වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




RAAZI සත්‍ය කතාවක් ඇසුරෙනි

RAAZI සත්‍ය කතාවක් ඇසුරෙනි

තාත්තා ගී ලියූ දියණිය තැනූ චිත්‍රපටයක් !

ආලියා භාත්, මව සමඟ මුල්වරට රංගනයේ

රහස් ඔත්තු සේවාවන් නම් මානව ඉතිහාසයේ ඈත අතීත යුගවල පටන් සත්‍ය ලෙසින්ම ක්‍රියාත්මක වී වර්තමානයේදී පවා අති සූක්ෂ්ම අන්දමින් ලොවපුරා ක්‍රියාත්මක වන්නකි. එසේම රහස් ඔත්තු සේවා පදනම් කර ගත් සිනමා නිර්මාණ බිහි කිරීම අතින් පෙරමුණේ පසුවෙන්නේ හොලිවුඩය යි. ඇතැම් නිර්මාණ සත්‍ය සිදුවීම් පාදක කොට ගෙන නිර්මාණ වී ඇති අතර ලෝක සිනමාවේ ප්‍රකටතම රහස් ඔත්තුකරුවා ලෙසින් සැලකෙන්නේ බ්‍රිතාන්‍යයේ ජේම්ස් බොන්ඩ් ය.

බොලිවුඩ් සිනමාවට ද පසුගිය 11 වැනිදා සිට අලුත් රහස් ඔත්තුකාරියක් සම්බන්ධ වුණා. ඇය ශෙහ්මාත්. සුරූපි තරුණියක වන ශෙහ්මාත් ඉන්දීය යුද හමුදාවේ රහස් ඔත්තුකාරියක ලෙසින් කටයුතු කරන අතර ඉක්බාල් නම් පකිස්තානු ජාතික ආරක්ෂක අංශ නිලධාරියකු සමඟින් යෝජිත විවාහයකට බැඳේ. පකිස්තානු ආරක්ෂක අංශයේ සියලු යුද රහස් මෙහෙයුම්වල තොරතුරු ඉන්දීය ආරක්ෂක අංශ වෙත ලබාදීම ශෙහ්මාන්ගේ අරමුණයි.

සුරූපි ශෙහ්මාන්ගේ මෙම රහස් මෙහෙයුම දියත් වන්නේ මේ වන විට රිදී තිරයේ දිග හැරී ඇති Raazi සිනමා නිර්මාණය ඔස්සේයි. ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙසින් වර්ග කෙරී Raazi, 1971 වසරේ ක්‍රියාත්මක වූ ඉන්දු - පකිස්තාන යුදමය වාතාවරණය සමඟින් වන සත්‍ය පුවතක් ඇසුරින් හරින්දර් සිඛා විසින් රචිත Calling Sehmat නවකතාව පාදකකොට ගෙන නිර්මාණය වී ඇත. මෙහි ශෙහ්මත්ගේ චරිතයට පණ පොවන්නේ අඩු වයසින් තම හැකියා පෙන්වමින් ෆිල්ම් ෆෙයාර් හොඳම නිළිය ලෙසින් සම්මානයෙන් පවා පිදුම් ලබන්නට සමත් වූ ආලියා භාත්.

Raazi චිත්‍රපටය ආලියා භාත්හට තම සිනමා දිවියේ සුවිශේෂි සිනමා නිර්මාණයක් බවට පත් වන්නේ සිය මව සමඟින් රංගනයෙන් දායක වන පළමු සිනමා නිර්මාණය ලෙසින්. බොලිවුඩ් සිනමාවේ නිළියක මෙන්ම අධ්‍යක්ෂවරියකද වන ආලියාගේ මව සෝනි රාස්දාන් මෙහි තේජි නම් චරිතයට පණ පොවනවා.

මෙම අවස්ථාව ආලියාට පමණක් නොව වසර හයක් වන ආලියාගේ රංගන දිවියේ සෑම නිර්මාණයකම ඇය සමඟින් සිටි ආදරණිය මවක ලද සුන්දරතම අවස්ථාවක් බව සෝනි පවසනවා. මෙහි ඉක්බාල්ගේ චරිතයට පණ පොවන්නේ, විකී කෞෂාල්. බොලිවුඩ් සිනමාවේ සටන් අධ්‍යක්ෂවරකු වන ශ්‍යාම් කෞෂාල්ගේ පුත්‍රයා වන විකී කෞෂාල් Gunday, My Friend Pinto වැනි චිත්‍රපටවල සහය අධ්‍යක්ෂවරයකු ලෙසින්ද කටයුතු කර ඇත. Bombay Velvet, Masaan වැනි චිත්‍රපටවලද ඔහු ගේ රංගනයන් ඇතුළත්.

Raazi අධ්‍යක්ෂණය කර තිබෙන්නේ බොලිවුඩ් අධ්‍යක්ෂවරියක වන මේඝනා ගුල්සාර් විසිනි. චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, තිරරචකයකු, නිෂ්පාදකවරයකු, ගීත රචකයකු මෙන්ම කවියකු වන ගුල්සාර්ගේ එකම දියණිය වන 44 හැවිරිදි මේග්නා විසින් මේ වන විට Talvar (2015),Dus Kahaniyaan, Just Married (2007) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇත.

කරන් ජොහාර්, විනීත් ජේන්, හිරූ යාෂ් ජොහාර් සහ අපූර්යා මෙහ්තා විසින් නිෂ්පාදනය කළ Raazi චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ශංකර් මහාදේවන්, ඉෂාන් නූරානි සහ ලොයි මෙන්ඩොන්සාගේ එකතුවෙනි.

ශංකර් මහාදේවන්, අර්ජිත් සිං, සුනීදි චෞහාන්, හර්ෂ්දීප් කෞර්, විභා සාරාෆ් මෙහි ගායනයෙන් දායක වී ඇත. Raazi චිත්‍රපටයේ සියලුම ගීත රචනා කර තිබෙන්නේ මේග්නාගේ පියා ගුල්සාර් විසිනි. පසුගිය 11 වැනිදා සිට ඉන්දියාව ඇතුළු ලොවපුරා රටවල් රැසක Raazi චිත්‍රපටය තිරගත කළ නමුත් බොලිවුඩ් පුවත් ගෙන ආවේ පකිස්තානය එය වාරණය කළ බවයි.