වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




කම්මල් බිත්තියේ බිහිවූ සිංහල නාඩගම

2018 උසස් පෙළ සඳහා සැරසෙමු

කම්මල් බිත්තියේ බිහිවූ සිංහල නාඩගම

නාඩගම

නාඩගමේ ප්‍රභවය පිළිබඳ විවිධ මතවාද දක්නට ලැබේ. එදිරවිර සරච්චන්ද්‍ර මහතා පවසන්නේ දකුණු ඉන්දියාවේ සිට පැවත එන භගවත මේල තෙරුක්කුත්තු නම් වීදි නාටක සම්ප්‍රදායේ ආභාෂය ලබන 18 වන සියවසේ සිට නාඩගම් මෙරට බිහි වු බවය.

මහාචාර්ය එම්. එච්. ගුණතිලක මහතා ඉහත අදහස ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ තෙරුක්කුත්තු ව්‍යාප්තව තිබුණේ 12 වන සියවස තරම් ඈත අතීතයක සිට බවත්, නාඩගම් 18 වන සියවසේ සිට ලංකාවේ ප්‍රචලිත වූ බැවින් සිංහල නාඩගමේ ප්‍රභවය පෘතගීසි ජන වන්දනා නාට්‍යවලින් සිදු වී ඇති බවයි.

ලංකාවේ යාපනය, හලාවත, කොළඹ, වැලිගම, මාතර යන ප්‍රදේශවල මෙම නාඩගම් ව්‍යාප්තව තිබුණි. ශ්‍රී ලංකාවේ පැරැණිම නාඩගම හරිශ්චන්ද්‍ර නාඩගමයි. නමුත් ප්‍රථම සිංහල නාඩගම ඇහැළේපොල නාඩගමයි. මෙම සිංහල නාඩගමේ රචකයා පිලිප්පු සිංඤෝ නම් කම්මල්කරුවාය. ඔහු මෙම ඇහැළෙපොල නාඩගම තම කම්මලේ බිත්තියේ අඟුරුවලින් ලියූ බව කියැවේ. සිංහල නාඩගම් කලාවේ පීතෘවරයා මොහු වන අතර මොහු රචනා කළ අනිකුත් නාඩගම් අතර මාතලන්. සිංහවල්ලි, හෙලේනා, රජතුන් කට්ටුව යන නාඩගම්වලට සුවිශ්ෂි තැනක් හිමිවේ.

නාඩගම් ආකෘතිය:

නාඩගම පූර්ව රංගය හා අපර රංගය ලෙස කොටස් 02 කින් යුක්ත වේ.

පූර්ව රංගය:

කෝළමේදී මෙන් නාඩගමේද පූර්ව රංගායේදී ස්ථාවර පාත්‍රයන් පැමිණේ. ප්‍රථමයෙන් පැමිණෙන්නේ පොතේ ගුරාය. සුදු ලෝගුවකින් හා හිස බැඳි ජටාවකින් පොතේ ගුරු සැරසී සිටීි. මෙම චරිතය සංස්කෘත නාට්‍යවල එන සූත්‍රධරගේ චරිතයට සමාන වේ. නාඩගම අරම්භ වන්නේ පොතේ ගුරුගේ කවියෙනි. එය පූර්ණ විරිදුව ලෙස හැඳින්වේ. කරළියට පැමිණීමට නියමිත චරිත කවියෙන් හඳුන්වාදීමත්, සංවාදයේ යෙදීමත් පොතේ ගුරුගේ කාර්යයන් වේ.

පොතේ ගුරාට පසුව කරළියට පැමිණෙන්නේ බහුබූතයාය. මොහු කෝළමා සහ කෝනංගි යන නම්වලින් ද හඳුන්වනු ලබයි. පොතේ ගුරා මොහුව හඳුන්වා දෙන්නේ පහත දැක්වෙන කවියෙනි.

