වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




මුල්ම අධ්‍යක්ෂණයට රංගනය මුසුකළ සිනමා තරු

මුල්ම අධ්‍යක්ෂණයට රංගනය මුසුකළ සිනමා තරු

රන්ජන් රාමානායක ප්‍රධාන චරිත නිරූපණය කරන ‘ඩොක්ටර් නවරියන්’ සහ ප්‍රගීත් රත්නායක අධ්‍යක්ෂණය කළ ‘ආදරෙයි මං’ චිත්‍රපට මේ දිනවල තිරගත කෙරෙනවා. ‘ආදරෙයි මං’ ප්‍රගීත් රත්නායකගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය යි. මේ සිනමාපට ද්විත්වය සමඟින් අපේ අවධානය තවත් දෙසකට යොමු වුණා. ඒ රන්ජන් සහ ප්‍රගීත් සමඟින්.

රන්ජන් සිනමා අධ්‍යක්ෂවරයකු වුණේ ‘පාර්ලිමන්ට් ජෝක්ස් ‘චිත්‍රපටයෙන්. ඔහු එහි රංගනයෙන්ද දායක වුණා. ‘ආදරෙයි මං’ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වෙන්නෙත් ප්‍රගීත්. රන්ජන් වගේම ප්‍රගීත් තම කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයේ රංගනයටද දායක වූවන්. මේ කාරණාව සමඟින් සිංහල සිනමාවේ තම කුලුඳුල් අධ්‍යක්ෂණයේ නිරත වෙමින් රංගනයට ද දායක වූවන් කවුදැයි සොයා යමු.

සිංහල සිනමාවේ දෙවැනි කථානාද චිත්‍රපටය වූ ‘අශෝකමාලා’ ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ අධ්‍යක්ෂණයෙන් බිහිවූවක්. 1947 අප්‍රේල් 5 වැනිදා තිරගත කෙරුණු ‘අශෝකමාලා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ශාන්ති කුමාර් එයට රංගනයෙන් ද දායක වුණා. ඒ එහි සාලියගේ චරිතයට පණ පොවමින්. එය නොබිඳිය හැකි වාර්තාවක් වන්නේ එය ශාන්ති කුමාර්ගේ ප්‍රථම චිත්‍රපටය නිසාය.

1959 නොවැම්බර් 14 වැනිදා තිරගත කරන ලද ‘හදිසි විවාහය’ චිත්‍රපටය බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ කුළුඳුල් අධ්‍යක්ෂණය යි. නාට්‍ය රචකයෙකු, අධ්‍යක්ෂකවරයෙකු, නිෂ්පාදකයෙකු හා නළුවෙකු ද බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න එහි රංගනයෙන් ද දායක වුණා.

ශාන්ති කුමාර්ගේ බාල සොයුරා හර්බි සෙනෙවිරත්න හෙවත් රිචඩ් හර්බට් සෙනෙවිරත්න විසින් කළ සිය කුලුඳුල් අධ්‍යක්ෂණය වූ ‘දරුවා කාගෙද’ චිත්‍රපටයට ඔහු ද රංගනයෙන් දායක වුණා. 1961 වසරේ තිරගත කෙරුණු එහි හර්බි සමඟින් ෆ්ලෝරිඩා ජයලත්, සේනාධීර කුරුප්පු, රීටා රත්නායක, ජෝ අබේවික්‍රම, උදුලා දාබරේ ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වුණා.

1961 වසරේ තිරගත කෙරුණු ‘වැදි බිම’ චිත්‍රපටය ඇම්. පී. ගිල්මන්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය යි. එය නිෂ්පාදනයට ද දායක වූ ඔහු එහි රංගනයෙන් ද දායක වුණා. කිංස්ලි රාජපක්ෂගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වූයේ 1963 වසරේ තිරගත කෙරුණු ‘දීපශිඛා’ චිත්‍රපටය යි. කිංස්ලි එහි උප ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණා. හරවත් ගුවන්විදුලි නිවේදන කලාවක් වෙනුවෙන් වෙහෙසුණු ආරියදාස පීරිස් ‘සෝබන සිත’ චිත්‍රපටය (1964) අධ්‍යක්ෂණය කරමින් (ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා සමඟින්) සිනමාවට ද පිවිසියා. තම කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය සමඟින් ඔහු රංගනයෙන් ද ‘සෝබන සිත’ චිත්‍රපටයට දායක වුණා.

