|
||||||||||||||||||||||||||||||
ප්‍රථමවරට හඳුන්වාදෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානයට තරඟ වදින නව පරපුරේ චිත්‍රපට
අභිමානවත් සරසවිය සම්මාන උලෙළේ 33 වැනි දිගහැරුම සිදුවන වගයි. එහිදී සරසවිය විසින් මෙතෙක් නොපිදූ අලුත් සම්මානයක් හඳුන්වා දෙන්නේ දේශීය සිනමාවේ අනාගතය වෙනුවෙන්. ඒ වෙනුවෙන් මෙවර සරසවිය සම්මාන උලෙළේදී 'ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය' පිරිනමන්නට කටයුතු යොදා ඇත. ඒ අනුව සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් සිනමා නිර්මාණ කැඳවීම් කළ අවස්ථාව වන විට 2015 වසරේදී ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමැතිය ලබා එම වසරේදී පසුගිය වසරේ දී තිරගතවීමට වරම් නොලද අධ්යක්ෂවරයකුගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය පිරිනැමෙනු ඇති. ඒ සඳහා සුදුසුකම් ලද චිත්‍රපට සංඛ්‍යාව එකොළහකි.
සංගිලි
ලලිත් පන්නිපිටිය විසින් අධ්‍යක්ෂණය කළ 'සංගිලි' චිත්‍රපටය මව්පියන් යටතේ හැදී වැඩුණු දැරියකට ඛේදජනක ඉරණමකට මුහුණදීමට සිදුවීම නිසා ඇයගේ විතයේ ඇතිවන වෙනස්වීම් කතාබහට ලක් කරයි. 'ගැහැණිය ගැහැණියකට එරෙහි වූ දා' යන්න තේමාව කර ගත් 'සංගිලි' කාන්තාවකගේ ජීවිතයේ කුඩා වියේ සිට වැඩිවිය දක්වා වයස් ස්ථර කිහිපයක් පුරා දිවෙයි. දුලානි අනුරාධා, සනත් ගුණතිලක, සාරංග දිසාසේකර සහ වීණා ජයකොඩි ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.
මෝටර් බයිසිකල්
'මෝටර් බයිසිකල්' චිත්‍රපටය රචනය සහ අධ්‍යක්ෂණය ශමීර රංගන නාඔටුන්න ගේය. 'මෝටර් බයිසිකල්' චිත්‍රපටය කියන්නේ, බ්රේක් නැති යෞවනය ජීවිතයේ නවාතැන සොයන්නේ කෙලෙසද යන්නයි. විසිහය හැවිරිදි රංගනගේ එකම බලාපොරොත්තුව ගායකයකු වීමයි. දෙවැන්න මෝටර් බයිසිකලයක් මිලට ගැනීමයි. සුළු වෙළඳාමක් කරන අම්මා සමඟින් ජීවත් වෙන ඔහු සමාජ ශාලාවක ගිටාර් වාදනය ජීවිකාව කර ගෙන සිටියි. මෝටර් බයිසිකලයන නැඟී පෙම්වතිය සමඟින් ගමන් බිමන් යාම ඔහුගේ එකම සිහිනය යි. බලවත් පෙරැත්තයෙන් අම්මාගේ කර මාලය උකස් කර ඔහු මෝටර් බයිසිකලයක් මිලදී ගනු ලබන්නේ ව්‍යාජ මෝටර් බයිසිකල් විකුණුම් ස්ථානයකිනි. ඔහු පෙම්වතිය සමඟින් මෝටර් බයිසිකලයේ නැඟි සැරි සරන්නට පටන් ගනී. දසුන් පතිරණ, සමනලී ෆොන්සේකා, වීණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර, කලණ ගුණසේකර, නෙතලි නානායක්කාර ඇතුළු පිරිසක් 'මෝටර් බයිසිකල්' චිත්‍රපටයට පණ පොවති.