කෙතේ බැඳි පඹයා සේ වැරලි ඇඳ කොරල ගත වසා ගෙන

කැතේ යන තුරා බී සුරා මත් වෙමින් බඩ නෙරා ගෙන

නෙතේ රතු ඔරවමින් නාටක කර විහිළු මැත දොඩා ගෙන

සිතේ ලෙස සබ මැදට බහුබූත කෝළමා එන්නේ හඬ දී ගෙන

මේ ආකාරයට වඩ මහත බේබද්දෙකු ලෙස ඔහු සිතුවම් කර ඇත. බහුබූතයා යුරෝපීය කවටයා අඳින ඇඳුම් ඇඳ පැමිණේ. තද කලිසමක්ද, මදක් දිග බුරුල් හැට්ටයක් ද ඇඳ හිසෙහි උල් වූ වක් ගැසුණු තොප්පියක් ද පැළඳ සිටී. රැලි දමන ලද ඉන හැඩයක් ද ඔහුගේ ඉඟටියෙන් එල්ලේ. ඔහුගේ කලිසමේ හා හැට්ටයේ වෛවර්ණ අල්ලි පේළියට අල්ලා ඇත. පැසුණු දැලි රුවුලකින් ඔහුව අංග රචනය කරයි.

මොහුගේ චරිතය සංස්කෘත නාට්‍යවල එන විදූෂකගේ චරිතයට සමාන වේ. ඔහු කරළියට පැමිණි විගස සින්දුවක් කියයි. පසුව පොතේ ගුරා සමඟ සංවාදයක යෙදේ. එය හාස්‍යජනක සංවාදයකි. එය ශාන්තිකර්මවල එන සංවාදයට සමානය.

බහුබූතයාට පසුව කරළියට පැමිණෙන්නේ සෙල්ලම් ළමා හෙවත් සෙල්ල පිල්ලෙය. සෙල්ලම් ළමා ජෝතියක් ද, දණහිස දක්වා දිග ඇති ඉස්සරහ බොත්තම් පේලියකින් පියවන ලද විල්ලුද කබායක් ද පැළඳ සිටී. ඔහුගේ බඳ වටා පටියක්ද, කරෙන් දමන ලද පටියක් වැනි උතුරු සළුවක් ද ඇත. හිසෙහි පළඳින්නේ විශාල පනාවකට සමාන වූ හුලස් දෙකකින් යුත් වටකුරු තොප්පියකි. ගෙලෙහි මාල ද, කනෙහි රන් තෝඩු ද, බාහු යුග්මයෙහි වළලු හා පයෙහි ගිගිරි ද පළඳින්නා වූ ඔහු එක් අතකින් පන්හිඳක් ද, අනෙක් අතින් පුස්කොළ පත්තීරුවක් ද රැගෙන සබයට පැමිණේ. උඩු රැවුලකින් හා දෙබැමි අතර ලකුණු කරන ලද තිලකයකින් ද ඔහුගේ මුහුණ අලංකාර කර ඇත.

අතීත වක්තෘ, අනාගත වක්තෘ, හඬ දූතයෝ පසුව පැමිණෙන චරිත වෙති. හඬ දූතයෝ පැමිණ රජුගේ පැමිණීම දන්වා සිටිමත් සමඟ පූර්ව රංගය අවසන් වී අපර රංගය ආරම්භ වේ.

අපර රංගය:

රජු පැමිණ පසු අපර රංගය ආරම්භ වේ. නාඩගමේ නියම කතාව මෙයින් ආරම්භ වේ. මංගලම් ගීතය ගැයීමෙන් නාඩගම අවසන් වේ.

නාඩගම් රංග ශෛලියේ

විශේෂ ලක්ෂණ:

නාඩගම් රංග ශෛලිය් විශේෂ ලක්ෂණ පහත සඳහන්වේ.

1. නාඩගම් රාත්‍රී 3 - 7 අතර කාලයක් රඟ දැක්වේ. (මෙසේ නැරැඹීම ප්‍රේක්ෂකයාට වෙහෙසකර විය)

2. නිශ්චිත පෙළක් (පිටපතක්) දක්නට ලැබීම

(ශාන්තිකර්ම, කෝළම, සොකරිවල පිටපතක් දක්නට නොලැබුණි. මෙහි පෙළක් ඇති නිසා විධිමත් බව මතු වී පෙනේ)

3. පොතේ ගුරු සහ ගායක කණ්ඩායමක් දක්නට ලැබීම.

(ශාන්තිකර්ම, කෝළම් සොකරිවල ද මෙහෙයවන්නකු දක්නට ලැබේ).

4. පූර්ව රගංයේ ස්ථාවර පාත්‍රයන් දක්නට ලැබේ. (කෝළම් රංග ශෛලියේදී මෙය දක්නට ලැබේ)

5. අපර රංගයේදී විවිධ කතා පුවත් රඟ දක්වයි.

