|
සරසවිය පවුලේ අපූරු චරිත
අරුණ අයියා (අරුණ ගුණරත්නයන්) එක්කෝ කතා කරන්නේ බණින්නටය. නැත්නම් සෙට් වීමකටය. එසේත් නැත්නම් කුමක් හෝ ලියවා ගැනීමටය. ගිය සතියේ පාළු ඉරිදාවක හෙතෙම මා ඇමතුවේ තෙවැනි කාරණාව සඳහාය. “සරසවිය ස්ටාෆ් එක ගැන ලියපන් මේසැරේ පත්තරේට. ” හෙලෝ නොකියාම ඔහු දුන්නේ රාජකාරියක්ය. මේ පටන්ගන්නෙ ඒ ඉමිහිරි කතාවය. සාවදානව කියවන්න. වැරදි ඇතොත් සමාවෙන්න. වර්තමානයේ සරසවිය කර්තෘත්වය හොබවන අරුණ ගුණරත්නයන්ගෙන් මේ කතාව ඇරඹීමට උචිත යැයි සිතමි. හෙතෙම අති දක්ෂ සිනමා පුස්තකාලයකි. නිසිලෙස රාජකාරියේ යෙදෙන අරුණ ගුණරත්නයන් නිරතුරුවම කැමැත්ත දක්වන්නේ අලස සුවයෙන් කාලය ගත කිරීමටය. ලෝක වෙළඳ මධ්‍යස්ථානය බිමට සමතලා වුණ ද ඔහුට ගණනක් නැත. ලෝකයේ කොහේ හෝ නව කලා කෘතියක් බිහිවන සැණින් ඔහු ඒ ගැන සිනමාව දන්නා අය සමඟ මෙන්ම නොදන්නා අය සමඟ ද කියන්නේය. සිනමාව ගැන දන්නා අය ඒ ගැන කරුණු අසා දැනගන්නා අතර නොදන්නා අය දන්නවා වාගේ අසා සිටින්නේය. අරුණ ගුණරත්න හොඳ නායකයෙකි. හැමගේම සිත් දිනා ගනිමින් සාමූහික වගකීම් වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටින ඔහු මොනයම් මොහොතක හෝ කිසිවෙකුගේ හිත රිද්දන්නට කැමති නැත. නමුත් අවසානයේ පැවති සරසවිය සම්මාන උලෙළේදී මා ඔහුගෙන් බඩ මෙන්ම කඳ පිරෙන්නද බැණුම් ඇසූ හැටි දන්නා අය සිටින්නේ හතර දෙනෙක් පමණි. කොතරම් බැන්නද ඔහු එය සිතේ තබාගන්නේ විනාඩි කිහිපයකි. සරසවියෙහි වත්මන් දෙවැනි පුටුව හොබවන්නේ සිනමාව පිළිබඳ පුළුල් දැනුමක් ඇති ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසිනි. සිය ගෞරවාන්විත පියාණන්ගේ (සරසවිය හිටපු කර්තෘ ඒ.ඩී.රන්ජිත් කුමාර) අඩි පාරේ යමින් ලංකාව පුරා පමණක් නොව ලොව පුරාම සිනමා පාඨකයන්ගේ ගෞරවයට පත් ඔහු සරසවියට ගෞරවාභරණයකි. නුවන් අයියා නිහඬ මිනිසෙකි.දකින හැම වෙලෙහිම පිරුණු සිනහවෙන් මුව සරසාගත් හෙතෙම සැවොම සමඟ වචනයක් හෝ කතා කිරීමට අමතක කරන්නේ නැත. නුවන් අයියා සමඟ රාජකාරියේදී එතරම් කලක් කටයුතු කිරීමට නොහැකි වුවත් ඔහු සතු දැනුම ලංකාවට බොහෝ සේ වටින බව මම පෞද්ගලිකව විශ්වාස කරමි. නිහඬ පිළිවෙතක් අනුගමනය කළ ද සභාගත වන විට ඔහු පැරණි කතා කියන්නට රුසියෙකි. ඔහුගේ ගීතවත් හඬින් කියන කතාන්දර නිසා සරසවිය කර්තෘ අංශයම සිනහවෙන් පිරෙණු මා කීපවරක් අත්විඳ ඇත්තෙමි. අධ්‍යාපනයෙන් ලද