වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




යළිඳු ඒ සොඳුරු චමත්කාරය විඳිනට අපි බලා සිටිමු

යළිඳු ඒ සොඳුරු චමත්කාරය විඳිනට අපි බලා සිටිමු

නැවත ඇරඹීම පුදුම සතුටක්

සිරිල් වික්‍රමගේ

සරසවිය සම්මානයෙන් තමයි අපි දිරිමත් වුණේ. ඒ වගේම මේක සිනමාවට මහා කලා මංගල්‍යයක්. හරියට ඉන්දියාවට ෆිල්ම් ෆෙයාර් වගේ. පුදුමාකාර සතුටක් තියෙන්නේ සිනමා උලෙළ නැවත ආරම්භ කිරීම පිළිබඳව. ආයෙත් නවත් වන්නේ නැතුව චිරාත් කාලයක් සරසවිය සම්මාන උලෙළ පවත්වන්නට හැකි වේවා යැයි පතනවා.

ලක්ෂ්මි හා සරස්වතිය වැඩසිටීම මේ උලෙළේ විශේෂත්වයයි

සතිස්චන්ද්‍ර එදිරිසිංහ

ශ්‍රී ලංකාවේ සිනමා උලෙළවල් කොපමණ තිබුණ ද කලාකරුවන් වන අපට සරසවිය සම්මාන උලෙළ සුවිශේෂ වෙයි. ඒ වසර අටකට පසුව සරසවිය සම්මාන උලෙළ පැවැත්වීම ය. එමෙන්ම මේ සරසවිය සම්මාන උලෙළේ ඇති වැදගත්කම තවත් කිහිප අංශයකින් ම අපට හැඟේ. එනම්, සරසවිය කියන්නේ සරස්වතී දෙවඟනටයි. අනෙක් උලෙළවල්වලින් මේ සම්මාන උලෙළ වෙනස් වන්නේ අනෙක් සම්මාන උලෙළවල ප්‍රධාන කර ගන්නේ ලක්ෂ්මී දෙවඟනයි. නමුත් මේ සරසවිය සම්මාන උලෙළේ දී සරස්වතිය හා ලක්ෂ්මී යන දෙවඟනන් දෙදෙනා ම වැඩ සිටීම මෙහි තිබෙන සුවිශේෂත්වයයි. මා සරසවිය විශිෂ්ට කුසලතා සම්මානයකින් පිදුම් ලබන්නේ ගාමිණි ෆොන්සේකාගේ ‘කොටි වලිගය’ චිත්‍රපටයේ කළ භික්ෂුවගේ චරිතය සඳහායි. තත්පර අනූවකදී වචන හතරක් කියන ඒ චරිතය සඳහා මගේ රංගනය අගය කරමින් ලැබුණු ඒ සම්මානය මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂයක්.

මෙය අත්‍යවශ්‍යයි

ඩග්ලස් රණසිංහ

සරසවිය සම්මාන උලෙළ පැවැත් වෙන්නේ බොහොම කාලෙකින්. චිත්‍රපට ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා මෙය අත්‍යවශ්‍ය දෙයක්. උලෙළ නොපැවැත්වීමෙන් සිදු වූ පාඩුව පිරිමැසිය නොහැකියි. අනාගතයේ සිනමාවේ අභිවෘද්ධිය උදෙසා මෙම උලෙළ දිගටම පැවැත්වේවි යැයි මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලු සම්මාන සාධාරණව බෙදී යාවි කියලත් මම හිතනවා. මේ වෙලාවේ මම හොඳ යෝජනාවක් කරනවා ඒ අලුත් සම්මාන කීපයක් උලෙළට ගෙන එන්න යනුවෙන්.

ප්‍රමිතිය සරසවියයි

හේමසිරි ලියනගේ

සරසවිය සම්මාන උලෙළ තමයි සිනමාව අගයන්න තියෙන ප්‍රමිතිකරණයට ලක් වූ එකම උලෙළ. ඉස්සර බොහෝ සිනමාකරුවන්ගේ කුසලතාවය මැන්නේ සරසවිය සම්මාන උලෙළෙන්. කොපමණ වෙනත් සම්මාන උලෙළවල් තිබුණත් සරසවිය සිනමා උලෙළ තරමට ඒ ගුණාත්මකභාවයට එන්න ඒවාට බැරි වුණා. මෙවර පැවැත්වෙන සරසවිය සම්මාන උලෙළට මං ඉත සිතින් සුබ පතනවා.

වෙනමම ඇඳුමකුත්  මැහැව්වා

ක්ලීටස් මෙන්ඩිස්

මගේ අප්පේ අහන්නත් සතුටයි සරසවිය සම්මාන උළෙල ආයෙත් තියෙන එක ගැන. සරසවිය සම්මාන උලෙළ පවත්වන තුරු අපි ඉතාම ආසාවෙන් බලාගෙන හිටියා. ඒකටම වෙනමම ඇඳුමකුත් මැහැව්වා. ආයේ ඉතින් වෙන මොකක්ද, මේක තමයි අපිව අගයපු ඉහළම සම්මන උලෙළ. සරසවියට ජයවේවා.

