙන අපිව රසිකයන්ගෙන් ආරක්ෂා කරනවා.

ජනප්‍රියත්වයේ කිරුළ දරා ගනිමින් දක්ෂතාවයේත් නිහතමානිත්වයේත් සංකේතයක් හැටියට රසික රසිකාවන් අතර ප්‍රසාදය දිනා ගැනීමේ රහස මොකක් කියලද ඔබ හිතන්නේ?

මම හිතන්නේ මම කොච්චර ජනප්‍රිය වුණත් මම කවදාවත් උඩඟු වුණේ නැහැ කියලා. ජනප්‍රිය වෙන්න වෙන්න මම කළේ නිහතමානී වීම. ඒක මගේ පුද්ගලික ජිවිතයෙත් තිබුණ දෙයක්. ඒ මා තුළ තිබුණ ගුණයට රසිකයෝ ආදරය කළා. අදටත් ඒ ආදරයේ අඩුවක් වෙලා නැහැ.

ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ වැජඹුණු නිළියක් ලෙසින් ඔබ අද ජනප්‍රිය කියන අර්ථය වත්මන් සිනමාව තුළ දකින්නේ කොහොමද?

මට එක වෙලාවකට හිතෙනවා ඇත්තටම රසිකයන් අතර ඔහු හෝ ඇය ජනප්‍රිය ද කියලත්. මොකද අද තිබෙන තරගකාරිත්වය තුළ සල්ලි කියන දේ තුළ අලෙවිවීමක් තිබෙන බවකුයි මට හැඟෙන්නේ. සල්ලි හම්බ කරන මුවාවෙන් කලාව කරලා වැඩක් නැහැ. කලාව කියන දේ හෘදයෙන්ම එන්න ඕනෑ දෙයක්. එදා අපේ යුගයත් අද කාලෙත් අතර ලොකු වෙනසක් තියෙනවා. සැබෑ ජනප්‍රිය පුද්ගලයා කවුද කියලවත් අද හොයාගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. මොකද සමහරු උත්සාහ කරනවා මම ජනප්‍රියයි කියලා සල්ලි විසි කරලා කියව ගන්න. මේ තත්ත්වය තුළ මමත් ඇත්තටම දෙලොවක් අතර අතරමං වෙලා.

ඔබ සිංහල සිනමාවේ යුගයක් බිහි කළ නිළියක්?

ගාමිණී - ජීවරාණි යුගයක් සිනමාවේ බිහි වුණා තමයි. මම වැඩිපුරම රඟපෑවේ ගාමිණී ෆොන්සේකා එක්ක. ඊට අමතරව ටෝනි රණසිංහ, ආනන්ද ජයරත්න, හර්බට් ඇම්. සෙනෙවිරත්න, ඔස්වල්ඩ් ජයසිංහ එක්කත් රඟපෑවා.

වැල නොකැඩී චිත්‍රපට රාශියක් රඟපාමින් සිටි ඔබ 68 දී වෛද්‍යවරයකු වූ ලංකා විජේසේන සමඟ විවාහ වී සිනමාවෙන් සමුගන්නවා?

පවුල් ජීවිතයට මුල් තැනක් දීම මූලික කරගෙනයි මම සිනමාවෙන් ඈත් වුණේ. 1973 දී අපි ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. ඒ යන්න පෙර මම භාරගෙන තිබුණ සියලු චිත්‍රපටවල වැඩ අවසන් කළා. කොහොම හරි අන්තිමට ජෝ සුගන්ධගේ ශීලා චිත්‍රපටයේ රඟපාලා මම සිනමාවට සමු දුන්නා.

ශීලා චිත්‍රපටයේ ඔබේ සැමියාත් රඟපෑවා?

ඔව්. මම චිත්‍රපටය භාර ගන්න බෑම කිව්වා. ඒත් නිෂ්පාදකගේ බලවත් ඉල්ලීමට අවසානයේ රඟපාන්න කැමැති වුණා. මට බේරෙන්න බරි තැන මම විශාල මුදලක් ඉල්ලුවා රඟනොපා ඉන්න. ඒ ඉල්ලපු මුදල දෙන්න කැමැති වුණා. කොහොම හරි චිත්‍රපටයේ මගේ හස්බන්ඩ්ටත් රඟපාන්න ලැබුණා.

ඊට පස්සේ රඟපෑවේම නැද්ද?

උදයකාන්තගේ හිරිපොද වැස්ස චිත්‍රපටයේ රඟපෑවා. ඊ. ඒ. පී. එදිරිසිංහ චිත්‍රපට වෙනුවෙන් කළ පවුලේ ඉල්ලිමක් වෙනුවෙන් එතෙර බැඳි සෙනෙහස ටෙලි නාට්‍යයෙත් මම රංගනයෙන් දායක වුණා.