ෆ්ලොරිඩා ජයලත් සිය කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වූ ‘ස්වීප් ටිකට්’ චිත්‍රපටයට රංගනයෙන් එක් වූවා ය. එපමණක් නොව ෆ්ලෝරිඩා ජයලත් සුවිශේෂි චරිතයක් වීමට ප්‍රධාන හේතුව වන්නේ රාජා ජෝසුවා සමඟ ‘ස්වීප් ටිකට්’ (1965) නිර්මාණය කිරීම සිංහල සිනමාවේ කාන්තාවක විසින් ප්‍රථම වරට වෘත්තාන්ත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ පළමු අවස්ථාව වීමයි.

සිංහල සිනමාවට සුවිශාල සේවයක් ඉටු කළ එල්. එම්. පෙරේරා හෙළ සිනමාවේ ජනකාන්ත නළුවකු, ගායකයකු ද වන අතර අධ්‍යක්ෂවරයකු වූයේ ‘හතර මහ නිධානය’ චිත්‍රපටය (1965) අධ්‍යක්ෂණය කරමිනි. එහි රංගනයෙන් ද දායක වූ ඔහු පසුව ‘හතර කෙන්දරේ’, ‘හතර පෙරළිය’, ‘හතර වටේ’ නමින් හතර මුල් කර ගෙන චිත්‍රපට හතරක් අධ්‍යක්ෂණය කළා.

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා ද මේ කුලකයේදී හමු වන්නේ ‘පරසතු මල්’ (1966) චිත්‍රපටය සමඟිනි. නළුවකු ලෙසින් ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගෙන සිටි ගාමිණි ෆොන්සේකා ‘පරසතුමල්’ සමඟින් අධ්‍යක්ෂවරයකු ලෙසින්ද ගෞරවාදරයට පාත්‍ර වූ අතර එහි බොනී මහත්තයාගේ චරිතයට ද පණ පෙවීය. 1967 වසරේ පැවති 4 වැනි සරසවිය සම්මාන උලෙළේ දී ‘පරසතු මල්’ චිත්‍රපටය හොඳම තිර නාටක රචක, හොඳම නළුවා, හොඳම ගායිකාව, හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මාන ලැබීය.

1967 වසරේ තිරගත වු ‘හැංගි හොරා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ නිළියක වන රෝහිනී ජයකොඩි විසිනි. රෝහිණි ද චරිත මැවූ එහි ප්‍රධාන චරිතයට ඇයගේ වැඩිමල් දියනිය නිරූපා ජයකොඩි විසින් පණ පෙවූ අතර බාල දියණිය වීණා ජයකොඩි ද සුළු චරිතයක් නිරූපණය කළා.

1967 වසරේ තිරගත කෙරුණු ‘පිපෙන කුමුදු’ චිත්‍රපටය රූබි ද මෙල් විසින් කළ පළමු අධ්‍යක්ෂණය වන අතර එහි රංගනයෙන් ද ඇය දායක වුණා. ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, රුක්මණී දේවි, ඇන්තනි සී. පෙරේරා, බී. ඇස්. පෙරේරා, කිත්සිරි පෙරේරා, නවනන්දන විජේසිංහ, කේ. පී. මුනිදාස සුමනා අමරසිංහ, මේබල් බ්ලයිත් ඇතුළු පිරිසක් ‘පිපෙන කුමුදු’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණා.

සිංහල සිනාමාවේ සිටි දක්ෂතම විකට චරිතාංග නළුවකු ලෙසින් නම් ලද ඇන්තනි සී. පෙරේරාගේ මුල්ම සිනමා අධ්‍යක්ෂණය වූ ‘තක්කිට තරිකිට’ චිත්‍රපටයට (1982) ඔහු ද රංගනයෙන් දායක වුණා. ‘තක්කිට තරිකිට’ ඔහුගේ මුල්ම සහ එකම චිත්‍රපට අධ්‍යක්ෂණය යි.