සරසවිය සම්මානය අමිල වස්තුවක්

එඩ්නා සුගතපාල

කලාකරුවකුට හා කලාකාරිනියකට අනෙක් ආයතනවලින් පවත්වා ලබාදෙන සම්මානයකට වඩා සරසවිය සම්මානය බොහෝ වැදගත් සම්මානයකි. ඒ සම්මානයට හිමිකම් කීම මා සලකන්නේ සරසවිය මෑණියන්ගෙන් අප සැමට ලැබෙන ප්‍රතිභාවක් විදියටයි. විශේෂයෙන් ම සරසවිය දේවියගෙන් ලැබෙන ඒ ගෞරවය ලැබිය හැක්කේ කලාකරුවකුට පමණයි. ඒ නිසා සරසවිය සම්මානය අමිල වස්තුවක් ලෙසයි මා දකින්නේ.

සිනමා ක්ෂේත්‍රයේ නව පිබිදීමක්

සනෝජා බිබිලේ

වසර අටකට පසු සරසවිය සම්මාන උලෙළක් පැවැත්වීම රංගන ශිල්පිනියක, නිෂ්පාදිකාවක ලෙසින් මට විශාල සතුටක් වුණා. 1964 වසරේ ආරම්භයේ පටන් මේ දක්වාම අපේ රටේ ජනප්‍රියම මෙන්ම අභිමානවත්ම සිනමා සම්මාන උලෙළ වන්නේ, සරසවිය සම්මාන උලෙළයි. කාලයක එහි අසිරිය විඳ ගැනීමට නොහැකි වීම ගැන හිතේ තිබුණේ කනගාටුවක්. නැවතත් සරසවිය සම්මාන උලෙළ ආරම්භ කිරීම සිනමා ක්ෂේත්‍රයේ නව පිබීදීමක් මෙන්ම දිරිමත් කිරීමක්.

සරසවිය සම්මාන උලෙළ පැවැත්වීම සතුªටට කරුණක්

කුමාර තිරිමාදුර

මා කුඩා කාලයේ පටන් ම මා සිනමාව බෙහෙවින් ආදරය කළා. ඒ කාලයේ සරසවිය සම්මාන උලෙළට සහභාගි වීමට මට නොහැකි වුණත් එහි අසිරිය මට දැනුණා. ඒ තරමට ම සරසවිය සම්මානය කලාකරුවන්ට තමන්ගේ ජීවිතයේ ලැබෙන උසස් ම සම්මානයයි. එවැනි වටිනාකමකින් යුක්ත මේ සම්මාන උලෙළ කලකට පසුව හෝ යළිත් වරක් පැවැත් වීම වැදගත් කාරණයක් ලෙසයි මා දකින්නේ. මා රංගන ශිල්පියකු වූ කාලවකවානුවේ සරසවිය සම්මාන උලෙළ නොපැවැත්වුවත්, එය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් මා සතුටට පත්වෙනවා. මා එසේ පැවසුවේ ඉදිරි සිනමාවේ සුබ සිහින දකින්නට අපට හැකියාව ලැබෙනු ඇතැයි යන විශ්වාසයක් අපේ සිතේ ලියමින් තිබීමය. කිසිඳු දේශපාලනයකින් තොරව සාධාරණව පැවැත්වුණු සරසවිය සම්මාන උලෙළ ඉදිරියේදිත් අඛණ්ඩව පවත්වා ගෙන යෑමයි සිදුවිය යුත්තේ.

දැන් ඒ දුක ඉවරයි

ටෙඩී විද්‍යාලංකාර

මේක තමයි අපිට නියම වටිනාකමක් දෙන එකම උලෙළ. පසුගිය අට වසර තුළ සම්මාන උලෙළ නොපැවැත්විම සිනමා කර්මාන්තයේ නියැළී ඉන්න අපට කළ දැඩි පාඩුවක්. අප කොහොම හරි මේ වසර අට තුළ බොහොමයක් කනගාටුවෙන් හිටියා. දැන් ඒ දුක ඉවරයි. එහෙම කිව්වේ නැවතත් සරසවිය සිනමා උලෙළ පවත්වන නිසා.

ලොව කොතැන ගියත් අගෙයි

සරත් කොතලාවල

පසුගිය වසර අට තුළ සරසවිය සිනමා උලෙළ නොපැවැත්වීම අපේ සිනමා ක්ෂේත්‍රයට තදින්ම බලපෑවා. අපව අගයන්න නිසි සම්මාන උලෙළක් තිබුණේ නැහැ. ලෝකේ කොයි රටකට ගියත් සරසවිය සම්මානයක වටිනාකම අඩු වෙන්නේ නැහැ. මෙවරත් පෙර සේම ඉතාමත් සාධාරණව සිනමා සම්මාන බෙදී යාවි යැයි මං බලාපොරොත්තු වෙනවා.

