වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




නම බලලයි මම ගන්නේ

නම බලලයි මම ගන්නේ

ප්‍රියන්ත මංසිළු

'මම ගෙයක් හදන්නේ මගේ දරුවන්වයි බිරිඳවයි ආරක්ෂිතව තියන්න. ඒකට වයර් කෑල්ලක් ගත්තත් නම බලලයි මම ගන්නේ'

මෙම දෙබස මේ දිනවල පුංචි තිරයේ ප්‍රචාරය වන ජනප්‍රිය වෙළඳ දැන්වීමක ඇතුළත් වූවකි. එහි ඉතාම ආවේගශීලීව මෙකී දෙබස ඉදිරිපත් කරන රංගන ශිල්පියා පසුගිය දිනෙක අපට මුණගැසුණා.

රංගනයේදී ඊට උචිත උස් ස්වරයකින් දෙබස් ඉදිරිපත් කළ ද, සාමාන්‍ය ජීවිතයේදී ඔහු කිසිසේත් ආවේගශීලී චරිතයක් නොවන බව ඔහු දෙස බැලූ බැල්මට ඉතා පැහැදිලිය.

පාසල් වියේ පටන් රංගනය කෙරෙහි ඔහු තුළ පැවතියේ අපරිමිත ඇල්මකි. අධ්‍යාපනය ලැබූ නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ වේදිකාව මතින් ප්‍රසිද්ධ කරළියට ද, ඉන් ඔබ්බට පුංචි තිරය හා රිදී තිරයට ද ඔහු දැන් අවතීර්ණ වී හමාරය. ඉහතින් සඳහන් කළ ජනප්‍රිය වෙළඳ දැන්විම ද ඇතුළුව මතකයේ රැඳුණු වෙළඳ දැන්වීම් හා ගීත රූප රචනා රාශියක් තුළින් ඔබට සමීප වූ ඔහු නමින් ප්‍රියන්ත මංසිළුය. මේ ප්‍රියන්ත සරසවියේදී අප හමු වූ මොහොතේ ඔහුගේ රංගන දිවියේ තතු සංක්ෂිප්තයක් අප සමඟ හුවමාරු කළ අයුරුයි.

කොහොමද ප්‍රියන්ත?

මම හොඳින් ඉන්නවා.

ප්‍රියන්තගේ ආරම්භය ගැන අපට කියනවා නම්?

ඊට කලින් ඒ සඳහා මට තිබුණු උවමනාව ගැන මම කියන්නම්. මම රංගනයේ මූලික දැනුම ලැබුවේ පාසල් වේදිකාවෙන්. එහි වපසරිය පුළුල් කර ගැනීමට මට විශාල උනන්දුවක් තිබුණා. ඒ උනන්දුව ඔස්සේම තමයි මට වේදිකාවෙන් පුංචි තිරයට, පුංචි තිරයෙන් රිදී තිරයටත් මේ ගමන එන්න මඟ එළි පෙහෙළි වුණේ.

ප්‍රියන්ත ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්නේ?

මම ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්නේ මර්සි එදිරිසිංහගේ 'රංකඳ' වේදිකා නාට්‍යය තුළින්. අනතුරුව සුනිල් චන්ද්‍රසිරිගේ 'භූම භූමි' වේදිකා නාට්‍යයට ද මම සම්බන්ධ වුණා.

ඔබ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධයි?

ඔව්. මම කලා ශිල්පිනී රොසෑන් ඩයස් මහත්මිය යටතේ මෝස්තර නිරූපණය පිළිබඳව හදාරන්නට ද යොමු වුණා.

ඉන් අනතුරුවයි ඔබ පුංචි තිරයට පිවිසෙන්නේ?

නෑ. මම රොසෑන් ඩයස් මහත්මිය යටතේ මෝස්තර නිරූපණය පිළිබඳ හදාරමින් සිටින අතරතුර මට ජනප්‍රිය වෙළඳ දැන්වීම් රාශියකට යොමු වන්නට හැකි වුණා.

ඉන් පස්සේ?

අනතුරුවයි මම 'වසූදා' ටෙලි නාට්‍යය හරහා පුංචි තිරයට යොමු වන්නේ.

ඔබ රංගනයෙන් දායක වුණු අනෙකුත් ටෙලි නිර්මාණ පිළිබඳ සඳහන් කළොත්?

