වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




අගාධ සාගරයේ ඈත දියේ ධීවරයෝ

අගාධ සාගරයේ ඈත දියේ ධීවරයෝ

1964 අප්‍රේල් 10 වන දින මුහුදු කරයෙන් හමා ආ ඒ ගීතවත් සුළග, සිනමාශාලාවන් තුලට රිංගා,මාස ගනනාවක්ම එක දිගට ඒ තුල කැකැරෙමින්, එයිනුදු නොනැවති,යළි එලියට පැමින යුග යුග ගනනාවක්ම, මිනිස් සිත් සතන් තුල රැදී වරින් වර මතකය පෑරු අපූරු වූ සිත්තමකි කේ ගුණරත්නම් නිපැයූ, එම් මස්තාන් සැදූ ප්‍රැන්සිස්, රොසලින් හා ජොසීගේ ⁣මුහුදු තීරයේ ප්‍රේමපුරාණය.

ශ්‍රී ලාංකික නිෂ්පාදකයෙක් හා ඉන්දීය අධ්‍යක්ෂකයෙකු, 1960 දශකය තුල ලාංකේය මුහුදු තීරය ගැන මොනතරමේ ගවේෂන⁣යක් කර ඇත්දැයි සිතෙන්නේ, මේ මුහුදු තීරයේ ප්‍රේමපුරාණය දුටුවිටය.

වැල්ල සිඹින රැල්ල අපට කියූ කථාව, අවුරුදු 50කටත් එහා සිට මෙ වනතෙක් ඇදී ඒම තුල තිබූ විශේෂත්වය දන්නේද එය නරඹන්නට වාසනා ලද්⁣දෝමය. මෙවන් නිර්මාණ තුල ගැබ්වූ රසය, යලි කිසිදු දිනයෙක ලබා ගැනීමට නොහැක. මස්තාන් යනු විශ්වකර්මයෙකු යැයි හැම විටම සිතෙන්නෙ ඒ නිසාමය.

ලාංකේය සිනමාවේ තවත්, සුවිශේෂිත සලකුණක් ලෙස සැලකූ චිත්‍රපටයක් වූ "ධීවරයෝ" ගැනය මේ අටුවාටිකාව. ප්‍රැන්සිස් නම් ජවසම්පන්න, මුහුදු රස්සාවේ නියුතු තරුණයෙකුත්, රොසලින් නම් මිනිසුන් ප්‍රිය නොකරන, මුහුදු කරයේම වෙසෙන ,රූමත් ධීවර තරුණියෙකුත්, එම, ධීවර ගම්මානයේ සිටින, ප්‍රැන්සිස්ව බලාපොරොත්තුවෙන් ජීවත් වන තවත් ධීවර ලියක් වූ ජොසිත්, රොසලින්ව අයිති කර ගැන්මට හැම උප්පරවැට්ටියක්ම යොදන එම මුහුදු තීරයේ බලපරක්‍රමය, විහිදන්නට තැත් කළද, එසේ කිරීමට නොහැකි ගබ්රියල් මාලු මුදලාලිගේත්, විටෙක හාස්‍යජනක, විටෙක, ප්‍රේමජනක, හා තවත් විටෙක ත්‍රාසජනක වූ මානුෂීය කථාවක්, මෙයට ගැඹ්වී තිබුනි.

කථාව ගෙති යනුයේ ස්ත්‍රීය කේන්ද්‍රීය කර ගෙනය. ඇය රොසලින්ය. රොසලින් ට පිරිමි නුරුස්සන බවකි චිත්‍රපටයෙන් ඇයව හදුන්වා දෙන්නේ. එහෙත් එයට ⁣ගැබ්වෙන හේතුවද, එසැණින්ම ප්‍රේක්ෂකයාට ඉදිරිපත් වේ. ඒ රොසලින්ගේ පියා දිනපතාම කට ගොන්නක් රා බී ගෙන, තම මවට අඩම් තේට්ටම් කරනවා දකින නිසාය. පියාගේ මේ අන්තෝමිත ක්‍රියාකලාපය නිසාත්, ගුටි බැට ඉවසමින් තම මව ගෙවන කරුමක්කාර ජීවිතය ගැන, අන්තයටම කල කිරුණු රොසලින්, තමන් කිසිදිනෙයක විවාහ ජීවිතයට ඇතුළත් නොවන වගක් හා කිසිදු පිරිමියෙක් සමග ආලවන්ත කමක් ඇති නොකරගන්නා වගක් තමාටම පසක් කරගත්තාය.

