වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ යෝධ සෙවණැල්ලේ ඇසුර ලැබුණේ දෑස නිසා

ඒ යෝධ සෙවණැල්ලේ ඇසුර ලැබුණේ දෑස නිසා

රවීන්ද්‍ර රන්දෙණිය

සිනමා අඹර එකලු කළ පුරසඳ බැස ගොස්ය. ඒ වටා දිලුණු නෙක තරු මලානික එළි මැද කුමක් කරන්දෝයි සිතමින් ඔහේ බලා හිඳී. පුරසඳ බැස ගිය බව අදහන්න කිසිවෙකුත් සූදානම් නැත. ඔහු අපට අමරණීයය. එබැවින් ඒ නික්ම යාම පිළිගන්නට හෘද සාක්ෂිය සුදානම් නැත. එහෙත් අප යථාර්ථයට මුහුණ දිය යුතුය. ඉපදීම සේම මරණය ද නියතය. වෙනස් කළ නොහැකි ලෝක ධර්මතාවය එයය.

පුන්සඳ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. අනූ නව වසරක දීර්ඝායුෂ විඳිමින් සිට පසුගිය දිනක සන්ධ්‍යා කාලයේ ලොවක් වසඟ කළ සිය තෙවැනි ඇසට දුන් ජීවය සඟවා ගත්තේය. සත්‍යය ඇදහිය යුතු වුවත්, එය සත්‍යයක් දැයි සිතන්නට මට සිතක් නැත. දශක ගණනාවක මිහිරි මතකයන් හදවත පහුරු ගාමින් සිනමා සිත්තම් මවයි. කැඩුණු බිඳුණු, සීරුණු හදවතින් නැඟී එන්නේ දුකක් ද, කනගාටුවක් ද, වේදනාවක් ද, පාළුවක් ද, තනිකමක් ද, බියක් ද, අසරණකමක් ද යැයි පැහැදිලිව විග්‍රහ කිරීමට මට දැනෙන්නේ ද නැත. එහෙත් මේ සියල්ල සම්මිශ්‍රණය වූ ඉකි ගසන හද තුළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නාමය සදා නොමැකෙන අයුරින් සනිටුහන්ව ඇති බව පමණක් දනිමි.

මේ දැවැන්ත සෙවණේ සිසිලස කෙතරම්දැයි වඩ වඩාත් දැනෙනුයේ දැන්ය. රවීන්ද්‍ර රන්දෙණිය නම් මා සිනමාවේ පැල පදියම් වූ මුල් යුගයේම හමු වූ මේ සෙවණ මට මහ මෙරකි. එකල මෙම විෂයට ආධුනිකයකු වූ මට ඔහුගේ හමුව මට ලැබුණු සුවිශාලම ධන නිධානය විය. ආචාර්ය පීරිස් මුල්වරට මට හමු වූ දිනය මතක් වන විට අද ද එදා මා විඳි ප්‍රහර්ෂයෙන් ගත කිලිපොළා යන්නේය.

ආධුනිකයකු ලෙස ධම්ම ජාගොඩ රංග ශිල්ප ශාලිකාවේ නාට්‍ය කලාව හදාරමින් සිට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ මුහුදු පුත්තු නාට්‍යය පෙන් වූ දා මේ අසිරිමත් මිනිසා මුලින්ම නෙත ගැටිණ. ඒ හමුවට පෙර සිනමාව පිළිබඳ උපන් ප්‍රේමයකින් පසු වූ තරුණයකු ලෙස මෙරට සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ලෙසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පිළිබඳ වූ ගෞරව සම්ප්‍රයුක්ත හැඟීම අති විශාල විය. අමුතු ආකාරයේ ඉදිරිපත් කිරිමකින් යුක්ත වූ මූදු පුත්තු නාට්‍යය බලන්නට ඔහු පැමිණ සිටියා මට මතකය. නාට්‍යය අවසානයේ වේදිකාව පසුපසට පැමිණ අපට සුබපැතූ ආකාරයත් එදා මෙන්ම මතකය. ඒ සුබ පැතුම මාගේ ජීවිතයේ මා දිනාගත් බොහෝ දේ පසුපස වූ සුබ පණිවිඩය විය. අද ජීවතුන් අතර නොසිටියත් පෙරදා මෙන්ම ඔහුගේ කාරුණික සුබපැතුම හෙටත්, මතු දිනත් මා ජීවත්වන තුරුත් ලැබෙන බව නිසැකය.