ශාන්ත සොයිසා නිර්මාණය කළ 'පබා', අනුර දසන්ජිත්ගේ 'හිමගිර නැග', සඳරුවන් ජයවික්‍රමගේ 'සිහින විලක්', ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ 'පාරා වලලු', අම්මාවරුනේ', සඳුන් රාජකරුණාගේ 'පැහැසරා' ඇතුළු නිර්මාණ බොහොමයකට දායක වන්නට මට හැකි වුණා.

ඔබගේ සිනමා රංගන දායකත්වය පිළිබඳ කියනවා නම්?

මම උදයකාන්ත වර්ණසූරියගේ 'චැලෙන්ජර්ස්' උදාර පල්ලියගුරුගේ 'සුපර් සික්ස්', ඉසුරු වීරසිංහගේ 'කලර්' යන සිනමා නිර්මාණවලට මෙන්ම සුමිත් කුමාරගේ ගේ 'ඇලඩින් ගේ පුදුම පහන' යන සිනමා නිර්මාණයේද මම රංගනයෙන් දායක වී තිබෙනවා.

ඔබ ගීත රූප රචනා සඳහා ද රංගනයෙන් එක් වුණ ශිල්පියෙක්?

ඔව්. ඒවා අතරින් ජානක වික්‍රමසිංහ ගායනා කළ 'සිල් රෙද්දක් සේ සිත පිවිතුරු මුවැත්තියේ' යන ගීතය සඳහා කළ රංගනයත්, රූකාන්ත ගුණතිලක විසින් ගායනා කළ 'ආදර මගෙ ජේසුනේ' ගීත රූප රචනාව සඳහා කළ රංගනයත් ඉතා ජනප්‍රිය වුණා.

ක්ෂේත්‍රය පිළිබඳ වත්මන් තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

ක්ෂේත්‍රයේ අද වන විට ගුණාත්මක නිර්මාණ බිහි නොවීම විශාල ගැටලුවක්. විශිෂ්ට ගනයේ විදෙස් නිර්මාණ පිළිබඳ මනා අධ්‍යයනයකින් පසුව හෝ මෙරට හොඳ මට්ටමින් නිර්මාණයක් කළ හැකි නම් එය තමයි කළ යුත්තේ. දැනට අපිට අධ්‍යයන කටයුතු සඳහා සුදුසු ආයතනයක් නෑ. ඒ නිසා නිර්මාණවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් තිබෙනවා.

ඔබ රංගනය පිළිබඳ හැදෑරිමට යොමු වෙනවාද?

ඔව්. මම තවම මගේ රංගනය පුළුල් පරාසයකට යොමු කරවිම පිළිබඳ නිරතුරු සොයා බලන කෙනෙක්. ඒ සඳහා 'අභින' වැඩමුළුවලට සහභාගි වෙනවා මෙන්ම තනිව රංගනය හා කෂේත්‍රය පිළිබඳ අධ්‍යයන කටයුතුවල අඛණ්ඩව නියැළෙනවා.

ඔබ වෘත්තියට නිසි ඇගයුම ලබා දෙන ශිල්පියෙක්?

ඔව්. මගේ දෙමව්පියන් කලාවට සම්බන්ධ අය නෙවෙයි. පවුල් පසුබිමක ආභාසය ලැබීම ඇත්තටම ශිල්පියකුට / ශිල්පිනියකට ඉදිරියට යන්න පහසුවක්. කෙසේ වෙතත් කලාව මගේ වෘත්තීයයි. කලාව පැත්තෙන් මා තුළ තිබෙන උනන්දුව නිසා මම එය වෘත්තීය කර ගන්නවා මෙන්ම ඊට නිසි ඇගයුම මම දෙනවා.

රංගන ක්ෂේත්‍රය තුළ තම ස්ථාවරය එලෙස පැවසූ ප්‍රියන්ත, චිත්‍රපට රංගන ශිල්පියෙකු වශයෙන් ස්ථාවරවීමේ අපේක්ෂාවෙන් සිටින්නෙක් මෙන්ම කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් නිෂ්පාදනයෙන් හෝ අධ්‍යක්ෂණයෙන් දායකවීමට ද ඔහු තුළ ඇත්තේ ද බලවත් අධිෂ්ඨානයකි.

රංගනයේ වපසරිය හොඳින් දැන හැඳින හෙට දින එළිය වන පැහැබර සිනමා අඹරක දිදුලන තරුවක් වන්නට ඇති ප්‍රියන්තගේ පැතුම එලෙසම ඉටු වේවායි යන්න අපගේ ද ප්‍රාර්ථනයයි.