වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




සැකයකට නෙවෙයි

සැකයකට නෙවෙයි

ගාමිණී වේරගම කියලා කියන්නේ අපිට සිටින ජ්‍යෙෂ්ඨතම සිනමා විචාරකයෙක්. තම විශිෂ්ටත්වය සහ වසර ගණනාවක් තිස්සේ සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා අවස්ථා කිහිපයකදීම ඔහු ගෞරව සම්මානයට පාත්‍ර වුණා. කොතරම් කාර්යබහුල කෙනෙකු වුණත් ගාමිණීට ජංගම දුරකතනයක් නැහැ. ඔහුව අල්ලගන්න ඕන නම් ගෙදර තිබෙන ස්ථාවර දුරකතනයටම කතා කරන්න ඕන. බොහොම අමාරුවෙන් තමයි ගාමිණීව ඒ දුරකතනයෙන් අමතන්නට පුළුවන් වෙන්නේ. ඒ තත්ත්වය එහෙම වුණත් මේ ලඟදී ඉඳලා කිහිප දෙනෙක් දැකලා තියෙනවා ගාමිණී ගාව ජංගම දුරකතනයක් තියෙනවා. කවදාවත් මොබයිල් ෆෝන් එකක් නොගන්නා ප්‍රතිපත්තියක හිටපු ගාමිණී ගාව එහෙම එකක් තියෙනවා දැක්කම කාටත් ප්‍රහේළිකාවක්. සාමාන්‍යයෙන් අලුතින් දුරකතන අංකයක් ගත්තම වැඩිය කෝල් එන්නේ නැහැනෙ. නමුත් ගාමිණී ගාව තියෙන දුරකතනයට නිතර නිතර කෝල්ස් එනවලු. ඊටත් හපන් ඒ එන ඇමතුම්වලට ඔහු පිළිතුරු දෙන්නේ 'අනේ එයා ගෙදරනෙ. ගෙදර නම්බරේට ගන්න' කියලලු. මේක හරිම අප්‍රබ්‍රංස කතාවක්නෙ. සිද්ධිය ගැන වැඩිදුර හොයා බලපුවාම මොකක් දන්නවද වෙලා තියන්නේ. ගාමිණී ඉන්න යන එන තැන් කාටත් ප්‍රශ්නයක් නොවුණට ඔහුගේ ආදරණීය බිරියට ඒක ලොකු ගැටලුවක් වෙලා. ගාමිණී ගැන අහිතකින් නෙවෙයි, තම ස්වාමි පුරුෂයා කොහෙද ඉන්නේ කියලා හොයලා බලන්න තියෙන උනන්දුවටයි එහෙම වෙලා තියෙන්නේ. ඉතින් ගාමිණීට තම ප්‍රිය බිරිය ඇගේ ජංගම දුරකතනය ලබා දීලා. ඒක තමයි ගාමිණී මෙතෙක් කල් ළඟ තියාගෙන ඉඳලා තියෙන්නේ. බිරියගේ හිතවත් අයනෙ ඒකට කෝල් ගන්නේ. අන්න ඒ අයටලු ගාමිණී මෙච්චර කල් පිළිතුරු දීලා තියෙන්නේ.