වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




නිශ්ශංක රූ මල්ල

නිවසේ දෙවියන් අම්මා

ලේක්හවුස් බැති ගී සරණියේදී ගී ගයන්නට පැමිණි ඉන්ද්‍රාණි විජේබණ්ඩාරට අත් වාරුවක් වෙමින් රැගෙන ආවේ ඇගේ පුත් සමීරය. ඒ අවස්ථාවේ පසෙක සිටි අල්හාජ් මොහිදීන් බෙග්ගේ පුත් ඉෂාක් ඉන්ද්‍රාණිට අනෙක් පසින් වාරු දුන්නේ හතර වට සිටි හැමෝගේම ඇසට කඳුළක් ගෙනඑමිනි.


ගුරු දෙගුරු හමුවක්

සෝමා ජයසූරිය ආදරණීය මවටත්, ආචාර්ය විශාරද නන්දා මාලිනී ගුරුතුමියටත් පසුගිය දිනක අපූරු අත්දැකීමක් විඳින්නට ඉඩ සැලසිණි. ඒ වෙන කිසික් හින්දා නොව තම දියණියගේ හා ශිෂ්‍යාවගේ දක්ෂතාවය දැක ගැනීමට හැකි වීම නිසාමය. දස මසක් කුස හොවා මෙලොවට ජනිත කළ දූ විශාරද දමයන්ති ජයසූරියගේ නවතම සංයුක්ත තැටිය දොරට වැඩුම සුබ මුහුර්තිය අත්විඳීමෙනි. පළමු මව වැදු මවත්, දෙවැනි මව ගුරුතුමියත් යන ව්‍යවහාරය සනාථ කරමින් එදා තම ගුරුතුමියට ශිෂ්‍යාවගේ දක්ෂතාවය නැවත නැවත දකිමින් ඇස කොනින් සතුටු කඳුළු වැගිරිණි. ඒ මව්වරුන් දෙදෙනාටම එකට හිඳ තම දියණියගේ හා ශිෂ්‍යාවගේ දක්ෂතාවයන් දැක ගැනීමට ඉඩ සැලැසෙන්නේ කලාකුරකිනි. මේ එවැනිම අහඹු සිදුවීමක් මගේ කාච සටහනට එක් වූ මොහොතකි.


රිදී තිරයට රූපයක්

ප්‍රවිණ සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි සහ සුපිරි නළු රන්ජන් රාමනායක එකට එක්වී කතා කරන්නේ රිදී තිරයක් ඉස්සරහා. ඒ වාද්දුවේ සුරංග ද අල්විස් අලුතෙන් ඉදිකළ වීනස් සිනමාහලේදී. පසුබිමේ රිදී තිරය නම් හිස්. ජයන්තගේ මෙහෙයුමට රන්ජන්ගේ රූපය රිදී තිරයට ගියා නම් කොහොමද? හරියට ගරිල්ලා මාකටිං හා වන්ෂොට් එකතු වුණා වගේ තියෙයි.


Selfi Pulla - Selfi Pulla Umma ... Umma...

කොතැනක ගියත් කලා ලෝකයේ සිටින ඡායාරූප ශිල්පියකු මෙන්ම ගායකයකු ද වන දයාන් විතාරණට ඡායාරූපයෙන් තොර ජීවිතයක් නොවේ. ඒ වගේ සිදුවීමක් පසුගිය දිනක නෙළුම් පොකුණ රඟහලේදී සිදුවිණි. ඒ විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ දූ ජයකලණි සමඟයි. ප්‍රේක්ෂකයන් මැද දයාන්ගේ මේ සෙල්ෆි ගැනීම නිසා ජයකලණිට නම් ලස්සන පින්තූරයක් හමුවුණා නිසැකයි. අපට නම් මතක් වුණේ කත්ති දෙමළ චිත්‍රපටයේ එන සෙල්ෆි පුලා ගීතයයි.


හෙළ සිනමාවේ නිධානය - ලෙස්ටර් ඩී. වී. ඩී නොමිලේ

සිංහල සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා අති උදාර යුග කාර්යක් ඉටු කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරින් සමඟ ගුවන් විදුලි, රූපවාහිනී නිවේදක ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ පැවැත් වූ රූපවාහිනී සංවාද ඇතුළත් 'හෙළ සිනමාවේ නිධානය - ලෙස්ටර්' ඩීවීඩී තැටි නොමිලේ ලබාදීමට කටහඬ මාධ්‍ය කේන්ද්‍රය පියවර ගෙන ඇත.

දේශබන්ධු ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ, කටහඬ නිර්මාතෘ, 55, බුවනෙකබා මාවත, මිරිහාන, නුගේගොඩ (මිරිහාන පොලීසිය අසල) ලිපිනයෙන් හෝ 0773749767 දුරකතන අංකයට ඇමතීමෙන් මෙ ඩීවීඩී තැටි ලබා ගත හැකිය.


මුහුරතේ මුහුණු

ප්‍රියංකර විතානාච්චිගේ දෙවන සිනමා සිත්තමේ මුහුරත් උළෙල පසුගිය දින පිටකෝට්ටේ සෝලිස් හෝටලයේදී පැවැත්විණි. සෑම්ගේ කතාව අධ්‍යක්ෂණය කළත් ප්‍රියංකර එදින මුහුරත් උලෙළ පැවැත්වූයේ කිසිම නළුවකු හෝ නිළියක තෝරා පත් කරගෙන නොමැතිවය. කෙටි දැනුම් දීමකදී එතැනට පැමිණි තුමිඳු දොඩම්තැන්න ප්‍රියංකර විතානාච්චි සහ නවකතාකරු චන්ද්‍රරත්න බණ්ඩාර සමඟ ඔහු තෝරාගෙන සිටින්නේ කුමන චරිතයක් සඳහාදැයි පොඩි සංවාදයක යෙදුණු මොහොතයි මේ.