මා වැනි ආධුනිකයෙකු ඔහු හඳුනා ගනු ලබන්නේ ඔහු මෙරට පමණක් නොව ජාත්‍යන්තරය ද දිනා ආ දැවැන්තයෙකු වීමෙන් පසුවය. නවදිල්ලි අන්තර් ජාතික චිත්‍රපට උලෙළින් ගම්පෙරළියට ලද රණමයුර සම්මානය ද ඒ වන විටත් ඔහු හිමි කරගෙන සිටියේය. එවන් අභිමානවත් පුද්ගලයෙකු හමුවේ මා කවරෙක්දැයි ඒ කාලයේ නොයෙක් විට මට සිතිණි. ඉන්දියාව සිය නවදිල්ලි සිනමා උලෙළට ජාත්‍යන්තර ප්‍රමිතිය ලබා දුන් පළමු අවස්ථාවේදීම හොඳම චිත්‍රපටයට හිමි සම්මානය පිරිනැමුණු මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට වැදගත් වූ තරමටම එය ඉන්දියාවට ද ඊටත් වැඩියෙන් වැදගත් වී තිබිණි. එම සම්මානය සඳහා එකල ඉන්දියාවෙන් නීත්‍යානුකුලව පිටරටකට ගෙන යා හැකි වැඩිම රත්තරන් ප්‍රමාණය යොදා සකසන ලද්දක් බව මම අසා ඇත්තෙමි. එවන් සම්මානයක ගෞරවනීයත්වය ලාංකේය සිනමාවට තිළිණ කළ සේම කාගෙත් කතාබහට ලක් වූ රේඛාව, ගම්පෙරළිය, දෙලොවක් අතර, රන්සළු, නිධානය වැනි චිත්‍රපට ද මෙරට සිනමාවට දායක කළ ඔහු වැන්නකු හඳුනා ගැනීම එක අතකින් මට මහා ප්‍රාතිහාර්යයකි. සිනමා නළුවෙකු වශයෙන් ‘කළු දිය දහර’, ‘තරංගා’ වැනි චිත්‍රපටයන්හි රඟපෑමෙන් අනතුරුව මගේ සිනමා ජීවිතයේ විස්මය දනවන පුද්ගලයෙකු ලෙසින් මා සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයකට සම්බන්ධ වීමට මුල්වරට ලැබුණු අවස්ථාව නිසා මම ප්‍රීති ප්‍රමෝදයට පත් වී සිටියෙමි. ඔහුගේ ‘දෑස නිසා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මා විය. විටෙක මට එය අදහා ගැනීමට ද නෙැහැකි තරම් කාරණයක් විය. මගේ වාසනාවට මා ඔහු අසලට තල්ලු කළා වන්නට ද පුළුවන. මේ තෝරා ගැනීම කුමක් නිසා සිදු වූුවක්දැයි එක එල්ලේම මට සිතාගත නොහැකිය. සමහර විට මගේ මුල්ම හමුවීම ඔහුට මතක තිබුණා වන්නට ද ඇත. එසේත් නොමැති නම් එවකට මා රංගනයට එක් වු චිත්‍රපටයන් හි සමීපව වැඩ කළ ජෝ අබේවික්‍රමයන් මා පිළිබඳ සඳහනක් ඔහුට කරන්නට ඇත. කෙසේ නමුත් ඔහු සෙවණට යාමේ මුල්ම අවස්ථාව මට ‘දෑස නිසා’ චිත්‍රපටයෙන් හිමි විය.

එවකට සිනමාවට පිවිසෙන හා පිවිස සිටි බොහෝ දෙනකුගේ ප්‍රාර්ථනය වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයකට සම්බන්ධවීමය. ඒ දුලබ අවස්ථාව මට හිමිවත්දී මගේ සිනමා ජීවිතයට හිමි වටිනාම සහතිකය මට ලැබුණා වැනි හැඟීමක් ඇති විය.

චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් යටතේ වැඩ කර තිබූ මට ආචාර්ය පීරිස්ගේ දර්ශන තලය අති විශාල ගුරු ගෙදරක් විය. නිහඬ දර්ශන තලයක නිහඬ විධානයන්ගෙන් සියලුම නළු නිළියන්ගෙන් උපරිමය උකහා ගන්නා ඔහු දෙස මම පුදුමයෙන් බලා සිටියෙමි. ‘දෑස නිසා’ දර්ශන තලය වූ ඇහැටු වැව ප්‍රදේශයට මා ගියේ මට නියමිත දිනට සතියකට පෙරය. සිනමාවේ වැඩි අත්දැකීම් ලබා නොතිබූ මට ආචාර්ය පීරිස් වැඩ කරනුයේ කෙබඳු ආකාරයකටදැයි හඳුනාගැනීම ඒ ගමනේ බලාපොරොත්තුව විය. ඒ ගමන මගේ ජීවිත ඉරණම්කාරිය මුණ ගැසෙන ගමනක් වේ යැයි එදා මට සිතුණේ නැත. වේලාසන දර්ශන තලයට යාම නිසා එහිදී මට පළමුවරට ප්‍රීති මුණ ගැසිණි. ආචාර්ය පීරිස් මිය යාමට ආසන්න කාලයේදීත් ‘ඔයාගේ විවාහය කර දුන්නේත් මමනේ’ කියමින් මෑතකදී ද ප්‍රීතිට අතීතය මතක් කර දී තිබුණි.

