වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

විශ්වජන සෙනෙහස ලැබූ

වැස්ස නැවතුනා 10.04 ට
පොදු ජන හද දිනූ
විශ්ව ජන සෙනෙහස ලැබූ
රූප රාමු සංදේශ ලියු
ඇතුළින් පිටතට
චලන චිත්‍රය ගෙන ආ
නිර්මාණ නිධානය
අවසන් සයනයෙ
නිහඬය අහස බලාගෙන . . .
අහස අඬනවා . . .
ආචාර්ය
ලෙස්ටර් ජේම්ස් පීරිස්
මාවතේ . . . නිවසේ . . .
2018. 05. 02 දා

සැනකින්
10.04 වැස්ස නැවතුණා
පායා ආ හිරු
ශක්තිය දුන්නා
නිදහස් චතුරශ්‍රය පිරී ගියා
නිහඬ - ගාම්භීර
රාජ්‍ය ගෞරවය සපිරි
අවමඟුල් උත්සවය
සුමට ව - සුමට ව
ගලා ගියා

මහ ඇදුරු යෝජනාව
අවසන් දෙසුමෙන්
ඉස්තිර වූවා
වෙහෙස දැරූ සැමට
පිං පිරුණා
තෙරුවන් සරණයි
දෙවි පිහිටයි

කලාභූෂණ
ඊ. ඩී. ශ්‍රියාපාල


සංරක්ෂණාගාරය කඩිනම් කරමු

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ට කරන එකම උපහාරය නම් ඔහු ජීවතුන් අතර සිටියදී හඬ නැඟූ සිංහල චිත්‍රපට සංරක්ෂණාගාරය කඩිනමින් ආරම්භ කිරීමයි.

පැරකුම් සඳසිරි
ආඬිඅම්බලම


මිය ගියේ ඔබ නොව අපියි

සිංහල සිනමාවට අමිල සේවයක් කළ මහා යුග පුරුෂයකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අද අප අතරින් සදහටම වෙන්ව ගොස් ඇත. මෙය සිංහල සිනමාවට වැදුණු මරු පහරකි. ලෙස්ටර් මහතාණෙනි, මිය ගියේ ඔබ නොව, අපිය.

කෙනත් පෙරේරා
වැලිගම්පිටිය


සිනමා දිවි ගමනේ කොහේ හෝ හමුවෙමු

ආදරණීය ලෙස්ටර් උතුමාණනි, ඔබ ගිය මඟ අමරණීයයි. ජීවිතය සිනමාවට කැප කළ දරුවන් මෙන් හදා වඩා ගත් චිත්‍රපට දහ නමයකට හිමිකම් කියූ ඔබ දිවි දෙවැනි කොට සැලකූ සිනමාව හැර ගියේය. මේ නොනිමෙන දිවි ගමනේ කොහේදී හෝ නැවත හමුවෙමු. එදාට නැවතූ තැනින් නැවත පටන් ගනිමු. ඔබට සදා මොක් පතමි.

ප්‍රේමසිරි
මාතර


සංදේශය නිවී ගියා

බෙලිහුල්ඔය වැනි සුන්දර ගමක් තෝරාගෙන සියලු නළු නිළියන් ක්‍රමානුුකූලව මෙහෙයවමින් සිංහල සිනමාවට 'සංදේශය' ගෙන එමින් සිනමා වංශ කතාව ලෝකයට ගෙන ගිය ශ්‍රේෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් ශ්‍රීමතාණන් අවසන් ගමන් ගියේ සංදේශය බලකොටුව තුළිනි. තව තවත් මෙවැනි චිත්‍රපට ඉදිරියටත් ඔබතුමාගේ නාමයෙන් බිහි වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

ආතර් ජයකොඩි
බෙලිහුල්ඔය


ලෙස්ටර්ගේ ප්‍රතිමාවක් ඉදි කරන්න

සජිත් ප්‍රේමදාස මැතිතුමනි,

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් සුමිත්‍රා පීරිස් මහත්මියට අගනා නිවසක් ඔවුන් දෙපල සිනමාවට කළ අනගි මෙහෙවර වෙනුවෙන් ගෞරවණීය තිළිණයක් බවට පත් කරන්න. ඔබතුමා ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින් නිවාස සංකීර්ණයක් ඉදි කරන්නේ නම් එහි එතුමාගේ ප්‍රතිමාවක් ද ඉදි කරන ලෙස ඉල්ලමි.