චිත්‍රපටය දෝලනය වූයේ ඔය හේතුව මතය. ප්‍රැන්සිස්ට රොසලින් වෙනුවෙන් සිත ගියේ ඇයගේ රූමත් කම මෙන්ම ඇයගේ අහංකාර කමටය. ප්‍රැන්සිස් කොතෙක් නම් ඇයට කිට්ටුවීමට සැරසුනද, ඇය නොවේ ඔහුව මායිම් කලේ.රොසලින් වැල්ලේ ඔරුවක් ළඟ, ලොකු මාළු කූරියන් දෙදෙනෙකු අතින් අල්ලා ගෙන ගත් ඡායාරූපයක්, අහම්බෙන් ප්‍රැන්සිස් ගේ අතට ලැබුණු පසු ප්‍රැන්සිස් මුලු වැල්ලම දෙවනත් කලේය.

"අගාද සාගරයෙ ඈත දියේ බිලි බෑමී
අනන්ත බාධක මැද සුවසේ වෙරලට ආමි"
සීතල රල ඔස්සේ පිනා ගිය වරල් සලා
සෝබන රුවැති මසුන් දැමූ දැලට ඇතුල් කලා."

ඔහු රොසලින්ගේ පින්තූරය දෙස බලා එසේ ගී ගයනුයේ, රොසලින් නොදන්නා, එහෙත් ඔහු පමනක් දන්නා මෝදු වී එන සෙනෙහස නිසාය.

මස්තාන් මෙතැනට ගෙන ආවේ තරමක රැඩිකල් සෙනෙහසකි. නොමැතිනම් ඒක පාර්ශීක සෙනෙහසකි. ප්‍රැන්සිස් බලෙන් රොසලින්ගේ හදවත දිනාගැන්මට කරනා, වෑයම තුල රැඩිකල් ප්‍රේමයක් ගැබ්වී තිබුනේ ඔහු එය සුමුදු අන්දමට හෝ රළු අන්දමට දිනාගැන්මට ගන්නා ආකාරය තුලය. මේ කිසිවකට රොසලින් නැමෙන්නේ නැත. ඇය ඇයගේ ප්‍රතිපත්තියේම රැදී සිටියාය. ප්‍රැන්සිස්ගෙ,පෞරුෂත්වයද, රොසලින්ගේ දරදඩුකම ඉදිරියේ විටෙක බාල්දු වන්නේය. මස්තාන් ජොසී එතැනටගෙනආවේ, ප්‍රැන්සිස්ගේ සිත මොලොක් කරන්නට වන්නට ඇත. එහෙත් රොසලින්ට බැදුනු ආදරය තුල,ජොසීට ඉඩක් නොමැති බවක්ය,මුලු චිත්‍රපටය පුරාම පෙනුනේ. සාමාන්‍යයෙන් ධීවරයන් යනු, රළු ජීවිතයකට හුරුවූ මිනිසුන්ය. එහෙත් මස්තාන් ප්‍රැන්සිස්ව හැසිරූවේ කෙතරම් රළු ජීවිතයකට, ඔවුන් හුරුවූයේද ,ආදරය හමුවේ ඔවුන් මුදු මොලොක් වන බව හගවමිනි.

