වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




දශක ගණනාවක් සංගීත රසයෙන් පින වූ ඔහුට ඔබේ සෙනෙහස අවශ්‍ය මොහොතයි

දශක ගණනාවක් සංගීත රසයෙන් පින වූ ඔහුට ඔබේ සෙනෙහස අවශ්‍ය මොහොතයි

මර්වින් ප්‍රියන්ත ගැනයි මේ

ප්‍රවීණ සංගීතඥ මර්වින් ප්‍රියන්තගේ දකුණු පාදය හදිසියේ ශල්‍යකර්මයක් මඟින් කපා ඉවත් කළ බව සඳහන් පණිවිඩය සරසවියට දන්වා සිටියේ ප්‍රවීණ ගායිකාවක වූ ප්‍රදිපා ධර්මදාස මහත්මියයි. කවදත් කලාකරුවන්ගේ දුකේදී මෙන්ම සැපේදීත් ඔවුන් හා අත්වැල් බැඳ සිටින සරසවිය මේ ආරංචියේ ඇත්ත නැත්ත ඔස්සේ පිය මැන්නේ මර්වින් ප්‍රියන්තගේ 693, සෙන් සෙබස්තියන් පාර, වැලිගම්පිටිය, ජාඇල ලිපිනය සඳහන් නිවහන වෙතය.

ප්‍රදීපා දුන් ආරංචිය සැබෑය. දශක තුනකට වැඩි කලක් ලාංකේය සංගීත ලෝලීන් වාදනයෙන් ගායනයෙන්, ගී තනු නිර්මාණයෙන් දෙසවන් සනසාලූ මේ ආදරණීය සංගීතඥයා රෝද පුටුවේය. අපගේ පැමිණීමත් සමඟ සිනාමුසු මුහුණින් දෙඅත් ඔසවා ආයුබෝවන් කීවේ සිත පුරා ඇති වූ සතුට දෝරේ ගලායාමට ඉඩකඩ සලසාලමිනි.

තම ආදරණීය බිරිය අනෝමාගේ සෙවණැල්ලේ ඇප උපස්ථාන ලබමින් සුවය ලබන මර්වින් අප හා පිළිසඳරට එක් වෙමින්.

ඇයි මේ හදිසියේම කකුල කපා ඉවත් කරන්න සිදු වුණේ?

මගේ ඇඟේ සීනි මට්ටම උග්‍ර වුණා. මුලින්ම දකුණු කකුලේ මාපට ඇඟිල්ලේ නියපොත්ත ගැල වී තුවාලයක් ඇති වුණා. ප්‍රතිකාර කළත් තුවාලය සුව නොවීමෙන් ස්නායු මැරීයාමේ තත්ත්වයක් ඇති වූ හෙයින් එය ජීවිත අවධානමට හේතුවක් බව වෛද්‍යවරු පැවසූ නිසාවෙන් දකුණු කකුල කපල ඉවත් කරන්න සිද්ධ වුණා. වම් කකුලෙත් එක් ඇඟිල්ලක් කපල ඉවත් කර දැමුවා.

හදිසියේම මේ ශල්‍යකර්මය සිදු කළේ කවදාද?

ජනවාරි 16 වැනිදා තමයි ඔපරේෂන් එක කළේ. දැන් නම් කකුළේ තුවාලය සුවපත් වෙලා. මාස පහක්ම ඇඳට සිමා වෙලා තමයි හිටියේ.

ඔබ මේ ආකාරයේ තත්ත්වයකට පත්වීම ගැන ක්ෂේත්‍රයේ අය නොදැන සිටියාද?