6. පොත් ගුරා චරිතය හඳුන්වා දෙන කවියක් ගායනා කරයි (එය 'පොතේ කවිය' හෙවත් 'ඉන්නිසිය' නම් වෙයි). චරිතය සබයට පැමිණෙන විට පොතේ ගුරා 'පොතේ සිංදුව' ගායනා කරයි. පැමිණි චරිතය ද තමා හඳුන්වා දෙමින් ගීතයක් ගායනා කරමින් නටයි. එය 'කියා නටන සිංදුව' ලෙස හැඳින් වෙයි.

7. නළුවන් ගමන් තාලයකින් කරළියට පිවිසීම මෙහි ඇති විශේෂත්වයකි.

8. එක් තැනක සිට තවත් තැනකට ගිය බව පෙන්වීමට වටයක් ගමන් කරයි. 'ගමනේ යාම' ලෙස හැඳින්වේ.

9. ශාන්තිකර්ම හා කෝළම සොකරිවලදී මෙන් වෙස් මුහුණ භාවිතා නොකිරීම විශේෂ වේ. මෙහිදී චරිත අංග රචනය කරයි.

10. දකුණු ඉන්දියානු කර්ණාටක සංගීතය භාවිත කරයි. මෙහිදී මද්දලය (දෙමළ බෙරය) හා හොරණෑව යන සංගීත භාණ්ඩ වාදනය කරයි. මෑත යුගයේදී බටහිර තූර්ය වාදන භාණ්ඩ භාවිතා කරයි. නාඩගම්වල කවි ද්‍රවිඩ ජන්දස් අනුව ද නාඩගම්වල සිංදු කර්ණාටක රාග තාල අනුව ද සකස් වී ඇත.

11. ශාන්තිකර්ම හා කෝළම්, සොකරිවලදී මෙන් පිරිමි පමණක් රංගන දායකත්වය ලබා දුණි. ස්ත්‍රී චරිත පිරිමින් විසින් රඟ දක්වයි.

12. ශාන්තිකර්ම හා ගැමි නාට්‍යවල දක්නට ලැබුණු බිම් මට්මේ වටරවුම් වේදිකාව වෙනුවට පස් ගොඩගසා පොළොව මට්ටමෙන් උස් කොට අර්ධ කවාකාරව තැනු 'කරළිය' නම් වේදිකාව මෙහිදි භාවිත වේ.

13. නාඩගමේදී රංගය සඳහා ආලෝකය ද භාවිතයට ගැනුණි. මුලින් පන්දම් ආලෝකය රාත්‍රී දර්ශන සඳහා භාවිත කළ අතර 1890 වන විට ගෑස් ලාම්පු භාවිතයට ගැනුණි.

නාඩගම් පිළිබඳ විචාර මතවාද

1. පිං ඇති සරසවි වරමක් දෙන්නේ (එදිරිවීර සරච්චන්ද්‍ර)

'චීන හා ජපන් නාට්‍ය සමඟ සැසඳීමට පුළුවන්කමක් තිබුණු එකම සිංහල නාට්‍ය විශේෂය 'නාඩගම' යයි මම විශ්වාස කළෙමි. එහි නිශ්චිත රංග රීතියක් තිබේ. මෙය වූ කලී භාරතයේ ජාත්‍රා, හවායි, තමාෂා,තෙරික්කුක්කු ආදියේ රීතියටත් සංස්කෘත නාට්‍යයේ රංග රිතියටත් නෑකම් කියන්නකි. මා නාඩගම් ශෛලිය් පර්යේෂණාත්මක නිර්මාණයක් කිරීමට තීරණය කළේ මේ හෙයිනි'.

නාඩගම් පිරිහීමට බලපෑ හේතු;

1. ආර්ථික, සමාජීය, දේශපාලන විපර්යාස

2. රාත්‍රී කිහිපයක් එක දිගට රඟදැක්වීම

3. ඒකාකරී ගී තනු හා ඒකාකාරී රංගන

4. නුර්ති නම් නාට්‍යයේ පැමිණීම

5. නළුවන්ගේ හා ප්‍රේක්ෂකයන්ගේ විෂමාචාරි පැවැත්ම. උදා: බහුබූතයා හා සෙල්ලම් ළමා අසභ්‍ය කතා කීම නළුවන් මත්පැන් පානයට ගැනීමත් හේතු විය.