වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ලෙස්ටර් සුමිත්‍රා යුවළ සමඟ වැඩ කිරීම විශ්ව විද්‍යාලයට ගියා වගේ

ලෙස්ටර් සුමිත්‍රා යුවළ සමඟ වැඩ කිරීම විශ්ව විද්‍යාලයට ගියා වගේ

වෛෂ්ණාවී සමඟ එන තෙසාරා ජයවර්ධන

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක, රංගන ශිල්පිනියක, කතුවරියක මෙන්ම ආදරණීය බිරියක, මවක ලෙස ඇගේ ජීවිතේ හැම දේ පිළිවෙළින් ගලා යයි. ඒ සියල්ල දෙස බලා බොහෝ සේ සතුටු වන්නට ඇයට හැකිය. තෙසාරා ජයවර්ධන පසුගිය කාලයේ විකාශය වූ හා තිරගත වූ ටෙලි නාට්‍ය හා චිත්‍රපට බොහොමයකින්ම ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා. ඒ නිසා ඇය ඔවුන්ගේම කෙනෙක් මෙන් ප්‍රේක්ෂකයාට දැනුණි. මේ දිනවල ඇය බොහෝ විට ප්‍රේක්ෂක නෙතු මානයට නොපැමිණෙන තරම්ය. ඇගේ නවතම තොරතුරු විමසා බලන්නට අපි කටයුතු කළේ ඒ නිසාවෙනි.

* 'වෛෂ්ණාවී' චිත්‍රපටයේ ඔබ රඟන චරිතය ගැන දැනගන්න කැමැතියි?

එහි ප්‍රධාන චරිතයක් වන 'ලක්ෂ්මී' ගේ යෙහෙළිය ලෙසයි මම රඟපාන්නේ. ඒ චරිතය මට විශේෂයි. මේ චරිතය රඟද්දී අපූරු සිදුවීමකුත් වුණා. මුලින්ම මාව වේශ නිරූපණය කළේ ලක්ෂ්මීගේ යෙහෙළිය ලෙස ගවුමක් අන්දවලා කොණ්ඩ කරල් දෙකක් ගොතලයි. හුඟක් පුංචි දරුවෙක් වගේ තමයි මගේ පෙනුමෙන් දිස් වුණේ. ඉතින් මමම ඉල්ලීමක් කරලා ඒ චරිතය වෙනුවෙන් මට සාරියක් අන්දවලා ගත්තා. මොකද ලක්ෂ්මීගේ යෙහෙළියට ලස්සන ඇඳුම් කිහිපයක් මහලා තිබුණා. ඒ අතුරෙන් සාරියට මගේ හිත ගියා. එනිසා පෙර නිෂ්පාදනයේදී මට ඇන්ද වූ ගවුම වෙනුවට මමම ඉල්ලලා සාරියක් ඇන්දා.

* නිතර දෙවේලේ පුංචි තිරයේ දුටු ඔබ අද පුංචි තිරයෙන් නෙතු නොගැටෙන තරම්?

ඔව්. මම දැන් වසර කිහිපයක සිටම මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරනවා. එනිසා කාල වේලා වෙන්කර ගන්නට අපහසු නිසා ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්නේ නැහැ.

* ලෙස්ටර් - සුමිත්‍රා යුවළගේ නිර්මාණයක යෙදීමට ලැබීම රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට හිමි වන දුර්ලභ වාසනාවක් නේද?

ඇත්තටම මං කලා ලොවට එක් වන්නේ හරිම ළමා අවධියේදී. සිනමා නිර්මාණයකට හා හා පුරා කියා දායක වුණේ සුමිත්‍රා පීරිස්ගේ චිත්‍රපටවලටයි. එතැන් පටන් 'යහළුවෝ', 'අම්මාවරුණේ' චිත්‍රපට ඔස්සේ දිගටම සිනමාවේ චරිත නිරූපණයට මට අවස්ථාව හිමි වුණා.

* ලෙස්ටර් - සුමිත්‍රා සමඟ වැඩ කරන්නට ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඒක හරිම ලොකු වාසනාවක් කියලා දැනෙනවා. ඒ අය සමඟ ආශ්‍රය කරන්න ලැබීම පවා සතුටක්. මගේ විවාහයට අත්සන් තැබුවේත් ඒ දෙදෙනා. විවාහ ගිවිස ගැනීම සිදු වුණෙත් ඔවුන් දෙදෙනා ජීවත් වන නිවෙසෙයි. ඔවුන් දෙදෙනා හරිම ආදරණීය යුවළක්. ඔවුන් සමඟ වැඩ කරත්දී මට හිතෙන්නේ මහා විශ්ව කෝෂයක් සමඟ වැඩ කරනවා කියලයි. මොකද රූගත කිරිමකදී පුංචි දේ ගැන පවා හරිම විමසිලිමත්. ඒ හැම දේටම විශේෂ අවධානයක් යොමු කරනවා. කැමරාවට හසුවන හැම දෙයක් ගැනම ඉතාම සියුම්ව නිරීක්ෂණය කරලා හොඳටම හොඳ නම් පමණයි ඔවුන් දෙදෙනාගේ ර්‍ණම් එක ලැබෙන්නේ. අද ගොඩක් අය හදිසියේ චිත්‍රපට නිර්මාණ කළත් ඔවුන් ඉතාම කැපවීමෙන් නිසි ලෙස කාලය අරගෙන උපරිමව චිත්‍රපටය නිර්මාණය කරනවා. අපිට ඉගෙන ගන්න ලෙස්ටර් සුමිත්‍රා යුවළගෙන් බොහෝ දේ තිබෙනවා. දවසක් ඔවුන් සමඟ කටයුතු කිරීමත් විශ්වවිද්‍යාලයකින් කලාව හැදෑරුව වගෙයි මට දැනෙන්නේ.