‘දැස නිසා’ දර්ශන තලයට මා ගියේ හිතේ සැඟවුණු අනියත බියකින් හා චකිතයකින් යුතුවය. ආචාර්ය ලෙස්ටර් වැනි දැවැන්තයකුගේ දර්ශන තලය කෙබඳ වේදැයි යන්න පිළිබඳ චිත්‍රයක් හෝ සිතා ගැනීමට මට නොහැකි විය. එහෙත් දර්ශන තලයට ගිය විට මට දැනුණේ මින් පෙර නොවිඳි සාමයික, සහජීවනය සපිරි නිසංසල දර්ශන තලයකි. එහි නියමුවා ඉතාම පිළිවෙළට හැඳ පැලඳ ඕවර් කෝටයක් හා කැප් එකක් ද පැලඳ සන්සුන්ව නිහඬව සියකාර්ය භාරය ඉටු කරමින් සිටියේය. අනවශ්‍ය කෑ කෝ ගැසීම් හෝ දැඟලිලි කිසිවක් නොවීය. නළුවෙකුට හෝ නිළියකට යම් උපදෙසක් දීමට අවශ්‍ය වූ විට ඔහු ඉතාමත් සන්සුන්ව පැමිණ අවශ්‍ය උපදෙස ලබා දුන්නේය. ලෙස්ටර් මහතා දර්ශන තලයේ සිටින විට සියලු දෙනාට දැනෙන ගෞරවයක්, සංයමයක් තමන් තුළ ඉබේම ඇතිවන ස්වයං විනයක් වැන්නක් ඇතිවන බවට මට දැනෙන්නට විය. ඒ ස්වයං විනයට අපි සියලු දෙනාම ගැති වූයේ ඉබේටමය. ඒ සංවරශීලී බව ඔහුගේ දර්ශන තලයේ තිබිය යුතුයි කියා ඔහු කෙදිනකවත් අපට කියා හෝ විධානය කර හෝ නොතිබුණි. ලෙස්ටර් නමැති මහා සිනමාවේදියා හමුවේ මේ සියල්ල ඉබේ සිදු වූයේ හරියට අදෘශ්‍යමාන බලවේගයකින් අප මෙහෙය වන්නාක් මෙනි.

දෑස නිසාට පසු මා ඔහුගේ ‘ගෝඩ්කිං, වීර පුරන් අප්පු, වෑකන්ද වලව්ව‘ යන සිනමා නිර්මාණ ත්‍රිත්වයකටම දායකත්වය සැපයුවේය. මේ කිසිදු අවස්ථාවක කිසිම ශිල්පියෙකුට හයියෙන් කෑගසා විධානයක් දෙනු මා නම් කිසිදාක දැක නැත. එසේම නළුවෙකුට හෝ නිළියකට තමන්ට අවශ්‍ය රංගනය මේ යැයි කියමින් රඟපා පෙන්වන අවස්ථා ද කෙදිනකවත් දැක නොමැත. ඔහු බොහෝ විට චිත්‍රපට දර්ශන ගත කිරීමේදී රියසල් බලන්නේ ද කැමරාවෙනි. එහි යම් කිසි අඩුපාඩුවක් හෝ වෙනස් විය යුතු දෙයක් වේ නම් වහා කැමරාවෙන් මෑත් වී අදාළ පුද්ගලයා ළඟට පැමිණ ‘මේ අවස්ථාව තව පොඩ්ඩක් මේ විදියට වෙනස් වුණොත් හොඳයි’ යැයි කියන්නේ ඉතා සෙමිනි. සුසිනිඳු සමනළ පියාපතක් සියුම් ලෙස පිරිමදින්නාක් මෙන් මෘදු පිරිමැදීමකින් රංගනයේ උපරිමය ලබාගැනීමට දත් ඔහු තරම් දක්ෂයෙකු ඇතැයි අද ද විශ්වාස කළ නොහැකියි.

