වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




හැත්තෑ වසරක මිතුරු මියැසිය

හැත්තෑ වසරක මිතුරු මියැසිය

ඉන්දු ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයට වසර 70 කි. ඒ නිමිත්තෙන් කොළඹ ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලය පසුගිය දිනක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දි සංගීත සැදැවක් පැවත්විණි. ඒ Bollywood & Beyond A musical Evning Live in Concert නමිනි.

ඉන්දිය වයලින් මාස්ටර් පත්මභූෂණ ආචාර්‍ය එල්. සුබ්‍රමණියම්, කවිතා ක්‍රිෂ්ණමුර්ති සුබ්‍රමණියම්, බිංදු සුබ්‍රමණියම්, සංගීත සැදැව වර්ණවත් කළහ. විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, කාථානායක කරු ජයසූරිය, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල ,ඉන්දිය මහා කොමසාරිස් සන්දු සින් හා, මෙරට වෙසෙන මහා කොමසාරිස්වරුන් සහ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිඅරච්ච් යන මහත්වරු සහභාගි වුහ. විශේෂ අරාධිතයන්, කලාකරුවන් ,හා ඉන්දීය රසිකයන් ද සහභාගි විය.මේ එහි විශේෂ අවස්ථා කිහිපයකි.

නිවී සැනසිණි

රේරුකානේ මහා නාහිමි 25 දා

ජානක වෙත්තසිංහගේ නිවී සැනසිණි රේරුකානේ මහා නා හිමි ග්‍රන්ථය මෙම මස 25 වැනිදා එනම් අද සවස සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී එළිදැක් වේ. මහාචාර්ය කොටපිටියේ රාහුල යතීන්ද්‍රයාණන් වහන්සේ මුලසුන හොබවන මෙදින ප්‍රධාන දෙසුම මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර ගෙනි.

සංස්ථාවේ උපහාර උලෙළ දා

මුල්ම සිංහල කතානාද කෘතියට වසර 71 ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 46 ක් සපිරීම නිමිති කර ගනිමින් විශේෂ සැමරුම් උලෙළක් පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණි. මෙහිදී ප්‍රධාන දෙසුම ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් පවත්වනු ලැබීය. උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වශයෙන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි හා ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් සනත් වීරසූරිය, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ බිරිඳ වන සමන්ති මද්දුම බණ්ඩාර මහත්මිය ද සහභාගි විය. එහිදී හිටපු සභාපතිවරුන්ගේ සේයාරූ විවෘත කිරීම, රුක් රෝපණය, සංස්ථාව ආරම්භ කිරීමට පුරෝගාමී වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් ද සිදු කරන ලදී. ඊට සමගාමීව චිත්‍රපට සඟරාව, දේශීය චිත්‍රපට නාමාවලිය, ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට නාමාවලියේ විමසුම ග්‍රන්ථය ද ජනගත කිරීම ද විශේෂ කර්තව්‍යයක් විය.

ලාංකීය සිනමාවට කළ මෙහෙවර වෙනුවෙන් සංජීව පුෂ්පකුමාර, විශ්වජිත් කරුණාරත්න, බෙනට් රත්නායක, අනෝමා ජනාදරී, අශෝක හඳගම, විසාකේස චන්ද්‍රසේකරම්, දසුන් පතිරණ, ජෙහාන් අප්පුහාමි, භූමි හරේන්ද්‍රන්, සෝමරත්න දිසානායක යන මහත්ම මහත්මීන්ට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබූහ.

2015 වසරේ සිනමාකරණ පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන් 15 දෙනකුට සහතික පත්‍ර පිරිනැමීමක් ද සිදු කරන ලදී. උත්සවයේ වැඩ කටයුතු සියල්ල නිමා කරනු ලැබුවේ රාජ්‍ය පරිපාලන හා කලමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න, සමන්ති මද්දුම බණ්ඩාර මහත්මිය සහ සංස්ථා සේවකයන් හා පැමිණි විශේෂ අමුත්තන් හා කලාකරුවන් එක්ව කේක් කැපීමෙනි.සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

යූ. එම්. එල්. රිදම් ස්ටාර්

යුනයිටඩ් මෝටර්ස් ආයතනයේ ගායන හැකියව ඇති සේවක සේවිකාවන් කල එළියට ගැනීමේ අරමුණින් සංවිධානය කළ යූ. එම්. එල්. රිදම් ස්ටාර් වැඩ සටහනේ අවසන් තරගය පසුගියදා රත්මලානේදී පැවැත්විණ. මෙහිදී යුනිමෝ රිදම් තරුව ලෙස වෙනුර ක්‍රිෂාන් අභිිෂේක ලැබීය. නුවන් බණ්ඩාර අනු සූරතාවය දිනූ අතර තෙවැනි තැන හිමිකර ගත්තේ මධුර සිරිවර්ධන විසිනි. සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර සහ විශාරද දීපිකා ප්‍රියදර්ශනී, සමන්ත පෙරේරා මෙහි විනිශ්චය සඳහා එක් විය.

සංදීපනී පැරැණි ගී 28

සංදීපනි සංගීත සංසදය සංවිධානය කරනු ලබන පැරැණි ගීත ප්‍රසංගයක් මෙම මස 28 එනම් එන ඉරිදා සවස රත්මලාන තරුණ බෞද්ධ සමිති ශාලාවේදී පැවැත්වේ. නොමිලයේ පැවැත්වෙන මෙම ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම පියල් ආනන්දගෙන් වන අතර සංවිධානය ආරි එගොඩවත්තගෙනි.