වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




මං නිවේදිකාවක වෙන්න හීන මවපු කෙනෙක් නොවේ

මං නිවේදිකාවක වෙන්න හීන මවපු කෙනෙක් නොවේ

මධුනිකා කරපුටුගල

නිවේදිකාවක් වුණාම හරිම ප්‍රසන්නව ඉන්න ඕනෑ. ඒ වාගේම තමන්ගේ රුව ගැන නිතර සැලකිලිමත් වෙන්නත් ඕන. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. ඉකුත් දිනවලදී මගේ බර වැඩි වුණාමත් මං එය අඩු කරගත්තේ ශරීරයේ හැඩය පවත්වාගෙන යා යුතු නිසා. මං ඒ ගැන හරියට හිතනවා. අද නිවුස් කියන්න ආව තරුණ තරුණියන් එක්කත් මට හරි හරියට නිවුස් කියන්න පුළුවන් ඒ නිසයි.

ඇගේ රුව ඔබ හොඳින් හඳුනයි. එමෙන්ම ඒ ස්වරය ද ඔබට නුහුරුවන්නට ඉඩ නැත. වසර දහ අටකට ආසන්න කාලයක් පුවත් ගෙන එන්නියක් නිසාම ඇයගේ නම ද හුරු පුරුදු වී ඇති බවට කිසිදු සැකයක් නැත්තේය. මධුනිකා කරපුටුගල. ඒ සොඳුරු සිතැත්තිය ඇය වන්නීය.

* මධුනිකා කොහොමද ජීවිතේ?

වෙනසක් නැතුව සුපුරුදු පරිදි ගලාගෙන යනවා.

* වසර දහඅටක් ප්‍රවෘත්ති කියනවා කියන්නේ ලෙහෙසි නැහැනේද?

ඒක තමයි. 2004 වසරේදියි මං රූපවාහිනි මාධ්‍යයකට ආවේ. ඒ අයි. ටී. එන්. නාළිකාවට. එදා පටන් අද දක්වා මං එහි වැඩ කරනවා. බොහොම තෘප්තියෙනුයි මං මේ වෘත්තියේ නියැළෙන්නේ.

* වසර දහඅටක් ප්‍රවෘත්ති කිව්වට එදා වගේ මධුනිකා හරි හැඩයිනේ?

නිවේදිකාවක් වුණාම හරිම ප්‍රසන්නව ඉන්න ඕනෑ. ඒ වාගේම තමන්ගේ රුව ගැන නිතර සැලකිලිමත් වෙන්නත් ඕන. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. ඉකුත් දිනවලදී මගේ බර වැඩි වුණාමත් මං එය අඩු කරගත්තේ ශරීරයේ හැඩය පවත්වාගෙන යා යුතු නිසා. මං ඒ ගැන හරියට හිතනවා. අද නිවුස් කියන්න ආව තරුණ තරුණියන් එක්කත් මට හරි හරියට නිවුස් කියන්න පුළුවන් ඒ නිසයි.

* ඊළඟට මං අහන්නේ මේ වසර ගණනාව තුළම ඔබ චැනලයක් මාරු නොකරපු එක ගැන?

ස්වාධීන රූපවාහිනිය කියන්නේ මගේ දෙවැනි ගෙදර. මගේ ගෙදර රැඳී සිටියා හා සමාන කාලයක් මං අයි. ටී. එන්. කාර්යාලයේ රැඳී සිටිනවා. එහෙම වෙන්නේ මෙතැන පූජනීය තැනක් නිසා. එවන් වූ වන්දනීය තැනක් දාලා වෙන ආයතනයකට ගියොත් කෙලෙහි ගුණ නොදත් අයකු වෙනවා. මට ගොඩක් ඔෆර්ස් ආවා වෙන තැන්වලින්. නමුත් මං ඒවට ගියෙන් නැහැ. ඒ මං ගරු කරන තැන මෙතැන නිසා.

* හිත් රිදීම් වෙලාම නැතිද?

ඔබ ඔය ප්‍රශ්නය අහන්නට ඇත්තේ මං මගේ ආයතනය ගැන බොහොම ඉහළින් වර්ණනා කරපු නිසා වෙන්න ඇති. මෙහෙමයි හිත් රිදීම් නැති තැනක් නැහැ. මටත් අනන්තවත් හිත් රිදීම් වෙනවා. ඒත් මං ඒවා ගණන් ගන්නේ නැහැ. බොහොමත් ඉවසනවා.

* නිවේදකාවක විදිහට ඔබ ලබා ඇති ජනප්‍රියත්වය ගැන මොකද කියන්න තියෙන්නේ?