මම කාටවත් කියන්න ගියේ නෑ. මගේ හදිසි නිහඬවීම ඇයි ද කියලා මගෙත් එක්ක වැඩ කළ අය හොයල බලන කොට තමයි හුඟ දෙනෙක් මා ගැන දැනගෙන තියෙන්නේ. මගෙන් වැඩ කරගත් අය මාත් සමඟ එකට සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කළ උදවිය මාව බලන්න ආවා. සමහරු මට කකුලේ තුවාලය සුවවීමෙන් පසු කෘත්‍රිම කකුලක් ලබා ගැනීමට පවා උදවු කරන්න පොරොන්දු වුණා. තවත් අය මුදලින් පවා මට උපකාර කළ අවස්ථාත් තියෙනවා.

දැන් ඉතින් ඔබ සංගීත දිවියට සමු දෙන්නද අදහස් කරලා තියෙන්නේ?

නැහැ. මගේ කකුල මට අහිමි වුණාට මගේ නිර්මාණ ශක්තිය අඩු වෙලා නෑ. දැන් මට තිබුනටත් වැඩි ආත්ම විශ්වාසයක් මා තුළ ගොඩ නැඟිලා තියෙනවා. කෘත්‍රිම පාදයක් දමා ගත්තට පස්සේ මගේ සුපුරුදු වැඩ ටික ඒ ආකාරයෙන් මට කරගෙන යන්න පුළුවන්.

මේ වෙන කොට ඔබේ කලා ජීවිතය ගැන තෘප්තිමත්ද?

ඔව්. දැන් මට වයස අවුරුදු 67 ක්. මේ ගෙවෙන්නේ මගේ කලා ජීවිතයේ 45 වැනි අවුරුද්ද. අවුරුදු 21 දී තමයි මම සරිගමපදනි ගැහුවේ. ඒ මගේ සංගීත දිවියේ මහා ගුරු ෂෙල්ටන් ප්‍රේ්මරත්න මහතාට පින් සිදු වෙන්න.

ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවේදියා ඔබට මුණ ගැහෙන්න පෙරාතුව පටන් ඔබ සංගීත භාණ්ඩ වැයීමේ සැබෑ දක්ෂයෙක්?

සංගීතය කියන දේ මගේ ඇඟේ තිබුණ දෙයක්. උත්පත්තියෙන්ම මම රැගෙන ආපු දෙයක්. මගේ පවුල් පසුබිමේ කවුරුවත් සංගීතය ගැන හැදෑරීමක් කරලා තිබුණේ නෑ. ඒත් මා තුළ සහජ හැකියාවක් තිබුණා උත්පත්තියේ පටන්. මට මතකයි මම මුලින්ම වාදනය කළේ මවුත්ඕගන් එක. එතකොට මට වයස අවුරුදු පහයි. ඒක මට අරන් දුන්නේ මගේ මාමා කෙනෙක්.

ඔබ වාද්‍ය භාණ්ඩ කිහිපයක්ම වාදනය කිරීමේ හැකියාවෙන් පරිපූර්ණ පුද්ගලයෙක් ලෙස කලා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධයි?

ඒ ගැන මම නිහතමානීව සතුටු වෙනවා. ගිටාර් එක, මවුත්ඕගන් එක, එකෝඩියන්, ඕගන් එක වගේම වයලීනය වාදනය කිරීමේ සුවිශේෂී හැකියාවක් මට තියෙනවා.

ඔබ සංගීත ක්ෂේත්‍රයේ වාද්‍ය ශිල්පයේ සැබෑ දක්ෂයකු වුවත් ඇයි නිහඬ ගමනක් ප්‍රිය කළේ?

මම කවදාවත් වැඩ ඉල්ලන් පස්සෙන් ගිය කෙනෙක් නෙවෙයි. ඕනෑ කෙනෙක් මා ගාවට ඇවිත් අවශ්‍ය දේ කර ගත්ත එක තමයි කළේ. මම ගීතයකට තනුවක් හැදුවත් ඒ අවශ්‍ය කෙනාගේ ඉල්ලීමකට විතරයි. ප්‍රසංගයක සංගීත අධ්‍යක්ෂණය කළත්, ඒත් මගේ අවශ්‍යතාවය ඕනෑ කෙනා ඇවිත් භාර දුන්නොත් විතරයි. මගේ කලා ජීවිතය පුරාවට මම කළේ ඉල්ලීමකට මගේ හැකියාව එකතු කරන එක මිසක් සිංදු හදල තනු දාලා අනේ මේක ගායනා කරන්න කියන ඉල්ලීම් කරමින් ජනප්‍රියත්වය සොයා යාමක් නොවෙයි.