ගබිරියෙල් මාලු මුදලාලිද, "ධීවරයෝ"චිත්‍රපටය තුල ප්‍රැන්සිස්,රොසලින් මෙන්ම, සුවිශේෂීත චරිතයක් වන්නේය. එය "සීරියස්" චරිතයක්වූවද, මස්තාන්ට එතුලට, "රොමැන්ටකල් කොමඩියකුත්"ඇතුලත් කිරීමට අවශ්‍ය වී තිබුනි. ප්‍රැන්සිස් සමග හැප්පෙන්නට යන්නෙන්ද ඔහුගේ නිත්‍ය වූ විරුද්ධ වාදියා වන්නේද ගබ්රියල් මුදලාලිමය. ගබ්රියල් මුදලාලිට විශාල හිසරදයක් වන්නේද මේ ප්‍රැන්සිස්මය. එක් පැත්තකින්, තමන් වැල්ලේ මාළු කුණුපොල්ලට අරගැනීම ගැන නැගී සිටින්නෙ ප්‍රැන්සිස්ය. අසරණ ධීවරයන්ව තලාපෙලා අසාධාරන ලෙස මුදල් හම්බ කිරීම ගැන උරණ වන ප්‍රැන්සිස්, ධීවරයන්ට සමූපකාරයක් සාදා දීමට පියවර ගන්නේ, ගබිරියල් මුදලාලිව නට්ටම් කිරීමටය.

"සාමය සමගිය පතුරාලා- කුල වාදය බේදය දුරවාලා
සමූපකාරය නංවාලා-අපි හැදෙමු වැඩෙමු එක්සත් වීලා"

ගබ්රියල් මුදලාලිට, ඉවසාගැන්මට බැරි අනෙක් පලහිලව්ව නම්, රොසලින්ය. ඔහුට අවශ්‍ය කෙසේ හෝ රොසලින්ව හාද කරගෙන ,කරකාර බැදගන්නටය. එයට, ඔහු ඔහුගේ මුදලාලි බලය, පාවිච්චි කලද, රොසලින් නොවේ ඔහුගේ උප්පරවැට්ටි වලට අහුවූයේ. ප්‍රැන්සිසුත් ඇයට පෙම් කරන බව දැනගත් පසුය, ප්‍රැන්සිස්, හා ගබ්රියල් ඇවිලුනේ.

ප්‍රැන්සිස් මෙන්ම ගබ්රියල් මුදලාලිද "ධීවරයෝ" චිත්‍රපටය, තුල ප්‍රධානතම භූමිකාවකට පන පෙවීය. ප්‍රැන්සිස්ගේ චරිතය, ඉස්මතු වන්නට ගබ්රියල් මුදලාලිගේ චරිතය ඉමහත් ලෙස ඉවහල් විය.

මස්තාන් ප්‍රැන්සිස් ගේ චරිතයට ගාමිණී ෆොන්සේකාත්, ගාමිණීගේ විරුද්ධ වාදියාවූ ගබ්රියල් මුදලාලිගෙ චරිතයට, හියුගෝ ප්‍රනාන්දුවත්,තෝරා ගැනීම තුල, පරස්පරතාවයක් නොතිබුනා නොව . ඇගෙන් පතින් හැඩිදැඩි ගාමිණී වැන්නෙකු ලග ⁣තරමක කේඩැරි හියුගෝ වැන්නෙක් ගාමිණීව මෙල්ල කිරීමට තරම් සවිශක්තියක් නැති බවක් ඕනෑම කෙනෙකුට වැටහුනි. පියදාස ගුණසේකර වැන්නෙක් එයට තෝරා ගත්තානම් හොද යැයි, සිතුනද, මස්තාන්ට අවශ්‍ය වී තිබුනේ ගබ්රියල් මුදලාලිගේ චරිතය තුලින් හාස්‍යමය රසයකුත් ලබා දීමටය. එය මස්තාන්ටත් වඩා, එහී කථාව හා දෙබස් ලියූ, හියුගෝ ප්‍රනාන්දුටම අවශ්‍ය වන්නට ඇත. හියුගෝගේ බල පරාක්‍රමය ගාමිණී ෆොන්සේකා ඉදිරියේ දියවෙන නිසා, හියුගෝ ගේ සහයට බන්ධු මුණසිංහ වගේ,සටන් නළුවෙක් යොදා, චරිත දෙක, මස්තාන් විසින් "බැලන්ස්"කෙරූ ආකාරය නම් හරි අපූරුය. ගාමිණී ෆොන්සේකාට හියුගෝ සමග හැප්පීම කිසිදු "ත්‍රිල්" එකක් නැත. එය ප්‍රේක්ෂකයාටද "ත්‍රිල්" එකක් නැත. එහෙත් ගාමිණී ෆොන්සේකාව බන්ධු මුණසිංහ ඇතුලු ඔහුගේ සහචරයින් සමග හප්පා, ඒ හැප්පීම් තුලින් ,ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන "ත්‍රිලර්" ලබා දීමට මස්තාන්, සැලසුම් කිරීම තුලින් ,ඔහු ගේ සිනමා දැක්ම මොනවට පැහැදිලි වේ.

