වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




බහුචිතවාදියාට මොස්කව් ප්‍රතිචාර

බහුචිතවාදියාට මොස්කව් ප්‍රතිචාර

මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය බහුචිතවාදියා සිනමාපටය හතළිස් වැනි මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේ නෙට්පැක් අංශය නියෝජනය කරන ලදි. එහිදී සිනමාපටය සඳහා ඉහළ ප්‍රතිචාර ලැබූ බව මාලක සරසවියට දන්වා සිටියේය. කලණ ගුණසේකර ප්‍රධාන චරිත මැවූ බහුචිතවාදියා ළඟඳීම තිරගතවීමට නියමිතය.


ටෙලිනිසෙන් පාඨමාලා

ශ්‍රී ලාංකේය ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ තිර නාටක රචකයින්, අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, රංගන ශිල්පීන් සහ එම ක්ෂේත්‍රයේ නියුතු වූවන් සාමාජිකත්වය දරන සංවිධානය වන ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ 25 වෙනි සංවත්සරය වෙනුවෙන් ටෙලි - සිනමා රංගනය සහ ටෙලි - සිනමා නිර්මාණකරණය යනුවෙන් මාස හයක සති අන්ත (ඉරිදා) පාඨමාලා දෙකක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ අනුර මාධව ජයසේකර ටෙලි සිනමා රංගන පාඨමාලාවේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන අතර ප්‍රවිණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්දිස් ටෙලි සිනමා නිර්මාණකරණය පාඨමාලාවේ පාඨමාලා අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනු ලබයි.

ප්‍රවීණ සිනමා සහ ටෙලි නිර්මාණවේදීන් සම්මානනීය රංගන ශිල්පීන් හා ශිල්පිනියන්, ඒ ඒ ක්ෂේත්‍රයන්හි විද්වතුන් උපදේශකත්වය ලබා දෙන මෙම පාඨමාලාව තුළින් පූර්ණ වශයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් නවකයන්ගේ හැකියාවන් හඳුනා ගනිමින් ඔවුන්ගේ දක්ෂතාවයන් අනුව එම ක්ෂේත්‍රයන්හි ඉදිරියට යාමට අවස්ථා ලබාදීම ද ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය බලාපොරොත්තු වේ.

මෙම පාඨමාලාව හැදෑරීමට කැමති අයට තම ලිපිනය ලියූ රුපියල් 25 ක මුද්දර අලවන ලද 9 "ඔ4" ලියුම් කවරයක් සභාපති, ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය, 47/බී, කොළඹ පාර, පිළියන්දල යන ලිපිනයට 2018 මැයි මස 20 වෙනි දිනට පෙර එවීමෙන් විස්තර ලබා ගත හැකි බව ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ සභාපති නීතිඥ ඩග්ලස් සිරිවර්ධන දන්වා සිටී.


සුභාවිත ගී 20 දා

සිතාරා අධ්‍යාපන හා සංස්කෘතික කලා පදනම සහ ටවර් රඟහල පදනම එකමුතුවෙන් සංවිධානය වූ සුභාවිත ගී ප්‍රසංගය සිතාරා ගී දැහැන නමින් මෙම මස 20 වැනිදා එනම් එන ඉරිදා සවස මරදාන ටවර් රංගශාලාවේදී පැවැත්වේ. සංගීත ලෝලීන් වෙනුවෙන් නොමිලයේ පැවැත්වෙන මෙහිදී හෙළ ගීත කෝකිලාව ලතා වල්පොළ, ක්‍රිස්ටෝපර් පෝල්, ඉෂාක් බෙග්, කලාවතී, රූපා ඉන්දුමතී, සූර්යකුමාර් මුත්තලගේ, එම්. පී. චන්ද්‍රලතා, ත්‍යාගා එන්. එඩ්වඩ්, කුමාරි පෙරේරා, රොජර් සෙනෙවිරත්න, රංජනි පෙරේරා, නුවංගි ලියනගේ, සමදරා ආරියවංශ ගීතවත්වනු ඇත. ඔවුන් සමඟ සිතාරා කලා ආයතනයේ සාමාජික සාමාජිකාවන් ගායනයෙන් එකතුවනු ඇත. ජ්‍යෙෂ්ඨ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ නිවේදනයෙන් මෙහෙයවනු ලබන මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය විශාරද ලලිත් ශාන්තප්‍රියගෙනි. මෙහි නිර්මාණ අධ්‍යක්ෂණය ලසන්ත දේවප්‍රිය අල්විස්ගෙන්ය.


මෑන් හන්ට් ජය ලද්දෝ

මෑන් හන්ට් ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා තරගාවලිය පසුගියදා ගලධාරි හෝටලයේදී නිමාව දුටුවේ චමිදු උදාන මෑන් හන්ට් ලෙස කිරුළු පළඳිමිනි. මෙහිදී ශිරෝන් නාලක දෙවන ස්ථානයත්, කසුන් ගුණවර්ධන තෙවන ස්ථානයත් හිමිකර ගන්නා ලදි. මිස්ටර් ශ්‍රී ලංක, මිස්්ටර් ෆොටෝ ජෙනික් සහ මිස්ටර් පොපියුලර් කිරුළ දිනා ගනිමින් මිස්ටර් යුනිවර්සල් අන්තර් ජාතික තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලබාගනු ලැබුවේ මංචන පීරිස් විසිනි.


