වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




තිරයෙන් එහා රසබර කතා

තිරයෙන් එහා රසබර කතා

ඒ. ඩී. රන්ජිත් කුමාර

1964 මාර්තු 04 වෙනිදා හාපුරා කියා සරසවිය පුවත්පතින් 'සරසවිය - ජනතා චිත්‍රපට උලෙළ' ගැන 'සරසවිය' පුවත්පතින් ප්‍රකාශයට පත් විය.

'සරසවිය' හා 'ජනතා' පත්‍රවල සංවිධානයෙන් හා සීමාසහිත සිලෝන් තියටර්ස්, සීමාසහිත සිනමාස් සහ සීමාසහිත සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගම්වල අනුග්‍රහයෙන් පැවැත්වෙන චිත්‍රපට උලෙළ පිළිබඳව එදා 'සරසවිය' විස්තර කර තිබුණේ මෙසේය.

'සිංහල චිත්‍රපට කලාවට හා සිංහල චිත්‍රපට නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට රුකුල් දීම මේ උලෙළේ පරමාර්ථයයි. පසුගිය හතර අවුරුද්ද තුළ එනම් 1960, 1961, 1962, 1963 යන වර්ෂවල නිෂ්පාදනය කොට මෙරට ප්‍රදර්ශනය කරන ලද සිංහල චිත්‍රපට අතරින් ඒවායේ හපන්කම් දැක්වූවන්ට ත්‍යාග පිරිනැමීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.'

(සරසවිය - 4. 3. 1964)

මේ අනුව 1960 ජනවාරි 1 සිට 1963 දෙසැම්බර් 31 වෙනිදා තෙක් තිරගත වූ සුභද්‍රා - සන්දේශය - සුන්දර බිරිඳ - කවට අන්දරේ - නළඟන - වනමල - පිරිමියෙක් නිසා - ජීවිත පූජාව - කුරුලු බැද්ද - සුවිනීත ලාලනී - ගංතෙර - දරුවා කාගේද - වැදිබිම - දස්කොන් - සංසාරේ - සුහද දිවි පිදුම - රන්මුතු දූව - අදට වැඩිය හෙට හොඳයි - වෙන ස්වර්ගයක් කුමටද - සුහද සොහොයුරෝ - මංගලිකා - උඩරට මැණිකේ - සුදු සඳේ කළු වලා - සිකුරු තරුව - දීපසිකා - ගම්පෙරළිය යන චිත්‍රපට 26 අතුරින් හොඳම චිත්‍රපටය ලෙස පාඨකයන් හිතන චිත්‍රපට තෝරා එවන කූපනයක් මුල්වරට 1964 මාර්තු 4 වෙනිදා 'සරසවිය' හා 'ජනතා' පත්‍රපල පළ කරන ලදී. වැඩිම ඡන්ද ගණනක් ලැබුණු පිළිවෙළට ජනප්‍රියම චිත්‍රපට 5 ක් තෝරා ගනු ලැබීය. වැඩිම ඡන්ද ගණනක් ලැබූ චිත්‍රපට පහ පිළිවෙළින් පළමුවන වාර්ෂික මංගල දිනය නිමිත්තෙන් 1964 අපේ‍්‍රල් 10 වෙනිදා පළ විය. එකල 'සරසවිය' ප්‍රකාශයට පත් වූයේ බදාදා දිනවලය.

සතිපතා ලැබෙන කූපන් අතරින් වාසනාවන්ත කූපනය තෝරා එයට රුපියල් 50 ක ත්‍යාගයක් හා ත්‍යාග කිහිපයක් පිරිනමන ලදී. හොඳම චිත්‍රපටය නම් කර එවා පළමුවන සතියේ වාසනාව හිමි කර ගත්තේ කොළඹ 14, ජේතවන මාවතේ අංක 104 දරන වත්තේ ඩී. ඉන්ද්‍රානි මදුරප්පෙරුමයි. ඇය සරසවිය රසිකාවියකි. රු: 50 ත්‍යාගය හිමි කර ගත් ඇයගේ විශාල ඡායාරූපයක් 1964. 3. 18 දින පළ වී තිබුණි. ඊට අමතරව තෝරා ගත් පාඨකයින් 9 දෙනෙකුට නොමිලයේ චිත්‍රපට පහ බැලීමේ ප්‍රවේශ පත්‍ර දෙක බැගින් ලබුණි. දෙවන සතියේ වාසනාව හිමි කර ගත් සරසවිය පාඨකයා වූයේ පෑලියගොඩ නුවර පාරේ අංක 20/139 නිවසේ පදිංචි අයිරින් අමරසිංහයි.

