වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දියානුවකු වීම ලැජ්ජයි

ඉන්දියානුවකු වීම ලැජ්ජයි

සුපිරි බොලිවුඩ් තරු පවසති

පසුගිය අප්‍රේල් මාසය ගෙවී ගියේ මුළු ඉන්දියාවම කම්පාවට පත් කරවමින්. කාශ්මීරයේ කත්වාහි පුංචි මල් කැකුළක් වැනි වූ අට හැවිරිදි මුස්ලිම් ජාතික අසිෆා බානෝ දැරිය දූෂණය කර මරා දමා තිබුණේ ඇයගේම හිස් ආවරණ සළුවෙන් ගෙල සිරකර හිසට ගලකින් පහරදීමෙන්. මේ සමඟින් ඉන්දියාව තුල ළමා දූෂණයන්ට එරෙහිව ප්‍රධාන නගරවල පෙළපාලි සහ විරෝධතා රැසක් දියත් කෙරුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා ගෙන එන්නේ, මේ දුෂණ සිදුවීම සමඟින් ඉන්දියාව පුරා දේශපාලනය අවදිකර ඇති බවත් පෙනී යන බවයි. සාමාන්‍ය ජනතාව පමණක් නොව ඇතැම් පක්ෂ නායකයන් පවා ඉටිපන්දම් රැගෙන මේ විරෝධතා ව්‍යාපාරවලට එක් වී සිටියේ, මෙම ළමා දූෂකයින්ට මරණ දණ්ඩය ලබාදිය යුතු බව පවසමින්.

දේශපාලන ක්ෂේත්‍රය පමණක් නොව මෙම සිදුවීම හේතුවෙන් බොලිවුඩ් සිනමාව පවා කම්පනයට පත්වී ඇති බව එම මාධ්‍ය වාර්තා ගෙන එනවා. සිනමා නිර්මාණකරුවන්, ජනප්‍රිය තරු තම හඬ අවදි කළේ, අසිෆාගේ සිදුවීම වෙනුවෙන් සාධාරණය මෙන්ම ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිය වෙනස් විය යුතු බව පෙන්වා දෙමින්. මෙහිදි බොහොමයක් නළු නිළියන් පවසා සිටියේ තමන් ඉන්දියානුවකු වීම පිළිබඳ ලැජ්ජාවට පත්වන බවයි.

"මම ඉන්දියානුවෙක්.

මට ලැජ්ජයි."

යන වැකි ෆේස්බුක්, ට්විටර් වැනි සමාජජාලා ඔස්සේ ඔවුන් ප්‍රසිද්ධියට පත් කළා. අක්ෂේ කුමාර් පවසන්නේ, සමාජයක් ලෙසින් තමන් සියලු දෙනාම අසාර්ථක වී ඇති බව හැඟෙන බවයි. "ඇත්තටම මට හිතා ගන්නටවත් බැහැ. ඇයගේ අහිංසක මුහුණ මට අමතක කරන්න බැහැ. ඇය වෙනුවෙන් යුක්තිය ඉක්මනින් ඉටුවිය යුතුයි " අක්ෂේ පවසනවා.

මීට පෙර උත්තර ප්‍රදේශ්, උන්නාඕහි නව යොවුන් තරුණියක දූෂණය කර ඇයගේ පියා ඝාතනය කිරීම සම්න්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙසින් අත්අඩංගුවට ගෙන සිටි භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයකු වන කුල්දීප් සිං සෙන්ගාල් අලහාභාද් උසාවියට ඉදිරිපත් කෙරුණේ මෙම සිදුවීමේ උණුසුමත් සමඟින්. මේ හේතුවෙන් ඇතැම් භාරතීය ජනතා පාක්ෂික මන්ත්‍රීවරු පවා කොංග්‍රස් පක්ෂ මන්ත්‍රීවරුන් විසින් දියත් කළ විරෝධතාවට සහය දක්වා සිටියා. කුල්දීප් සිං සෙන්ගාල්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග තුනක් ක්‍රියාත්මක අතර මෙතෙක් කල් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි කත්වාහි සිදුවීම සමග සිය නිහඬතාව බිඳීමින් පවසා සිටියේ, අපරාධකරුවන්ට උපරිම දඬුවම් ලබා දී යුක්තිය ඉටු කරන බවයි. එසේම මෙම ළමා දූෂණ සියලු දෙනා ලැජ්ජාවට පත් කළ බවත් හෙතෙම පවසා සිටියා. අමාත්‍ය මේනකා ගාන්ධි පවසා සිටින්නේ, ළමා දූෂකයන්හට මරණීය දණ්ඩය පැනවීමට පනත් සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බවයි.

