වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්

අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්

‘අපි’ අපි ගැන කතා කරමු

ප්‍රවීනා හංසගී ඩයස් කුලුඳුල් සිනමා නිර්මාණය

ඉසුරින්ද සෝබනකාරයෙකි. රැකියාවක් නැත. පෙම්වතිය චතුරවාහිනි චැනලයේ පුවත් නිවේදිකා තිලංකාය. ඔවුන් එෂාන්ගේ පරිගණක සාප්පුවට පැමිණෙති. ඒ තම පරිගණකයේ දෝෂයක් සමනයට පත් කිරිමටය. අතපසුවීමකින් ඉසුරින්ද සිය මුදල් පිරුණු පසුම්බිය එහි මේසයක් මත දමා යයි. මේ අතර අවශ්‍යතාවයක් සඳහා සාප්පුවට පැමිණෙන ත්‍රීරෝද රථ රියැදුරෙකු වන ළහිරු පසුම්බිය දැක එය සිය සාක්කුවේ දමා ගනියි. ළහිරු සිය ජීවිකාවෙන් පවුලම පෝෂණය කරයි. උසස් පෙළ කඩඉම ආසන්නයේම සිටින අසිත හෙවත් ලොකු මල්ලිත්, පොඩි මල්ලිලා දෙදෙනාත්, රැකියාවක් නොකරන මවත්, අතීතයේ හොරකම්වලට බන්ධනාගාර ගත වී ඇතිමුත් පසුව හොඳ මිනිසකු වූ ඔහුගේ පියාත් යන සියලු දෙනාම යැපෙන්නේ ඔහුගෙනි.

එදින දිවා වරුවේ අතමිට සරුවන ගමන් කිහිපයක් ළහිරුට ලැබෙන අතර ඔහු සිය පවුලේ සාමාජිකයින් සඳහා ‘ෆ්‍රයිඩ් රයිස්’ රැගෙන එයි. විභාගයට සුදානම් වන සහෝදරයාත්, බාල සහෝදරයන් දෙදෙනාත් ඉතා ආශාවෙන් ෆ්‍රයිඩ් රයිස් අනුභව කරන විට රාත්‍රී පුවත් විකාශයේ ‘අතටම අහුවුණු හෙරු’ විශේෂාංගය හරහා පරිගණක සාප්පුවක දමාගොස් තිබූ මුදල් පසුම්බියක් ළහිරු සාක්කුවේ රුවාගන්නා දර්ශන පෙන්වයි. කෝපයට පත් වෙන ඔහු නිවසින් නික්මෙයි.

පසු දින උදයේ මුදල් පසුම්බියේ අයිතිකරු වූ ඉසුරින්ද තිලංකා සමඟ ළහිරුගේ නිවසට පැමිණෙති. ඉසුරින්ද ළහිරුගේ මවට මුදල් අනවශ්‍ය බවත්, පසුම්බිය පමණක් අවශ්‍ය බවත් පවසයි. මේ අතර චතුරවාහිනි මාධ්‍ය කණ්ඩායම ද එහි පැමිණෙයි. අසිතට ළහිරුගෙන් දුරකථන ඇමතුමක් පැමිණෙන්නේ ඔහු සිටින ස්ථානයට ඇඳුම් කිහිපයක් රැගෙන එන ලෙස දැනුම් දීම සඳහායි. අසිත මාධ්‍ය රථය පිටත් වනවාත් සමඟම නිවසින් පිට වන අතර එය ඉසුරින්දගේ ඇස ගැටෙයි. තිලංකා නිවසට පිටත් කර හරින ඔහු තනිවම අසිතව ලුහුබඳයි. අවසානයේ ඔහු ළහිරු හසු කරගන්නා අතර පසුම්බිය ඉල්ලා සිටියි. ළහිරු තමන් නැවත පසුම්බිය තිබූ තැනින් තැබූ බවත් සම්පූර්ණ වීඩියෝ දර්ශනය සාප්පුවෙන් ඉල්ලාගෙන බලන ලෙස පවසයි. ඊට අමතරව ත්‍රීරෝද රිය අසිත සමඟ පිට කරන ඔහු ඉසුරින්ද සමඟ සාප්පුුවට පැමිණෙයි.