සරසවිය හා ජනතා පාඨකයින් විසින් එවන ලද කූපන් අනුව ඡන්ද 35,374 ක් ලබා ගත්තේ 'ගම්පෙරළිය' චිත්‍රපටයයි. දෙවන ස්ථානය ඡන්ද 34,1921 ක් ලැබූ 'සිකුරු තරුව' චිත්‍රපටයට ද, ඡන්ද 32,843 ක් ලැබූ 'රන්මුතු දූව' චිත්‍රපටය තෙවන ස්ථානයට ද, ඡන්ද 27,014 ක් ලැබූ 'සුහද සොහොයුරෝ' හතරවන ස්ථානයට ද, ඡන්ද 24,712 ක් ලැබූ 'සුවිනීත ලාලනී' පස්වන ස්ථානයටත් පත් විය.

1964 මැයි 4 වැනි සඳුදා ග්‍රෑන්ඩ්පාස් අසෝකා සිනමාහලේදී සරසවිය චිත්‍රපට උලෙළ 'ගම්පෙරළිය' චිත්‍රපටයෙන් ආරම්භ වූ විට සිංහල චිත්‍රපට නැරඹීමට මෙතෙක් නොආ විශාල පිරිසක් සිනමාහලට රොක් වූ බව පැවසේ. මැයි 5 වැනි අඟහරුවාදා සිකුරු තරුව චිත්‍රපටය ද, මැයි 6 වෙනි බදාදා 'රන්මුතු දූව' චිත්‍රපටය ද, මැයි 7 ෙනි බ්‍රහස්පතින්දා 'සුහද සොහොයුරෝ' චිත්‍රපටය ද, මැයි 8 වෙනි සිකුරාදා 'සුවිනීත ලාලනී' චිත්‍රපටය ද තිරගත වූ අතර සෑම සන්ධ්‍යාවකම දර්ශනයට චිත්‍රපටයේ රඟපෑ නළු නිළියන්, නිෂ්පාදක, අධ්‍යක්ෂක, කාර්මික පිරිස ඇතුළු සංගීතඥයන්, ගායක ගායිකාවන් සිනමා රසිකයන් හමුවේ මල් දමකින් සම්මාන ලැබූහ.

මැයි 9 වැනි සෙනසුරාදා ජයග්‍රාහක සන්ධ්‍යාවයි.

පසු කලෙක 'දිනමිණ' ප්‍රධාන කර්තෘවරයකු වූ ධර්මපාල වෙත්තසිංහ මහතා මේ රමණීය, අමරණීය අවස්ථාව විස්තර කර ඇත්තේ මෙසේය.

'සියක් පිරිස් සිනමාහල් දොරටුවේ රැස් කෑහ. සියක් පිරිස් ලේක්හවුස් මැදුරත් අසෝකා සිනමාහලත් අතරමඟ තැනින් තැන රොක් වූහ. උඩරට නැට්ටුවන් පෙරටු කොට ගත් තාරකා යානය දෙපැයක් ඒ මඟ ගමන් ගති. තාරකා යානයේ ගොක් සැරසිලි මැදින් බැස යන හිරු සමඟ නැඟී සමන් මලින් සුවඳ කැවුණු සඳවතියෝ තරු අතරින් මැවුණේ මඟ දෙපස එක් වූ ලෝලයින් සැනසූහ.

රසිකයන් තේරූ චිත්‍රපට පහෙන් විනිශ්චය මණ්ඩලය තෝරා ගත් සම්මාන පිරිනැමීමේ මහ උලෙළට ඇරයුම් ලද්දන් සිනමාහලට ඇතුළුව තම ආසන වෙත යන විට චිත්‍රපට උලෙළ පිළිබඳ සියලුම විස්තර සහිත සරසවිය පිටපත බැගින් හැම ආසනයකම විය. චිත්‍රපට උලෙළ කුමක් පිණිස ද යන්නේ පටන් හැම තොරතුරක්ම ඇතුළත් වූ විස්තරය එදා රැස්වූවන්ගේ කුහුල සනහන්නක් විණි.'

වැඩසටහන මෙසේය

මැයි 9 වෙනි සෙනසුරාදා

වස 4.30 ට

නළු - නිළි සන්දර්ශනය සහ වෙළෙඳ සන්දර්ශන පෙරහැර ලේක්හවුස් ඉදිරිපිටින් ආරම්භ වීම.

සවස 5.15 ට

වේලස් කුමාර මාවතේ අසෝකා තියටර්ස් කරා ළඟාවීම

සවස 6 ට

චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය පෙන්වීම

(අසෝක තියටර්ස්හිදී)

විවේක කාලය

සරසවිය සම්මාන පිරිනැමීම සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සභාපති තෝමස් අමරසූරිය මහතා විසිනි.

සරසවිය සම්මාන උලෙළේ විස්තර ප්‍රකාශනය හා උත්සවය මෙහෙය වූයේ කරුණාරත්න අබේසේකර විසිනි.