පළවෙනි සරසවිය උලෙළේදී, පුණ්‍යා, ටි‍්‍රලිෂියා සමඟ

එදා බිහිවුණු චිත්‍රපටත් අද බිහි වන චිත්‍රපටත් අතර ඔබ දකින වෙනස?

තාක්ෂණික පැත්තෙන් දියුණු වූ පමණින් චිත්‍රපටයක් සාර්ථක වන්නේ නැහැ. ඒ සඳහා දායකවන්නන් සියලු දෙනාගේම සාමුහික දායකත්වය ලැබුණොත් පමණයි චිත්‍රපටයක් සාර්ථක වන්නේ කියලයි මගේ හැඟීම. එදා අපි රංගනයෙන් උපරිම දායකත්වයක් ලබා දුන්නා. ඒ දායකත්වය මුදලට සීමා කළේ නැහැ. අපි හැම වෙලාවේම බැලුවේ නිර්මාණයේ සාර්ථකත්වය. නිර්මාණය හොඳට වුණොත් තමයි අපි කාගෙත් මල්ල පිරෙන්නේ කියන මතයේ අපි හිටියා.

ඔබ විසින් හිමි කරගත් ජනප්‍රිය නිළි කිරුළ පසු කලෙක වෙනත් නිළියක් අතට පත්වෙන කොට මොන වගේ හැඟීමක් ද ඇති වුණේ?

සමහර විට දිගටම සිනමාවේ රැඳිල හිටිය නම් තව වසර ගණනක් මා වෙතම කිරුළ රැඳිල තියෙන්න තිබුණා. ඒත් මම ඒ නොලැබීම ගැන පසු තැවෙන්නේ නැහැ. රඟපාන නිර්මාණවලදිත් මට ප්‍රධාන චරිත ලැබුණා. මගේ ඉවත්වීම සමඟ රසිකයෝ තව කාට හරි පෙම් කරන්න පටන් ගන්නවා. ඒ රසික ප්‍රේමය අවංකවම කාට හරි ජනප්‍රිය කිරුළ හිමි කරනවා.

ජනප්‍රිය කිරුළ තුළ රැඳී සිටීම හැරුණු කොට හොඳම නිළිය වෙන්න ආශාවක් නොවූයේද?

ඒ ගැන අපි කතා නොකර ඉමු.

නැවතත් සරසවිය සම්මාන උලෙළ නළු නිළියන් අගයන්න පටන් අරන්?

ඒක කොච්චර දෙයක්ද, නිළියකට නළුවකුට එවක තිබුණ මාණික්‍යයක් තමයි සරසවිය සම්මානය. ඒ වගේ ශ්‍රේෂ්ඨ සම්මානයකට කවුරුන් හෝ ඇගැයුම් ලබනවා නම් එක අතකින් ඔහු හෝ ඇය කරගත්තු පුණ්‍ය කටයුත්තක් ලෙසයි මම දකින්නේ. මේ වගේ ඇගැයුමක් නොනවත්වා අපේ සිනමාවේ උන්නතිය වෙනුවෙන් කරගෙන යන්න කියලා මම ඉදිරියටත් ප්‍රාර්ථනය කරනවා.

එදා හැටේ දශකයේදී ජනප්‍රිය නිළිය ලෙසින් සම්මානය ලබන කොට මොන වගේ හැඟීමක් ද ඔබට ඇති වුණේ?

ඒ හැඟීම වචනයෙන් විස්තර කරන්න බැහැ. නිළියක් ලෙස එවැනි ගරු බුහුමනක් තම රංගනය වෙනුවෙන් තමන්ට තව තවත් දිරියක් වෙන්න කියල දෙන කොට මට නෙමේ කාට වුණත් දැනෙන මිහිරි මතකය මෙතෙකැයි කියන්න බැහැ.

ඔබ වගේම ඔබේ නැඟණියෝ තිදෙනාත් සිනමාවේ තාරකාවන් බවට පත් වෙනවා?

ශිරාණි, ජානකී, මැණික් නංගිලා තුන් දෙනාම මම සිනමාවෙන් සමුගත්තත් දිගටම සිනාමවෙ රැඳිලා හිටියා. එවක චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගෙන් චිත්‍රපට නිෂ්පාදකවරුන්ගෙන් අපි හැමෝටම චිත්‍රපටවලට ආරාධනා ගලාගෙන ආවා.

හුස්මක් කටක් ගන්න බැරි තරමට ඔබට චිත්‍රපට තිබුණයි කියන්නේ ඇත්තක්ද?

සහතික ඇත්ත. එක චිත්‍රපටයක ඩබින් ඉවර වෙන කොට තව එකකට ගෙනි යන්න ඇවිත්. මට මතකයි දවස් තුනක් නින්දක් නැතුව එක දිගට රඟපාලා මාව දර්ශන තලයේදී සිහි නැතුව ඇදගෙන වැටුණා. ඒ වගේ කාල පරිච්ඡේදයක් පසු කරපු අතීතයක් මට තිබුණා.