වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




මතකසින්දු පොත අද කඩවුණු පොරොන්දුව සින්දු

මතකසින්දු පොත අද කඩවුණු පොරොන්දුව සින්දු

සිංහල සිනමාවේ එදා මෙදා බිහි වූ ජනප්‍රිය චිත්‍රපට ගී 'යටගිය දවස' ඔස්සේ ඔබටත් රස විඳිය හැකිය. අද එය ආරම්භ කරනුයේ මුල්ම සිංහල කථානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයෙනි. මෙහි සියලු ගී රචනා කරන ලද්දේ කේ. හියුගෝ ප්‍රනාන්දුය. නැතහොත් හියුගෝ මාස්ටර්ය. ඒ අනුව හියුගෝ ලංකවේ මුල්ම චිත්‍රපට ගීත රචකයාය. එමෙන්ම මුල්ම පසුබිම් ගායකයා වනුයේද හියුගෝ මාස්ටර්ය. එම ගී තැටියට නංවන ලද්දේ ස්ටැන්ලි මල්ලවාරච්චිගේ හඬින්වීම විශේෂත්වයකි. සංගීතය නාරායන අයියර්ගෙනි.

ශ්‍රී ජය විජය

ශ්‍රී ජය විජය සිරින් පිරි
අප සිරි ලංකා මාතා ලෝ කුසේ

සිංහල ජාතික කීර්ති ධජා
නංවා දිනෙවා නිතරා

සිරි ලංකා මීගමු දියණී
දරු පෙම් දුලා - මිනර්වා කැළා

එස් එම් නායගම් මැතිඳා
ගුණ කරුණා ධාරේනා
චිත්‍ර කලා කැළ ඒ
චිත්‍ර කළා මෙ රඟේ
ලියලා තොසිනා රඟනා
දෝසැම ඒ දුර ලා
ප්‍රීතිය වේවා සැමා

ගායනය - මිනර්වා ගායක කණ්ඩායම
සිංහල චිත්‍රපටයක ඇසුණු ප්‍රථම ගීතය


සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා

සන්ද්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා
අද අහස දිලිසෙ ස්වර්ණ වර්ණ පා
රශ්මි ධාරා
ඈත උසට කඳු පර්වත සැම අතින් පෙනෙන්නා
නෙත් පිනන්නා
අහසෙ දුවන සිනිඳු වලා කන්දේ හැපෙන්නා
වැලඳ ගන්නා
සූර්යා ද අපට ඉඟි බිඟි පානා හකුලා ධාරා
සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා
පුෂ්ප කුසුම් මිශ්‍ර සුළං දසතින් හමන්නා
ගිම් නිවන්නා
දිනිඳු දුවයි සැඟවි ගන්ට සාගරේ වැදිලා
වෙහෙස වීලා
අහස දිලිසෙ ස්වර්ණ වර්ණ පා රශ්මි ධාරා
සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා
ගංගා සැමා යයි ගලා සාගරේ වෙතා
එ ජල කඳ ගනි වැළදා සමුදුරේ වැදා
පෙම් ජලේ ගැලිීලා
නාමු ප්‍රේම ධාරා
ඒ ඉතා වේ ප්‍රියා

ගායනය - රුක්මණී දේවි (රංජනී) - හියුගෝ ප්‍රනාන්දු /
ස්ටැන්ලි මල්ලවාරච්චි (සැම්සන්)


ප්‍රේම දයා

ප්‍රේම දයා මාගෙ පියාණෝ
අයියෝ ගියා අප දාලා ලෝකේ
ඔබගෙ තිබුණ ප්‍රේ්මේ
සිහි වෙනවා රෑ දවාලේ
වාමි කෝම සෝකේ සෝකේ
ප්‍රේම දයා

සැප හිරු බැස ගියා
අඳුර මතු වී ලෝකේ සෝකේ
කාගේ පාපේ මාගේ පියට හිමි උණේ
දේවනේ
අයියෝ මගේ පියතුමා
ප්‍රේම දයා - මගේ පියා

ගායනය - රුක්මණී දේවි (රංජනී)


දේව ස්වාමි

දේව ස්වාමි කරුණා වේවා
පවුලට ම ලැබෙවා ශාන්තී
ආදර හිමි රාජාණෝ
මේ ලොව මාගේ දෙවියාණෝ
සාදර වූ සුරතල් දියණී
අප ප්‍රීතිය සාදන සුර දූතී

ගායනය - රූපා දේවි (ටෙක්ලා)


ළපටි රූපෙ ඈගේ

ජොසී, ඔය පාරෙ කාර් බස් යනව තේරුණාද?
පාරෙ පැත්තට වෙලා පලයන් ජොසී.
මෙයා නං කවදාවත් මේ ලෝකේ කෙනෙක් වෙන්ඩ බෑ. සුරලොවෙන් ආපු හොල්මනක් වාගේ අම්මා!
ළපටි රූපෙ ඈගේ
දැක ගැහෙති මාව වේගේ
ඒ රම්‍යා ජෝසී ශ්‍රියා කතී
ඈ සේම අන් ලියන් ලොවේ නැතී
මෙතැනට විත් පැන්නා - මා නිකම්ම ගල් ගැහුණා
සැර වී මට රැව්ව නමුත් එක්ක යන්ඩ හිතුණා
මට වඩා ගන්ඩ හිතුණා
ළපටි රූපෙ ඈගේ . . .
මට ම ඔබින රූපේ - මට බැන්නා මම රැව්වා
මාගේ තරමට උස හොඳා
මට ම ඔබින රූපේ - මාගේ තරමට උස හොඳා
ආදරේ - මගෙ කෑදරේ
උඩ පැන පැන මාව දාල පැනල දිව්ව වේගේ
ළපටි රූපෙ ඈගේ

ගායනය - එඩී ජයමාන්න (මනප්පුවා)


ඉස් ඉස්සර වෙලා උඹව මම

ඉස් ඉස්සර වෙලා උඹව මම
දැක්ක දිනේමයි ආදරෙ බැඳුණේ
උඹත් ආදරෙ ද දැම්මම කියපන්
ආයි මේ මාර්ගෙ කොලොප්පන්
ලැජ්ජා නැද්ද මනප්පු අයියේ
මට ලැජ්ජා හිතෙනවා - මනප්පු අයියේ
පාරේ මේ මිනිස්සු එනවා
මම දැන් යනවා මනප්පු අයියේ
ඉතින් උඹට බෑ තනි මඟ යන්නට
තනියට එනවා මනප්පුවා
කුලප්පු වෙන ඔය මනප්පු නැතිවට
පාරේ යාමට මට කිසි බය නෑ


ඉස් ඉස්සර වෙලා . . .

මින් පසු දෙන්නගෙ කලබල හොඳ නෑ
පස්සට යනකල හිතා ගමු
අපි අවුල් නොවී ප්‍රේමෙන් වසමු

ගායනය - එඩී ජයමාන්න (මනප්පු)

අනික් සින්දු ලබන සතියේ...