1964 සරසවි චිත්‍රපට සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලයේ සභාපති වූයේ හිටපු මතුගම පාර්ලිමේන්තු මන්ත්‍රී හා චීනයේ තානාපතිවරයකු වූ විල්මට් ඒ. පෙරේරා මහතාය. ඒ මහතා මෙසේ කියා තිබුණි.

'සිංහල චිත්‍රපට උලෙළ කාලේචිත විය. චිත්‍රපට කර්මාන්තයේ එක් එක් අංශයක නියැළී සිටින පුද්ගලයනට හිමි විය යුතු සම්මානය ලබාදීමට එය සමත්වීම වැදගත් දෙයකි. සරසවිය හා ජනතා පුවත්පත් ගත් මඟ පැසසීමට මම කැමැත්තෙමි. ව්‍යාපාරිකයා, කාර්මිකයා, කලාකරුවා හා නරඹන්නා ද එක සේ හවුල්වීම සිංහල චිත්‍රපටයේ දියුණුවට අවශ්‍ය වන්නේය. සිංහල චිත්‍රපටය උසස් ප්‍රබල මාධ්‍යයක් කරගතහොත් අපේ සංස්කෘතියේ දියුණුවට එය මඟක් වනු ඇත.'

සෙසු ජූරි සභිකයන් වූයේ පරිපාලන නිලධාරි අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ඇම්. ජේ. පෙරේරා, වරාය කොමිෂන් සභාවේ සභාපති ඩී. ජී. දයාරත්න, යකඩ හා වනේ සංයුක්ත මණ්ඩලයේ සභාපති චාල්ස් අබේසේකර, ලංකා ගුවන් විදුලි සේවයේ සිංහලාංශයේ අධ්‍යක්ෂ ඇස්. බී. සේනානායක, ශ්‍රී ලංකා ජාතික කලා ශිල්ප පිළිබඳ අංශයේ ප්‍රධාන කථිකාචාර්ය ස්ටැන්ලි අබේසිංහ, හිටපු දිනමිණ කර්තෘ පියසේන නිශ්ශංක යන මහතුන් සහ කාසල් වීදියේ රජයේ බාලිකා විද්‍යාලයේ අධිපතිනි විමලා ද සිල්වා හා සෙනෙට් සභාපතිවරයාගේ බිරිඳ වූ ලුසිල් අමරසූරිය යන මහත්ම මහත්මීන්ය.

'එදා මෙලෙසින් සරසවිය සම්මාන ලැබූවෝ ධෛර්යවන්ත වූහ. ඒ දුටු අන්‍ය සිනමා කලාකාමීහු ධෛර්යමත් වූහ. සම්මානලාභී චිත්‍රපටය අවසානයේ සිනමාහලින් බැහර එත්ම සැම දෙනාගේම අතට පත් වූයේ ඒ මොහොතේම සරසවිය සම්මාන පිරිනැමීමේ උලෙළ විස්තර කරන පින්තූර ද සහිත 'ජනතා' පත්‍රයයි. සිනමා කලාවත් පුවත්පත් කලාවත් එක් වූ මොහොතකි.

මහවැලිය තරව දෙගම්බඩ උතුරා ගලන ජල දහරින් රජරට පොහොර වෙයි. එය සංවිධාන ශක්තියෙන් කළ යුත්තකි. සිංහල සිනමා රසිකයන් අතර පවතින කලා කුසලතා සිනමාවේ දියුණුව පිණිස යෙදිය හැකි පොහොරයි. ඒ චිත්‍රපට උලෙළින් සංවිධානය වන්නකි.' ධර්මපාල වෙත්තසිංහයන් එසේ කියා තිබුණි.

ප්‍රථම සරසවිය සම්මාන සංවිධායක මණ්ඩලය් ප්‍රධානියා සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා විය. ඔබ්සර්වර් පුවත්පතේ අලෙවි කළමනාකරු වූ රණපාල බෝධිනාගොඩ, පුවත්පත් කතුවරයන් වූ ධර්මපාල වෙත්තසිංහ, ඇස්. සුබසිංහ, ඩී. එෆ්. කාරියකරවන, ඩී. සී. රණතුංග, සරසවිය පුවත්පත් ප්‍රධාන ඡායාරූප ශිල්පී නිමල් පෙරේරා අභයවර්ධන, බෙදා හැරීමේ කළමනාකරු රෝලන්ඩ් අබේසිංහ මහතුන් සෙසු සාමාජිකයන් වූහ.