ඇත්තම කිව්වොත් මං නිවේදිකාවක් වන්නට හීන මවපු කෙනෙක් නෙවෙයි. ඒත් මේ වන විට මං වෘත්තීමය නිවේදිකාවක් වෙලා සිටිනවා. මේ හේතුවෙන් මං ජනප්‍රියත් වුණා. ප්‍රසිද්ධ ස්ථානවලදී ඇතැම් දෙනා මං දිහා බලාගෙන ඉන්නවා. සමහරු ළඟට ඇවිත් කතා කරනවා. විස්තර අහනවා. එතකොට නිහතමානීව පිළිතුරු දෙනවා. එහෙම මිනිසුන්ගේ ආදරය ලබන්න පින් කරලා තියෙන්නට ඕනෑ. මං ඒ ජනප්‍රියත්වය විඳින්නේ මැදිහත් සිතින්. මොකද ඒ හැම දෙයක්ම තාවකාලික නිසා.

* රුවැත්තියක් වූ ඔබට රංගනයට ආරාධනා ලැබිලා ඇති?

ඔව්. නමුත් මං ඒවට යන්නේ නැහැ. මං හිතනවා ප්‍රවෘත්ති නිවේදිකාවක් රඟනොපෑ යුතුයි කියලා. එතකොට මිනිසුන්ගේ ගරුත්වය අඩු වෙනවා.

* ඔබේ ප්‍රවෘත්ති ජීවිතයේ ඉදිරිපත් කළ අමතකම නොවන ප්‍රවෘත්තිය මොකක්ද?

යුද සමයේ සිදු වූ සිදුවීමක් තමයි කියන්නට වෙන්නේ. ඒ කාලේ අපට ලැබෙන්නෙම හරිම සංවේදී පුවත්. පුනරින්වලට කොටි ගහපු වෙලාවෙ පොඩි ළමයි ඇතළු පිරිසක් මියගිය පුවත මං ඉදිරිපත් කළේ ඇස්වල කඳුළු සඟවගෙන. ඒ වගේම බෝම්බයට පොඩි ළමයි දුවන දර්ශන වගයකුත් ඒ දිනයේම අපට ලැබිලා තිබුණා. ඒ ගැන මතක් වන කොටත් දුකයි.

* ප්‍රවෘත්ති නිවේදිකාවක් කියන්නේ එක්තරා අන්දමකින් සමාජ සේවිකාවක්. ඔබට ඊට උදාහරණ ඇති?

ඇත්තෙන්ම ඔව්. මං ගවේෂණාත්මකව ඉදිරිපත් කළ පුවත් නිසා උදව් අවශ්‍ය අයට උවු ලැබිලා තියෙනවා. එහෙම අවස්ථා දෙකක් මං කියන්නම්. එක්තරා දුප්පත් පවුලක් ගැන මං ගෙන ආ ප්‍රවෘත්තියක් නිසා ඒ අයට නිවසක් ලැබුණා. මං එදා බොහොමත්ම සතුටත් අත් වින්දා. අනෙක් සිදුවීම මේකයි. ශ්‍රව්‍යාබාධිත උපකරණයක් පැළඳ සිටි දුප්පත් ළමයෙක් මුහුදු වෙරළක් අසලට ඇවිත් තියෙනවා. ඔහු තමන්ගේ ශ්‍රව්‍ය උපකරණය ගලවලා අසල තැනක තියලා මුහුදු වෙරළේ රැලි පාගන්න ගිහින්. කවුරු හරි අධමයෙක් ඒක හොරකම් කරලා. ඒ උපකරණය ලක්ෂයකටත් අධික මිලක්. මේ අය බොහොම අපහසුවෙන් තමයි එය මිලට ගෙන තියෙන්නේ. මේ ගැන දැනගත් මම ඒ ප්‍රවෘත්තිය ඉදිරිපත් කළා. එවලේ ඉඳලා අපේ ආයතනයට කෝල් එනවා එනවා ඉවරයක් නැහැ. කතා කරපු හැමෝම කිව්වේ ඒ උපකරණයක් හදලා දෙන්නම් කියලා. ඒ කෙනෙකුගේ උදව්වෙන් අර ළමයට නැවතත් එම උපකරණයක් ලැබුණා.

* මධුනිකාගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු කියන ගමන් මේ කතබහ අවසන් කරමු?

මං විවාහකයි. මගේ සැමියා රංග ජයතිලක. ඔහු කැමරා අධ්‍යක්ෂවරයෙක්. මට අවුරුදු තුනක පුතෙක් ඉන්නවා. මං ඉගෙන ගත්තේ නුවර හේමමාලී බාලිකාවෙන්. ඉපදුණේ නුවර. දැනට පදිංචි වෙලා ඉන්නේ හෝමාගම.