තනතුරුවලින් හිස උදුම්මා නොගත් නුවන් අයියා ජංගම දුරකථනය කනෙහි ගසා ගනිමින් ලේක්හවුසිය පුරා යද්දී ද මුණගැසෙන්නෙකුට තට්ටුවක් දමා යන්නේ පස්සේ හමු වෙමු යැයි සන් කරමිනි. නුවන් අයියාට පසු කිව යුත්තේ චන්දන දයාසිරිවර්ධන හෙවත් චන්දන අයියා ගැනය. කලක් සරසවිය නියෝජ්‍ය කර්තෘධුරය දැරූ ඔහු ද තාත්තාගේ (බුදුසරණ හිටපු කර්තෘ දයා සිරිවර්ධන) අඩි පාරේ යමින් තමාට පැවරෙන රාජකාරිය අකුරටම ඉටු කරන්නෙකි. කෙසේ වෙතත් චන්දන අයියා සැමටම වඩා නීතිකාරයෙකි. “පුතෝ වෙලාවට වැඩේ තියෙන්න ඕන. උඹ කොහේ ගියත් කමක් නෑ වෙලාවට වැඩේ දීපන්”ඔහු හැමෝටම කියන්නේ එසේය. කඩියෙකු සේ කඩිසර චන්දන අයියා කිසිවෙකුටත් තමාගේ සිතෙහි රැඳී සහෝදරත්වය, ආදරය පෙන්වන්නේ නැත. නමුත් කාට හෝ කරදරයක් වු විට මුලින්ම කතා කරන්නේ චන්දන අයියාය. ඔහු කිසිම මොහොතක නිකං ඉන්නවා මම දැක නැත. කිසිම වැඩක් නැත්නම් ඔහු දවසට දෙතුන් වරක් හෝ ලාච්චුව අස් කරන්නේය. කියන දෙය මූණට කීම ඔහුගේ සිරිතය. ආවේගශීලී වූ විට ගිනි පුපුරක් මෙන් දැවෙන චන්දන අයියා අන් අවස්ථාවලදී සීතල හිම කුට්ටියක් තරමට නිවී සැනසී හිඳීන්නේය. විවිධ මාතෘකා අතර එකිනෙකා දොඩමළු වෙද්දී ඔහු කතා කරන්නේ අලුත් ගැජමැටික් එකක් ගැනය. රේඩියෝවක්, කැමරාවක්, ටෙලිවිෂනයක් චන්දන අයියාගේ ගෙදරට අලුතින් පැමිණිය හොත් දින කිහිපයක් දුක් විඳීන තැනැත්තා චක්සු ය. “යකෝ අර බට්න් එක වැඩ කරන්නෙ නෑනෙ බං. ඒකෙන් මොකක්ද කරන්නෙ.......මේකෙන් මොකක්ද කරන්නෙ” චන්දන අයියා දෙතුන් වතාවක් චක්සු ගෙන් අසන්නේය. චක්සු ද හිනාවෙමින් චන්දන අයියාට ලඟ තබාගෙන ඒවා කියා දෙන්නේය. “රයිට් පුතා. අද අහනව සින්දු” කියමින් චන්දන අයියා හැමදාම හවස 5.15 කෝච්චියේ ගෙදර යන්නේය. සරසවිය පවුලේ හැමෝගෙම ආදරවන්තයා චක්සු වන්සිත් අබේවික්‍රමය. හැමෝම ඔහුට එතරම් ආදරය කරන්නේ කාරණා කීපයක් නිසාය. ඔහු නිරතුරුවම පියකරු සිනහවකින් සැරසී සිටින්නේය. හ හ හා යනුවෙන් ඔහු ඇතැම් විට සරසවියම දෙවනත් වන්නට සිනහ වෙන්නේය. ඔහු සරසවියෙහි පිටු සැලසුම් ශිල්පියා නිසා වෙලාවට පිටු සකසා ගෙන කලින් ගෙදර යාමට චක්සුට ආදරයෙන් බටර් ගානා නංගිලා කිහිපදෙනෙකු ද සරසවියේ ඇත. ඕනෑම කෙනෙකුගේ ඕනෑම කුණු ගොඩක් හරි හරි කියමින් බාරගන්නා චක්සුවා ඔළුව කසමින් කල්පනා කරමින් හැමෝගෙම ප්‍රශ්න විසඳන්නට කල්පනා කළ යුගයක් අතීතයේ වුයේය. විවාහයෙන් පසුව ඔහු අනුන්ගේ ප්‍රශ්න විසඳන්නට වැඩිපුර මැදිහත් වනවා මා දැක නැත. ඔහු සියල්ලන්ටම පොදුවේ එක ලෙස ආදරය කරන්නෙකි. නදීශාගේ වධකාරයා වන චක්සු නිරතුරුවම හැඩට අඳීන්නට, ෆැෂන් කරන්නට ප්‍රියයෙකි. ඇතැම් අවස්ථාවලදී චක්සු සිරිසඟබෝ චරිතය රඟපානු මා දැක ඇත. “මචං මං හොය හොය හිටියෙ මේ වගේ කැමරාවක්.” වරක් මා ඔහුට කියූ විට ඔහු සතුව තිබු කුඩා කැමරාව මට තෑගි දුන්නේය. ඔහු සැමටම කල්යාණ මිත්‍රයෙකි. එමෙන්ම උදව්වක් අවශ්‍ය වූ සෑම විටම උදව් කරන්නෙකි. සරසවියේ සිටින අන්දමන්ද ම චරිතය තිලානි ශානිකා විතානාරච්චි ය. යන්නේ කොහේදැයි ඇසූ විට තිලානි කියන්නේ කෑවේ බත් කියාය. තමා ඇද සිටින ඇඳුමවත් ඇඟේ තිබෙනවාදැයි ඇයට සිහියක් තිබෙනවා දැයි මා දන්නේ නැත. කතෘතුමන්ගෙන් වැඩිපුරම බැණුම් අහන්නේ ද තිලානි ය. කුමක් හෝ වැඩක් කියූ විට ඇය ගාල කඩාගෙන එහෙ මෙහෙ දුවන්නීය. ටික වේලාවකට පසු “අයිය මට මොනව හරි කිව්වද?” කියා අසන්නීය. “මං දන්නෑ හලෝ මෙයාල මොනව කියනවද කියල. ඇත්තෙයි කිව්වෙ අයියෙ.” දවසකට දෙතුන්සිය වතාවක් බයිට් වන තිලානි හැමෝගෙන් ම අසන්නේය. කොතරම් මඤ්ඤං වුවද තිලානි නිර්මාණශීලී ලියන්නියකි. බාර දෙන වැඩය පැය 48 ක් හෝ ප්‍රමාද වී කරන්නට හපනියකි. ඇය සෑම විටම අලුත් නිර්මාණ මාවත් සොයා යයි. තරුණියක් ලෙස රෑ 12 ට 1 ට නාට්‍ය නිමාවී නංගී සමග යන තිලානි මට ලාස්ට් බස් එකේදී ඕනෑ තරම් හමුවී ඇත. ලොවි ගෙඩියක් රැඟෙන ආව ද ඈ කෑල්ලක් දෙන්න දැයි හැමෝගෙන්ම අසයි. ඇගේ ලොවි ගෙඩිය කිසිවෙකුත් කෑල්ලක් නොඉල්ලන බව තිලානි හොදින් ම දනී. සරසවිය වෙනුවෙන් දිවා රාත්‍රී කැප වන ඇය දිරිය තරුණියකැයි මට සිතේ. මාපලගම වැයිහේන නම් දුෂ්කර ගම්මානයේ සිට කොළඹට පැමිණි තිලානි අද ජනප්‍රිය තරු සිල්ලන්ගේම ආදරය දිනාගත් මාධ්‍යවේදිනියකි. එමෙන්ම ඇය බාධක බිඳලමින් තමාගේ අධ්‍යාපන ඉලක්ක වෙත යන උද්‍යෝගශීලී තරුණියකි. සරසවියේ සිටින කඩවසම් තරුණයා ප්‍රසාද් සමරතුංග ය. මා නියෝජ්‍ය කර්තෘත්වය දරණ අවධියේ සරසවියට පැමිණි ඔහු අද වන විට රංගන ශිල්පියෙකු මෙන්ම තිර පිටපත් රචකයෙකු ලෙසට ද නමක් දිනා සිටීම මට පෞද්ගලික සතුටකි. ප්‍රසාද් ද තිලානිට නොදෙවෙනි අන්දමන්ද කාරයෙකි. කොතරම් අන්දමන්ද වුවද ඔහු තමාට කියන දේ ගැන අවධානයෙන් සිටින්නෙකි. නළු නිළියන් අතර ගැවසෙමින් ඔවුන්ගේ අලගිය තැන් මුලගිය තැන් සොයන්නට