සරසවිය සම්මාන උලෙළ අවසන් වූ පසු මසකින් පමණ එහි විස්තර හා විශේෂ ඡායාරුප සහිත විශේෂ සමරු කලාපයක් ප්‍රකාශයට පත්ව ඇත. 'සරසවිය සිනමා' නම් මෙම අගනා සමරුව සතිපතා පළ වන 'සරසවිය' පුවත්පතින් නිකුත් කෙරෙන වාර්ෂික සංග්‍රහයේ මංගල කලාපය ලෙස ඉතිහාසයට එක් වෙයි. මෙම සඟරාවේ පිට කවරය 1964 වර්ෂයේ හොඳම සිනමා නිළිය වූ පුණ්‍යා හීන්දෙනියගේ වර්ණ ඡායාරූපයකින් සැරසී තිබුණි. එය ඡායාරූප ශිල්පී නිමල් පෙරේරා (අභයවර්ධන) විසින් ගන්නා ලද එකකි. මෙම සමරුවේ කලා නිමැවුම ද ඔහුගේය. සැකැස්ම එවකට සරසවිය කර්තෘ මණ්ඩලයේ සිටි පසුව පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ මහාචාර්යව සිට ඉසුඹු ලබා සිටින ඩයස් ගුණරත්න (ආර්. ඩී. ගුණරත්න)ගෙනි. චිත්‍ර සිබිල් වෙත්තසිංහගෙනි. සිරස්තල අක්ෂර රූප ඇස්. ආර්. හේමපාලගෙනි. මේ සමරු සංග්‍රහය හුදෙක් රූපාවලියක්ම නොව බුද්ධිමත් රසිකයාගේ උසස් රුචියට සරිලන අගනා දැනුම් කෝෂයකි. පිටු හැට ගණනකින් යුත් එහි මිල රුපියල් දෙකකි.

මහාචාර්ය සිරි ගුණසිංහ ලියූ 'අවධානය පදනම කලාවයි', රෙජී රණසිංහ ලියූ 'මඟ මෙසේ සකස් වෙලා', 'වේදනාවෙන් සුන්දරත්වය' (රුක්මණී දේවි ගැන), එල්මෝ ගුණරත්න ලියූ ලිපියත්, ජෝ අබේවික්‍රම ලියූ 'තල් ගස් පොල් ගස්' ලිපියත්, අමරදේවයන් 'ගීත ඛණ්ඩ කරා' ලිපියත් මෙහි මුල් භාගයේ ඇතුළත්ය. මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ 'කලා ස්වරූපය' අදහස් අවුස්සන සුලුය. ටයිටස් තොටවත්ත ලියූ 'සකසු පෙළහර', පී. කේ. ඩී. සෙනෙවිරත්න ලියූ 'පබඳුකාරිය', ගුණදාස අමරසේකර ලියූ 'සිකුරු තරුවේ අව්‍යාජත්වය', ලෙස්ටර් ජේම්ස් පීරිස් ලියූ 'බාර් එකක', ආර්. ඩී. කේ. ජයවර්ධන ලියූ 'ගැලරියක', බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ලියූ 'පොරොන්දුවෙන් කඳුළු කරා' ලිපි මෙන්ම, එල්මෝ ගුණරත්න ගාමිණී ෆොන්සේකා ගැන ලියූ 'තරුවක් නොවෙයි' ලිපියත්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ලියූ 'සරස්වතී අභිනන්දන' ගීතය ද මෙම සංග්‍රහයට ඇතුළත් විය. ඩී. ආර්. නානායක්කාර, රුක්මණී දේවි, ජීවරාණි කුරුකුලසූරිය, ගාමිණී ෆොන්සේකා, විජිත මල්ලිකා, සන්ධ්‍යා කුමරි, ආනන්ද ජයරත්න, ක්ලැරිස් ද සිල්වා, හෙන්රි ජයසේන, ලීනා ද සිල්වා, ෆ්ලොරිඩා ජයලත්ගේ පිටුවේ ඡායාරූප ද මෙහි ඇතුළත් වී තිබුණි.

ප්‍රථම සරසවිය සම්මාන උලෙළ සඳහා ශ්‍රි චන්ද්‍රරත්න මානවසිංහයන් සරසවි අභිනන්දන ගීතයක් විශේෂයෙන්ම නිබන්ධනය කළේය. 'ජගන් මෝහිනි මධුර භාෂිනි චාරු දේහිනි - කමල වාසිනි සරස්වතී දේවි - නමස්තේ සරස්වතී දේවි' නම් ඒ ගීතය අමරදේවයන් ස්වර රචනය කොට ගැයීය. මේ ගීතය වසර පණහක සිට කලා ලෝකයේ විශිෂ්ට ගීතයක් ලෙස තවමත් විරාජමාන වී ඇත.

එදා මෙදාතුර සරසවිය සම්මාන උලෙළ අභිමානවත් ලෙස සිය ගමන් මඟ ඉදිරියට ගෙන යති. ඒ සඳහා ඒ ඒ වකවානුවල සිටි ලේක්හවුස් සභාපතිවරු ද, ප්‍රධාන කතුවරුන් ද ලබා දුන් දායකත්වය අති විශිෂ්ටය.