හීරෝ නීරෝ
'හීරෝ නීරෝ' චිත්‍රපටය තිරරචනය සහ අධ්‍යක්ෂණය ප්‍රදීප් මහේෂ් ලියනගේ විසිනි. නිවාසිපුර වෙසෙන රවිඳු සහ ඔහුගේ සුනඛ සුරතලා නීරෝ වටා 'හීරෝ නීරෝ' කතාව ගෙතී ඇත. නිවාස සංකීරණයේ අනෙකුත් ළමයින් රවිඳු සමඟ උරණ වන්නේ, රවිඳුට තෑගි ලැබෙන බයිසිකලය නිසාවෙනි. මේ අතරේ ක්‍රිකට් තරඟයක් නිසා අනෙකුත් ළමයින් සහ රවිඳු සමඟි වෙන විටදී සුනඛ මවිල් නිසා ආසාත්මික තත්ත්වයක් ඇති වන ඩන්ස්ටන්ගේ පියාගේ සැළැස්මෙන් නීරෝ බේරා ගැනීම ළමුන්ගේ එකම බලාපොරොත්තුව වේ. ළමයින්ගේ සිතුම් පැතුම්, ළමා ආකල්ප සමඟින් 'හීරෝ නීරෝ' දිග හැරේ. 'හීරෝ නීරෝ' වෙනුවෙන් රංගනයෙන් දායක වෙන්නේ, සංගීතා වීරරත්න, මහින්ද පතිරගේ, නිල්මිණි තෙන්නකෝන්, නිරෝෂන් විජේසිංහ, දුලීකා මාරපන, හඳුන්වා දෙන ඔටාරා ගුණවර්ධන සමඟින් රවිඳු ලෙස පවන් තනුර, ඩන්ස්ටන් ලෙස චානක මධුෂාන් ඇතුළු පිරිසකි.
ඉගිල්ළෙන මාළුවෝ
'ඉගිල්ලෙන මාළුවෝ' චිත්‍රපටය කතාන්දර කිහිපයක් රැගෙන එන චිත්‍රපටයකි. කතාන්දර තුනකින් යුතු එහි පළමු වැන්න වාසනා නම් සිංහල තරුණියක හමුදා සෙබළෙකු අතර ඇතිවන සබඳතාවත් ඒ නිසා ඇතිවන දරු ගැබත් සමඟින් ඇය මුහුණ දෙන ව්‍යාකූලත්වය නිරූපිතයි. දෙවැන්න යුද ගැටුම් උග්රවන කාලයක දරුවන් අට දෙනෙකු සමඟින් වැන්දඹු කාන්තාවක් ජීවිත සටන ගෙන අයුරු දනවයි. එල්ටීටීඊ සංවිධානයේ බලපෑම් මත දෙමළ යෞවනියකගේ පවුලට අත්වන ඉරණම තෙවැන්න ඔස්සේ ගෙන හැර පායි. මේ කතා ත්‍රිත්වය එක් වූ තැන 'ඉගිල්ළෙන මාළුවෝ' නම් වෙයි. 'ඉගිල්ලෙන මාළුවෝ' චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ අධ්‍යක්ෂණයකි. කෞශල්‍යා ප්‍රනාන්දු, නිලන්ත සේපාල දහනායක, ගයේෂා පෙරේරා, සම්පත් ජයවීර, රත්නායක මාරසිංහ, සිත්ති මාරියම්, සංජීව දිසානායක මෙහි රංගනයෙන් දායක වෙති.
සදී
'සදී' චිත්‍රපටයේ කතාව, තිරරචනය සහ අධ්‍යක්ෂණය අනෝමා රොඩ්රිගු විසිනි. සිංහල ගම්මානයක් ආශ්‍රිතව ජීවත් වෙන වැදි ගෝත්‍රික මවක් මිය යාම නිසා කුඩා බිළිඳෙකු සිංහල මවක විසින් හදාවඩා ගන්නීය. තම සැමියාගේ බලවත් අකමැත්ත ද ගම්වාසීන්ගේ නොයෙකුත් කට කතාද මැද මේ දරුවාට සෙනෙහස, ආදරය, කරුණාව නොඅඩුව දක්වමින් හදාවඩා ගන්නීය. මේ අතරේ වැදි ගෝත්‍රිකයන් දරුවාගේ අයිතිය ඉල්ලා පැමිණේ. මෙම අවස්ථාවේදී මව් සෙනෙහස ඉදිරියේ මවකගේ ක්‍රියාකලාපය 'සදී' හරහා ගෙනහැර පායි. ජීවන් කුමාරතුංග, අනෝමානි රොඩ්රිගු, රොෂාන් පිලපිටිය, සේනක විජේසිංහ ඇතුළු නළු නිළියන් පිරිසක් 'සදී' හි චරිත මවති.