සිනමා ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේ ද ඉල්ලීම වී ඇත්තේ කත්වාහි සහ උන්නාඕහි දූෂකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ සිය අදහස් දක්වමින් මේ අපරාධවලට එරෙහිව නීතිර අකුරටම ඉටු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. අමිතාබ් බච්චන්, ජාවේද් අක්තාර්, සල්මන් ඛාන්, ශබානා අස්මි, දකුණු ඉන්දීය නිළි කුෂ්බු, පූජා භාත්, අභිෂේක් බච්චන්, අධ්‍යක්ෂ ශිරීස් කුන්දර්, රීචා චාධා, ආලියා භාත් ඇතුලු නළු නිළියන්, අධ්‍යක්ෂවරුන් මෙන්ම සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත රැසක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ළමා දූෂණවලට එරෙහිව මෙන්ම ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සිය අදහස් දක්වා සිටියා.

අධ්‍යක්ෂ හන්සල් මෙහ්තා සිය ට්විටර් පිටුවේ සටහන් කළේ, 'මෙය ජාතිකත්වය ද?' යන්න ලෙසින්. සෝනම් කපූර් සිය ඡායාරූපයක් පළ කර සිටියේ මෙම දරුණු අපරාධය කෙරෙහි තමා බලවත් ලෙස කලකිරීමට මෙන්ම ලැජ්ජාවට පත් වන බවයි. "ව්‍යාජ ජාතියක්. ව්‍යාජ හින්දු භකිත්කයන්. මගේ රට තුළ මේක සිදුවෙනවා කියලා මට විශ්වාස කරන්න බැහැ'" ඇය එහි වැඩිදුරටත් සටහන් කළා. "ඔබට ඇයගේ වේදනාව නොදැනේ නම් ඔබ මනුෂ්‍යයෙකු නොවෙයි." ෆර්හාන් අක්තාර් සිය ට්විටර් පිටුවේ සටහන් කර තිබුණා. රිතේෂ් දේශ්මුක් පවස්නේ, ඔබ තනිව සිටියත් නිවැරදි දේ වෙනුවෙන් නැගී සිටිනා ලෙසයි. මෙම දරුණු අපරාධය පිළිබඳ යමක් පැවසිය නොහැකි තරමට තමන් කම්පනයට පත් වී සිටින බව නිළි ජුහි චව්ලා සටහන් කළා.

ජනප්‍රිය නිළි අනුෂ්කා ශර්මා ද මෙම දරුණු අපරාධය පිළිබඳව දරුණු ප්‍රකාශයක් නිකුත්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර සිටියි. ඇය පවසන්නේ අසීෆා සිඟිති දැරියට කළ අපරාධය වෙනුවෙන් වරදකරුවන්ට දරුණු ලෙස දඬුවම් පැමිණවිය යුතු බවයි. ළමා දූෂකයන් වෙනුවෙන් මරණීය දණ්ඩණය නියම කිරීමේ නීති සංශෝධනයට තමන් සියයට දාහක් එකඟ බවත් ඇය පවසා සිටිනවා. ප්‍රවීණ නළු නසරුදීන් ෂා පවසන්නේ මෙවැනි සිදුවීම් හැමදාම සිදුවී තිබුණ ද අසීෆා දැරියගේ සෝචනීය මරණය ඒ සියල්ලට වඩා ප්‍රසිද්ධියට පත් වී ඇති බවයි. "මෙයට සුදුසුම විසඳුම කුමක් ද යන්න කියන්න මට නොහැකියි. හැම ගැහැනු ළමයෙක් වටාම ආරක්ෂාව යොදන්න අපට බැහැ. හැම ගැහැනු දරුවෙකුටම ආත්මාරක්ෂක සටන් කලාව උගන්වන්නත් බැහැ. නමුත් අපට කළ හැක්කේ අපගේ පෞද්ගලික ජීවිතයේදී ආදර්ශ තැබීමයි" ඔහු පවසවා.

කලාකරුවන් කත්වාහි සහ උන්නාඕහි දූෂකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාමකාමි විරෝධතාවක් පවා දියත් කිරීමට කටයුතු කළා. රාජ් කුමාර් රාඕ, ට්වින්කල් ඛන්නා, කල්කි කොචිලින්, අදිති රාඕ හිදාරි, සමීරා රෙඩ්ඩි, අධ්‍යක්ෂිකා කිරන් රාඕ ඇතුලු බොලිවුඩ් තරු රැසක් සහභාගී වී සිටියා. මේ දිනවල අයර්ලන්තයේ සිටින ප්‍රියංකා චොප්රා මෙම අවස්ථාවට සහභාගිවීමට නොහැකි වීම පිළිබඳ කනගාටුව පළ කරමින් විරෝධතාවට ට්විටර් ඔස්සේ සිය සහය පළ කර සිටියා.