'සරසවිය' පුවත්පත 1963 අප්‍රේල් 10 වැනි බදාදා මුල්වරට වෙළඳපොළට නිකුත් කෙරිණි. 'සරසවිය' එවකට ලේක්හවුස් ආයතනයේ සභාපතිව සිටි රංජිත් විජයවර්ධන මහතාගේ අදහසක ප්‍රතිපඵලයකි. ඒ පිළිබඳ 'සරසවිය' පුවත්පතේ ප්‍රථම කර්තෘවරයා වූ මීමන ප්‍රේමතිලක ලියූ 'මගේ ප්‍රේමය කලාව හා ජිවිතය' කෘතියේ මෙසේ සඳහන් වෙයි.

'සරසවිය රංජිත් විජයවර්ධන මහතාගේ අදහසක ප්‍රතිඵලයකි. එහි කර්තෘ පදවියට මා තෝරා ගනු ලැබිය. මට සහායක වශයෙන් විමලසිරි පෙරේරා තෝරා ගන්නා ලැබීය. මට සහායක වශයෙන් පිටපත වර්ණ යෝජකයින්ට යැවුණේ මා නමුත් 'සරසවිය' සම්පූර්ණයෙන්ම පිට කළේ විමලසිරි පෙරේරාය.

රංජිත් විජයවර්ධන මහතා මා කැඳවා මෙසේ ප්‍රශ්න කළේය.

'සරසවිය පියා ඔබයි. විමලසිරි ගැන හිතන්නේ මොකක්ද?'

'විමලසිරි සරසවියේ කර්තෘ පදවියට පත් කරන්නට තිබුණේ මීට ඉහතදීය' මම කීවෙමි. ඒ අනුව අද 'සරසවිය' ප්‍රකාශනයේ ප්‍රධාන කර්තෘවරයා විමලසිරි පෙරේරාය'.

සරසවිය පුවත්පතේ මෙන්ම සරසවිය සම්මාන උලෙළේ ද පිටුපස සිටියේ උපදේශකත්වය දුන්නේ රංජිත් විජයවර්ධන මහතාය. එහෙත් ඒ මහතා කිසිම අයුරකින් ඉදිරියට ආවේ හෝ ඡායාරූපයකට පෙනී සිටිමට අකමැති බව එකල ප්‍රසිද්ධය. එංගලන්තයේ සිට පැමිණ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ධුරයට පත් වූ තරුණ රංජිත් විජයවර්ධන මහතා නිහඬව මේ හැම කාර්යයකටකම අනුග්‍රහ දැක් විය.

1965 දෙවන සරසවිය සම්මාන උලෙළට එම වසරේ ෆිල්ම් ෆොයාර් සම්මාන ලැබූ සුනිල් දත් හා නූටාන් ද 'ෆිල්ම් ෆෙයාර්' සිනමා සඟරාවේ ප්‍රධාන කර්තෘ බී. කේ. කරන්ජියා ද සහභාගි වූහ. 1968 සරසවිය සම්මාන උලෙළට භාරතීය චිත්‍රපට නළු සුනිල් දත් හා මීනා කුමාරි සහභාගි වූ අතර භාරතීය නළු නිළියන් වෙනුවෙන් කොළඹත් මහනුවරත් නළු නිළි ක්‍රිකට් තරගයක් ද සංගීත සන්දර්ශනයක් ද පවත්වා ඇත.

1965 වසරේ සරසවිය චිත්‍රපට උලෙළේ චිත්‍රපට සතිය නිවේදනය කළේ ලේක්හවුස් ආයතනයේම සේවයේ නියුතුව සිටි ප්‍රවිණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු වූ වොලී නානායක්කාරය. 'ගැටවරයෝ'' චිත්‍රපටයේ නළු නිළියන් හඳුන්වා දෙන අයුරු දැක ඔහු ගැන පැහැදුණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසුරිය මෙසේ කීවේය.

'වොලී දක්ෂ ලෙස ගුවන් විදුලි නාට්‍යවල රඟපානවා අපි අහලා තියෙනවා. කැමති නැද්ද චිත්‍රපටයක රඟපාන්න.'

'ඇයි අකමැති' වොලී කිවේය.

තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ 'සාරවිට' චිත්‍රපටයේ මාකස් නම් දුෂ්ට චරිතයට ඔහු විසින් වොලීව තෝරා ගත්තේය. පසුව ප්‍රවීණ නළුවකුගේ සම්ප්‍රාප්තිය සිදු වූයේ සරසවිය උලෙළකිනි.

1968 සරසවිය සම්මාන ප්‍රදානෝත්සවය පැවැත් වුයේ කොළඹ රීගල් සිනමාහලේය. ප්‍රධාන ආරාධිතයා වූයේ අග්‍රාමාත්‍යය ඩඩ්ලි සේනානායක මහතාය.