ලෙස්ටර් යනු ආදරය, කරුණාව, දයාවෙහි ප්‍රතිමූර්තියකි. ඔහු ඔහුත් සමග වැඩ කළ ශිල්පීන්ට බෙහෙවින් ආදරය කළේය. එතැනදී ප්‍රවීණ ද ආධුනික ද කියා බේදයක් ඔහුට කිසි දිනක තිබුණේ නැත. එක චිත්‍රපටයක කුඩා කොටසක් රඟපෑව ද ඔහුට ඔවුන් ඔහුගේ පවුලේ අයෙකි. එසේම තමන් සමඟ වැඩ නොකළ ද ඔහු සදා ආදරය කළ සිනමාව වෙනුවෙන් වැඩ කරන එහි ප්‍රගමනය උදෙසා කටයුතු කරන කිසියම් ශිල්පියෙක් වීද ඒ සියලු දෙනාට ද ඔහු ආදරය කළේය.

වීර පුරන් අප්පු දර්ශන තලය මට මේ මොහොතේ මතකයට නැඟේ. කණ්ඩායම් දෙකක් වට කොට වෙඩි තියන දර්ශනය රූ ගන්වන්න සියල්ල සූදානම්ය. ඒ සඳහා නියමිත පරිදි මගේ දෑත් ද බැඳ දමා අවසානය. ලෙස්ටර් මහතා හෙමිහිට මා අසලට ඇවිදගෙන ආවේය. රවී . . .ඛ්ඩඥජඬ ඡ්මඥපර ට්භද යැයි පවසමින් සියල්ල නැවත වතාවක් පරීක්ෂා කරන මෙන් මගෙන් ඉල්ලා සිටියේය. අතපසුවීමකින් හෝ වැරදීමක් සිදු වෙතැයි යන බිය මෙන්ම තම ශිල්පියා කෙරෙහි ඔහු තුළ උපන් අසීමිත ආදරය කෙබඳුදැයි මට එදින පසක් විය.මෙය මා ලද අත්දැකීමක් වූවා සේම ඔහුත් සමඟ වැඩ කළ සෑම ශිල්පියකු මෙන්ම ශිල්පිණියකුගෙන්ම ඇසුවහොත් ඊට උදාහරණ ඕනෑතරම් ඔවුන්ට ද ඇතිවග මා දනිමි.

ආචාර්ය ලෙස්ටර්ගේ චිත්‍රපට අතුරින් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු නොවුණු චිත්‍රපටයක් වූ ‘ගෝඩ් කිං’ මගේ මතකය තුළ අමරණීය සලකුණකි. එතෙක් මෙතෙක් මෙරට නිපද වූ දැවැන්තම සිනමා නිර්මාණය එයයි. සීගිරි කාශ්‍යප කතාව ඇසුරින් නිර්මාණය වූ ‘ගෝඩ් කිං’ රූගත වුයේ 1972 - 73 කලා වකවානුවේය. මෙම චිත්‍රපටය නිෂ්පාදන සම්බන්ධිකරණයට මූලික වූයේ මනික් සන්ද්‍රසාගරය. ඩොලර් මිලියනයක් වියදම් කිරීමට ඒ සඳහා නිෂ්පාදකවරයකු කැමති විය. මේ සඳහා අති දැවැන්ත පසුතල ඉදි විය. මේක් අප්වලට පමණක් දෙසීයකට ආසන්න පිරිසක් සහභාගි විය. ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා ඩේවිඩ් ලීන්ගේ සහාය අධ්‍යක්ෂවරයාය. ඔහු වැඩ කළේ ද ආචාර්ය ලෙස්ටර් යටතේය. මේ සියල්ල එකතු කරගෙන අති දැවැන්ත චිත්‍රපට මෙහෙයුමේ නායකත්වය ගත් ලෙස්ටර් මහතා ඒ වෙනුවෙන් අනුගමනය කළේ ද අර පෙර පුරුදු සුපුරුදු නිහඬභාවයමය.