ආදරෙයි මං
'ආදරෙයි මං' චිත්‍රපටය තිරරචනය සහ අධ්‍යක්ෂණය ප්‍රගීත් රත්නායක විසිනි. ධනවත් පවුලක එකම දරුවා වන පවන් නීති පීඨයේ අධ්‍යාපනය හදාරන්නේය. මල්මි සංගීත විෂයෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරී පත්ව සිටින්නීය. අහම්බයකින් මල්මි දකින පවන්හට ඇය පිළිබඳ ආදර සිතක් පහළ වේ. කෙතරම් මඟ හැරියද අවසානයේ මල්මිගේ හිත තුළ පවන් ගැන ආදරයක් ඇති වේ. පවන්ගේ ධනපති පියා හමුවේ මල්මි පවන්ගෙන් වෙන්වීමට තීරණය කළද එකිනෙකාට නැතුවම බැරිවන තැන දෙදෙනා විවාහ ගිවිස ගන්නේ දෙපාර්ශවයේම වැඩිහිටියන්ගේ විරෝධය මධ්‍යයේය. මේ අතරේ මල්මිගේ අසනීප තත්ත්වය පවන්ට මුලදී එපා වූ මුදලේ අගය දැනෙන්නට පටන් ගනී. ප්‍රගීත් රත්නායක, චතුරිකා පීරිස්, රොබින් ප්‍රනාන්දු, නීල් අලස්, චමිලා පීරිස්, නයනා රඹුක්කන, බුද්ධික ඉඳුරුගොල්ල, අසංක ඉලේපෙරුම, ඩන්ස්ටන් නන්දලාල්, විශාඛා ජයවීර 'ආදරෙයි මං' චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙති.
සයපෙති කුසුම (ෆ්රැන්ජිපාණි)
'සයපෙති කුසුම' චිත්‍රපටය තිරරචනය සහ අධ්‍යක්ෂණය විසාකේස චන්ද්‍රසේකරම් විසිනි. ෆ්රැන්ජිපාණි නව යෞවනයේ තුන් කොන් සබැඳීයාවක් තුළින් දළුලන තහනම් ආදරයක් වටා ගෙතුන කතාන්දරයකි. චමත්, සරසි හා නලීන් වටා ගෙතෙන ආදර ත්‍රිකෝණය දෙදරා පස් වසරකට පසු ඔවුන් යළි හමු වෙන්නේ, සම්මත හෝ අසම්මත වූත් එකිනෙකා වෙත ඇති ආකර්ශනයෙන් බිහිවන ආදරය එකම හැඟිමක්, දැනීමක් වටහා ගනිමිනි. 'සයපෙති කුසුම' චිත්‍රපටයේ දසුන් පතිරණ, යශෝධා රසඳුනි, ජෙහාන් ශ්‍රීකාන්ත්, භූමි හරේන්ද්‍රන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.
රජා මමයි
'රජා මමයි' චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කල්‍යාණ චන්ද්‍රසේකර ගේය. නළුවකු වීමට සිහින මවන චම්මිට අහම්බයකින් සොරෙකු අල්ලා ගැනීමට ලැබෙන්නේ පොලිස් නිලධාරියකු ලෙසින් රංගනයේ යෙදෙන අවස්ථාවකදීය. සොරා විසින් සොරකම් කරන ලද මුදල් පසුම්බිය හිමි ධනවත් තරුණිය, නීලා හා ඇයගේ පවුලේ සියලු දෙනා සිතනුයේ චම්මි සැබෑ පොලිස් නිලධාරියකු බවය. මේ අතරේ චම්මිගේ රුවට සමාන රූපයක් හිමි ප්‍රදීප් සැබෑම පොලිස් නිලධාරියෙකි. ඔහු විවාහකයෙකි. නගරයේ ජනතාව දෙදෙනා හඳුනා ගැනීමට නොහැකිව අතරමං වේ. මේ අතරේ නීලා, චම්මි විවාහකර ගැනීමට සැරසේ. හාස්‍ය සහ කුතුහලය සමඟින් 'රජා මමයි' රිදී තිරයේ දිග හැරේ. බින්දු බෝතලේගම, මාධි පණ්ඩිතරත්න, දිල්හානි වීරසිංහ, අමිරා දිව්‍යාංජලී, ඉන්දික දේශප්‍රිය, ප්‍රේමදාස විතානගේ ඇතුළු නළු නිළියන් පිරිසක් 'රජා මමයි'හි රංගනයෙන් දායක වෙති.