නිමල් කුලසේකර
මොරටුව


රේඛාවෙන් දුන් විධානය

රේඛාවෙන් දී ගමනට විධානය
එකලු කලා ඔබ සිනමා උදානය
නිසල වෙලා ඒ සුන්දර ප්‍රධානය
අහිමි වුණා හෙළ සිනමා නිධානය

සමන් ගාල්ලගේ
ගණේගොඩ


කලා කෙතට කළ මෙහෙවර සුවිශේෂයි

හෙළයේ මහා කලාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් දැයෙන් සමුගැනීම අප ශ්‍රී ලක්බිමට වූපාඩුව පිරිමැසිය නොහැකිය. අප කලා කෙතට කළ මෙහෙවර අති පූජනීයයි. ඔබ ගිය ලොවට අජරාමර නිවන් සුව පතන්නම් නිරතුරුවම.

සුනිල් බී වේහැල්ල
ගෝනපොල


ඔබේ නාමයට මතුවටත් ආදරෙයි

සිනමාවේ යුග පුරුෂයා බඳු ලෙස්ටර් මහතාණනි, රන්සළු අතුරා රේඛාවක් සොයා සංදේශය සමඟ බැද්දෙගම වෑකන්ද කරා පිය මං කළ ලෙස්ටර් ගොළු හදවත සමඟින් අක්කර පහට අම්මාවරුනේ අහසින් පොළවට නිධානය සොයා දෙලොවක් අතර අප තනිකර ඔබ දුර ගමනක් ගියා. නැවත එන්න පියණෙනි, ඔබගේ නාමය ලොව පුරා රැව් පිළිරැව් දේවා. ඔබගේ ගුණ වර්ණනා කරන්න අප හට වචන නැත. ඔබේ නාමය සැමදා අප හට මතකය. මතුවටත් ආදරෙයි. ගුරු පියාණෙනි නිවන් සැප.

සරත් සේනාධීර
කලඑලිය


හද තුළ රැඳේවි

ලෙස්ටර් ජේම්ස් පීරිස් සිහල සිනමා සංදේශයේ රේඛාවක් බඳු සිනමාපට දායාද කළ ඔබ කල්ප යුගාන්තයක් දක්වා අප හදවත් තුළ රැඳී පවතී.

ගාමිණී මහබලගේ
පිළියන්දල


ලාංකේය සිනමාවේ නිධානය

හෙළ ලාංක්ය සිනමාවේ නිධානයේ යුග පුරුෂයෙක් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අභාවය සිනමා ක්ෂේත්‍රයට විශාල ලෙස දරාගත නොහැකි පාඩුවකි. රේඛාව සිට අම්මාවරුනේ දක්වා රන් අකුරින් ලියැවුණු සිනමා නිර්මාණ තුළින් කළ සදා මෙහෙවර රේඛාවක් මෙන් සටහන් වී ඇත. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් මහතාණනි යළි ඔබ අප අතරේ ඉපදේවා!
ඔබට මොක් සුව පතමු!