මේ සම්මාන උලෙළ කලාකරුවන්ගේ මංගල්‍යයක්

බිමල් ජයකොඩි

සම්මාන උලෙළක් කියන්නේ කලාවේ නියැළිලා සිටින අයගේ මංගල්‍යයක්. එවැනි උලෙළක් පැවැත්වීමෙන් අප බලාපොරොත්තු වන්නේ ඊට ගුණාත්මක හැඩයක් ලබාදීමයි. එවැනි ගුණාත්මක බවකින් පැවැත්වුණු සම්මාන උලෙළකට නිර්දේශ වීමත් ඇගයීමට පාත්‍රවීමක්. සරසවිය සම්මාන උලෙළ කියන්නේ එවැනි ප්‍රවිශ්ටයක් තිබුණු උලෙළක් ලෙසයි මා දකින්නේ. එය නැවත පැවැත්වීම කලාකරුවකු ලෙස මට ගෙනෙන්නේ සතුටක්. ඒ වගේ ම ගුණාත්මක බවකින් යුතුව දිගින් දිගට ම පවත්වාගෙන යෑමයි සිදුවිය යුත්තේ.

සරසවිය සිනමාවට සවියක්

රොෂාන් පිලපිටිය

වසර කිහිපයක නිහැඬියාවකින් පසු සරසවිය සම්මාන උලෙළ පැවැත්වීම කලාකරුවන්ට සුභදායි ආරංචියක් වුණා. කලාව වෙනුවෙන් අපේ රටේ තිබෙන එකම පුවත්පත සරසවිය පුවත්පතයි. සරසවිය පුවත්පත විසින් සිනමාව වෙනුවෙන් සරසවිය සම්මාන උලෙළක් පවත්වා ශිල්පීන් ඇගයීම විශාල සවියක්. සරසවිය සම්මානය කියන්නේ කලාකරුවකුගේ සිහිනයක්. එවැනි සම්මාන උලෙළක් පැවැත්වීම පිළිබඳ සරසවියට මාගේ ස්තූතිය.

සරසවිය සම්මාන උලෙළ සිනමාවේ හෙට දවසයි

මංජුලා කුමාරි

සම්මාන උලෙළක් මඟින් කලාකරුවන් ඇගයීම ඔවුන්ගේ ඉදිරි නිර්මාණ කටයුතුවලට කෙරෙන්නා වූ සුවිශාල දිරිමත් කිරීමක්. අපේ රටේ එකම ජාතික කලා පුවත්පත ලෙසින් සරසවිය එය වගකීමක් කර ගනිමින් සරසවිය සම්මාන උලෙළ පැවැත්වීම සතුටට කරුණක්. ඒ ඔස්සේ ලැබෙන දිරිමත් කිරීම සිංහල සිනමාවේ අභිවෘද්ධියට රුකුලක්. සිනමාවේ හෙට දවස වෙනුවෙන් සරසවිය සම්මාන උලෙළ ඉදිරියටත් නොකඩවා පවත්වන්නට මගේ සුබ පැතුම්.

සිනමාවට අලුත් බලාපොරොත්තුවක්

ගයාන් වික්‍රමතිලක

සරසවිය සම්මාන උලෙළ අපේ සිනමාව වෙනුවෙන් වූ අභිමානවත් සම්මාන උලෙළ ලෙසින් විශේෂ වෙනවා. පසුගිය කාලයේ සරසවිය සම්මාන උලෙළ නොපැවැත්වීමෙන් සිනමා ක්ෂේත්‍රයට සිදු වුණේ විශාල පාඩුවක්. දැන් නැවතත් සිනමාව ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා. ඒ සරසවිය සම්මාන උලෙළ නිසා. සුදුස්සාට හිමි සම්මාන ලබා සාර්ථක ලෙස මෙවර සරසවිය සම්මාන උලෙළ පවත්වන්නට හැකිවේවායි පතමි.

මං ඒ කලේ හිටියා නම්

නිරෝෂා පෙරේරා

සරසවිය සිනමා කර්මාන්තයට සවියක්. ඒ ගැන ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනැ නැහැනෙ. සරසවිය සම්මාන උලෙළට කියලා වෙනමම වූ අනන්‍යතාවයක් තියෙනවා. ඒක මහා කලා මංගල්‍යයක්. ඉස්සර සරසවිය සම්මාන උලෙළවල් ගැන මම අසා තිබෙනවා. එතකොට හිතෙනවා මං ඒ කාලේ හිටියා නම් කියලා.