ප්‍රසාද් හපනෙකි. ප්‍රිය සම්භාෂණ වලදී කෑමට පමණක් මුල් තැන දෙන ප්‍රසාද් සරසවියේ පිරිමින් අතර අප ගිය චාරිකාවන් හි මුල සිට අගට කිව හැකි එකම තැනැත්තාය. නිතර වැඩිහිටියන් හමුවෙමින් උපදෙස් ගන්නා ඔහු සැමට හිතවත් ආදරණීය මලයෙකි. සරසවියේ මැණික යැයි හැමෝම කියන්නේ යතේජාට ය. වැඩි කතාබහක් නැතිවුවත්, කතාවට වැටුණු විට ඇය අනිකුන් අතර කැපී පෙනෙන චරිතයකි. තමාගේ පාඩුවේ වැඩ කටයුතුවල යෙදෙන යතේජා, ලියන්නට හපන්කම් දක්වන්නියකි. සරසවියේ අඩුවෙන්ම බැණුම් අහන්නේ යතේජා ය. ඈ බැණුම් අහනු මා දැක ඇත්තේ කිහිප වරකි. එක්කෝ ඇය රාජකාරිය අකුරට ඉටු කරයි. නැතහොත් ඔළුව ගසාගෙන සිටින ඇය කතුවරයාට නොපෙනෙනවා ඇත. බොහෝ විට යතේජා කවුරුන්වත් ගණන්ගන්නේ නැත. නමුත් ඇගේ කෝපය පවතින්නේ ද විනාඩි කිහිපයකි. යතේජා සරසවියට ආ මුල් කාලයේ කතු මඩුල්ලේ තනිකඩ අයියලා හේතුවක් නොමැතිව මගේ මේසය වටා කැරකුණු අතීතය අදට ද සොඳුරු සිහිවටනයකි. දැන් ඒ අයියලා මෙන්ම යතේජා ද තනිකඩ නොවීම නිසා කොල්ලන් සරසවියට පැමිණෙනවාදැයි මම දන්නේ නැත. සරසවියේ බඩපිස්සිය නදීශා රාජවර්ධන ය. ඇය ඔහේ කියවන්නීය. උගුර බැරැන්ඩි වූ පූසෙකුට සමාන ඇගේ හඬට සැවොම කැමතිය. අවුරුද්දක කාලයක් තුළ නදීශා 1825 වතාවක් වත් බයිට් වී ඇත. අන්න පිටකොටුවට හඳ කඩන් වැටිලා කියූවොත් නදීශා ජනේලයෙන් පිටකොටුව දෙස බලන්නීය. “ඔයාලා හරිම නරකයි අනේ. හඳ කඩන් වැටිල නෑ අයියණ්ඩි” ඈ නැවත පැමිණ පුටුවේ හිඳ ගන්නීය. තව ස්වල්ප වේලාවකින් අරුණ අයියා මොකක් හෝ ඉංග්‍රීසි නමක් කියා ඔහුගේ ඡායාරූපයක් සොයන්නට යැයි නදීශාට කියන්නේය. නදීශා අන්තර්ජාලය පීරමින් ඒ ඡායාරූපය සොයන්නීය. අන්තර්ජාලය නොව මුළු සක්වලගල ම පීරුවත් ඒ ඡායාරූපය හමුවන්නේ නැත. නදීශා විහින් බයිට් වෙන්නේ එසේය. ඇය සරසවියේ පවුලේ හැමෝම සලකන්නේ චූටි නංගියා ලෙසට ය. ඇය සැමටම ආදරේ කරන ලෙස ඇයට ද පෙරලා සැවොම ආදරය කරන්නේය. සරසවිය මංගල්‍යය සහ නදීශා අතර බැඳීම කොතරම් දැයි කිව හොත් නදීශා තම මංගල ගමන අරඹන්නේ ද සරසවිය සම්මාන උළෙල නැවත උපදින දිනයේ දී මය. මා සිතනා පරිදි සරසවියේ පිරිසට වෙඩිමට එන්න බැරිවෙන්නට නදීශා එය ප්ලෑන් කළා වන්නට හැකිය. නමුත් සරසවියේ නඩේ හැටි පෙර අත්දැකීම්වලින් ඈ මතක තබා ගත යුතුය. දුකට කාරණය වන්නේ විවාහ මංගල්‍යයෙන් පසු නදීශා සරසවියේ නොමැති වීමයි. සරසවියේ හදවත ප්‍රියන්ත ය. සැමට ම