ජනප්‍රිය නළු ඩොමි ජයවර්ධනගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වූයේ ‘දරු දුක’ චිත්‍රපටය (1967) යි. එහි ඩොමී සමඟින් අනුලා කරුණාතිලක, ජෝ අබේවික්‍රම, ලිලියන් එදිරිසිංහ, සුභද්‍රා මානෙල් එම්. පී. ගැමුණු, එම්. ඒ. සිමියොන්, බන්දු මුණසිංහ, චන්ද්‍රසෝම දසනායක, පියදාස ගුණසේකර ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වුණා. 1968 වසරේ පැවති 5 වැනි සරසවිය සම්මාන උළෙලේදී හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය ද, පියදාස ගුණසේකර හා ලිලියන් එදිරිසිංහට විශේෂ කුසලතා සම්මානයන් ද හිමි විය.

ජනප්‍රිය නළුවකු, අධ්‍යක්ෂවරයකු හා සිනමා ශාලා කළමනාකාරවරයකු වූ ඩඩ්ලි වානගුරු 1967 වසරේදී සිය කුලුදුල් චිත්‍රපට අධ්‍යක්ෂණය ලෙසින් ‘සැඟවුණු මැණික’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ‘සැඟවුණු මැණික’ ඔහු අධ්‍යක්ෂණය කළ පළමු හා එකම චිත්‍රපටය වන අතර ඔහුගේ දියණිය මානෙල් වානගුරු සිනමාවට හඳුන්වා දුන්නේ ද එම චිත්‍රපටයෙනි.

1968 වසරේ තිරගත වූ ‘වහල් දූපත’ චිත්‍රපටය ශාන්ති අබේසේකරගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වන අතර එහි ඔහු රංගනයෙන් ද දායක වුණා. 1968 වසරේ තිරගත වූ ‘වහල් දූපත’ චිත්‍රපටය ශාන්ති අබේසේකරගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වන අතර එහි ඔහු රංගනයෙන් ද දායක වුණා.

චිත්‍රපට නළුවකු, ගීත රචකයකු, නිෂ්පාදකයකු වූ හර්බට් එම්. සෙනෙවිරත්න සිනමා අධ්‍යක්ෂවරයකු වූයේ 1969 වසරේ තිරගත කෙරුණු ‘සෙනෙහස’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමිනි. එහි රංගනයෙන්ද දායක වූ ඔහුට 1970 වසරේ පැවති සරසවිය සම්මාන උලෙළේ දී හොඳම නළුවාට හිමි සම්මානය ද හිමි විය. ‘සෙනෙහස’ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ද ඔහු විසිනි.

මුදලිනායක සෝමරත්න 1969 වසරේදී ‘බිනරමලී’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපට නිර්මාණකරණයට පිවිසියේ එහි රංගනයෙන් ද දායක වෙමිනි. ‘බිනරමලී’ චිත්‍රපටය 1970 දී පැවැත් වූ 7 වැනි සරසවිය සම්මාන උලෙළේ දී හොඳම චිත්‍රපටය, හොඳම තිර නාටක රචනය, හොඳම නිළිය (ස්වර්ණා කහවිට), හොඳම සහාය නළුවා (පියදාස ගුණසේකර), හොඳම සහාය නිළිය (ශාන්ති ලේඛා), හොඳම ගීත රචනය (මහගමසේකර), හොඳම ගායකයා (ඩබ්. ඩී. අමරදේව) යන සම්මානවලට හිමිකම් කී අතර, වසරේ හොඳම චිත්‍රපට තුන අතුරෙන් මුල් තැනට ද පත් විය.

1969 දී ‘ඔබ නැතිනම්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බවට පත් වූ එම්. වී. බාලන් එහි රංගනයෙන්ද දායක වුණා.

සම්මානනීය සිනමා නළු සිරිල් වික්‍රමගේ චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ සිහින ලොවක් (1972)චිත්‍රපටයෙනි.