ඉසුරින්ද සාප්පුවට ගොස් විමසුව ද සාප්පුවේ අයිතිකරු වන එෂාන් සම්පූර්ණ වීඩියෝව දීමට අකමැති වෙයි. සාප්පුවෙන් පිටතට පැමිණෙන ඉසුරින්දට පොලීසියෙන් කැඳවීමක් ලැබෙන්නේ පසුම්බිය හමු වී ඇති බව ප්‍රකාශ කරමිනි. පොලීසියට යන ඉසුරින්ද ළහිරුගේ පියා අත් අඩංගුවට පත් වී ඇති බැව් දැකගන්නට ලැබෙන අතර මාධ්‍යයෙන් බේරීම සඳහා පොලිස් නිලධාරින් විසින් නව පසුම්බි කිහිපයක් යොදාගෙන රංගනයක් කරන බව ප්‍රත්‍යක්ෂ වෙයි. එදින රාත්‍රී ළහිරුව සිය නිවසේ නවත්වා ගැනීමට තිලංකාව වදෙන් පොරයෙන් කැමති කරගන්නා ඉසුරින්ද පසුම්බිය සෙවීම අත්හරින ලෙස ඇය කළ ඉල්ලීම නොසලකමින් දෙවන දිනයේ ද පරිගණක සාප්පුවට යයි. එහි සේවය කරන පැතුම්ගේ මාර්ගයෙන් සම්පූර්ණ සී. සී. ටී. වී. දර්ශනය නරඹන ඉසුරින්ද පසුම්බිය රැගෙන ඇත්තේ වෙන කවුරුවත් නොව සාප්පුවේ අයිතිකරු වන එෂාන් බව දකියි. කෙසේ නමුත් ඉසුරින්ද එය දුටු බව එෂාන් නෙත ගැටෙන අතර ඔහු ඉසුරින්දව එළවා ගන්නේ පැතුම්ව ද සේවයෙන් පහ කරමිනි.

පැතුම් ඉසුරින්දට එෂාන් පසුම්බිය කැටුව සිය නිවසට ගිය බවට ඔත්තුවක් දෙයි. ඔහුගේ නිවසට පැන පසුම්බිය සොයා ගැනීමට ඉසුරින්ද ඉතා අපහසුවෙන් ළහිරුව කැමති කරවා ගනී. ඔවුනට පසුම්බිය හමු වුවත් එය තුළ ඇති මෙමරි කාඩ් එකක් නැති වී ඇති බව දැනගන්නා ඉසුරින්ද සලිත වෙයි. මෙම මෙමරි පත රකින රහස කුමක්ද?

චරිත:
මල්කාන්ති ජයසිංහ, දමයන්ත පෙරේරා, රොහාන් හඳුන්නෙත්ති, විජිත හෙට්ටිගේ, දිනිඳු ඒකනායක, එශාන් ඩයස්, සමීර ප්‍රියනාත්, හර්ෂණී මධුවන්ති, දමින්ද මෙන්ඩිස්, කුමාර සේනාරත්න, චමිදු ප්‍රසංග, සමන් රාජපක්ෂ, කුමුදික බමුණුආරච්චි, ප්‍රදීපා මධුෂාණි, මනුක ප්‍රියංකර, ගැමුණු රණවීර, සුනිල් ජයලත්, අංජන ප්‍රභාත්, ගෙත්මික සන්මෙත්, සසිදු ශසංක, ලෙසල් රත්නායක, දිල්හාන් කාංචන

අධ්‍යක්ෂණය - ප්‍රවීනා හසංගි ඩයස්
තිර රචනය - ලක්පති විජේසේකර, දිනිඳු ඒකනායක
කැමරා අධ්‍යක්ෂණය - යුරේශ් කරුණානායක
සංගීත අධ්‍යක්ෂණය - දිනේශ් හේවගේ
කලා අධ්‍යක්ෂක - කුමාර සේනාරත්න
අංග රචනය - අරවින්ද පාදුක්ක
සහය අධ්‍යක්ෂණය - ලක්ෂිකා බැමිණිවත්ත
ශබ්ද පරිපාලනය - ටිරෝන් ගෝමස්
නිෂ්පාදන සම්බන්ධීකරණය - දිල්ශාන් කාංචන
නිෂ්පාදන කළමනාකරු - රංජිත් ඩයස්
විධායක නිෂ්පාදක - ලක්පති විජේසේකර
නිෂ්පාදනය - NIMFIA
නිෂ්පාදන සහයක - නිශාර චතුරංග, ඇන්ජලෝ ගෝමස්
අහාරපාන සැපයීම - රේණුකා ෆොන්සේකා
ගීත රචනය - දිනිඳු ඒකනායක

* අධ්‍යක්ෂක - ප්‍රවීනා හසංගි ඩයස්
* පාසල - ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, මිලාගිරිය
* සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව - ජාතික චිත්‍රපට සංස්ථාව
* සිනමා සහ ටෙලිවිෂන් නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ තාක්ෂණවේදී උපාධි පාඨමාලාව - වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය රත්මලාන - පළමු වසර