රොසලින් යනු මෙහි මුඛ්‍ය ස්ත්‍රී චරිතයයි. හියුගෝ ලියු කථාව තුල, රොසලින්ව ලාංකේය සිනමා සම්ප්‍රදායානුකූල රොමැන්තයෙන් අයින් කර තිබුනි. ඒ ඉහත තැනක කී ලෙස ඇය මිනිසුන්ට වෛර කරන, සැර පරුෂ කාන්තාවක් වූ නිසාය. මිනිසුන්ට වෛර කරන ගැහැනියක් නම් එතැන ආදර ජවනිකාවන්ද නැත. ලාංකේය සිනමාව තුල, ප්‍රේම ප්‍රලාප, ප්‍රේම ගීත, නොමැතිවූ විට, එය "මාකට්" කිරීම නම් පහසු නැත.

නමුත් මස්තාන් ධීවරයෝ තුලට "ජිමික්ස්" ගණනාවක් එකතු කළේය.

ප්‍රධානතවම ඔහු "ස්කෝර්" කරේ ගීත වලිනි. ගීත 8ක් චිත්‍රපටයට එක් කරන්නට ඔහු වග බලා ගත්තෙත්, ඒවා, කරුණාරත්න අබේසේකර ලවා ලියවා, එම්.කේ.රොක්සාමි ගේ සංගීතය හරහා මියුරු තනු උපද්දවා, ජේ.ඒ.මිල්ටන් පෙරේරා, මොහිදින් බෙග්, ලතා වල්පොල,මල්ලිකා කහවිට, ධර්මදාස වල්පොල, සුජාතා අත්තනායක, ක්‍රිස්ටි ලෙනාඩ්, හරුන් ලන්ත්‍රා, නොයෙල් ගුණරත්න, ලවා ගැයීමෙන්, මස්තාන් විසින් "ධීවරයෝ" යුග යුග ගනනාවක් ඉදිරියට යන්නට හැරීය.

සාමාන්‍යයෙන් ලාංකේය ධීවර ජනතාව බහුතරය ඇදැහුයේ කතෝලීක ආගමය. ඔවුන් නිතරම සැමරූයේ, පල්ලියේ මංගල්ල, නත්තල් හා පාස්කු උත්සවයන්ය. ඕනෑම සිංහලයෙකුට සැමරිය හැකි සිංහල අව්රුද්ද, බෞද්ධයන්ට පමණක් සීමා කර ගත්තද, ඉන්දියානු ජාතික අධ්‍යක්ෂකයෙකු වූ මස්තාන්, මෙම සිංහල අව්රුද්ද ධීවරයන්ගේ වැල්ලටම ගෙන ආවේය.

"ඇවිල්ලා ඇවිල්ලා සිංහල අව්රුද්ද ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා, වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා"

මස්තාන් එම ගීතය හරහා සංහිදියාවක් ඇති කළ බවක්ද නොපෙනුනාම නොව.

ශෝන් මැක්ස්මස් දිසානායක

(ලබන සතියේ ධීවරයෝ ගැන තවත් කොටසක්)