තම කුලුඳුල් අධ්‍යක්ෂණය සමඟින් රංගනයේ යෙදුණු තවත් බොහෝ අය අපට හමු වුණා. 1973 වසරේ තිරගත කෙරුණු ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටය මිල්ටන් ජයවර්ධනගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන අතර ඔහු ඒ සඳහා රංගනයෙන්ද දායක වුණා. ගාමිණි ෆොන්සේකා, මාලිනි ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම එහි ප්‍රධාන චරිත නිරූපණය කළා.

සිංහල සිනමාවට මෙන්ම වේදිකාවට ද අනුපමේය සේවයක් කළ ප්‍රවීණ සිනමාවේදී පතිරාජ එල්. එස්. දයානන්දගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වූයේ ‘හත්දින්නත් තරු’ චිත්‍රපටය (1973) යි. පතිරාජ එල්. එස් එහි රංගනයෙන් ද දායක වුණා.

කලාසූරි සතිශ්චන්ද්‍ර එදිරිසිංහ විසින් කළ පළමු සිනමා අධ්‍යක්ෂණය 1973 වසරේ තිරගත කෙරුණු ‘මාතර ආච්චි’ චිත්‍රපටය යි. එහි වොලී නානායක්කාර, මාලිනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි, නීටා ප්‍රනාන්දු, ජෝ අබේවික්‍රම, දෙනවක හාමිනේ, ක්‍රිස්ටි පෙරේරා සමඟින් සතිශ්චන්ද්‍ර එදිරිසිංහ ද රංගනයෙන් දායක වුණා.

සිංහල සිනමාවේ නොමඳ ප්‍රේක්ෂක ආදරයට පත් නළුවකු වන බී. එස් පෙරේරා තම කුලුදුල් සිනමා අධ්‍යක්ෂණය වූ ‘රොඩීගම’ චිත්‍රපටයේ (1974) රංගනයෙන්ද දායක වුණා. දයානන්ද ජයවර්ධන චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි ‘අමරණීය ආදරේ’ චිත්‍රපටයේ (1975) ඔහු රංගනයෙන් ද දායක වූ අතර එහි කතාව, දෙබස්, තිරරචනය කර තිබෙන්නේ ද ඔහු විසිනි. රංගන ශිල්පියකු ලෙසින් ඉහළ ජනප්‍රියත් දිනා සිටි රෝයි ද සිල්වා 1977 දී ‘ටොම් පචයා’ විකට චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරමින් අධ්‍යක්ෂණයට පිවිසියේ එයට රංගනයෙන්ද දායක වෙමිනි. එහි සම අධ්‍යක්ෂක වූයේ ජනපි‍්‍රය ස්ටැන්ලි පෙරේරාය. එහෙත් එහි ස්ටැන්ලි චරිත නිරූපණය නොකළේය.

ශ්‍රී ලාංකික සිනමාව හා සංගීතය තුළ ද සුවිශේෂි වන චිත්‍රපට නළුවකු කතා රචකයෙකු තිර පසුබිම් ගායකයෙකු ද වූ අරුණ ශාන්ති ‘දෙවියනි ඔබ කොහිද’ චිත්‍රපටයෙන් (1977) චිත්‍රපටය අධ්‍යක්‍ෂවරයකු බවට පත් වූයේ රංගනට ද දායක වෙමින්. අරුණ ශාන්ති අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය මෙය වන අතර එහි ගාමිණී සමඟ මාලිනී ෆොන්සේකා, ලැඩී රණසිංහ, බැප්ටිස්ට් ප්‍රනාන්දු, මාක් සමරනායක, රුක්මණී දේවි, එඩී ජයමාන්න, ඇන්තනි සී. පෙරේරා, සෝනියා දිසා, සෝමසිරි දෙහිපිටිය, ග්‍රේස් ජයමාන්න, වින්සන්ට් වාස්, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, එච්. ඩී. කුලතුංග, ඩී. ආර්. නානායක්කාර, ශාන්ති ලේඛා රංගනයනේ දායක වුණා. එන්. පී. ජයතිස්ස ‘දිවි තිබෙන තුරා’ නමින් (1979) තම කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය සිදු කළේ එයට රංගනයෙන් ද දායක වෙමිනි.