වසරේ හොඳම තිරනාටක රචකයාගේ නම නිවේදනය විය.

'හොඳම තිර නාටක රචක 'සැඬොල් කඳුළු' චිත්‍රපටයේ කතාව ලියූ සෙනෙට් මන්ත්‍රී රෙජී පෙරේරා'

සම්මානය පිරිනැමීමට ඩඩ්ලි සේනානායක අගමැතිතුමා සරසවිය සම්මානයත් රැගෙන වටපිට බැලීය. තරබාරු දේහයකින් යුතු රෙජී පෙරේරා මහතා වේදිකාවේ පියගැට පෙළ නැග්ගේය. ඔහු අසලටම සම්මානය අතැතිව ගිය අගමැතිතුමා සුපුරුදු සෙනෙහසින් තම මිතුරාට සම්මානය පුද දෙනු ලැබුවේය.

'රෙජී කවදත් කතාකාරයනේ. මේ කතාවත් රසවත් ඇති' අගමැතිතුමා රෙජී පෙරේරා මහතාගේ දෑත පිරමැද්දේය. දේශපාලන ලෝකයේ දෙපැත්තක සිටියත් මේ දෙදෙනාට මිතුදම ඊටත් වැඩි බව එදා බොහෝ දෙනෙකුට වැටහිණ.

1987 තප්පර 90 ක රඟපෑ සුවිශේෂ චිත්‍රපට නළුවකුට කුසලතා සම්මානයක් හිමි විය. ඒ 'කොටි වලිගය' චිත්‍රපටයේ භික්ෂූන් වහන්සේ නමක ලෙස රඟපෑ සතිස්චන්ද්‍ර එදිරිසිංහයට.

යූ. ආරියවිමල් හාමුදුරුවන් (සතිස්) ළඟට දුවගෙන විත් මෙසේ අසයි.

'හාමුදුරුවනේ මෙතැනින් දෙමළෙක් දිව්වාද?'

'දිව්වේ නෑ'

'මේ ලේ තියෙන්නේ. ඒ කාගෙද?'

'සිංහල ලේ ද, දෙමළ ලේ ද කියලා කවුද දන්නේ? මේ මෝඩයින්ට හීනයක් කියලා කවද හරි දැනේවි' කියමින් හාමුදුරුවන් නිලයක් අල්ලා ආරියවිමල් මෙල්ල කරයි.

සතිස්ගේ මේ රංගනයට (තප්පර 90) සරසවිය කුසලතාවක් ලැබීම සම්මාන ඉතිහාසයේ විශේෂ සිදුවීමකි.

1967 සරසවිය සම්මාන උලෙළේ සම්මාන ප්‍රදාමෝත්සවයට දෙදිනක් තබා සිදු වූ තවත් රසවත් සිදුවීමක් මහාචාර්ය සුනිල් ආරියරත්න ගාන්ධර්ව අපදාන -3 කෘතියේ සඳහන් කර ඇත.

'ආර්. ඒ. චන්ද්‍රසේනයන් සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතුරින් ඔහුට සොම්නස හා දොම්නස එකසේ ළඟා කර දුන් චිත්‍රපටය වූයේ 'කොළඹ හාදයෝ'ය. 'කොළඹ හාදයෝ' චිත්‍රපටය සඳහා සම්පාදනය කළ ස්වතන්ත්‍ර තනු සියල්ල අතිශය ජනප්‍රිය වීම චන්ද්‍රසේනට සොම්නස ගෙන දුන් කාරණයයි. 'කොළඹ හාදයෝ' නිසා අත් පත් වූ සරසවිය සම්මානය අවසාන මොහොතේදී ගිලිහී යෑම චන්ද්‍රසේනට දොම්නස ගෙන දුන් කාරණයයි. දොම්නස් සහගත 'සම්මාන විස්තරය' මෙබන්දකි. 1966 තිරගත වූ චිත්‍රපට සඳහා 1967 දී පැවැත් වූ සරසවිය සම්මාන උලෙළේදී හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා වූ සම්මානයට චන්ද්‍රසේන ද තරඟ වැද සිටියේ 'කොළඹ හාදයෝ' 1966 දී තිරගතව තිබුණු බැවිනි. විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කළේ ඒ. රත්නායක (සභාපති), ඩී ජී. දයාරත්න, පාලිත වීරමන්, ඩබ්ලිව්.ජේ. ප්‍රනාන්දු, බෝගොඩ ප්‍රේමරත්න, ලයනල් එදිරිසිංහ යන මහත්වරුන් සහ ඩී. බී. ටී. ප්‍රේමරත්න මහත්මියයි.