පාලක සමන් පෙරේරා
වත්තල


දැයට අහිමි වූ නිධානය

එදා 1956 රේඛාව තුළින් චිත්‍රාගාරයට කොටු වී තිබූ සිනමා කැමරාව එළිමහනට රැගෙන ආවේය. එතැනින් පටන් ගත් ප්‍රාතිහාර්ය 2007 අම්මාවරුනේ තෙක් ක්‍රියාත්මක කළේය. පුරා දශක 07 පමණ දේශීය සිනමාවේ උන්නතිය සඳහා සිය දිවියම කැප කළේය. හෙළ සිනමාව ජාත්‍යන්තර තලයට ගෙන ගිය ශ්‍රේෂ්ඨ සිනමාපට රාශියක් බිහි කළේය. ඔබතුමා සිනමාවේ ධන නිධානයයි, විශ්ව ලකුණයි. ඔබතුමාගේ වියෝව අසා අප හදවත් මොහොතකට ගොළු වූයේය. කම්පා වූවාය. ඔබගේ අගය කිසිදා මිල කළ නොහැක. දැයෙන් සමුගත් මහා සිනමාකරුවාණෙනි ඔබට අපගේ උත්තමාචාරය පිරිනමමු.

ආනන්ද වික්‍රමආරච්චි
ඉහළ තල්දුව


සැමදෙන ණයගැතියි ලෙස්ටර් මැතිඳුන්ට

බොරළුගාඩ වලව්වේ 'මැණිකේ' බැන්දා
දෙදෙනම එක්ව සිනමාවට පෙම් බැන්දා
'නිධානයේ' රැස් විහිදා
'රන් සම්මාන' ලැබුවේ දස්කම් හන්දා

'ඉන්දියානු සිනමාපට' බලන්නට
සිදු වූ යුගය හෙළ සිනමා පට වලට
සිංහල බස නොදත් ඔබ කළ සේවයට
සැම දෙන ණය ගැතියි 'පීරිස්' මැතිඳුන්ට

'ගාමිණී ෆොන්සේකා' 'සක්විති' කරන්නට
හැකියාවක් ඇති වුණේ ඔබතුමා හට
ලංකාවේ නළු නිළියන් හදන්නට
දියත පුරා ඒ දස්කම් පෙන්වන්ට

'සත්‍යජිත් රායි' 'කුරසෝවා ළඟට
'ලෙස්ටර්' නාමෙ රන් අකුරින් ලියවෙන්ට
එතුමා කළ මෙහෙය සුරැකිව රැක ගන්ට
අදිටන් කරමු එම අඩි පාරේ යන්ට

ආර්. ඒ. සෝමා රණසිංහ


නිවී ගිය සිනමාවේ රන් රේඛාව

ලෝ සිනමා අහස් තලේ රේඛාවක් රන්දා
නිධානයක තිබූ රන්සළු දෙලොවක් අතරට බන්ධා
බැද්දේගම අක්කර පහ පුරන් අප්පු නමට පුදා
මඩොල් දූවට පා තැබුවේ කලියුගයට සිත පහදා

සංදේශය රැගෙන ඇවිත් ගම්පෙරළිය කෙරුවා
අවරගිරට මුවා වෙලා යුගාන්තයට සිහින මැව්වා
වෑකන්දේ වලව්වේ අම්මාවරුනගේ සෙනෙහස කීවා
ලෙස්ටර් මහ සිනමාවේදියා සිනමා ලොවටම අහිමිවූවා
ඔබට නිවන් සුව අත්වේවා

ලක්ෂ්මන් රණසිංහ
වත්තල


නිධානය බඳු ලෙස්ටර්

සිනමාවට යුග පුරුෂයකු බිහි වූවා
සංදේශය සොයා බැද්දෙගමට එක් වූවා
රන්සළු සමඟ ගෝඩ් කිංට ළං වුවා
අක්කර පහ සමඟින් දෙලොවක් අතර තනි වූවා

ගම්පෙරළියට යුගාන්තයට ළං වූවා
අවරගිරට අම්මාවරු එක් වූවා
ගොළු හදවතක් කලියුගයට එක් වූවා
නිධානය බඳු ලෙස්ටර් අපගෙන් සමු ගත්තා

සරත් සේනාධීර
ජාඇල