ආචාර්ය ලෙස්ටර් පීරීස් සමඟ මා අවසන් වරට චිත්‍රපටයකට දායක වූයේ ඔහුගේ අවසාන සිනමා සිත්තම වූ ‘වෑකන්ද වලව්ව’ටය. වීර පුරන් අප්පු කිරීමෙන් වසර 15 ටත් වැඩි කාලයක් ගත කිරීමෙන් පසුවයි නැවතත් ඔහු සමඟ වැඩ කරන්නට එක් වූයේ. ඒ වන විට ලෙස්ටර් මහතාගේ වයස අවුරුදු 80 ද ඉක්මවා ගොස් තිබිණි. එහෙත් ඔහුගේ මතකය, අධ්‍යක්ෂණ කාර්යයේ ස්වභාවය, සංයමය, ආදරය, කරුණාව ඇතුළු සියලු ගුණාංග පෙර පරිදිම විය. වියපත්වීමත් සමඟ සිදුවන වෙනස්කමක් හී මට හඳුනාගත නොහැකි විය. දර්ශන වාර අතරතුර සෑම මිනිත්තු 10 - 15 අතරතුරම ඔහු නඟන හාස්‍යය ද එසේම විය. ලෙස්ටර් මහතා දර්ශන තලයේදී සියුම් ලෙස හාස්‍යය උපදවන්නට රුසියෙකි. අප නොදකින එදිනෙදා ජීවිතයේ සිදුවීම් තුළ ඇති හාස්‍යය ඉළ ඇදෙන හිනා මැවීමට සමත් අයුරින් ඉදිරිපත් කිරීමේ හැකියාව ඔහු සතු විය. මේ සියල්ල අතරතුර නිර්මාණයට අබමල් රේණුවකින් හෝ අවැඩක් නොවන අයුරින් රැක බලා ගැනීමේ වගකීම ඔහු කිසි දිනක අතපසු නොකළේය. කිසියම් දර්ශනයකට යම් කුඩා අඩුපාඩුවක් තිබුණොත් ‘හා ඒකට කමක් නෑ, අපි මොනව හරි කරමු’ කියා රූගත කිරීම් කරන්නේ නැත. කෙසේ හෝ ඒ අවශ්‍ය දේ අවශ්‍ය පරිදි තබා මිස ඔහු අනිත් දර්ශනය රූ ගන්වන්නේ නැත. ඒ අවශ්‍ය දේ අවශ්‍ය පරිදි ලබා ගැනීම් තුළ ද කිසිදු විධානයක් නොමැත. මෘදු, නම්‍යශීලී ප්‍රතිපත්තිය තුළ ඒ සියල්ල ඉටු වෙනු ඇත.

වෑකන්ද වලව්ව රූගත කිරීමේදී එක්තරා දර්ශනයක් ඉහළ ස්ථානයක කැමරාව රඳවා දර්ශන ගත කිරීමට අවශ්‍ය විය. කැමරා ශිල්පී කේ.ඒ.ධර්මසේනයන් මේස පුුටු ලෑලි එක් කොට අට්ටාලයක් නිර්මාණය කර ඒ මත කැමරාව රඳවා අදාල දර්ශනයට සූදානම් විය. වෙලාව මට මතක ආකාරයට පාන්දර 1 හෝ දෙක විය යුතුය. සියල්ල සූදානම් බව කේ.ඒ.ධර්මසේන කියා සිටියේ ලෙස්ටර් මහතා එම අට්ටාලයට නැඟ කැමරාවට ඇස තබා බැලීමට සූදානම් වේ යැයි යන අනියත බිය ද ඇතිව විය හැකිය. කේ.ඒ.ධර්මසේන සිතූ පරිදිම ලෙස්ටර් පාන්දර 2 ට මේ අට්ටාලයට ගොඩ වී කැමරාවට ඇස තබා ධ්බ’ඵ ධඬ ධර්මේ යැයි කීවේය. තම නිර්මාණයට තමන්ගෙන් විය හැකි අසාධාරණයක් වළකාලන්නට ඔහු දැක් වූ කැපවීම කෙබඳුදයි දැක මා විශ්මයට පත් වූයේය. ඔහු 1965 සිට 2011 දක්වාම නිර්මාණකරණයේ යෙදුණේය. ධ්’ථ ඊඪපඥඤ යන වදන මේ කිසි දිනක මම ඔහුගෙන් අසා නොමැත.

එවන් අසිරිමත් මිනිසෙකුගේ සමුගැන්ම තුළ අඳුර රජයන හදවතක් හිමිව කිසිවක් සිතා ගැනීමට නොහැකිව අද ලතවෙමි. සිනමාව නැමැති අහසේ හිරු රජු නික්ම ගොස්ය. ඒ වටා වූ සියලු ආකාශ වස්තූන් ද හිරු රජු නොමැතිව සිය එළිය සඟවා ගෙන ඔහේ බලා සිටී යැයි මට හැඟේ. අඳුර තුළ රජ කළ රිදී තිරයට පෙම් බැඳි ඔහු, සුරලොව සිටත් ආදරයෙන් අප තුරුලුකොට ගනු ඇතැයි බලා සිටින්නෙමි.