1967 ජූලි 5 වැනිදා කොළඹ රීගල් සිනමාහලේදී සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතව තිබිණි. සම්මානලාභීන්ගේ නාම ලේඛනය අවසන් මොහොත වනතුරුත් රහසක් වශයෙන් තබා ගැනීම සාමාන්‍ය සිරිත වන නමුත් හොඳම සංගීතය සඳහා වූ සරසවිය සම්මානය 'කොළඹ හාදයෝ' චිත්‍රපටයට හිමි වන බව ජුලි 4 වැනිදා උදෑසන විනිශ්චය මණ්ඩල සභිකයකු විසින් චන්ද්‍රසේනයන්ට දන්වන ලදී. චන්ද්‍රසේන සිය ජීවිත කාලය තුළදී ලද මිහිරිතම ආරංචිය එය විය. නිම හිම් නැති සතුටින් ඉපිල ගිය චන්ද්‍රසේන එදා දවස තුළ බොහෝ දෙනාට මේ 'රහස්‍ය' ආරංචිය පැවසුවේය. අවසානයේදී එය ඒ වසරේ තරග වැද සිටි තවත් සංගීතඥයකුගේ කනට වැටුණි. ඔහු සරසවිය සම්මාන උලෙළ සංවිධානය කරන ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට කතා කර විනිශ්චයෙහි 'රහස්‍ය' භාවයට අභියෝග කළේය. ඔවුහු හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා වූ සම්මානය අත්හිටුවා සෙසු සම්මාන ප්‍රදානය කළහ.'

1969 සරසවිය සම්මාන උලෙළ 1969 මාර්තු 26 වැනිදා කාන්තා විද්‍යාලයීය ශාලාවේ ලකිසුරු විලියම් ගොපල්ලව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. සම්මානයක් තමාට තිබෙන බව නොදැන පෙර පරිදිම චිත්‍රපට නළු අසෝක පොන්නම්පෙරුම පැමිණියේ කලිසමක් හා බුෂ් ෂර්ට් එකකින් සැරසිලාය. ඔහුගේ පාදයේ ඇඟිල්ලක තුවාලයක් තිබූ නිසා පැලඳ සිටියේ ද සෙරෙප්පු දෙකකි. අසෝකට සම්මානයක් ලැබීමට වේදිකාවට යාම තිබූ නිසා සංවිධායක මණ්ඩලය කලබලයට පත් විය. එකල සරසවිය පත්‍රයේ දුක්ගන්නා රාල වූයේ කුමාරදාස වාගිස්ටය. ඔහුගේ පිහිට පැතූ සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මේ ගැටලුව විසඳා දෙන ලෙස වාගිස්ටගේ පිහිට පැතුවේය.

වගීස්ටට ගණ දෙවි නුවණ පහළ විය. අසෝකගේ තරමටම උස මහත දෙහෙත තියෙන ලේක්හවුසියේ නිලධාරියකු ළඟට ගොස් ඔහුගේ කෝට් එකත්, සපත්තු යුවළත් මඳ වේලාවකට ඉල්ලීය. කොහොමටවත් තමා ඇඳ සිටින කෝට් එක නම් දෙන්නේ නැති බව ඔහු කීය. බොහෝ දෙනාගේ ඇවටිලි මැද සපත්තු දෙක කෙසේ වෙතත් කෝට් එක දීමට ඔහු එඟව ඇත්තේ අසෝක සම්මානය ගත් විගසම නැවත කෝට් එක දෙන පොරොන්දුව මතය. කාගේදෝ සපත්තු දෙක අමාරුවෙන් ද වේදනාවෙන් ද පයලා ගත් අසෝක අර කෝට්එක ඇඟලා ලකිසුරු අතින් වසරේ හොඳම සහය නළුවාට හිමි සම්මානය 'ඉඳුනිල' චිත්‍රපටය වෙනුවෙන් ලබා ගත්තේය.

සම්මානය ලබා ගැනීමෙන් පසුත් අසෝක කෝට් එක හා සපත්තු දෙක ගලවන පාටක් නැත. කෝට් එක දුන් නිලධාරියා බිත්තියකට හේත්තු වී දිගටම සිටියේ වාගීස්ටට බැණ බැණය. තමා කෝට් එක යටට ඇඳ තිබූ කමිසයේ පිට මඳක් ඉරී ඇති නිසා ඔහුට සබයට එන්ට බැරිය. අසෝක සම්මාන ප්‍රදාමෝත්සවයෙන් පසු ද සුබපැතුම් මැද කෝට් එක පැලඳගෙනම සිටියේය. වාගිස්ට බලෙන්ම කෝට් එක රැගෙන බිත්තියට ඇල වී සිටි නිලධාරියාට භාර දෙන විට ඔහු අම්මා මුත්තා කාලෙවත් නෑසූ බැණුම්වලින් සංවිධායක මණ්ඩලයට දෙහි කපා ඇත. කුමාරදාස වාගීස්ට මේ අතීත සිද්ධිය අපට කීවේ ලුණු ඇඹුල් ඇතිවය. වාගීස්ටගේ 'අතේ රෝල්' අසා පුරුදු අපට එම කතාව විටින් විට ඔහුගෙන් අසා සතුටු වීමු. එදා කතාවට තවත් කතා එකතු කොට එවැනි කතා රසවත්ව කීමට වාගීස්ට රුසියෙකි.