ධර්මසිරි බණ්ඩාරනායක විසින් සිය කලුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය ලෙසින් කළ ‘හංස විලක්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙව්වා. එහි තිරරචනය වෙනුවෙන් 1981 වසරේ පැවති සරසවිය සම්මාන උලෙළේදී ඔහු හොඳම තිරරචනයට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවා. නළුවකු, ගායකයකු වූ අශෝක පොන්නම්පෙරුමගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වූ ‘ප්‍රදීපා’ චිත්‍රපටයේ (1982) ඔහු ද රංගනයෙන් දායක වුණා.

1968 වසරේදී තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ ‘පුංචි බබා’ චිත්‍රපටයෙන් රංගනයට පිවිසි මාලිනි ෆොන්සේකා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ, 1984 වසරේදී ‘සසර චේතනා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින්. එහි ප්‍රධාන චරිතයට පණ පෙව්වේ ද ඇය විසින්. දක්ෂ සටන් නළුවකු සේම සටන් අධ්‍යක්ෂවරයකුද වන රොබින් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය ‘සුර දූතියෝ’ චිත්‍රපටය යි. එහි රොබින් රංගනයෙන් ද දායක වූ අතර ඒ වෙනුවෙන් ඔහුට 1986 සරසවිය සම්මාන උළෙලේ දී කුසලතා සම්මානය හිමි විය.

1992 වසරේ තිරගත කෙරුණු ‘වියරු මිනිසා’ අධ්‍යක්ෂණය සුගත් සමරකෝන්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වූ අතර ඔහු ද එහි රංගනයෙන් දායක වුණා. රංගන ශිල්පිනියක ලෙසින් නමක් දිනා සිටින මොරින් චාරුණි සිනමා අධ්‍යක්ෂණයට පිවිසියේ ‘හංස විලාපය’ චිත්‍රපටයෙන්. 1993 වසරේදී තිරගත කෙරුණු එහි ඇය රංගනයෙන්ද දායක වුණා.

බන්දු සමරසිංහ විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරනු ලැබූ මුල්ම චිත්‍රපටය වන ‘රෝදය’ චිත්‍රපටයේ (1995) ප්‍රධාන චරිතයට පණ පෙව්වේ ද ඔහු විසිනි. නළුවකු ලෙසින් ජනප්‍රිය නිහාල් ප්‍රනාන්දු චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේ 1996 වසරේ තිරගත කෙරුණු ‘අමාන්තය’ චිත්‍රපට යෙනි. එහි නිහාල් රංගනයෙන්ද දායක වුණා.

1999 වසරේ තිරගත කෙරුණු’ රෑ රූ’ චිත්‍රපටය සිනමාවේ නළුවකු සේම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ඉහළ නමක් දිනා සිටින ජයසේකර අපොන්සුගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය යි. එහි ප්‍රධාන චරිතයට පණ පෙව්වේ ද ඔහු විසින්. විශිෂ්ට චරිතාංග නළුවකු ලෙසින් ප්‍රකට ලින්ටන් සේමගේ ‘පාදඩයා’ (1999) චිත්‍රපටය සමඟින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසියේ එයට රංගනයෙන් ද දායක වෙමිනි.

රංගන ශිල්පියකු ලෙසින් නමක් දිනා සිටි බුද්ධික ජයරත්න සිය කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය ලෙස ‘දේදුනු වැස්ස’ (2006) සිංහල සිනමාවට දායාද කළ අතර එහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ ද ඔහු විසිනි.

රංගනයෙන් රසික හදවත් දිනා ගත් චන්න පෙරේරා චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේ ‘අංජලිකා’ චිත්‍රපටය (2006) සමඟින්. එහි ප්‍රධාන චරිතය චන්න විසින් නිරූපණය කළ අතර කාන්තා ප්‍රධාන චරිතය වෙනුවෙන් ඔහු ඉන්දීය නිළියක වූ පුජා උමාශංකර් තෝරා ගත්තා.