වීරවර්ණ
'වීරවර්ණ' තිරරචනය සහ අධ්‍යක්ෂණය ෂාහිරු රණසිංහ විසිනි. 1813 බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ නාවික ගමනකදී අතුරුදන් වන මැණික් පෙට්ටියක් සහ වර්තමානයේදී පුරාවස්තු මං කොල්ලයන්ට එරෙහිව සටන් වදින තරුණ පිරිසක් වටා 'වීරවර්ණ' කතාව ගෙතී ඇත. විනෝදයට පුරා වස්තු එකතු කරන්නෙකු මෙම මැණික් පෙට්ටියේ තොරතුරු දැන ගැනීම සමඟින් ඔහු විසින් එය අයිතිකර ගැනීමේ උත්සාහයත් එයට එරෙහිව තරුණ පිරිසේ උත්සාහයත් 'වීරවර්ණ' කියයි. ඉමේෂාන් නෙල්ලිගහවත්ත, සංකල්ප රණසිංහ, මල්ෂි මද්දුමගේ, රවීන්ද්‍ර රන්දෙනිය, සිරිල් වික්‍රමගේ, ඩබ්ලිව් රණසිංහ, වීණා ජයකොඩි, ඩග්ලස් රණසිංහ, ටෙඩී විද්‍යාලංකාර ඇතුළු පිරිසක් වීරවර්ණ හැඩ කරති.
ගුරු ගීතය
ශ්‍රේෂ්ඨ සෝවියට් ලේඛක චිංගීස් අයිත්මාතව්ගේ 'ගුරු ගීතය' නව කතාව ඇසුරෙන් 'ගුරු ගීතය' සිංහල චිත්‍රපටයකට රචනය, කර අධ්‍යක්ෂණය, සංස්කරණය, ශබ්ද නිර්මාණය සිදු කරන ලද්දේ උපාලි ගම්ලත් විසිනි. සෝවියට් සමූහාණ්ඩුවේ සමාජවාදි ආකල්ප පෙරදැරි කරගත් තරුණ කොමියුනිස්ට්වාදී තරුණ ගුරුවරයකු සහ යොවුන් විය දක්වාම කිසිදු අධ්‍යාපනයක් නොලද දුෂ්කර කඳුකර ප්‍රදේශයක ජීවත්වන අනාත දැරියක් වටා 'ගුරු ගීතය' ගෙතී ඇත. උසස් අධ්‍යාපනය ලද ඇය ආචාර්යවරියක ලෙසින් යළි උපන්ගමට පැමිණීම සමඟින් මෙය රිදී තිරයේ දිග හැරේ. රොෂාන් රවීන්ද්‍ර, දමයන්ති ෆොන්සේකා, අයිරාංගනි සේරසිංහ, සුබුද්ධි ලක්මාලි, කල්පනි ජයසිංහ, ජයලාල් රෝහණ, දුලිකා මාරපන, හයසින්ත් විජේරත්න, වසන්ති රංවල, ජෙහාන් ශ්‍රීකාන්ත් ඇතුළු පිරිසක් ගුරු ගීතයට පණ පොවති.
හීන හොයන සමනල්ලු
'හීන හොයන සමනල්ලු' කතාව, තිරරචනය සහ අධ්‍යක්ෂණය රොහාන් පෙරේරාගේය. හේනේගම ප්‍රාථමික විදුහලේ බන්ටි, සුමී, තරිඳු, සඳුනි සහ කොළඹ පෞද්ගලික විදුහලක ඉගෙනුම ලබන ෂෙහාන් වටා හීන හොයන සමනල්ලු කතාව ගෙතී ඇත. ෂෙහාන්ගේ ජීවිතය ඉරිතලන්නේ, ලියුකේමියා රෝගී තත්ත්වය නිසාය. ෂෙහාන්ගේ ජීවිතය බේරා ගැනීමේ එකම විකල්පය වන්නේ බන්ටිය. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන ෂෙහාන් ඒ වෙනුවෙන් කැපවන බන්ටි ද මුළු මහත් ළමා ලෝකයේම හීන, 'හීන හොයන සමනල්ලු' සමඟින් ඉදිරියට ඇදෙයි. දිල්හානි ඒකනායක, සෞම්‍ය ලියනගේ, නෙතලි නානායක්කාර, හේමසිරි ලියනගේ, ලුෂන් බුලත්සිංහල, ජයනි සේනානායක, උමාලි තිලකරත්න ඇතුළු නළු නිළි පිරිසක් 'හීන හොයන සමනල්ලු' හි රංගනයට එක් වේ.
|
||||||||||||||||||||||||||||||