1978 ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයේ සේවයට එක්වන ඔබ සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසින් දිගු ගමනකට මුල පුරනවා?

ටියුඩර් ජයශාන්තගේ සුන්දර් ගී ප්‍රසංගය තමයි මම මුලින්ම සංගීතවත් කරමින් සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසින් ගමනක් එන්න මුල පිරුවේ. ඒ සඳහා වාදකයෝ තිස් අටක් සහභාගි වුණා. චම්පා කල්හාරිගේ කල්හාරි ගී, නුවන් ගුණවර්ධනගේ සුහානි රාත් ඒක පුද්ගල හින්දි සංගීත ප්‍රසංග සහ ප්‍රියංකර පෙරේරාගේ ප්‍රියංකර රාත්‍රිය, ජේ. ඒ. මිල්ටන් පෙරේරාගේ පුංචි පුංචි තාරකා, රූපා ඉන්දුමතීගේ තොලඟින් සවනට ආදී ප්‍රසංග බොහොමයකට මම ඊට පස්සේ සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසින් සහභාගි වුණා.

මෙරට ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් වෙනුවෙන් ඔබ ගී තනු නිර්මාණයෙන් ද දායක වී තිබෙනවා නේද?

වික්ටර් රත්නායක, සුජතා අත්තනායක, නිරෝෂා විරාජිනී, චන්ද්‍රලේඛා පෙරේරා, මායා දමයන්ති, රෝහණ බෝගොඩ ආදී බොහෝ පිරිසක් වෙනුවෙන් කැසට්පට හා සී. ඩී. සඳහා මම ගී තනු නිර්මාණය කළා.

ඔබේ මුල්ම ගී තනුව කා උදෙසාද නිර්මාණය වුණේ?

සුජාතා අත්තනායක වෙනුවෙන් ගුවන් විදුලියේ එල් පී තැටියකට ඇය ගායනා කළ මගේ යෙහෙළියන් . . . ගීතය.

කී බෝඩ් වාදකයෙක් ලෙස මෙරට ප්‍රසිද්ධ ඒක පුද්ගල ගී ප්‍රසංග රැසක් වෙනුවෙන් දායකවීමේ විරල භාග්‍යයක් ඔබට උදා වෙනවා?

රුක්මණී දේවියගේ 'ස්වර්ණ ගී', එච්. ආර්. ජෝතිපාලගේ 'ජෝති රාත්‍රිය', සුජාතා අත්තනායකගේ 'ඇසි මිහිර', දයාරත්න, අමරා රණතුංගගේ 'සාරංගා', මාලනී බුලත්සිංහලගේ 'මාද ඔබම විය', ගුණදාස කපුගේ ගේ 'කම්පන', සුනිල් එදිරිසිංහගේ 'සඳකඩ පහන', පණ්ඩිත් අමරදේවයන්ගේ 'අමර ගී සර' එක පුද්ගල ගී ප්‍රසංග විශාල ප්‍රමාණයකට දායක වුණා.

චිත්‍රපට හා වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය සඳහාත් ඔබට වරම් ලැබෙනවා?

ජොලි හලෝ 1, ජොලි හලෝ 2, පතිනියකගේ හෝරාව චිත්‍රපට සඳහා මම සංගීත අධ්‍යක්ෂණය කළා. ගුවන් කරනම්, දේශපාලුවා වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය කළා. තාරාවෝ ඉඟිලෙති, දෙව්ලොව දෝණි, නරියා සහ කේජු වේදිකා නාට්‍ය සඳහා වාදනයෙන් දායක වී තියෙනවා.