රංගන ශිල්පි සහන් විජේසිංහ යසපාලිත නානායක්කාර විසින් අධ්‍යක්ෂණය 1973 වසරේ තිරගත කෙරුණු ‘තුෂාරා’ චිත්‍රපටය නව පරපුරේ නළු නිළියන් යොදා කළ ප්‍රතිනිර්මාණය අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසියා. 2009 වසරේදී තිරගත කෙරුණු එහි සහන් ද රංගනයෙන් දායක වුණා.

ප්‍රවීණ සිනමාවේදී සනත් ගුණතිලක සිනමා අධ්‍යක්ෂණය පිවිසියේ

‘එකමත් එක රටක’ චිත්‍රපටය (2009) අධ්‍යක්ෂණය කරමිනි. සනත් ගුණතිලක ඒ වෙනුවෙන් රංගනයෙන් ද දායක වූ අතර මේ වන විට එම චිත්‍රපටයේ තිර රචනය පොතක්‌ ලෙසින් ද පාඨකයා අතරට පත් කර තිබීම විශේෂත්වයක්.

නළුවකු ලෙසින් ජනප්‍රිය වූ සම්පත් ශ්‍රී රෝෂන් සිනමා අධ්‍යක්ෂණයට පිවිසියේ 2009 වසරේ තිරගත කෙරුණු ‘ජූලියා’ චිත්‍රපටයෙනි. සම්පත් එයට රංගනයෙන් ද සිය දායකත්වය ලබා දුන්නා. 2010 දී තිරගත වූ සිංහල ක්‍රියාදාම, විකට චිත්‍රපටයක් වූ ‘තෑන්ක් යූ බර්ටි’ ටෙනිසන් කුරේගේ කුලුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර එහි ඔහු ද රංගනයෙන් දායක වුණා.

දක්ෂ වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පියකු මෙන්ම සම්මානලාභී වේදිකා නාට්‍ය නිෂ්පාදකයකු ද වූ අතුල ලියනගේ ගේ කුලුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වන්නේ ‘බඹර වළල්ල’ චිත්‍රපටය (2010) යි. එහි ප්‍රධාන චරිතයට පණ පෙව්වේ ද ඔහු විසිනි. අමෙරිකාවේ පැවැත් වූ 43 වැනි හූස්ටන් චිත්‍රපට සම්මාන උළෙලේ දී ජූරියේ විශේෂ සම්මානයක් ද එයට හිමි විය.

2011 වසරේ තිරගත කෙරුණු ‘ධවල පවුරු’ චිත්‍රපටය රංගන ශිල්පියකු වූ ලක්ෂ්මන් ආරච්චිගේ කුලුඳුල් චිත්‍රපටය වූ අතර එහි ප්‍රධාන චරිතයට පණ පෙව්වේ ද ඔහු විසිනි. සිංහල සිනමාවේ ජනකාන්ත නළුවකු ලෙසින් නම් ලද ලාල් වීරසිංහගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන්නේ, ‘සිංග මචං චාලි‘ චිත්‍රපටය යි. එහි ප්‍රධාන චරිතයට පණ පෙව්වේ ද ඔහු විසින්.

සම්මානනීය රංගන ශිල්පියකු, තිරකතා රචකයකු, වැඩසටහන් නිෂ්පාදකවරයකු වන වසන්ත මොරගොඩගේ කුලුඳුල් චිත්‍රපටය ‘මවුස්’ (2013) හි ඔහු ද රංගනයෙන් දායක වුණා. 2013 වසරේ තිරගත කෙරුණු ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ චිත්‍රපටය ජනප්‍රිය නළු අර්ජුන් කමලනාත්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය යි. එහි ප්‍රධාන චරිතයට පණ පෙව්වේ ඔහු විසින්.

ප්‍රවීණ නළු ක්ලීටස් මෙන්ඩිස් විසින් සිය කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ලෙස ‘පරපුර’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර ක්ලීටස් එයට රංගනයෙන්ද දායක වුණා. පසුගිය වසරේ තිරගත කෙරුණු ‘සෙල්ලම් නැත්නම් ලෙල්ලම්’ චිත්‍රපටය තිස්ස ඩයස්ගේ පළමු සිනමා නිර්මාණය වන අතර එහි ඔහු ද රංගනයෙන් දායක වුණා.