* ඔබ දක්ෂ නවකතා රචිකාවියක්. දැන් පොත් ලියන්නේ නැතිද?

නවකතා කලාවෙන් ඈත් වෙලා නැහැ. මේ වන විටත් පොතක් භාගෙට ලියලා තියෙනවා. එයත් දැන් අවුරුදු එක හමාරක් තිස්සේ ලියමින් ඉන්නේ. මීට පෙර මම ලියූ 'සඳ නොදුටු තරකා', 'හිරු නොදුටු දේදුණු' නවකතා දෙක කාගේත් කතාබහට ලක් වුණා.

* මේ නවකතාවලට ලැබුණු පාඨක ප්‍රතිචාර මොන වගේද?

හුඟ දෙනෙක් මේ නවකතා කියවලා මට පෞද්ගලිකවම කිව්වා චිත්‍රපටයකට නඟන්න සුදුසුයි කියලා. මේ නවකතාවලට පාදක වුණේ පුනර්භවය වගේම මිනීමැරුම් පිළිබඳ අභිරහස් වගේ තේමාවන්. මේ කතා කියවලා තිස්ස අයියා මේ නවකතාවට තිර රචනයක් ලියා දෙන්න කියලත් මගෙන් ඉල්ලීමක් කළා. මගේ විශ්වවිද්‍යාල වෘත්තීය සහ විවාහය, දරුවා ලැබීම වැනි කාරණා නිසා ඒ කටයුතු කල්ගත වුණා. ඒ වගේම චන්ද්‍ර හපුතන්ත්‍රි මහත්මිය මට මේ පොත් කියවලා 'හංගර් ගේම්ස්' කෘතීන් සිංහලයට පරිවර්තනය කරන්න ආරාධනා කළා. ඒ පොතුත් එක හුස්මට කියවන්න පුළුවන් වෙන්නයි මම රචනා කළේ. මේවාට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන සතුටුයි.

* ඔබ වඩාත් කැමැති කථිකාචාර්ය වෘත්තීයට ද? රංගනයට ද? ලිවීමටද?

මේ තුනම මට එක වගේ. මේ කාර්යයන් තුනෙන්ම මම එක වගේ සතුටක් විඳිනවා. මම විවිධ ආයතනවල විවිධ උසස් රැකියා කළා. ඒ සියල්්ලෙන් මිදිලා උගන්වන්නට ලැබීම මට සතුටක්. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් විදිහට මම සරසවි දරුවන්ට උගන්වමින් විශාල තෘප්තියක් ලබනවා.

* ඔබේ කුඩා කාලය ගෙවුණේ මෙරට නෙවෙයි?

ඔව්. මම පොඩි කාලේ ඉඳලම ජීවත් වුණේ නවසීලන්තයේ. පාසල් ගියේ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ නවසීලන්තයේ. ලංකාවේ ජීවත් වෙන්න මම කැමැති නිසා ඒ සියල්ල දමා ලංකාවේ පදිංචියට ආවා. මගේ මවත් පියාත් තවමත් විදේශ ගත වී ඉන්නේ.

* ඔබේ විවාහයත් අහඹු සිදුවීමක්?

මම විවාහ වී ඉන්නේ ජීත් සමරසේකර සමඟ. ඔහු වෘත්තියෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් VVIP පයිලට් කෙනෙක්. අපි දෙන්නා හමු වුණේ හරිම අහඹු විදිහට. අපි දෙන්නම වයසක පුද්ගලයින් දෙදෙනෙක් විදිහට පෙනී සිටිමින් දේශපාලනික / සමාජ සිදුවීම් ගැන සටහන් අන්තර් ජාලයේ බ්ලොග් අඩවිවල පළ කෙරුවා. අන්තිමට දෙන්නට දෙන්නා ඇත්තටම දුරකථනයෙන් කතා කරත්දී ඔහු තරුණයෙක්. මම තරුණියක්. මේ විදිහට අපි දෙන්නාගේ අදහස් ගැළපෙන බව තේරුණා. අපි මිතුරන් වුණා. පසුව විවාහ වුණා. දැන් අපිට පුංචි පුතෙක් ඉන්නවා. පුතා ජෙහාර සමරසේකර. දැන් පුතාට මාස දහයක්. බොහොම සතුටින්, සරලව ආදරණීයව ජීවිතය ගලාගෙන යනවා.

* ජීවිතය දෙස ආපසු හැරී බලද්දී ඔබට මොකද හිතෙන්නේ?

හරිම ලොකු තෘප්තියක් දැනෙනවා. හැම දේම දිහා ධනාත්මකව බලන්නට මට හැකි වී තිබෙනවා. අපේ ජීවිතේ වෙන හැම දෙයකින්ම අපි කුමන හෝ දෙයක් ඉගෙන ගෙන තිබෙනවා. එහෙම බලද්දී මම හරිම වාසනාවන්තයි කියා හිතෙනවා.