විදෙස් ප්‍රසංග සඳහා ද ඔබ දායක වන්නේ අපේ ප්‍රවීණ ගායක ගාගයිකාවන් රැසක් සමඟින්?

වාදකයෙක් ලෙස මම විදෙස් සංචාර විසි හතරකට සහභාගි වෙලා තියෙනවා. රටවල් දහ අටක් වෙත මම ප්‍රසංග වෙනුවෙන් සහභාගි වෙලා තියෙනවා. වැඩිම ප්‍රසංග ප්‍රමාණයක් සඳහා සහභාගි වුණේ පණ්ඩිත් අමරදේවයන් සමඟ අමර ගී සර වෙනුවෙන්.

වාදනයේ හැකියාව මෙන්ම ගායනයේ හැකියාවත් ඔබ සතුයි නේද?

මම බොහෝ විට මිල්ටන් පෙරේරාගේ, හරුන් ලන්ත්‍රාගේ ගීත තමයි බොහෝ විට ගායනා කරන්නේ. මගේම ගීතයක් මම නිරෝෂා විරාජිනී එක්ක ගායනා කරලා 2000 වසරේදී රෙකෝඩ් කරලත් තියෙනවා.

විදෙස් ගායක ගායිකාවන් වෙනුවෙන් ඔබ අතින් ස්වර ප්‍රස්තාර සැකසුණා නොවේද?

නිතින් මුකේෂ්, ආශා බෝස්ලේ ඉන්දියනු ගායක ගායිකාවන් ලංකාවේ පැවැත් වූ ඒක පුද්ගල ගී ප්‍රසංගවලදී ස්වර ගී ප්‍රස්තාර සැකසුණේ මගේ අතින්.

ජනප්‍රිය වාදක මණ්ඩල කීපයකම අරම්භක සාමාජිකයෙක් ඔබ?

ශක්ති, මාරිම්බා, ක්ලැසික් බෑන්ඩ්වල කී බෝඩ් ශිල්පියා වුණේ මම.

ක්ලැලිප්සෝ මෙන්ම පැදුරු සාජ්ජයේ ද ඔබට හොඳ ඉල්ලුමක් තිබුණා නේද?

හික්කඩුවේ සිට මීගමුව දක්වා තියෙන හැම ප්‍රධාන හෝටලයකම පාහේ මම ක්ලැලිප්සෝ ප්ලේ කළා. ඒ සඳහා හොඳ ඉල්ලුමක්, ප්‍රතිචාරයක් මට තිබුණා. පැදුරු සාජ්ජයවලටත් එහෙමයි. රටේ ජනාධිපතිවරු, අගමැතිවරු, ඇතුළු ප්‍රධාන පෙළේ ප්‍රභූන්ගේ පැදුරු සාජ්ජයවල මම සංගීතය පැත්තෙන් දායකවීමක් සිද්ධ කළා.

පැමිණි මඟ ගැන ආපසු හැරිලා බලන කොට ඔබට මොකද හිතෙන්නේ?

මගේ ජීවිතයම සංගීතය බවට පත් වෙලා මම හිතුවේ නැති විදිට මම ජනප්‍රිය වුණා. මම අදත් සැහැල්ලු ජීවිතයක් ගත කරනවා. අවුරුදු දහයක් ආදරය කරලා තමයි මම විවාහ වුණේ. මගේ බිරිය අනෝමා මගේ සෙවණැල්ල ඇයයි. මට පුතාලා තුන් දෙනෙක් ඉන්නවා. ප්‍රදීප් කෝකිල, ප්‍රතාප් රාජිත, ප්‍රභාත් රවිසර එයාලත් වාදනයට වගේම ගායනයටත් දක්ෂයි. මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා පුතාලත් එක්ක ෂෝ එකක් කරන්න.