1970 සරසවිය සම්මාන උලළේ සම්මාන ප්‍රදානෝත්සවයේ හොඳම නළුවා වූයේ 'සෙනෙහස' චිත්‍රපටයේ රඟපෑ හර්බට් එම්. සෙනෙවිරත්නය. 'උමතු විශ්වාසය' චිත්‍රපටයෙන් සිනමාවට එක් වූ ඔහු හොඳම නළුවා ලෙස 'සෙනෙහස' චිත්‍රපටය සඳහා 1970 වසරේ සරසවිය සම්මාන ලැබූදා මෙසේ ප්‍රකාශ කළේය.

'මම කෝටිපතියෙකු වී ලබන සතුටට වඩා හොඳම නළුවාගේ සම්මානය ලබා ගැනීමට වේදිකාවට ගිය විනාඩි කිහිපය ජීවිතයේ උපරිම සතුට ලැබූ දිනයයි' කියාය.

සර 35 ක් (1953 තිරගත වූ සුජාතා චිත්‍රපටයෙන් ඇරඹි) සිනමාවේ විවිධ චරිතාංග මැවූ ජ්‍යෙෂ්ඨ රංගධරයකු වූ ඩේවිඩ් ධර්මකීර්ති මුල්වරට සරසවිය සම්මානයක් දිනුවේ 1982 වසෙර්ය. ඔහු 'ආරාධනා' චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම සහාය නළුවා ලෙස සම්මානය ලබන බව නිවේදකයා කියන විට සිටියේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ උඩු මහලේය.

'මම මෙහෙ. ඉක්මනට එනවෝ' යි ඔහු උඩුමහලේ සිට කෑගැසුවේය.

වයෝවෘධ ප්‍රතිභාන්විත නළුවා උඩ සිට පහළට ඒමට විනාඩි 8 ක් පමණ ගත විය. එතෙක් සම්මාන ප්‍රදානය කිරීමට පැමිණි මුදල් ඇමති රොනී ද මැල් මහතාට බලා සිටීමට සිදු විය.

'සිරිබෝ අයියා' සහ 'සරුංගලේ' චිත්‍රපටවල මංගල දර්ශනවලට පැමිණි පසු අගමැති ආර්. ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේ පවසා සිටියේ සිරිබෝ අයියා වූ ජෝ අබේවික්‍රමත්, නඩරාජා වූ ගාමිණී ෆොන්සේකාත් නොඅනුමානව සරසවිය සම්මාන ලබන බවය. ඒ අනාවැකිය එසේම ඉටු විය.

1989 සිට 1994 තෙක් මා සරසවිය කර්තෘව සිටි අවධියේ සරසවිය චිත්‍රපට උලෙළට අනුග්‍රහය ලබා දුන්නේ යුනි ලීවර්ස් සමාගමය. චිත්‍රපට සතිය හා සම්මාන උලෙළ දින ඔවුන් බෙදා දුන් 'ලක්ස්' සබන්වලින් මුළු ශාලාවම සුවඳවත් විය. සම්මාන ප්‍රදානය සඳහා අගමැතිතුමා වේදිකාවට යාමට පෙර මගෙන් යමක් ඇසුවේය.

'ලීවර්ස් සමාගමේ ටැග්ලයින් එක (සන්නාමය) මොකක්ද?' ඇසුවේය.

'ලොව වටා නිළියන්ගේ රුව වඩන සබන් - ලක්ස්' යයි මම කිවෙමි.

එය අගමැතිතුමා ලියා ගත්තේවත් නැත. වේදිකාවේ ඔහු කළ කතාවේදී 'ලක්ස්' සන්නාමය ඉංග්‍රිසි භාෂාවෙන් මතක් කොට ස්තූතිය පුද කළේ යුනිලීවර්ස් සමාගමේ සභාපතිවරයා යුරෝපීය ජාතිකයෙකු නිසාය.

1971 සිට 1979 දක්වා සරසවිය සම්මාන උලෙළ පවත්වා නැත. නැවත 1980 වසරේ එය නැවත අරඹන විට සරසවිය උලෙළට අනුප්‍රාණය දී එයට අනුග්‍රහය දැක් වූයේ සීමාසහිත සින්ග් ලංකා සමාගමේ අධිපති ආනන්ද ගනේගොඩ මහතා බව සටහන් කරන්නේ ඒ මහතාට උපහාර වශයෙනි.