දින සියයක් එක දවසක අපි

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු නිෂ්පාදනය කළ එකදවසක අපි සිනමාපටය දින සියය පසුකරමින් සාර්ථකව තිරගත වේ. අනුරුද්ධ ජයසිංහ තිරරචනාකොට අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටයේ පුබුදු චතුරංග සහ නයනතාරා වික්‍රමආරච්චි ප්‍රධාන චරිත නිරූපණය කරති. එකදවසක අපි සී. ඊ. එල්. මණ්ඩලයේ බෙදාහැරීමකි. මෙහි නිෂ්පාදක ආචාර්ය අරෝෂ එම්. පී. අයි. සිනමා මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු වශයෙන්ද කටයුතු කරයි. එක දවසක අපි චිත්‍රපටය ඉකුත් දිනයකදී මොස්කව් අන්තර්ජාතික චිත්‍රපට උලෙළ ද නියෝජනය කරන ලදී.


පොත්

සෑම් පෙරේරාගේ රූප ඡායා

මාධ්‍යවේදී සෑම් පෙරේරාගේ නවතම කෘතිය රූප ඡායා නමින් පසුගියදා නිකුත් විය. දිගු කාලයක් මුළුල්ලේ ඔහු විසින් මෙරට ප්‍රසිද්ධ පුවත්පත් බොහොමයකට ලියූ සිනමා ලිපි එකතුවකි. එයට අමතරව වෙනත් සිනමා ලේඛකයින්ගේ ද සටහන් ද මෙයට ඇතුළත්ය.

රූප ඡායා ගොඩගේ ප්‍රකාශනයකි.

අමාවක නිමා වී 22 දා

ප්‍රවීණ ලේඛිකාවක වන චිත්‍ර අමරසේකර සිංහලයට පරිවර්තනය කළ 'අමාවක නිමා වී' එළඹෙන 22 වැනි දින කොළඹ මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් මැදුරේදී ජනගත වේ.

ලෝකය ලස්සන වන්නේ, අර්ථවත් වන්නේත්, දුක දිනා ජය ගත් හපනුන් නිසාය. ආගමික ශාස්තෘවරුන්, ශ්‍රේෂ්ඨ දේශපාලනඥයින්, විද්වතුන්, විරුවන්, නිර්මාණකරුවන්, මානව හිතවාදීන් ගැන කියවෙන නවතම කෘතියක් ලෙස මෙය එළිදක්වනු ඇත.

බුද්ධිනීගේ අහස් 24දා

කැටපත ප්‍රකාශනයක් ලෙසින් බුද්ධිනී ජයවර්ධනගේ දෙවැනි නවකතාව 'අහස්' මේ මස 24 වැනිදා පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ජනගත කෙරේ. කලාකරුවන්, මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් එදින මෙම නවතම කෘතිය එළිදැක්වේ. එය තිර පිටපතක් ලෙසින් ටෙලි සිත්තමක් නමින් රූගත කිරීම් ද මේ දිනවල සිදුවනු ඇත.

යසවර්ධන රුද්රිගු ලියූ සංදෘෂ්ටි

ප්‍රවීණ ලේඛක, මාධ්‍යවේදී යසවර්ධන රුද්රිගු ලියූ නවතම ග්‍රන්ථය පසුගිය දින ජනගත කෙරිණී.එය බෞද්ධ ග්‍රන්ථයක් ලෙසින් 'සංදෘෂ්ටි' නමිනි.

බෞද්ධ ධර්මය පිළිබඳව වර්තමාන බෞද්ධයන් තුළ ගොඩ නැගී ඇති අන්ධ විශ්වාස සහ මිථ්‍යා සංකල්ප පිස දමා සත්‍යය පමණක් ගවේෂණාත්මකව අවබෝධ කර ගැනීමට 'සංදෘෂ්ටි' ග්‍රන්ථය පරිශිලනය ඉතා වැදගත් වේ. මෙය ගිහි පැවිදි සියල්ලන්ම කියවීමට සුදුසු ධර්ම ග්‍රන්ථයකි.

- නිශ්ශංක විජේරත්න


කිරිල්ලියෝ රූපවාහිනියට පියාඹති

2016 වසරේ චීනයේ ඩේලයිට් රූපවාහිනියේ විකාශය වූ ඔඩේ ටු ජෝයි නමැති අතිශය ජනප්‍රිය මාලා නාටකය සිංහලෙන් හඬකවා කිරිල්ලියෝ නමින් සතිය් දිනවල සවස 6.55 ජාතික නාළිකාවේ විකාශය වේ.

චීනයේ ෂැංහයි නුවර තට්ටු නිවසක වෙසෙන තරුණියන් පස් දෙනකු ඔස්සේ මෙම කතාව ලියැ වී ඇත. කිරිල්ලියො හඬකැවීම් අධ්‍යක්ෂණය වජිර කුමාරි විතානගේ විසිනි. නිලාර් එන්. කාසිම් ගී පද රචනා කොට ඇති අතර උරේෂා රවිහාරි සහ උපේකා නිර්මාණි ගැයුමෙන් දායක වී ඇත. නිෂ්පාදන මෙහෙයුම අනුර ධර්මසේනගෙනි.