අවශ්‍ය ජවය ශක්තිය නිරතුරුවම ලබාදෙන ප්‍රියන්ත විනෝදයට බර සාමකාමී තරුණයෙකි. (මීට වසර තිහකට පෙර ඔහු තරුණයෙකු බව මතක තබා ගන්න.) ඇතැම් දිනවල බයිසිකලය දෙල්ගොඩ අමතක කොට පයින් ම ගෙදර යන ප්‍රියන්ත ලේක්හවුසියේ හැමදෙනාගේම සුහදශීලී හිතවතෙකි. ඔහු තමන්ට පැවරෙන රාජකාරි තිතට ම කරන්නෙකි. සියලු දේටම වඩා ප්‍රියන්ත වටින්නේ ට්‍රිප් යන්නටය. හැමෝටම උපස්ථාන කරන ප්‍රියන්ත අවසානයේ හැමෝම ගෙදර ගියා දැයි සොයා බලන්නේය. සරසවියට මෙන්ම පත්තර මහගෙදරට ද අමිල මෙහෙවරක් කළ ගාමිණි අයියා ලේක්හවුසියේ පැරැණිම සේවකයකි. ලේක්හවුස් ආයතනයේ පැරණිතම සේවකයා ඔහු වන්නට ද ඉඩ තිබේ. ඕනෑම වෙද අකුරක්, කුරුටු බලියක් වේගයෙන් අකුරු අමුණා පිළිවෙලකට සකසන ගාමිණි අයියාට කිසි දිනක තරහ ගොස් සිටිනු මා දැක නැත. ගුණදාස කපුගේ ගේ හැඩ ස්වරූපය ගත් ගාමිණි අයියා මා දැක ඇති කිසිදු ප්‍රහ්නයක් නැති එකම මිනිසාය. ඔහු සෑම තත්පරයම ගතකරන්නේ ප්‍රීතිමත්ව ය. රාජකාරිය ඔහුට දේවකාරියකි. ගාමිණි අයියාට පුදුම තරම් හැකියාවක් ඇත. ඔහු ඕනෑම ලිපියකට අවශ්‍ය පරිදි භාෂාව වෙනස් කරමින් අනවශ්‍ය දේ ඉවත් කරමින් කොපියෙහි අකුරු අමුණනු ලබයි. හරේ හරේ මල්ලි නියමයි. ගාමිණි අයියා ඕනෑම දේකට කියන්නේ එසේය. ඔහු ජවසම්පන්න සදාකාලික තරුණයෙකි. සරසවියේ අන්දරේ මාලන් කරුණාරත්න ය. ඇත්තට කිව්වත්, බොරුවට කිව්වත් ඔහු කියන සෑම වචනයක් ම හිනා උපද්දන සුළුය. කලක සිට සරසවිය පුවත්පතේ ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරන හෙතෙම සියලු දෙනාටම හිතවත් අයියා කෙනෙකි. ඔහු නිතර කියන්නේ ෆොරින් කරන්සීස් ගැනය. ඒත් කොල්ලෝ කියන්නේ මාලන් පැලවන බොරු කියන්නෙකු බවය. කෙසේ වෙතත් ඔහු සරසවියට නිරතුරුවම ජීවය එක්කරන්නෙකි. ඔහුගේ තෙවෙනි ඇස නිරතුරුවම සරසවිය සරසයි. එමෙන්ම මාලා අපට හොඳ මිත්‍රයෙකි. සරසවිය පවුල ගැන එසේ කතා කරද්දී සරසවියට ජීවය දී පත්තර මහගෙදරින් සමුගත් ආදරණීයයන් කිහිපදෙනෙකු නිරතුරුව මතකයට නැගේ. ටෙනිසන් එදිරිසිංහ, අසංක දේවමිත්‍ර පෙරේරා, චන්දු ලියනාරච්චි, සංජීව සම්පත් බාලසූරිය ලබාදුන්න අපරිමිත ලෙන්ගතුකම අප සියලුදෙනාගේ ආදරයට පාත්‍ර විය යුතුය. මේවන විට සරසවියේ නැතත් කළක් නියෝජ්‍ය කර්තෘධුරය දැරූ තිස්ස ධම්මිකද මේ මොහොතේ සිහිපත් කළ යුතුය. එමෙන්ම අවාරයට පැමිණෙන අමානි ඉරේෂිකා සහ ෂෙනාල් ජයසේකර සරසවියට ශක්තියක්ය.
|