වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




පොතක බැඳුණු ජීවිත Book Club

පොතක බැඳුණු ජීවිත Book Club

මැයි 18 වැනිදා සිට ලොවපුරා

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි”. පොත් කියවීම බොහෝ දෙනෙකුගේ විනෝදාංශයක් බව කවුරුත් දන්නා දෙයක්. එය තවත් අයෙකුගේ ජීවිතයේ එක් පුරුද්දක්. තවත් අයෙකුට පොත් කියවීම අවශ්‍යතාවයක්. තම තමන්ගේ පාළුව, කාන්සිය මකා ගන්නත් පොත් කියවන්න පුරුදු වූ පිරිසකුත් සිටිනවා.

පොත් කියවන තවත් පිරිසක් ගැන කියන අලුත්ම සිනමා නිර්මාණයක් රිදී තිරයේ දිග හැරෙන්න සූදානම්. බිල් හෝල්ඩර්මාන් විසින් අධ්‍යක්ෂණය කළ Book Club චිත්‍රපටය කියන්නේ එම කතාවයි. මැයි 18 වැනිදා සිට ලොවපුරා තිරගත කෙරෙන Book Club ප්‍රේමණීය හාස්‍යමය චිත්‍රපටයක්. මෙය බිල් හෝල්ඩර්මාන්ගේ කුලුඳුල් සිනමා නිර්මාණය යි.

ඩයෑන්, විවියන්, ශෙරෝන් සහ කාරොල් යනු පොත් කියවීමේ සංගමයකට සම්බන්ධ වී සිටින සිය ජීවිතයේ හැට වැනි දශකය ගත කරමින් සිටින කාන්තාවන් සිව්දෙනෙක්. ඩයෑන් හතළිස් වසරක විවාහ ජීවිතයෙන් පසු මෑතකදී වැන්දඹු බවට පත් වී සිටින කාන්තාවක්. විවියන්, පිරිමින් ඇසුරු කරමින් නිදහස් ජීවිතයක් ගත කරන කාන්තාවක්. ශෙරෝන් දස වසරක් පමණ පැරණි දික්කසාද නඩුවක් වෙනුවෙන් සටන් වදින කාන්තාවක්. කාරොල් යනු වසර තිස් පහකට පමණ පසු සිය විවාහ දිවිය පිළිබඳ අසතුටු තත්ත්වයකින් පසුවන කාන්තාවක්. පොත් සමාජයකට සම්බන්ධ වී සිටින ඩයෑන්, විවියන්, ශෙරෝන් සහ කාරොල් යන මේ සිව් දෙනාගේ ජීවිත උඩුයටිකුරු කරමින් ජීවිතයේ අමුතුම තෝරා ගැනීම්වලට පිවිසෙන්නේ බ්‍රිතාන්‍ය ලේඛක ඊ. එල්. ජේම්ස් විසින් රචිත Fifty Shades of Grey නවකතාව කියවීමෙන් අනතුරුවයි.

Book Club තිරරචනය කර තිබෙන්නේ අධ්‍යක්ෂ හෝල්ඩර්මාන් සහ අයිරින් සිම්ස් විසින්. ඩයෑන් කීටන් මෙහි ඩයෑන් ලෙසින්ද ජේන් ෆොන්ඩා විවියන් ලෙසින්ද කැන්ඩිස් බර්ගෙන් ශෙරෝන් ලෙසින්ද මේරි ස්ටීන්බර්ගන් කාරොල් ලෙසින්ද මෙහි චරිත නිරූපණය කරනවා. Book Club චිත්‍රපටය බෙදා හැරීම සිදු කරන්නේ පැරාමවුන්ට් පික්චර්ස් විසින්.